Saturday 4 March 2023

කොළඹ දැනුම - එරික් ඉලයප්ආරච්චි

 කොළඹ දැනුම වනා හි කතුවරයා ගේ දසවෙනි කෙටිකතා සංග්‍රහයයි. මෙම සංග්‍රහය වන තෙක් ඔහු ලියූ සියළු කෙටිකතා සංග්‍රහයන් කියවූවෙකු ලෙස, මට හැඟෙන්නේ  වසර තිහකට ආසන්න කාලය තුල කතුවරයා සමාජ ප්‍රගමණය ගැන සංවේදී වීමත් සමඟ, ඔහු ගේ පෙර අත්දැකීම් දෙස ( නිදසුනක් ලෙස පුත්තලම් ප්‍රදේශයේ වගකීම් සහගත රාජ්‍ය නිලධාරියෙකු ලෙස ), ඔහු ඒ අලුත් වන දැනුමෙන් නැවත පිරීක්සා බලා, සංවේදී තැන් මතුකරනා නිර්මාණකරණයේ යෙදෙනා බවකි. මෙය ඔහු ගේ ප්‍රේත නවකතාවේ මා හොඳින්ම නිරීක්ෂණය කලේය.  අනෙක් පසින් නූතනත්වය ගෙනෙන අලුත් තත්වයන් ( ලිංගිකත්වය වේවා, කාන්තාවන් සාම්ප්‍රදායික ජීවිත වලින් වෙනස් මගක් ගැනීම - බලන්න මෙහි එන "කොස්වාලිහිණි" කෙටිකතාව) කෙරෙහි සංවේදි වන ඔහු එම තත්වයන් තම නිර්මාණ වලට ගෙන එන්නේ ස්වභාවික ලෙසය; ඉවසිලිවන්ත බවකිනි. මේ ස්වභාවයන් ඔහුගේ සමස්ත නිර්මාණ හරහා දැකිය හැක. එහි දිගුවක් ලෙස ය, මා කොළඹ දැනුම කෙටිකතා සංග්‍රහය දකිනුයේ. එහි එන නිර්මාණ සාරාංශ කරතොත්:


මෙහි එන ප්‍රථම කෙටිකතාව වන්නේ "ඊසප්පුගේ වික්‍රමයයි". එය ඇත්තෙන්ම මා කියවා ඇති අපූරුම කෙටිකතාවකි. නැවත නැවත ඊට ඒමට සුදුසු තරමේ කෙටි කතාවකි. එහි ඇත්තේ වැඩිහිටි පරම්පරාවේ නරුම ගතියත්, පොඩිවුන් තම සමාගමයට වෙනස් තරාතිරමේ ළමුන් වද්දා ගැනීමට වඩා රුකුල් දීමේ කාරණාවත් ය. එහිදී ද තමන් වෙනුවෙන් යම් කැපකිරීමක් කල ඊසප්පු ඔවුනට වීරයෙක් විය. වචන වලට හරවා නොගත්තත් ළමුන් තුල තමන් වෙනුවෙන් කල දෙයක් වෙනුවෙන් ඇති කෘතඥ්ඥතාව ඇත්තෙන්ම ආකර්ශනීයය. මා පාසැල් වියේ දි, අප පංති වල සිටි ගහ ගැනිම් වලට දක්ෂයා හා බැඳි සිද්ධියක් මට මතකය. අපට එකල තව එක් පංතියක් හා ගැටළුවක් විය. පෙර කී මිත්‍රයා එම පංතියේ ළමුන්ට සිටි ලොකුම තර්ජනයයි. දිනෙක ගැටුමකට අර අදිද්දි පෙර කී පංතියේ ළමුන්, ඔවුන් හා මිතුරු වසරක් වැඩුමල් ළමයෙකු ගෙන්වාගෙන අප මිතුරාට බිම වැටෙන තුරු ගැසුවේය. අප ද, අන් පංතියේ අන් ළමුන් ද ඒ ද්වන්ද ගැටුම අවසන් වන තුරු බලා සිට, අප මිතුරා ට නැගිටීමට උදවු කොට, ඇදුම් පිස දමා, ඔහු වෙනුවෙන් බෑගයද ගෙන පිට ව ගියෝය. අප ට ඔහු අත් වූ පරාජය වැදගත් නොවීය. ඔහු අපි වෙනුවෙන් ගුටි කෑවේය. අප එම සටන ගැන හෝ වදනක් නොකියා, සිත් තුල අප මිතුරා කෙරෙහි ගෞරවයක් ඇති ව, වෙනදා තරම් දොඩමළු නොවී පිට ව ගියෝය. මට ඊසප්පු ගේ වික්‍රමය මෙම සිද්දිය මතකයට නැගීය.

