මීට පෙර කතුවරයාගේ "සදත් විල මහා සුභද්‍රාවෝ", "බණ්ඩර මැරූ උන්", "යාරා යාත්‍රිකා", සහ "හඳුන්මල් කඩුල්ල" යන නවකතා සතර කියවා ඇත්තෙමි. මින් බණ්ඩර මැරූ උන් සහ සදත් විල මහා සුභද්‍රාවෝ සුවිශේෂි නවකතා වන අතර, හඳුන්මල් කඩුල්ල නවකතාවෙ ද රසවත්, නිර්මාණාත්මක කොටස් බොහෝය. එහෙත්, කතුවරයා විටෙක තමන් ගේ අභිරුචිය දිනා ගන්නා විෂයන් කෙරෙහි දීර්ඝ ලෙස ප්‍රස්තූතයෙන් පිට ගොස් සාක්ච්ඡා කිරීමට පෙළඹෙයි. මෙය බෙහෙවින් දුටුවේ යාරා යාත්‍රිකා වල දී ය. එහි දීර්ඝ ලෙස දුම්රිය මාර්ග හා මහා මාර්ග විස්තර කරන්නේ කියවන්නිය වෙහෙසට පත් කරමිනි. ඊට වඩා අඩු මට්ටමකින් වුව, හඳුන්මල් කඩුල්ලේ ද මෙම ලක්ෂණය ඇත - නැතිනම් එහි රසවත් සහ සාර්ථක නවකතාවක් වීමේ විභවයක් අන්තර්ගතය. මඩරන් නවකතාව සැලකුවහොත්, එය මාතෘකාවෙන් පිට ගොස් යම් විෂයක් දීර්ඝ ලෙස සාකච්ඡා කරතැයි කිව නොහැක - ඒ, නවකතාවේ මුඛ්‍ය තේමාව ම මඩබදු, වී බදු, නොහොත් මඩරන් ම ය. කතුවරයා මඩ බදු ඔස්සේ, බ්‍රිතාන්‍යයන් උඩරට ජනතාව මහත් අසරණත්වයට පත් කල ආකාරයත්, ඊට පෙරත්, මඩබදු නිසාම උඩරට ජනතාවගේ ඉඩම් අහිමි වීම් ගැනත් දීර්ඝ ලෙස සාක්ච්ඡා කොට ඇත. කතුවරයා මේ පිළිබඳ පුළුල් හැදෑරීමක යෙදී ඇති බව පැහැදිලිය - ඇත්තෙන්ම මේ සිදු කොට ඇති සුවිශේෂි ගවේෂණය, විෂයීක කෘතියක් ලෙස ප්‍රකාශ කිරීමට තරම් යැයි සිතේ. කිමද, මේ විෂය ගැන සාකච්ඡාවට යොදා ඇති වෑයම නවකතාවේ ප්‍රගමනයට බාධාවකි. එය පාඨකයා වෙහෙසට පත් කරයි. නවකතාවක් ලෙස මෙම කෘතියේ සමස්තයට අවැඩක් කරයි. තෝරදෙනිය තරම්, වෙසෙසින් දුම්බර පැති ගැනත්, එම ජීවිතය ගැනත් අපූරුවට ලිවීමට සමතෙක් තවත් නැත. කතුවරයා නවකතාව යන කලා කෘතිය තුල වෙසෙනා කල, අප රට වෙසෙනා විශිෂ්ඨතම නවකතාකරුවන් අතර සිටීම ඔහුට කිසිදු අභියෝගයක් නොවේ. එහෙත්, පෙර නිර්මාණ කිහිපයක් ගෙන පෙන්වු ආකාරයෙන්, සහ මෙහි මඩ බදු ගැන එන දීර්ඝ විස්තරය නිදසුනට ගෙන ඇති ආකරයෙන් ද, කතුවරයා තම නිර්මාණයේ එන විෂයීක පරිපූණත්වය කෙරෙහි වසඟ වන්නේ, ඔහු සිටිනුයේ නවකතාව නම් වූ පදනමේය යන්න අමතක කරමිනි. සමාජ දේශපාලන කාරණා වලට සේවය කෙරෙන නවකතා නැත්තේ නොවේ. පී.බී. ජයසේකර ගෙ "ඉක්බිති ඔහු මරාපීහ" ( විෂය: බණ්ඩාරනායක ඝාතනය හා බැඳි සිදුවීම්) , සහ සුමිත්‍රා රාහුබද්ධගේ "තම්මැන්නා" ( විෂය: එන්.එම්. පෙරේරා ප්‍රමුඛ නිදහසට ආසන්න යුගයේ සිට '77 දක්වා වමේ දේශපාලනය) මතකයට නැගේ. මට තෝරදෙනිය ගේ මේ පොත ද නවකතා හා යම් සමානතාවකින් දැක්විය හැකිමුත්, මඩරන් මෙම නවකතා වලට වඩා කියවීම තරමක් අපහසුය.
