Monday 19 December 2022

ආචාරිසීයා දුටු දිදුලන අන්ධකාරය - පියල් කාරියවසම්

 පියල් කාරියවසම් මා දන්නා තරමින්, කෙටි කතා පොත් හතරක්, එක් නවකතාවක්, සහ එක් නාට්‍ය පිටපතක් රචනය කොට ඇත. මින් තෙවැන්න වූත්, සම්මාන ජයග්‍රහණයට සමත් වූත් "ආචාරිසීයා දුටු දිදුලන අන්ධකාරය" පොතේ පිටපතක් ලබා ගැනුමට බොහෝ වෑයමක් දරා, අවසන අධිමිලකට පිටපතක් සොයා ගත හැකි විය. මේ එසේ වෑයැමෙන් ලබා ගත් කෙටිකතා සංග්‍රහය ගැන මට හැඟෙනා අදහස් කිහිපයකි.


මෙහි කෙටිකතා හතකි. එහි එන හයවැන්න, ලේ නෑයින්ගේ පුරාණය, මෙහි එන හොඳම කෙටිකතාව පමණක් නොව, මා කියවා ඇති හොඳම කෙටිකතාවලින් එකක් බව පැවසිය හැක. පහතරට-උඩරට ගොයිගම බේදය, පරම්පරා තුනක් හරහා ඈදි ආ වෛරය, සහ එම අහේතුක පිළුණු අතීතය අයෙක් ව බැඳ තබන පටු තැන ගැන අපූරු හරස් කඩකි මෙම කෙටි කතාව.

"කුණු සල්ලි බදාගෙන, මරණය බලාගෙන ඉන්න අක්කාගේ දෙඩවිල්ල නිසයි මට මෙහෙම උනේ. ගෙදර වත්තේ කොස් ගස් වල වැල ගිලින ලේනුන්ටත් වෛර කරන එයාට කොහෙද ජීවිතයක්. එයා අවතාරයක්. ගමට ඇවිත් මාස කීයද? මේ තරම් පටු විදිහට ජීවිතය දිහා බලන්න මං කුරුවල් උනේ කොහොමද? හුදෙකලාව... සංවාදයක් නැතිකම.."(67 පිටුව)

අන් කෙටිකතා වල ද "පියල් කාරියවසම්" ලකුණ යැයි දැන් දැන් අපට පෙනී යන,
- කොළඹ ඉහළ තලයේ අයගේ පෞද්ගලික ජීවිතවල ඇති සංකීර්ණතා (ලුහුබැඳීම / රතු සපත්තු පැළඳි දැරිය සහ රතු කිකිළියක් සිහිනයෙන් දුටු යව්වනිය),
- අතෘප්තකර ලිංගිකාසාවන් පසු පෑස යාම ( රතු සපත්තු පැළඳි දැරිය සහ රතු කිකිළියක් සිහිනයෙන් දුටු යව්වනිය/ උරගයාගේ හෝරාව ),
- නාගරික  බොරුකාර සහ රඟදැක්වීමක් ඇති ජීවිතයට අකමැත්තන් අවසන අතකරගන්නා ඉරණම ( දිවා අන්ධකාරය)
- අප රට තරුණයන් ඔවුන්ගේ ප්‍රශ්ණ වලට විසඳුම් නැතිවීම හේතුවෙන් ඇති වූ නැගිටීම් ( ආචාරීසීයා දුටු දිදුලන අන්ධකාරය)
- පීඩිත පංතියේ පිරිසගේ අප්‍රතිහර උත්සාහයන්, සහ ඉන් බොහෝ විට අත්වෙන පරාජයන් ( ආචාරීසීයා දුටු දිදුලන අන්ධකාරය / කේ. චන්ද්‍රසිරිගේ එක්තරා ගමනාන්තයක්),
- මොනරාගල, නිල්ගල පෙදෙස් ආශ්‍රිත දුෂ්කර ජනජීවිතය ( ලේ නෑයින්ගේ පුරාණය )
                                                                                         ආදි මැයන් මුල් කරගෙන, ඔහුගේ අපූරු රචනා විලාශයන් භාවිත කොට ලියූ කෙටි කතා හමුවේ. ඊට අමතරව, යථාර්තයේ සීමාවන් ඉක්මවා යන රචනා කිහිපයක් ද අපට හමුවන්නේ, යතාර්තයේ ම ගමන් ගන්නා නිර්මාණ නොසිතූ ලෙසකින්  එම සීමා අතික්‍රමණය  කරනා ආකාරයකටය. (උරගයාගේ හෝරාව/ ආචාරීසීයා දුටු දිදුලන අන්ධකාරය)

සමස්තයක් ලෙස, එදා සහ අද ග්‍රාම්‍ය ජීවිතයේ ඇති පටු බව, දුෂ්කර බව, වරෙක සමාව දීමට ඇති දැඩි අකමැත්ත, කෝන්තර බඳින ආකාරය ආදි නිසරු ලක්ෂණත්, නාගරික ජීවිතයේ හැල්මේ දිවීම, නිර්ධන පංතියේ අයෙකුට තම සීමිත අවශ්‍යතා හෝ පවත්වාගෙන යාමේ ඇති අපහසුතාව, සුඛ විහරණයට ඇති අසීමිත ලොල් බව හා ඉන් තෘප්තිමත් නොවීම, යන ලක්ෂණ වලින් මෙම සංග්‍රහයේ එන කෙටිකතා පෝෂිතය. මෙම සංග්‍රහය "කුරිරු සුරංගනා කතාවක්", සහ "සඳෑ සක්මනක සැහැල්ලුව" තරම්ම අතිසාර්ථක නොවුනත්, සැලකිය මට්ටමේ රස වින්දනයක් ගෙන ආ සංග්‍රහයකි.

ශ්‍රේණිය: *****
ප්‍රකාශනය - ගොඩගේ (2008)


No comments:

Post a Comment