අපූරූ ආඛ්‍යාන කාව්‍යයක් කියවුවෙමි. මීට පෙර මගේ ආඛ්‍යාන කාව්‍ය කියවීම, පරාක්‍රම කොඩිතුවක්කු ගේ 'දිවමන් ගජමන්', රත්න ශ්‍රී වික්‍රම ගේ 'තරු ලකුණ', මහගම සේකර ගේ 'නොමියෙමි' සහ 'ප්‍රබුද්ධ', සහ ගුණදාස අමරසේකර ගේ 'ගුරුළු වත' වන් කාව්‍ය කෘති කිහිපයක ට සීමා වී ඇත. (කුමාර හෙට්ටිආරච්චි, දර්ශන රත්නායක වන් කවීන්ගේ ද ආඛ්‍යාන කවි පොත් කීපයක් කියවිමේ තැතක් ගෙන ඇතත්, විවිධ හේතූන් මත ඒවා මග නැවතිනි). එහෙත් මේ එකදු කෘතියකින් ලත් ආශ්වාදයක් අභිබවා යන ආශ්වාදයක් මහසිංහයන් ගේ 'විජ්ජු' කියවීමෙන් ලදිමි. මේ කෘතිය අනාගතයේ දිනෙක සිංහල කාව්‍ය සාහිත්‍යයේ විශිෂ්ඨතම කෘතියක් ලෙස පිළිගැනෙනු ඇත. ප්‍රකාශ ව වසර දෙකක් පමණ ගත වී ඇතත් තවම එය කාගෙත් නිසි අවදානයට ලක් ව නැති සේය. මහසිංහයන් ගේ 'බැමිණිතිකාලය' නම් වූ කෙටි නවකතාව මහත් සේ රස විඳි අප, නොපැකිලව 'විජ්ජු', ප්‍රකාශ වූ කල ම මිලට ගත්තෙමි. පොත් මිලට ගන්නා වේගයෙන් කියවීමට අසමත් මා, හෙට දිනයේ (ජුලි 30 දා) මේ කෘතිය ගැන කෙරෙන පිළිසඳරකට පෙර කියවීමට සිතා ගත්තේ, මේ කෘතිය ගැන සාකච්ඡාව හර බර වෙවි යන බලාපොරොත්තුවෙනි.
කාව්‍ය කෘතියක් හෙයින් 'spoiler' යන තර්කය එතෙරම් තදින් අදාළ නොවන යන සීමාවේ සිට මෙතැන් පටන් ලියමි. එම ස්ථාවරය පිළිනොගන්නහු, කෘතිය කියවන තෙක් මින් ඉදිරියට මෙම රචනය නොයවත්වා!
කෘතිය ඇරඹෙන්න මාර පරාජයෙන් පසු, තණ්හා, රතී, රාගා, යන දියණියන් සමඟ ඉන්පසු කුමක් කරන්නේ ද යන්න ගැන සිතමින් සිටිනා අවස්ථාවකය. ඇරඹුම ම ආකර්ශනීය ය.
"පැරැද ආ දා පටන් බෝධිමූලයෙහි දී
නො නැවතී මුණගැසෙන්නට යති,
සවුවන්ට කුමක් වෙත්දැයි සොයති,
දොම්නස් ව නැවත එති,"
කවියා එතැනින් සිට තම කාව්‍යමය කතා ගෙත්තම උදෙසා සූත්‍ර කොටස් ගලපා ගනිති. මාරයාගෙන් ගිලිහෙන වීණාව (ගෝධික සූත්‍රය), පංචසිඛට අතට පත් වන එම වීණාව (බෝධීවංශය), ඔහු වයන්නේ (සක්කපඤ්හ සූත්‍රයෙහි වැණෙන පරිදි),
"වෙණ හඬ ගී හඬ නො ඉක්මවා ලු.
ගී හඬත් වෙණ හඬ නො ඉක්මවා ලු
වෙණ හඬත් ගී හඬත් සැසඳේ ලු.
ගී හඬත් වෙණ හඬත් සැසඳේ ලු!"
මාර, මෙම 'සැසඳීම', පෘතග්ජන මිනිසාගේ රළු තත්වයට ගෝචර නොවන බව වටහා ගන්නේ,
"දුබල වූ ගඳඹ දෑතින් වැයෙන මා (පංචසිඛගේ) වෙණ
චණ්ඩ ඉඳුරන් සහිත
මිනිසා ව රසින් මත් නොකර යි...",
තම දියණියන් හට අවරදෙස මිනිසාගේ බාහු බලය, අනලස් බව, සහ සටන්කාමී බව පෙන්වා, අතීතයේ ස්වයන්ජාත ඇල් සහලෙන් පෝෂිත ව සිටිනා කල මිනිසා ගේ ඇති වූ අතෘප්තකර සිතුවිල්ලකට තමන් අරක් ගත් බවත් එතැන් පටන් සහස්‍රයන් ඔස්සේ මිනිස් මනස ට කල බලපෑම්, ඒ ඔස්සේ මිනිසා කල නිර්මාණයන්, ඔහු මුහුණ දුන් හැලහැප්පීම්, රසවත් කවි බසින් අප ඉදිරියට ගෙන එයි. ඒ සියල්ල මෙහි විස්තර කිරීම මෙම පොත ට අවැඩක් කරනා හෙයින් ඉන් වැලකෙමි. එහෙත් මාර ගේ ක්‍රියාදාමයන් මට මතක් කලේ සුප්‍රසිද්ධ මෙටැලිකා (Metallica) රොක් සංගීත කණ්ඩායමේ sad but true ගීතයයි.
