අප ගම් වල ශ්‍රමය වෙහෙසා කෙරෙන වෘත්තීය වල යෙදෙන්නන් තමන් විසින් ම තමන් ව, "තමන් කවුරුවත් නොවන" වගක් බව තම ආත්මයන් වලට කාවද්දවාගෙන ඇත. ඇති හැකි අය ඉදිරියේ තමන් ව වඩාත් ම පහත් තත්ත්වයට පත් කරගැනීමට පෙළඹෙන්නේ තම දෙමව්පියන්ගේ ආභාෂය නිසා විය හැකිය. වෙනස් වන සමාජයේ මෙම සමාජ සෞඛ්‍යයට අහිතකර ප්‍රවණතාව නූතන පරපුර විසින් වෙනස් කරනායුරු පෙන්වන, මා සිත්ගත් කෙටිකතාවකි, "කවුරුවත් නෙමේ... අපි".
පුරුෂාධිපත්‍යය හි ම කොටසක් ලෙස දැකිය හැකි කාන්තාවන් විෂයෙහි තම ආධිපත්‍යය, යටත් කර ගැනීම, කෙසේ හෝ කාන්තාවක් තම අණසකට නම්මවා ගැනීමේ හැකියාව යන්න අප රට තවමත් දකින්නට ලැබිය හැකි ගර්හිත තත්වයකි ( මෙය අන් රටවල ද නැත්තේ නොවේ.) පුරුෂයෙකු හා කාන්තාවක් ගේ කුමන තත්වයන් යටතේ හෝ එක්වීමේදී, එය දෙදෙනාගේ ම ස්වභාවික කැමැත්ත සහ ආකර්ශනය මත ම සිදුවන්නක් බව, සහ එය ඉතා පෞද්ගලික අත්දැකීමක් පමණක් බවත්, අනුන් ඉදිරියෙහි පම්පෝරි ගැසීම යනු ශිෂ්ඨ සමාජයේ නොවිය යුත්තක් යන්න අප සමාජයට තේරුම් යන්නේ සෙමින් බව ය අපගේ හැඟීම. "වෙල දෙපස" කෙටිකතාවේ එන එම යුවලගේ ආකර්ශනය, කෙටි එක්වීම ආදිය, පෞද්ගලික ලබැඳි මතකයන් ම පමණක් බවත්, "සෙන්චරි ගසා, සාද දැමිය යුතු" නීච ගමනේ ම පෙර අවදියක් නොවිය යුතු බවත් ඒත්තු ගන්වන ආරේ සාර්ථක නිර්මාණයකි. අමරකීර්ති, මෙහිදී කුල ක්‍රමය ගෙනෙන බාධාවන් ද ගෙනහැර දක්වන්නේ ඉතා සූක්ෂම අයුරින් ය.
"කළු සුදු දවස්වල", මා මෙහි ඉතා කැමතිම කෙටිකතාව විය යුතුය. තරමකින් "අඩහඳයා ගේ" කාලේ ගැමි පෙදෙස මතකයට නැගීමට සමත් මෙම කෙටිකතාව, අයෙකු යම් සමාජ-දේශපාලන අදහසක් තරයේ අදහයි නම්, එහි අන් අයට කිසිදා වටහා ගතනොහැකි ආරේ ඉතිහාස කතාවන් තිබිය හැකි බවට ඉතා සාර්ථකව පෙන්වා දෙයි.
අමරකීර්ති ගේ කෙටිකතා වල මම කැමති එක් ලක්ෂනයක් නම්, විටෙක, ඔහු තමන්ගේ කතානායකයා ගේ අඩුපාඩු එම කතානායකයා විසින්ම වටහා ගන්නා අයුරු විදහා දැක්වීමය. මෙය "අර මිහිරු සීනු නාදය" කෙටිකතා සංග්‍රහයේ එන "නොනිදන අවදිය" කෙටිකතාවේ ද දුටුවෙමි. එම ලක්ෂණය හරහා අප නිර්මාණකරු ගේ ද යම් නිරහංකාරකමක සේයාවක් - එනම් තමන්ගේ අඩුපාඩුවක් දුටු කල එම තත්වය ගැන සංවේදී වීම, යන උසස් ලක්ෂණය ඇතැයි පාඨකයෙක් ලෙස මට සිතේ. එය පාඨකයකු ලෙස මා නොදන්නා අයෙක් ගැන යම් තක්සේරුවක් වුවත්, මට සිතෙනා විදිහ ගැන ප්‍රකාශ කිරීමේ වරදක් නැති බවකි මගේ හැඟීම. මෙහි එන "සාක්ෂිකාරයෝ"කෙටිකතාවේ ද, මහගෙදර ඇදුරුතුමා තුල දැකිය හැකි ලක්ෂණයකි මෙය. යම් අයෙක් ගැන පෙර විනිශ්කයක සිටීමේ දොස, ඔහුගේ සිසුන් වෙතින් පමණක් නොව, තමා තුල ද තමා නොසිතූ අයුරින් තිබූ බව පිළිගැනීම මා සිත් ගත්තේය.