මඩරන් නවකතාව ඇරඹෙන්නේ එල්.ටී.ටී.ඊය පරාජයෙන් පසු අන්තරජාතික දේශපාලන පීඩනයන් යොමු කිරීමට අවස්ථාවක් වෙතැයි අහඹු ලෙස හමුවන මිනිකටු කිහිපයක්, සමූහ මිනීවලක් යැයි වැරදි කියවීමක් ඔස්සේය. මේ උක්ත කාලයේ මන්නාරමෙන් සොයා ගත් සංකිලි යුගයේ මිනී ඇටකටු, බෙදුම්වාදී යුද්ධය හා බැඳි යැයි වැරදි නිගමනයකට ඒමේ සිද්ධිය වාර්තා විය. කතුවරයා "සමහර ජාත්‍යන්තර සංවිධාන වල හදිසිය" සමච්ච්ලයට ලක් කරමින්, මේ දුම්බර ගම් පෙදෙසෙකින් සොයා ගත් මිනී ඇට කටුවල සම්භවය ගැන සාක්ච්ඡාවට ගනී. ඒ අතින් නවකතාවකට විෂයක් ලෙස මෙහි යම් නැවුම් ගතියක් ඇත. කතුවරයා ඊට අදාළ හැදෑරීම හා ගවේෂණයන් ද පූර්ණ ලෙස ඉටු කොට ඇත. දොසක් ලෙස මා දකිනුයේ, එම විෂය ගැන දීර්ඝ සාකච්ඡාවක්, ගැමියන්ගේ දෙබස් මාර්ගයෙන් හා, මෙහි එන එකම ප්‍රධාන චරිතය වන මළිඳා මාර්ගයෙන්, නවකතාව යන ප්‍රස්තූතයට දැරිය නොහැකි තරමින් සාකච්ඡා කොට තිබීමයි. ල මර්සියර් නම් නුවර එළියේ සිටි උප ඒජන්තවරයෙකු, මඩ බදු අඅ කිරීම නිසා යැපුම් කිකරමයක් පමණක් වූ වී ගොවිතැනේ නිරත වූවන් අන්ත අසරණතාවට පත්ව, පාරට බස්සා, සාගතයෙන් මියැදෙන තැනට බිරිතාන අණ්ඩුව ක්‍රියා කොට ඇති ආකාරය ගැන සිය වෘත්තීය ජ්‍යේෂ්ඨයන් හා සමයන් අතර ඇති වූ වාද විවාද කොටස මෙම නවකතාවේ එන රසවත් කොටසකි. තෝරදෙනිය අන් තැන් වල මෙම මාතෘකාව ගැනත් , ල මර්සියර් ගැනත් තවම සාකච්ඡාවේ යෙදේ (1). මෙම ලිපියෙන් ඇඟවෙන පරිදි දුම්බර පෙදෙස් වල ඉතිහාසය ගැන විෂයීක කෘතියක් ද තෝරදෙනිය අතින් පළ වෙන බවකි අපගේ වැටහීම.
අයෙකුට, නවකතාව එසේ විය යුතු නැත ය, සහ මෙසේ ද විය හැකි යැයි කියමින් මා හා එකඟ නොවිය හැක - එසේ එකඟ නොවීමට පූර්ණ අයිතිය ද ඇත. එහෙත්, වසරේ හොඳම නවකතාවට හිමි ගොඩගේ සම්මානයද දිනූ මෙම කෘතියේ නවකතාමය ස්වරූපය ය මට වැදගත් ය - එම නිසා ය මට මෙම කෘතිය එම සම්මානය දිනා ගැනීම ගැන එතරම් පැහැදීමක් නැත්තේ. නවකතාවේ රාමුව තුල සිටිමින්, වඩා පරීශ්‍රමයෙන් කතුවරයාට තම පණිවුඩය ඒත්තු ගන්වන්නට ඉඩ තුබූ බවකි, මගේ විශ්වාසය. නැතිනම්, කතුවරයා උක්ත විෂය ගැන බොහෝ දේ කීමට ඇත්තේ නම්, එය විෂයීක කෘතියක් ලෙස පළ කිරීමේ පූර්ණ හැකියාවක් කතුවරයා සතු බව මට විෂ්වාසය.එහෙත් මේ ස්වරූපයෙන් අපට හමුවන්නේ, ඔහුගේ සමාජ දේශපාලනයෙන් ගවේෂණයන්ගෙන්, නවකතා සැකිල්ල ට යම් හානියක් සිදු වූ, පාඨකයා වෙහෙසට පත්වෙන ආරේ නිර්මාණයකි.
ශ්‍රේණිය: ***
වසරේ හොඳම නවකතාවට හිමි ගොඩගේ සම්මානය (2020)
2020 වසරේ ප්‍රකාශ වූ තෝරාගත් නවකතා කියවීම - 9
1 https://www.lankaweb.com/news/items/2023/03/12/of-british-colonial-administrators-with-special-reference-to-c-j-r-le-mesurier-assistant-government-agent-of-nuwara-eliya-district-and-british-planters-in-the-central-province-of-ceylon-in-1870-189/?fbclid=IwAR2BXcNOj0hzPZU4ulaGHNiuAtLnaNVQDKbq63oYkHFgCTZm4mq0c8W2gms
No comments:
Post a Comment