එරික් තම නිර්මාණ තුලින් කෙරෙනෙ දේශපාලන භාවිතාව සියුම් එකකි. සංචාරක ව්‍යාපාරයට ඇති විරෝධය කසිප්පු විකුණු ගෙයකින් මතු වීමත්, සංචාරක කර්මාන්තය හා බැඳි ධනවාදයට ගමේ දිරාපත් වන මාක්ස්වාදීන් ගේ විරෝධයත් පෙන්නුම් කරන්නේ, සංස්කෘතිය ආරාක්ෂා කරලීමේ මුවාවෙන් වේවා, ජාතිකත්ව පදනමෙන් වේවා, ඊට සැඟවුණු හේතුවක් ඇති බවකි. මේ තත්ත්ව මධ්‍යයේ මෙම අදහස් දෙකම පැවතීමේ ක්‍රමයත් අප ඉවසන බවත්, "මුහුදු වෙරළේ ඩමිය" මගින් යම් ප්‍රගතිශීලි අදහස් ඇත්තෙක් වුව, අප රට එම සාම්ප්‍රදායික ඩමි සමඟ විසීමේ ක්‍රමය උගත යුතු බවත් අපට අඟවයි.

දිය මසින් හා ගොඩ මසින් සුපෝෂිත පරිපූර්ණ සූප ශාස්ත්‍රයක් අපට ඉතිහාසයේ තිබූ බවත්, පසුගිය වසර සියයේ පමණ ඇති වූ යම් ආගමික සදාචාරාත්මක පිබිදිමකට යොමු කිරීම මගින්, එම උරුමය යට ගැසී ගිය බවත් අඟවන කෙටිකතාවකි, "රජ බොජුන්". අතුරුදන් වූ සූපකලා පොත, නැවත අරන්තලාව නම් වූ මහා භික්ෂු ඝාතනයක් වූ පෙදෙසකින් හමු වූ බව පැවසීමෙන්, යටපත් ව තිබූ රස විඳීමේ ක්‍රමවේදයක් මතු වීමේ නිදහසක් ගැන ඉඟියක් දෙයි.

"කොළඹ දැනුම" තරමක් වෙනස් නිර්මාණයකි. නීති විරෝධි සංක්‍රමණිකයා ගේ කොළඹ දැනුම වනාහි අනෙකා කියනා දේ නොව ඔහු එසේ කිමට පෙළඹෙන පසුබිම කියවීමේ මගය. එය මහත් අත්දැකීම් මගින් 'තෙම්පරාදු' වීමේ ඵලයකි. එවන්නෙකුට, දියුණු ශිෂ්ඨ සමාජයේ වචන වලට නොරැවටේ. විටෙක ඇටිලියෝ කීවේ ඔහුගේ පැත්තෙන් සත්‍යයක් ද වීමට ඉඩ ඇත. එහෙත් ඒ පෞද්ගලික අනුකම්පාව නීතිය 'නැමිමට' තරමට ශක්තිමත් නැත. කොළඹ දැනුම් සුපෝෂිත සංක්‍රමණිකයා මේ තත්වය වටහා ගෙන ය, ඉතාලියට පැමිණ ඇත්තේ.

