කරුණාරත්න අමරසිංහයන් ලියූ මෙම අපූරු මතක සටහන් මාස නමයක පමණ කාලයක් ටිකෙන් ටික කියවා හමාර කලේ පසු ගිය සතියේය. මෙය රස ගුලාවකි. මහගමසේකර, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, එදිරිවීර සරච්චන්ද්‍ර, චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, එන්. එම්. පෙරේරා, අජන්තා රණසිංහ, සුගතපාල ද සිල්වා, කේ. ජයතිලක ආදි තම තමන්ගේ ක්ෂේත්‍ර වල ප්‍රවීණයන් ඇසුරෙන්, කලා ලොවේ දීර්ඝ කාලයක් නිරතවැති කරුණාරත්න අමරසිංහයන් ලත් මතකයන් ආවර්ජනය කෙරෙන ලිපි පෙළක් ලෙස මෙම කෘතිය සම්පාදිතය. ප්‍රකාශනයට තිබූ හදිසියක් නිසාදෝ අවස්ථා කිහිපයක ම සාමාන්‍යයෙන් මෙම ප්‍රකාශකගෙන් නොදකිනා මුද්‍රණ දෝෂ ඇතත්, එය කෘතියේ සමස්ත රසයට බාධාවක් නොවෙන තරමින් බැවින්, රස විඳිය හැකි ලිපි වලින් පෝෂිත කෘතියකි.
මෙවන් පොතක් දීර්ඝ ලෙස විචාර කිරීම අපහසු හෙයින්, මා සිත් ගත් අවස්ථා කිහිපයක් පමණක් පහත ලියා දක්වන්නේ, කියවීමට සිතනා අයගේ එම සිතුවිල්ල වර්ධනය කිරීමේ අටියෙනි.
- මාර්ටින් වික්‍රමසිංහයන් ගේ පෞද්ගලික ඇසුර මගින්, ඒ ආශ්‍රයෙන් දීර්ඝ ලිපියක් මෙහි අපට හමු වේ. 'උපන් දා සිට' හි එන වික්‍රමසිංහ ට අමතර ව, තුන්වෙනියෙකුගේ ඇසින් වික්‍රමසිංහයන් ගේ හැසිරීම්, ඔහු අන් අය විෂයෙහි ක්‍රියා කල අයුරු, ඔහු උදහසට පත් වූ විට බිණූ වදන් පවා ඇතුලත් මෙහි, අමරසිංහ වික්‍රමසිංහ ඇසුරු කල යුගයෙහි ඔහුගේ ප්‍රියතම මධුව දෙවරක් පෙරන ලද අරක්කු හෙවත් Double Distilled (DD) බවත් එකල විස්කී තරම් ඉස්තරම් බවත් පවසයි. ලංකාවෙ එක්තරා පරම්පරාවකට DD ට දෙවෙනි තවත් මධුවක් නොමැති තරම ය. මගේ පියාගේ ද ප්‍රියතම මධුව වූ එය මා එක් වතාවකට වඩා පානයට උත්සාහ කලේ ද නැත. වයස් සීමාව හැට පැනපු මගේ සිටපු මිතුරෙකු කිවේ DD විඳීමට විශේෂ රුචිකත්වක් තිබිය යුතු බවකි ( ඔහු ද ඊට ඉතා කැමැත්තේය).
- මානවසිංහයන් හමු වූ අවස්තාවක, ඔහු ගේ මුවින් පහළ වූ අදහසක් අමරසිංහ මෙසේ පළ කරයි. එහි, අර්ථරසය, ශබ්ද රසයට දෙවෙනි යන්න ගම්‍යවන බවත්, මෙය සංස්කෘත කාව්‍ය දරණා යම් ස්ථාවරයක් දෝ යන්න ද මට හැඟෙයි.
"කවියක් රස විඳින මිනිහ ඒ කවියෙ රසාස්වාදය ගැන හිතන්නෙ නැතුව කවියෙ වචන යොදල තියෙන හැටි ගැන, හොයන්න යනවනං උගෙයි අර රමණෙට ගිහිල්ල රෙද්ද ලිහන කොට රෙද්දෙ වටිනාකම ගැන හිත හිතා ඉන්න එකාගෙයි කිසිම වෙනසක් නෑ. රසිකත්වයක් නැති පණ්ඩිතයොත් ඒ වගේ තමයි. "( 152 පිටුව)- බෝතලේ වලව්වේ ඩී. ඇස්. තම පුතා ව කේම්බ්‍රිජ් යවා එහිදී ඩඩ්ලි පොලෝ ක්‍රිඩාවෙන් සමත්කම් දැක්වුව ද, සාමාන්‍ය පවුල් පසුබිමකින් පැමිණි එම්. එම්. පෙරේරා ලන්ඩන් විශ්වවිද්‍යාලය ට ගොසින් PhD විභාගයෙන් සමත් වූ බවත්, ඇන්. එම්. කල ප්‍රකාශයක් මෙහි එන්නේ, 1965 දී එ.ජා.ප. නිල පුවත්පල ඔහු ගේ සුල මුල ඇද කල කතාවට පාර්ලිමේන්තුවෙ දි ප්‍රති උත්තර කතාවක් උකහා ගනිමිනි.
