Sunday 11 December 2022

Yuki Guni ( යුකි ගුනි) / Snow County / හිමබිම - Yasunari Kawabata ( යසුනරි කවබතා )

(පොත මෙතෙක් නොකියවූවන්, මෙම සටහන කියවීම අධෛර්යමත් කරමි)


මේ කෘතිය කියවීමට යොමු වූයේ, කවබතා නොබෙල් සාහිත්‍යය දිනීමට වඩාත්ම හේතු වූ කෘතිය ලෙස මෙය දක්වා තිබීමයි. මා සතුව එඩ්වර්ඩ් සයිඩ'න්ශ්ටිකර් ( Edward G. Sidensticker) පරිවර්තනය මෙන්ම, ජයන්ත විමලසේනයන් වසර විස්සක පරීශ්‍රමයක් දරමින්, ඒ අතර ජපන් බස ද හදාරමින් කල පරිවර්තනය ද විය. මා කියවීමට තෝරා ගත්තේ ඉංග්‍රීසි පරිවර්තනය.

ඉංග්‍රිසී පරිවර්තනය ගැන: මට හැගුනේ ඉංග්‍රීසි පරිවර්තනයේ මෙම කෘතිය ඔසවාගෙන යාමට අවශ්‍ය නිවුණු රසය, සියුම් බව උපරිමයෙන් නොතිබුණු බවකි. මෙය වේගයෙන් කියවාගෙන යා හැකි කෘතියක් නොවේ. එසේ කියවාගෙන යාමෙන් මෙහි රස උද්දීපනය නොවේ - එය පැහැදිලි කාරණාවකි. මට හැඟුණේ, මෙම සෙමින් කියවීමේ ක්‍රමයට මෙම පරිවර්තනය උපරිම සේවයක් නොකල බවකි - මෙය මට සාපේක්ෂ කාරණාවක් විය හැකි බව සැබවි. එහෙත් මම ඉං‍ග්‍රීසි පරිවර්තනය ම මුල සිට අගට කියවීමි.

සිංහල පරිවර්තනය ගැන: මීට අමතරව විමලසේන පරිවර්තනය ද තැනින් තැන බලුවෙමි. එය පොතේ සිදුවීම් සියුම් වේගයට වඩා ඔබින ස්වරයකින් ලියැවී ඇතැයි දැනිනි. විමලසේන සමහර තැන්වල ජපන් වචන ම භාවිත කොට ඇත, එය නවකතාවේ වටපිටාව රඳවා තබා ගැනීමට වඩා යෝග්‍ය යැයි සිතමි.  මත්සු - මොමිජි - බොතං, ඊට නිදසුනකි. බොහෝ විට ඊට අදාළ ඉංග්‍රිසි වදන් නොතිබීම ( Pine - Maple - Peony), ඊට හේතුව විය හැක. එනුමුදු, මෙම පරිවර්තන අතර ද සමහර තැන් වල සැලකිය යුතු වෙනස්කම් දිටිමි. සමහර විටෙක ඒවා පරස්පර ද වේ. මින් වඩා නිරවද්‍ය කිමදැයි දැන් ගැනීමට ක්‍රමයක් නොවේ. 

පහත කොටස සලකන්න:


මේ එකම කොටසේ ඇති වෙනස්කම් බොහෝ අයෙකුට පැහැදිලි වනු ඇතැයි සිතමි. 

එලෙසම ඉංග්‍රීසි පරිවර්තනයේ සීමාවන් ගැන ද අන් තැනෙක සාහිත්‍ය පිළිබඳවත්, ජපන් සංස්කෘතියේ ඒ ඒ වදන් භාවිතාවෙන් වෙන වෙනස් අර්ථදැක්වීම් ගැනත්, සාකච්ඡා වී ඇත. ( මෙම යොමුවේ එන වැඩි විස්තර ඊට නිදසුනකි: https://prezi.com/k4mdkx97t9ae/snow-country-translation ). එනම් girl හෝ ගැහැණු ළමයා යන වදන් වලින් අඟවන අර්ථයත්, woman හෝ ගැහැණියක් යන අර්ථයෙන් අඟවන අර්ථයත් අතර සැලකිය යුතු වෙනසක්කුත්, ඉන් කොමොකෝ ට අපහාසයකුත්, ඈ මෙතෙක් තමන් එතරම් තැකීමකට නොතරම් කඳුකර ගේෂාවකගේ තත්වයෙන් එහාට ගොස් ශිමමූරා ට දිනා ගැනීමට නොහැකි වූ බවත් ගම්‍ය වේ.

සයිඩ'න්ශ්ටිකර් ට සාධරණයක් වනු පිනිස, ඔහු ලියා ඇති පෙරවදනේ මෙම නවකතාවේ මේ උච්ඡස්ථානය ගැන හේ මෙසේ ලියා ඇත.
"'You're a good girl," Shimamura says affectionately in the climatic scene of the novel. But when, a moment later, he unconsciously shifts to "You're a good woman," she sees that she has been used. She too knows that he must leave. It would be hard to think of another novel in which so slight a shift in tone reveals so much." (Original Introduction 1956)

නවකතාව ගැන: මේ පොත ගැන කියූ බොහෝ අයෙක් ශිමමූරා ආදරයට තම සිත විවෘත නොකරන, අලස ධනවතෙකු බව ට පෙන්වා දී ඇත. ඔහු ට කොමෝකෝ ගැන අදහාගත නොහැකි තරමේ ආකර්ශනයක් ඇති වෙතත්, එය ලිංගිකත්වයෙන් එහාට යෑම ඔහු බලහත්කාරයෙන් නවතාගනී. මුලින්ම කොමකෝ දුටු විට පවා ඇය හා කතාවට පමණක් සීමා වී අන් ගේෂාවක් පතන්නේ, ඇය කෙරෙහි ඇති වන විශේෂ හැඟීම ආරක්ෂා කර ගැනීම උදෙසාය. එහෙත් කොමොකෝ ඔහු හා ආලයෙන් බැඳේ.  තෝක්‍යෝ හී අන් විවාහ ජීවිතයක් ඇති, කාර්‍යබහුල නැති ශිමමුරා ඔහුගේ ආරක්ෂක වැට රඳවා ගනී. ඔහුට දිගටම, මුලින් ම කොමොකෝ ත්, පසුව යෝකෝ ත් සංචාරයක දී හමු වී විනෝද වී, හොඳ මතකයන් ගෙන දෙන්නන් ම පමණි. මෙම පසුබිම ජපන් සංස්කෘතිය තුල, එහි ඇවතුම් පැවතුම් අනුසාරයෙන් පැවසීම ය මෙම නවකතාවේ අපූරුව. එය මුල් ජපන් භාෂාවෙන් කවදාවත් නොකියවන අපට එහි පූර්ණ රසාස්වාදය කවදා හෝ ලබාගත නොහැකි වනු ඇත. මේ පරීශ්‍රමය එම පාඩුව වටහාගෙන හෝ, නවකතාව අපගේ සීමිත කියවීම තුල රසවිඳි අකාරය ගැන සටහනක් තබා ගනු පිනිසිය.

ශ්‍රේණිය: ****1/2
ජපන් මුල් නාමය: යුකිගුනි
සිංහල පරිවර්තනය: හිමබිම ( ජයන්ත විමලසේන)
ඉංග්‍රීසි පරිවතනය: Edward G. Seidensticker


No comments:

Post a Comment