ජීවත්වීම යනු, අයෙක් තමා කෙතෙරම් ජීවිතය විඳින්නේද, සහ තමන් වසන පරිසරයේ ජීවතවීමේන් කෙතෙරම් තමන් කැමති ඒ ජීවිතයට පෝෂණයක් ලබන්නේද යන කාරණා මත තීරණය වන්නක් ලෙස අයෙකුට පැවසිය හැක. "උපතක විපත" නම් කෙටි කතාවේ එන තිලකසිරි ද, ඔහු ගේ පුතු ද අයත්වන්නේ තමන් වසන නගරයටය. තමන් ගේ ජනප්‍රියත්වයත්, තමන් ගේ දක්ෂකමුත් එම නගර මධ්‍යයේ ම පාන ඒවාය. ඒවා ලැබෙන්නේද ටවුමේ අපිළිවෙල ජීවිතය, කුණු කසල මත්තෙන්මය. කතාවකට වඩා තවත් ජීවන ක්‍රමයක් වෙත නෙත යොමු කිරීමක් වන් මෙම කෙටිකතාවට, ඊට අදාල රිද්මයක් ද, රසයක් ද ඇත.

"සාම්ප්‍රදායික ගැහැනු ජීවිතයකට වඩා කිසිවක් එහි ඇති නිසා නොවේ ද තමා විපුල්ගේ සහකාරිය වැනි උගත් එකියකගේ අවධානයට පාත්‍ර වන්නට නියමිතව ඇත්තේ ? තමා වැන්නියන්ගේ ජීවිතය මුල් කර ගනිමින් චිත්‍රපට, නාට්‍ය ආදිය සෑදෙන්නේ ඒ අගය නිසා බව ඇයට සිතිණි.... ඇයට හැඟුණේ තමාගේ අතීතයට හා වර්තමානයට සමාව දෙන සමාජයක් බිහි වී තිබෙන බවකි. එය බොරු සදාචාරවාදීන්ගේ වංචනික දෙබිඩ්ඩන්ගේ මානාධික පුහු ආකල්ප සුනු විසුනු කර දමන තරුණ බුද්ධිමතුන්ගේ සමාජයකි." (129 පිටුව)
ඉහත උපුඨනය රැගත් "කොස්වාලිහිණි" මා මෙහි වඩාත් රසවිඳි නිර්මාණයකි. අප රට තවමත් "දියුණු වෙමින් පවතින රටක්" වුවත්,  අප විඳින්න කැමති ආර්ථික සමාජීය ජීවිතයට ඔබින නිෂ්පාදන ආර්ථිකයක් ගැන එතරම් උවමනාවක් රටක් වශයෙන් ම නොපෙන්වුවද, පෞද්ගලික ජීවිතය විඳීමේ දී, අනෙකා ගේ විනිශ්චය ගැන වදවීම දිනෙන් දින අඩුවීම හොඳ ප්‍රවණතාවකි. තරුණ දරුවන් වඩාත් තමනට උවමනා විදිහට ජීවත් වීමත්, ආච්චි-සීයා ගේ අදහස් ප්‍රතික්ෂේපයට කිසිදු පැකිලීමක් නොපෙන්වීමත්, මෙතෙක් කලක් පැවිදි පැලැන්තියට තිබුණු සැලකීම දිනෙන් දින අඩුවීමත් මේ පූර්ණ සමීකරණයේ ම කොටසකි ( පැවිද්දන්ද තමන්ට හැකි අයුරින් තම ආගමික සංස්ථාවේ තහංචි බිදීම දිනෙන් දින වැඩි වීම මෙහි ම කොටසක් ද ?). අප කතුවරයා මෙම කෙටිකතාව තුලින්, සාම්‍ප්‍රදායික ස්ත්‍රී ජීවිතයකින් වෙනස් ව, තමන් විවෘත මං ඔස්සේ තම ජීවිතය හැඩගස්වා ගන්නා තරුණ කතක් අනුසාරයෙන් සමාජයේ මේ සිදුවන සීග්‍ර වෙනස්වීමට මෘදු, ඉවසිලිවන්ත නෙතක් යොමු කරයි. 

කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජනයත් ඔවුන් විසින් පළවා හැරීමත් හේතුකොට ගෙන මන්නාරමේ සිට කල්පිටියට පැමිණි මුස්ලිම් ජනතාවගේ අවතැන් ජීවිත ත්, එවන් වටපිටාවක බහු ජාතික සමාජයකින් සපිරි කල්පිටියේ ඇති වන සමාජ අසහනයත් අලලා ලියැවුණු කෙටි කතාවකි, "අවතැන් ප්‍රේමය". කල්පිටියේ වොලිබෝල් සංගමයක් මුල් කොට ගත් යම් සංහිඳියාවක් ගොඩනැගීමේ අභිලාෂයත්, ඊට ඉඩ නොදෙන කොටසුත්, එකිනෙකාගේ සැකය හේතුවෙන් මෙතෙක් සමාජයේ පිළිගැන්මක් ඇතිවන ආකාරයේ හැසිරුණු කොට්ඨාශයන් ද වෛරීසහගත හැසිරීමක් කරා යොමු වීමත්, කතුවරයා පෙන්වා දෙන්නේ, සමාජය රෝගී වීමට එතරම් ප්‍රයත්නයක් අනවශ්‍ය බව පෙන්වමිනි.

ජන්ම දක්ෂතාව, සහ තමන් සතු සීමිත දක්ෂතාවන් තුලින් ආර්ථික ප්‍රගතියක් ලබාගැනීමත් යනු දෙකක් බව, විශ්වවිද්‍යාල කාලයේ සිට දන්නා සිසුන් දෙදෙනුකගේ දියුණුවේ වෙනස්කම් තුලින් විදහාදක්වන්නකි "සුළු කවියා සහ මහ කවියා" කෙටිකතාව. චිත්‍රශිල්පියෙක් ලෙස සමාජයේ හිනි පෙත්තට, පිළිගැන්මට ලක්වූ කෙනා, කොළඹ හතේ සමාජයේ පිළිගත් පුරුකක් බවට පරිනාමය වී එහි සියළු සැප සම්පත් විඳමින්, යම් බොහිමියානු චරිත ලක්ෂණ ද ආරෝපනයෙන් ජීවිත වෙද්දී,  ජන්ම දක්ෂතා සතු කෙනා සරල සාමාන්‍ය ජීවිතයකින් ඔබ්බට නොපතන චාම් දිවිපෙවෙතක් ගෙවන පහල මධ්‍යම පාංතිකයෙකු ලෙස මැදි වියට ලං වී ඇත්තෙකි.

සමහර ජන කොට්ඨාශ වලට ලොව සමස්ත වෙනස්කම් සමඟ වෙනස් වීමේ අභියෝග පවති. ඒ ඔවුන් අනෙක් සමාජ වලින් කොන් වී සිටීමත්, ඔවුන්ගේ ම සුවිශේෂි ජනජීවිතයත් හේතුවෙනි. මෙහි එන "අහිංගුණ්ඨිකයාට බූරුවෙක්" කෙටිකතාව වෙනස් වන ලෝකයේ ඔවුන් මුහුණ දෙන අභියෝගත්, තරුණ පරම්පරාව ඒ අලුත් ලොවට එකතු වීමට සිහින දකිද්දී, පැරණි පරම්පරාව තම නැති වූ ඔවුනට ආවේණික ජනජීවිතය ගැන දුක්වීමත් යන කාරණා ගැන අවධානය යොමු කරන, මෙහි එන මා වඩාත් සිත් ගත් කෙටිකතාවකි.

එරික් ගේ කෙටිකතා සමහරක්වා, ආරම්භක ස්ථානයත් අවසනත් අතර සලකිය යුතු දිශානති වෙනසක් පෙන්වන ඒවාය. මෙහි එන දීර්ඝතම කෙටිකතාව වන "දිවයින් තුනක්" ද එවැන්නකි. සුගතදාස ආචාර්‍ය උපාධිය සඳහා ජපානයට යාමේදී, යම් නිදහසක් ඒ වාසයේදී පැතු බවට සිතිය හැක. එහි ගිය පසු ශාස්ත්‍රයට අමතරව ආර්ථික වාසියක් ලබාගැනීමේ මං ද ඔහු තේරුම් කරගනී. එහෙත් කෙටිකතාවේ තෙවෙනි කෙටි කොටස වන විට ඇන්ටන් චෙකොෆ් ගේ සාකලීන් ගමනේ ගමන් විස්තර රැගත් පොතේ කොටස් වලට යොමු වන්නේ, සුගතදාස ගේ ගමන් සගයින් දෙපළගේ වියළි අලිංගික ස්වරූපයත්, දූපතේ ශීතාධික දේශගුණයත් එකම තලයකට ගෙන එමිනි. 

