Sunday, 16 April 2023

රස පොළොව - ප්‍රභාත් ජයසිංහ


ප්‍රභාත් ජයසිංහ ගේ රස පොළොව කෙටිකතා සංග්‍රහය කියවීමට පටන්ගත්තේ, 2020 ප්‍රකාශ වූ කියවීමට මා තෝරාගත් නවකතා හා කෙටිකතා සංග්‍රහයන් ටික දැන්වත් කියවා හමාර කරගත යුතුයැයි සිතමිනි. මීට වසර කිහිපයකට පෙර, ඒ ඒ වසරේ නවකතා - කෙටිකතා පමණක් නොව කාව්‍ය සංග්‍රහයන් ද යුහුසුළුව කිය වූ මුත්, දැන් පවතින වෘත්තීමය බැඳීම් ද, සිංහල ප්‍රබන්ධ නොවන කෘති කියවීමේ වැඩි උවමනාවත්, ආදි හේතුන් නිසා දැන් මා එම කටයුත්තෙන් තරමක් පසුපසිනි. ඇරත් මම 2020 ප්‍රකාශිත කෙටිකතා තෝරාගෙන තියෙන්නේද හයක් පමණි -එය ඊට පෙර වසරේ කියවූ එකොළහට පමණක් නොව, ඊට පෙර වසර දෙක තුනේ කියවූ සංග්‍රහයන් හත-අට ද අඩු ගණනකි.  එහෙත් මෙය මං ම බාරගත් කියවීමේ වගකීමක් නිසාත්, අනෙක් අය ඒ ගැන තඹ දොයිතුවක වැදගම්මක් නැති නිසාත් "ඔය පුළුවන් විදිහට පස්සේ කියවනවා" ආකාරයට මද වේගයෙන් කියවාගෙන යමි.

රස පොළොවේ කෙටිකතා දහයකි - ඉන් තුනක් මීට පෙර පළ වූ කතුවරයාගේ අන් කෙටිකතා සංග්‍රහයන් වල පළ වූ ඒවාය. ඒත් අලුත් කෙටිකතා හතක් ම තිබෙන නිසා මෙය නවතම කෙටිකතා සංග්‍රහයක් ලෙස සැලකීමේ වරදක් නැත. ඇරත් මෙහි එන ආලෝක යක්ෂයා, සිරිනාල් කට්ටඩියා, රේවත් ආදී චරිත කෙටිකතා දහය පුරාම සිටිනා නිසා, මෙය අතකින් නවකතාවක යම් ස්වරූප රැගත් කෙටිකතා සංග්‍රහයකි. මගේ සීමිත කියවීම් වලට මේ ගණයේ කෙටිකතා සංග්‍රහයක් ලෙස හමු වූයේ නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී, ඇලිස් මන්‍රෝ ගේ Beggar Maid: Stories of Flo and Rose(1) නම් වූ කෘතියයි. එහි එන කෙටිකතා දහයේම අපට ෆ්ලො සහ රෝස් නම් චරිත දෙක ආශ්‍රිත ව, ඔවුන්ගේ ජීවිත වල විවිධ අවදි ඔස්සේ කෙටිකතා දහය නිර්මාණ වී ඇත.

"උත්පත්ති කතාව" නම් පළමු කෙටිකතාවේ අපට අලෝක් නම් යකාව සිරිනාල් කට්ටඩියා බැඳගැනීමත්, ඒ ඔස්සේ යමෙකු යම් ක්‍රමයකට නතු වූවාට පසු ඉන් ගැලවීමේ ක්‍රමයක් නැති තරම් බවත් ඒත්තු ගන්වයි. අප ද රටක් ලෙස 1977 දී විවෘත ආර්ථිකය නම් වූ "යකෙකු" බැඳ ගත්තේ එවන් අර්ථක්‍රමයක් නඩත්තු කිරීමේ හරිහමන් විදිහක් ගැන සිතන්නට පෙරය. ඒහෙත් ටික කලකින් ම, එක්තරා ජීවන රටාවකට හුරු වූ විට, එහි නඩත්තුවේ වගකීම හෝ වගවීම පාලකයන්ගේ වගකීමක් ලෙස ලඝු කර සැලකීමත්, අප රටක් ලෙස මේ පසු කරන අවදියට ඒමට ප්‍රධාන හේතුවකි. අපේ රටේ පාලක පැලැන්තිය මහජනතාවට නොදෙවෙනි නිසා, ආඬි හත්දෙනාගේ කැඳ හැලියක් බවට පත් ව ඇත. මෙහි දී ද ආලෝක් ට රේවතී ගේ නාරි ලතාව හෝ, හෝ අගුවා ගේ රහමෙර ට පුරුදු වූ පසු, ආපහු යක්ෂ විමානෙට යාම දෙවෙනි වැදගම්මක් බවට පත් ව, පසුව මගැරී ම යයි.

