2011 වසරේ ප්‍රකාශ වූ කියවීමට තෝරාගත් නවකතා අතර වූ සුනේත්‍රා රාජකරුණානායක ගේ කවිකඳුර නවකතාව කියවීමි.
නවකතාවේ ප්‍රමුඛතම කොටස අකලංකා ෂන්මුගම්ගේ කොළඹ-නුවර නවකතාවයි. එය මා මීට කලින් කියවා ඇති ලේඛිකාවගේ පොත් තුනටම වඩා වෙනස් ය. ආසන්න වශයෙන් 1752 සිට, ශ්‍රී වික්‍රම රාජසිංහ සිර අඩස්සියේ දී මිය යාම දක්වා වූ කාලය, එනම් 1832 දක්වා වූ කාලය කතාවේ ප්‍රධාන කොටස ලෙස අයෙකුට කිව හැක. ඉතිරි කොටස ඉදිරිපත් කරන්නේ හීන් එකා හෙවත් පීටර් වැන්ක්‍යූලන්බර්ග් ය. එම කොටස තුල කතාව එතරම් සිත්ගන්නා සුළු ලෙස ගෙතී ඇතැයි නොසිතේ. සිදුවීම් පෙළ වුව සීමිතය. පාඨකයෙකු ලෙස මා නම් ප්‍රිය කලේ 1752-1832 දක්වා දිවූ කොළඹ-නුවර අතර කාල පරාසටය. එම කොටස ඉදිරිපත් වී ඇත්තේ බාලගණේ හෙවත් කවිකඳුරේ දීපංකර සාමණේරයන්, මල්කඳුරේ පන්සලේ පිංචිඅම්මා, සුවඳිගේ අම්මා හෙවත් මල්කඳුරේ පන්සලේ උපාසායාගේ දියනිය වූ මරියම්මා, කවිකඳුරේ මයුරවතී මැණිකේ, රංහොදියා, කවිකඳුරේ නිලමේ, සුවඳි, ධර්මවතී ටිකිරි මැණිකේ, උක්කුවා, හා අංකුට්ටා හරහා මෙම වසර අසූවක කාලය දිගැරේ.
මෙම වසර 80ක පමණ කාලය පිටු 183ක් පමණ පිටු ප්‍රමාණයකින්, හෙවත් කතාවෙන් අඩකට වඩා කොටසක් ප්‍රයෝජනයට ගනිමින් ලේඛිකාව ඉදිරිපත් කොට ඇත. මහැදුරු ආරිය රාජකරුණා මෙම ස්වර්ණ පුස්තකය විචාරමින් කියා සිටින්නේ;
- එහි පුනරුක්ති දෝෂ ඇති බවත්,
- ඥාති සම්බන්ධතා පාඨකයා වෙහෙසන සුළු බවත්,
- විවිධ තරාතිරමේ වල චරිතයන්ගේ දෘෂ්ඨිකෝණයෙන් ලියවුනද භාවිත බස සමාන බවත්,
- එම බස වුව ලේඛිකාව එකල නුවර යගයේ යැයි සිතූ කෘතීම එකක් බවත් ය.
බොහෝ ඇසූ පිරු තැන් ඇති වලින් හෙබි එතුමා පවසන සියළු කාරණා සත්‍ය විය හැකි වුවත්, පාඨකයකු සහ එතරම්ම මෙම ලේඛිකාවට පක්ෂපාති නොවූ අයෙකු ලෙස මට කීමට ඇත්තේ , ඔහු කියනා සියළු දුර්වලතා තිබුනේ යැයි සිතුව ද, මෙම කොටස ඉතා රසවත් බව ය. තව දුරටත් පවසන්නෙ නම්, එම කොටසේ එන ගැමියන්ගේ කතා මාලාව මධ්‍යයේ කියැවෙන්නා වූ සියුම් කාරණා කිහිපයක් ද එහි ඇත. මෙරටට සියමෙන් උපසම්පදාව නැවත ගෙන ආ කල් හි මෙහි තිබූ කුල තහංචි සමහර පහත් යැයි ගැණුනු කුලවල සාමනේරවරුන්ට බාධාකාරි වූ අයුරු, එකගෙයි කෑමෙහි චාරිත්‍රය, එකල් හි ජීවන රටාව, පිරිමින්ගේ තාඩන පීඩන මගහරවා ගැනීමට ගැහැණුන් භාවිත කල සියුම් උපක්‍රමයන්, නිලමෙවරුන්ගේ පක්ෂපාතීත්වය, එම පක්ෂපාතීත්වය නිසා හෝ සැබෑවටම කාරණා සිද්ධ වූ අයුරෙන් හෝ ඇහැලේපොලගේ ආර්‍යවට හා ඩහනට ගෙවන්නට සිදු වූ වන්දිය, සහ එහි දී රජු ක්‍රියා කල හැකි සීමාවන් ආදී කරුණු මෙම කොටස හරහා ගෙනහැර දැක්වේ.