සාහිත්‍යයට ලැදි ලිපිකරුවෙක් කථිකයා ලෙස ක්‍රියාකරන "ඈන් ෆ්‍රෑන්ක් කතාවක්" තුලින් හෙළි වන්නේ අප රට එක්තරා ජන කොට්ඨාශයකගේ වෘත්තීයට ඇති වගවීමේ ස්වභාවයයි. මීට පෙර කලක ආනන්ද ගුරුගේ මහතාගේ දේශනයකට සවන් දීමේ අවස්ථාවක් ලත් කල, එහි දී මතු කල යම් ප්‍රශ්ණයකට පිලිතුරු වශයෙන් හෙතෙම ද අප රට ප්‍රධාන ජන කොට්ඨාශයට සාපේක්ෂව මෙම ජන කොටසේ වෘත්තියට ඇති ළැදි බව උපුටා දැක්වුයේය. එරික් ද එවන් කාරණායක් මෙහි මතු කරන්නේ, තමනට ජීවිත තර්ජන පවතින අවස්ථාවක වුව සමහර අයෙක් රාජකාරිය ම දේවකාරිය ලෙසට සලකන අයුරුය.

කෙටිකතා එකොළසකින් සපිරි මෙම කෙටිකතා සංග්‍රහය 2020 වසරේ හොඳම කෙටි කතා සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ, අන් සම්මාන කිහිපයක ද අවසන් වටයට තේරෙන අතරය. එරික් ගේ කෙටිකතාවක් කියවීමෙන්, ඔහුගේ කෙටිකතාව ට පුරුදු අයෙක් ලබා ගන්නා සුපුරුදු රසාස්වාදය මෙහිදී ද ලබන බව පැහැදිලිය. ඔහු බොහෝ කලා කෂේත්‍රයන් හි රසකාමියෙකු බවත්, තම මනසින් ඔහු ඇසුරු කරන කලා කෘති තුල ගමන් ගන්නෙකු බවත් පැහැදිලිය. එනිසාම ය ඔහුගේ නිර්මාණ තුල ලෝකප්‍රකට චිත්‍රයක්, නැතහොත් ඓතිහාසික කෘතියක ආභාෂයක් අපට හමු වන්නේ. තැනෙක අපට ලෝප්‍රකට නම් ඇඳබාන්නක් (name dropping) දුටුවහොත්, එය එම ආභාෂයේ ම කොටසක් ලෙස ඉවසීමට සුපුරුදු එරික් පාඨකයා ට හැකිය. එහෙත්,  මට හැඟෙන්නේ මෙතෙක් එරික් පාඨකයකු නොවන්නෙකුට දැන් දැන් ඔහු ලියනා දෑ සමඟ පළමු වරට කියවීම, යම් අභියෝගයක් ගෙන දෙන තත්වයක් ලෙසටය.  එරික් තම විශ්‍රාම වියෙදී ද දැනුමින් තව තවත් ඉදිරියට යමින් තම නිර්මාණ තව තව විචිත්‍රවත් කරගනිමින් සිටියි.  අලුතින් එරික් ගේ කෙටිකතා වෙත යොමු වන කියවන්නියක්, ඔහුගේ මුල් කාලීන කෙටි කතා කියවා මෑත කාලයේ කෘති වෙත යොමු වීමෙන් ඔහුගේ සාහිත්‍යමය ව්‍යායාමව කෙරෙහි නිසි ඇගයීමකට හේතු වන බවකි, මගේ වැටහීම.

ශ්‍රේණිය: ****
ගොඩගේ (2020) - කෙටිකතා
2020 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 4

No comments:

Post a Comment