ගැමියන්ට මධ්‍යස්ථව, සාධාරණව, පමණක් නොව, විවෘත මනසකින් හෙබි දෙවියෙකු වැඩක් නැත. එවන් දෙවියෙකු ප්‍රතික්ෂේප කර තමන්ගේ දැඩි මතයන්ට හි එල්බ සිටීමට පහසු ආකාරයේ දෙවියෙකු සොයා යාම අප රට ජන විඥ්ඥාණයේ ස්වරූපයක් බව පෙන්වන අපූරු නිර්මාණයකි, "දෙයියන්ගේ හාල්".

තෙවෙනි කෙටිකතාව වෙද්දි, ආලොක් සහ රේවති අඹු සැමියන්‍ ය. රේවතී දොළක් පියවීමට යත්න දැරීමේදී ආලෝක් ට වෙනදා මෙන් නිධන ගොඩගන්නා අවස්ථාවේදි කරන්නා වූ වික්‍රමයන් කරන්නට හැකි නොවන්නේ, වෙනදාට නැති වරදකාරී හැඟීමක් ඔහුට ආත්මය හා පරබඳින හෙයිනි. ඉන් කට්ටඩියා ට උපරිම මිලක් ගෙවීමට සිදුවේ. වෙනදාට තමා තුල වරදක් නැති බව ආලෝක් ට විශ්වාස වුවද, අත්නොහරින හෙවනැල්ලක්  (ඡායාව අනපායිනි) ලෙස එන්නේ මෙවර එම විශ්වාසය තමන් තුල නැති වීමය.

මෙම සංග්‍රහයේ අග බාගයේදී මේ ගම් ප්‍රදේශයේ යම් ප්‍රධාන භූමිකාවක් දරන්නෙකු වන විරුමාල් කට්ටඩි උන්නැහේ අපට හඳුනාගත හැකි වන්නේ, "පිශාච උවදුර" නම් වූ සිව්වෙනි කෙටිකතාවේදීය. තම පැවැත්ම උදෙසා නැති ප්‍රශ්ණයක් හෝ හඳුන්වා දී ප්‍රමුඛත්වයට ඒමේ හැකියාවත්, ඊට උල්පන්දන් දීමේ උපදේශ දෙන්නන් සිටීමත්, එවන් අයම පාලක පැලැන්තියට යොමු වීමේ ආනතියත් සැලකිය යුතු ලක්ෂණ ලෙස හඳුනාගත හැක.

ආලෝක් ට තම යක්ෂ වාසස්තානයත්, මනුස්ස වාසස්තායත් අතර දෝළණය වන අතර ම, තමන් තනා ගත් පවුලින් ඔහුව ක්‍රමිකව ප්‍රතික්ෂේප වීමට ඉඩ සැලසෙන ආකාරය "දෙමෝදර දෙඉවුරෙහි" කෙටිකතාවේ පෙන්නුම් කරයි.

මෙතැනින් පසුව අපට හමුවන තවත් ප්‍රධාන චරිතයක් වන අභී අපට හමුවන්නේ, "හෙනහුරා සහ වල්ග තරුව" නම් වූ ඇගේ ග්‍රහචාරයත්, විවාහයත්, ඊට හේතුපාදක වූ ඇගේ සුවිශේෂ චරිත ලක්ෂණත් දිගැරෙන කෙටිකතාවෙනි.

මේ වන මෙහි එන ප්‍රධාන කතුන් දෙදෙනා ගේ විවාහයන් දෙදරා ගොසිනි. ඔවුන්ගේ මුල් සැමියන් එම නිවෙස් අතැර සිටින අවස්තාවක, වෙනස් පසුබිම් දෙකක් ඔස්සේ අන් පුරුෂයන් දෙදෙනෙකු ඔවුනට ලංවේ. "ඉවර නූනූ කතා දෙකක්" ලෙස පමණක් එම ආල නුරා කතා එහිදී අවසන් වේ.

දැන් අපට වෘක්ෂ දේවතාවන් දෙදෙනෙකි. අයෙකු දෙවියෙකි. අනෙකා "දේවාතිදේව" ය. ඒ අතර රේවතිටත් අභීට ත් ට වඩා ඔවුනොවුන් ගේ අදහස් වලට, හා හැසිරීම් වලට ගැලපෙන දෙදෙනෙකු හමු වන අයුරු අපට තුලින් හමුවේ. එම පුරුෂයන් දෙදෙනාම මනුස්ස ස්වරූපයට සංක්‍රාන්ති වූවන් වීම අපූරු අහඹුවකි. එය අහඹුවක් ම ද?