"රතු නෙළුම" කෙටිකතාව අමරකීර්තිගෙන් සාමාන්‍යයෙන් නොදකිනා ආරේ කෙටිකතාවකි. එනම්, ගුප්ත හැඟීමක් ගෙනෙනා අවාසනාවන්ත සිදුවීමක පෙරනිමිත්තක් ගීතයක් හා බද්ධ කෙරුණු අයුරුත්, නපුර වැවේ ම සිටීම අනවශ්‍ය බවත්, එය වටහා ගැනීමේදී මෙහි එන මලයා තරමක් පරක්කු බවද ඒත්තූ යයි. අප ට එම නිර්මාණය නිශ්ශංක විජේමාන්න, නැතිනම් පියල් විජේතුංග වැනි අයට වඩා ආසන්න නිර්මාණයක් ලෙසය අපට හැඟුනේ.
වැඩක් නැති මිනිහෙක් කෙටිකතාවත් සමාජ කියවීමකට ඉඩදෙන කෙටිකතාවක් වන අතර, එය ද රස වින්දෙමි. අලි මිදුල, දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා (වට්ටියා, පෙර කි නොනිදන අවදියෙත් හිටියාද ?) , සහ කමතක පිටපත, පෙර කී කෙටිකතා තරමට ම නොවූව ද කියවීමට කුහුල දනවන නිර්මාණයන් ය. කියවීමට කුහුල වැඩුවද "මලවි අරගල" මා එතරම් සිත් ගත් කෙටිකතාවක් නොවූවත්, එම ආරේ කෙටිකතාවක දී පවා "ගෙදර'වට සිතියමේ" සංග්‍රහයේ අපට හමු වුනු "කිරිකජු" කෙටිකතාවට වඩා ස්වාභාවික බවක්, එනම් එවන් මාතෘකා වලදි වඩා සියුම් බවක් මෙම නිර්මාණයේදී මට පෙනුනි.
මේ වන විට අමරකීර්ති ලියා ඇති කෙටිකතා සංග්‍රහයන්ගෙන් "රළ", "නන්දන උයන", "මම දැන් නිදමි", සහ "විල සහ මල" ඇරුණු කොට අනෙක් සංග්‍රහයන් පහක් කියවා ඇත්තෙමි. ඉහත කී සංග්‍රහයන්ගෙන් "නන්දන උයන" පොත කලක සිට මුද්‍රණයේ නැත. මෙම කෙටිකතා සංග්‍රහය ඔහුගේ ම කියවා ඇති සංග්‍රහයන්ගෙන් "අර මිහිරු සීනු නාදය" ආදී සාර්ථක ම සංග්‍රහයන් සමඟ හරිහරියට තැබිය හැකි නිර්මාණ වලින් සුසැදි කෘතියකි. මා කිය වූ සංග්‍රහයන් හරහා ගමනේදී, අමරකීර්ති ද වඩා පරිපූර්ණ ලේඛකයකු යැයි මට හැඟෙනා ආකාරයට පරිණත වෙමින් සිටින බවක් මා දකිනා සෙයකි (නිදසුනක් ලෙස දැන් පෞද්ගලික ප්‍රහාර නැති තරම් ය) - නැතිනම් මා පෙර සිටියාට වඩා ඉවිසිලිවන්ත කියවන්නෙක් ලෙස පරිණාමය වී ද?
ශ්‍රේණිය: ****
2021 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 8
No comments:
Post a Comment