නවකතාවේ රිද්මය ට හානිකර ලෙස දැනුනේ මල්කඳුර, මාස්ටර්පීස්, සහ මර්වින් හරහා කතාව වර්තමානයට බද්ධ වෙද්දීය. මෙහිදී, අප ට හැඟෙන ආරෙන් ලේඛිකාවගේ 'පොදු පුරුෂයෙකු' වන දූෂිත, බොරුකාර, රැවටලිකාර පිරිමි චරිත කරලියට එයි. ඇත්තෙන් ම මේ වන විට යම් තරමකට ලේඛිකාවගේ නව නිර්මාණ කියවීමට පසුබට වීමක් වැන්නක් සිතේ සොල්මන් කරන්නේ මෙම පොදු පුරුෂයන් නිසාය. මෙතෙක් මා ලේඛිකාවගේ කියවා ඇති සුබෝධාලංකාරය, පොදු පුරුෂයා, නන්දිතය, සහ දැන් කවිකඳුර යන කෘති හතරේම මේ ප්‍රෝඩාකාරි චරිත අපට හමු විය. කියවීමට ඇති 'බුද්ධදාසි' හි මෙවන් චරිත නැති බැව් සැල ය.
බොහෝ විචාරකයින්ගේ ප්‍රසාදයට ලක්ව ඇති ලලිත සමය කියවීමට ඉතිරි වී ඇති වටපිටාවක මෙම කෘතිය ස්වර්ණ පුස්තකය ජයග්‍රහණය ගැන යම්ක් කීමට වේලාසන වැඩිය. කවිකඳුර මීට වඩා සාර්ථක නවකතාවක් විමට විභවයක් තිබූ නවකතාවක් බවකි අප ගේ අදහස.
ශ්‍රේණිය: ***1/2
( 2012 බක් මස හත් වන් දා ලියූවක්, යම් සුළු සංශෝධන සහිතව නැවත මෙහි පළ
කරමි. එකල මාගේ මේ කෘතිය පිළිබඳ ස්ථාවරය අද නැවත කියවුවහොත් වෙනස් විය හැකි
මුත්, තවම නැවත කියවා නැති හෙයින්, එහි සමස්ත ස්ථාවරය නොවෙනස් වන අයුරින්
මුත්, පෞද්ගලික සටහන පොතෙන් අන්තර්ජාල අවකාශයට මෙම සටහන ප්‍රවේශ වන නිසා
තරමක් රළු යැයි සිතෙන තැන් වඩා සියුම් කොට නැවත ලියා ඇත. අප පොත් කියවන
මිතුරියක ගේ නිල්මාණි ප්‍රනාන්දු ගේ පෙරැත්තය -ඈ මේ පොත පසු ගිය දවසක කියවා
අපගේ දුප්පත් විචාරය සොයා දෙතුන් වතාවක් විමසු නිසා - සහ, සටහන් පොතේ
ලියවිල්ලෙහි ඡායාරූපයක් කියවීම ඇයට නොහැකි බැව් තරයේම විශ්වාස කරන නිසා සහ,
මූලික වශයෙන් සටහන් පොතෙන් අන්තර්ජාලයට මුදාලීමට මෙය අවස්තාවක් කරගත හැකි
නිසා, මෙසේ නැවත සංශෝධිත ඇතිව පළ කරන්නෙමි. 2011 වසරේ දෙසැම්බරයේ
උපේක්ෂාවන් දරු දෙදෙන සමඟ - ඔවු, එකල දෙදෙන - සමඟ දෙසැම්බරයේ ලංකාවට සති
දෙකක පමණ කෙටි නිවාඩුවකට පැමිණි කල, මා ඈ අත එවු පොත් ලයිස්තුවේ තිබූ නිසා ඈ
විසින් ගෙන එන ලදුව කියවීමි.)