අපට මේ ගම්මැද්දේ ඊළඟට හමුවන චරිතය, පන්සලේ ලොකු හාමුදුවන් ය. උන්වහන්සේ අපට හමු වී ඇති, බණ දහම් දෙසීමේ සීමිත හැකියාවක් ඇති, ගැමියන්ගේ යම් නොපහන් හැඟීම් ද මධ්‍යයේ උන් වහන්සේ සැමට මෛත්‍රිය වඩමින් වැඩ වසන්නේය.

"ගම්මු නං කිව්වේ ලොකු හාමුදුරුවන්ට පුළුවන් මහ සද්දෙන් තුන් සරණෙ කියල පන්සිල් දෙන්න විතරයි කියල. ඒක ටිකක් අතිනුත් දාල කියපු කතාවක් උනත්, ඒකෙ පොඩි ඇත්තක් තිබුණ. බණකට වැඩියත්, කවදාවත් එක මාතෘකාවක් එල්ල කරගෙන බණක් කියන්න උන්වහන්සේට බැරි උනා."
මෙසේ ඉඳිද්දීය උන් වහන්සේට පරණ පිණක් ඉසේ කඩා ගෙන වැටෙනුයේ - එය "සුභ හා යසලාලකතිස්ස" එකෙකි. නමුත් එය පිණක් ම ද ?

අවසන් කෙටිකතාව වද්දී, ගමට "ඇත්තටම හරි ගියාද" යන්න සැකසහිත විදිහට කරුණු දිගැරෙන්නේ, ගම්මු ලංකරන් ඉන්න දෙවියන් ද, කට්ටඬියන් ද ලංකාවේ දිග පළල පුරා පතිර පවතිනා ආකාරයට නොවෙනස බව පෙන්වෙන නිසාය. "ඡ්න්ද රසය" කෙටි කතාවෙන්, එහි පිළිකුල් රසය ඇවැසි ලෙස අපට ගෙනදේ.

කෙටි පසුවදනක් මගින්, කතුතුමා අපට ඉඟි කරන්නේ මෙහි එන චරිත වලට යම් සත්‍ය ලොව පසුබිමක් කොහේ පවතින බවකි. එය කුතුහලය දනවන්නක් වුවත්, එය පිණවාගන්න මගක් නැති බව පැහැදිලිය.

කෙටිකතා චක්‍ර ගැන දීර්ඝ විස්තරයකින් මෙම කෘතිය හමාරවන්නේ, ඒ පිළිබඳ ශාස්ත්‍රීය ගවේෂණ කල කිහිපදෙනෙකුගේ අදහස් පෙන්වා දීම ඔස්සේය. කෙටිකතා චක්‍ර ගැන නිදසුන් කිහිපයක් මෙහි ඇතුලත් ය. පෙර ගී ඇලිස් මුන්‍රොගේ කෙටිකතා සංග්‍රහය මෙන්ම,  හෙමිංවේ, ජුම්පා ලාහිරි, සයිමන් නවගත්තේගම, සහ ජොයිස් ද ඊට ඇතුලත් ය. රස පොළොව ට පසුව ප්‍රකාශ වූ සුනිල් වික්‍රමසිංහගේ සංසාර කමටහන් ද එම නිදසුන් ලයිස්තුව දිගු කරයි. මා නොකියවූ කෙටිකතා පොත් කිහිපයක් ගැන ද සටහන් ව ඇති හෙයින් ඒ ගැන පසු දාක විමසිලිමත් වීමට ඉටා ගත්තෙමි ( වෙසෙසින් ජෝන් අප්ඩයික් ).

නොවලහා කිවිය යුත්තකි. මෙය 2020 වසරේ ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් අතර ඉදිරියෙන් ම සිටින්නක් බවය. මා මහත් ලෙස රස විඳි, මෙතෙක් කතුවරයා ගේ මා කියවූ සාර්ථකම කෙටි කතා සංග්‍රහය මෙය බව පැහැදිලිව කිව හැක.

ශ්‍රේණිය: ****1/2
ශාණරය: කෙටිකතා (චක්‍ර)
ප්‍රකාශක: සරසවි (2020)
2020 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 5



1 https://me-and-err.blogspot.com/2019/01/the-beggar-maid-stories-of-flo-and-rose.html

 

2 comments:

  1. මමත් බොහෝ රස විඳි කෘතියක්... ඒ කෘතියට අවධානය ලැබුණා මදි තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම.... කතුවරයා මීට කලින් ප්‍රකාශ වූ සංග්‍රහයන් වෙත යම් අවදානයක් යොමු වුවද, මෙම කෘතිය ට සාපේක්ෂව අඩු අවදානයක් යොමු වුනේ... සම්මාන නිර්දේශ උනත් මට මතක හැටියට අවමයි....

      Delete