"I'm your dream, make you real
I'm your eyes when you must steal
I'm your pain when you can't feel
Sad but true
I'm your dream, mind astray
I'm your eyes while you're away
I'm your pain while you repay
You know it's sad but true"
එකම වෙනස මෙහි අප ට මාර තුල පසුතැවිල්ලක ඡායාවක් හෝ නොපෙනීමයි. මාර තුල ඇත්තේ ජයග්‍රාහී ලීලාවකි,
මහාදේවයා රවටා ප්‍රොමිතියස් මනුෂ්‍යයාට අග්නි ධාතුව ලබා දීම - ක්ෂණයක් පමණක් පෙනී අතුරුදන් වන විජ්ජු ධාතුව මිනිස් භාවිතයට ගන්නා ආකාරයට වර්ධනය - විදුලිය මිනිසා ට පාලනය කල හැකි දෙයක් වී ටික කලකින් ගිටාරය ද 'ඉලෙක්ට්‍රික්' වී, සංගීතය පෙර නොවූ ආකාරයකට මිනිසා ගේ ස්වභාවික හැඟීම් තීව්‍ර කරනා දෙයක් වීම ඔස්සේ ය කාව්‍ය කෘතිය ඇදී යන්නේ. බීට්ල්ස්, ජෝන් ලෙනන්, මයිකල් ජැක්සන් වැනි පසුගිය වසර පණහක හැටක කාලය වෙනස් කල පොප් සංගීතය ද කවි විස්තරයට ඇතුලත් ය. මේ වන විට මාර ගේ අභිලාෂය මුදුන්පත් වී ඇත. පංචසිඛ ගේ 'වෙණ හඬ නො ඉක්මවා ලු ගී හඬ - ගී හඬ නො ඉක්මවා ලු වෙණ හඬ' වෙනුවට මිනිස් ආශාවන් තීව්‍ර කරනා, සතුට ම අරමුණ කරගත් සංගීතයක් බිහි ව ඇත.
කෘතියේ මා ඉතා ම කැමති කොටසක් වන්නේ තුසිතය, නිර්මාණරතිය, පරිනිම්මිතිය, සහ ඊට ත් ඉහලින් මාර වැජඹෙන අයුරු කවියෙන් විස්තර වන ආකාරය ය. ස්වයංජාත ඇල් සහලින් නොසෑහී අලුත් අලුත් දෑ ම සොයමින්, කරමින්, විඳිමින්, තමන් සතු ව ම ඇති අනේක වර්ගයේ බිය පරාජය කරමින් මිනිසා ඉදිරියටම ඇදී ගිය මුත්, ඒ සියල්ල ඔස්සේ 'මාර' තම අරමුණු ක්ෂාත් ක්ෂත් කර ගන්නා බවකි අපට පෙන්වා දෙන්නේ. මාර වරෙක ලෙනන් ගේ මිනිමරුවා ය. වරෙක ජැක්සන් දරුවන් දැඩි පීඩනයට ලක් කල ඔවුන්ගේ පියා වූ ජෝ ය. එය ප්‍රගතශීලි ධාරාවේ යන කල්හි ගෙවන්න සිදු වන මිලකි.
කාව්‍ය සංග්‍රහය අවසන් වන්නේ, අලුත් ධාතුවක උවමනාවක, පිපාසයක, ගැන ඉඟියෙනි.
කාව්‍ය කෘතියේ අවසන වද්දී පාඨකයා ඇත්තෙන්ම ලෝක ශිෂ්ඨාචාර වර්ධනයේ කෙටි ගමනක් ඇවිත් ය. එය මාර පරාජය කොට බුදුන් සොයා ගත් මග නොවේ. බුදුන් ට 'මාර' පරාජය වුව ද, ඔහු පසු නොබා පෘතග්ජන මිනිසා හරහා සමස්ත යුද්ධය ජය ගෙන ඇත. කවියා වචනින් නොකීව ද මාර ගේ ක්‍රියාව ගැන සියුම් ගෞරවයක් පොත ඔස්සේ පාඨකයා ට ගලා එයි.
පෙර කීවාක් මෙන් මෙය අපූරු ම ආඛ්‍යාන කාව්‍යයකි. එක් අතකින් තේමාත්මක ව මෙය පැරඩයිස් ලොස්ට් ( Paradise Lost) වලට සමාන ද විය හැක (එම සමානකම හෝ එසේ නොවීම ගැන විස්තර කීමට, මම පැරඩයිස් ලොස්ට් කියවා නැත).
කාලයත් සමඟ මෙය සිංහල සාහිත්‍යයේ අඛ්‍යාන කාව්‍ය අතර වැදගත් ස්ථානයක් දිනා ගනු ඇතැයි අපේ අදහසයි. බොහෝ ආශ්‍රේය පසු කතා (මෙහි එවන් කෙටි උපුටන කිහිපයක් ඇත්තේ, කවියේ පසුකතාව ගැන පාඨකයා දැනුවත් කරලීමටය) එතරම් ප්‍රකට නොවූ ඒවා, සහ සමහර ආශ්‍රේය කාරණා සිංහල පාඨකයා ට ඇස ගැටීමට ඇති අවස්ථා මද නිසා, කෘතිය පාඨකයන් අතර ජනප්‍රිය වීමට තරමක් කල් ගත වීමට ඇත. කතුවරයා නැවත මුද්‍රණයකට යන්නේ නම්, ඝන පිටකවරයක් සමඟ ඉහළ නිමාවකින් සහ, ආශ්‍රේය ලිපි වල ඇවැසි සංශෝධනයන් ද සමඟ එම මුද්‍රණය එළි දැක්වීම වටින්නේ, කෙනෙකු මේ කෘතිය නැවත නැවත කියවීමට යොමු විය හැකි නිසාය.
ශ්‍රේණිය: *****