- ගුණදාස අමරසේකර ගේ යටලමත්තේ තිඹිරි ගේ වූ ගුරු නිවාසේ, තවමත් සිමෙන්ති පොළොවේ ඔහුගේ බිළිඳු පා සටහන් ඇති බැව් ද, එය ජීවන සුවඳ කෙටිකතා පොතේ එන 'ආපසු ගමන' හි සඳහන් වන අයුරු ද පෙන්වා දෙන්නේ අමරසේකර 80 වැනි වියට පා තැබූ අවස්ථාවේ පැවැත් වූ නිජබිම ආවර්ජනා උළෙල ගැන පවසද්දීය.
- එක්තරා හවසක අමරසිංහ මහගමසේකර ගේ නිවසට ගොස් ආපසු ඒමට සැරසෙද්දි එද්දි එදින ගම්පහ යක්කල අවසන් බසය නොතිබීම හේතුවෙන්, මහගමසේකර ඔහුගේ බිරිඳ සමග අමරසිංහ ව යක්කල කොළඹ දිසාවට යන බස්නැවතුම්පොළෙ බස්සා ආපසු කරයෙන් ගිය බවත්, එය අමරසිංහයන් නොසිතූ ලෙස මහගමසේකරයන් දුටු අවසන් දවස බවත්, එදින ඔහු ඔහුගේ පුඤ්ඤා නම් වූ කෙටිකතාවේ වස්තු බීජය අමරසිංහ ට හෙළි දරව් කල හැටිත් මෙහි කියවේ. එම සිද්ධිදාමය, එනම් හැත්තෑව දශකයේ මැද ගම්පහ-යක්කල දිසාවෙට ඇති බස් නැවතුම් පොල, යක්කල හංදියේ මොරිස් මයිනර් කාරය නවතා තිබීම, අදින් වසර පනහකට පමණ පෙර, අද මෙන් යාන වාහන නොතිබූ යුගයක රාත්‍රී කොළඹ-නුවර පාර, සහ සැඟවුන නපුර, යන්න ගුප්ත සිතුවිලි මැවීමට සමත් ය.
"අපාර වූ ආකාසේ
වලා සිඳුණු බොල් එළියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී" (275 පිටුව)
කතුවරයා සකුව ට බොහෝ ප්‍රිය බව ඔහුගේ කියුම් වලිනුත්, ලේඛන ශෛලියෙනුත්
පැහැදිලි අතර, යම් අයෙකුට එම සකු භාවිතය තරමක් කියවීම ට බාධාවක් යැයි දැනිය හැක. සංස්කෘත මිශ්‍ර සිංහල කියවීමේ කිසිදු විසෙස් අභ්‍යාසයක් නොලත් මා හට
නම් එය ඒ තරමින් නොදැනුන ද, සමස්ත කියවන්නන් ට එසේ ද යන්න ගැන මට කිව නොහැක. අනෙක් කාරණය, වර්තමාන අදහස්, අමරසිංහයන් ගේ අදහස් හා නොගැලපෙන අවස්ථා ද නැත්තේ නැති මුත්, අන් මත ඉවසන වර්තමානිකයෙකුට එය ඉවසිය නොහැකි මට්ටමේ ද නොවේ යැයි සිතේ.
තිස්ස අබේසේකරගේ "අයාලේ ගිය සිතක සටහන්" , මාර්ටින් වික්‍රමසිංහගේ "උපන් දා සිට" , සරච්චන්ද්‍රගේ "පින් ඇති සරසවි වරමක් දෙන්නේ" කියවා රස විඳි අයෙකු, මෙම පොත කියවීමෙන් මහත් තෘප්තියක් ලබනවා නිසැකය.
ශ්‍රේණිය: ****1/2
ප්‍රකාශනය: විදර්ශන (2023)
No comments:
Post a Comment