මෙතෙක් කල් කිය වූ කෙටි කතා සංග්‍රහයන් අතර සුවිශේෂී ම සංග්‍රහයකි. මෙය කියවීමට ආසන්න ම හේතුව ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග්‍රහි කෙටිකතා සංග්‍රහය වීම ම නොව; ලියනගේ අමරකීර්ති මෙම පොත ගැන ලියූ විචාරය ඊට වැඩි හේතුවක් වන්නට ඇතැයි සිතමි.
එලෙසම, මතක ඇති කාලෙක, ප්‍රබන්ධ කෘතියකට, තරමක් දීර්ඝ වූත් ( පිටු 4ක්), එ ලෙසම සිත් ගන්නා වූ ත් පිදුමක් කියෙව්වේ නම්, ඒ සුනිල් වික්‍රමසිංහ තම කුළුඳුළ් කෙටි කතා සංග්‍රහයේ නැසී ගිය පුංචිබණ්ඩා මීගස්කුඹුර වියතානන් අරඹයා ලියූ මෙයයි. මේ කොටස සලකන්න - එය ම මෙම පිදුමේ බර ට නිදසුනකි.
පිදුමෙන් නොනවතින ඔහු තම මුල් ම කෙටි කතා සංග්‍රහය ගැන පෙරවදනක් ලියමින් මෙසේ කියයි:
"අපගේ මුල්ම කෙටිකතා සංග්‍රහය වන 'සංසාර කමටහන්' නම් අවකාශය සඳහා ඥානනය වූයේ එම සංසාර-භව චක්‍රයෙහි සිදු විය හැකි සිද්ධි දාමයක එකතුවකි."
හේ මෙසේ කිවද, මෙම කෙටිකතා කියවීමේ දී සංසාර බිය යන සංකල්පය ගැන ම ශංශයක් ඇති මට ද සුළු හෝ බලපෑමක් කිරීමට සමත් වන සේය (
මේ ගැන මගේ සත දෙක පසුව ට තබමි - එය කියවීම නොකියවීම ඔබට බාරය; කිම ද එය මේ පොත ට ඍජුව අදාළ වීමකට වඩා, සංසාරය සහ එහි භයංකාරත්වය ගැන මගේ දෙඩීමකි. බලන්න/ නොබලන්න **) . ඉන් කතුවරයා ගේ රචනා ශෛලියෙහි සමත්කම ම ක්ෂාත් ක්ෂාත් කරයි.
ඔහු තව දුරටත්,
"විශේෂයෙන් සයිමන් නවගත්තේගමගේ ආඛ්‍යාන සම්ප්‍රදාය වෙතට ඔබව කැඳවමින් අන්තර්-පඨිතමය හෝ සමාන්තර කියවීම් ජාලයකට හෝ ඔබව යොමු කරනු ඇත. එයින් අප ආරම්භ කරන්නට උත්සාහ ගන්නේ ඔහුගෙන් ආරම්භ වුණු එම දේශජ සාහිත්‍යයික වංශ කථාව නැවත විමර්ශනශීලි, හෘදය ප්‍රියශීලි සංවාදයකට ගෙන ඒමටය",
යැයි පවසයි.
එම දේශජ සාහිත්‍යාකාරය ට අප ට මනාපය. මෙම කෙටිකතා සංග්‍රහයේ එක් තැනක හෝ සංසාරයේ දඩයක්කාරයකු, සංසාරණ්‍යයේ උරුමක්කාරයකු ගැන හේ පවසයි. පෙරදිග බෞද්ධ ඉගැන්වීමත් සංසාරයෙන් මිදීමේ මග ගැනත්, ඒ ඔස්සේ දේශජ පශ්චාත්-යථාර්ථවාදී රීතියක් ගැනත් කතා කරයි.
ඔහු මේ දේ ගැන කතා කර නොනවති. ඔහු පත අට එකට සිඳ, මේ කෙටිම කෙටි, කෙටි කතා විස්ස තුල ඒවා විසුරවයි. පහත හැඳින්වීම, ඒ ඒ කෙටිකතාව මා තුල ඇති කල කම්පනය ගැන වාක්‍යයක් හෝ දෙකකි. ඉන් අනාගත කියවන්නියකට හානියක් නොවන මුත්, පොත කියවන තෙක් එම වාක්‍යයෙන් කියවෙන්න තේරුම් නොයෑමට ඇති අවකාශ වැඩිය.
1. සංසාර ළපටියා: මෙය උන් වහන්සේ මාර දියණියන් පරදවා, ඇගේ සියළු
බන්දනයන් පරදවා, සත්‍ය වටහා ගැනීමත්, සංසාර චක්‍රයේ වැටහීම් අඩු අයෙකු ගේ
මෙම සංසාරය නම් වංකගිරියේ අවුලකට හසු වීමත් යන කාරණා පෙන්වා දීම යැයි
සිතමි.
2. යන්නෝ එන්නෝ: මෙම කෙටිකතාවේ ආඛ්‍යායනය ඇත්තෙන්ම කරගෙන ගොස් ඇත්තේ
කවුරුන්දෝ යැයි අනාවරණය වන්නේ අවසන් පිටුවේ දී පමණය. එවිට පාඨකයා තුල
කම්පනයක් ඇති වීම වැලැක්විය නොහැක. එවිට කථකයා දවස පුරා එහෙ මෙහේ දිවීම,
නොනිත් අසහනය වඩාත් හේතු සහගත වේ. ප්‍රථම කෙටිකතාවේ පරිදි ම, නැවත කෙටිකතාව
පිරීක්සීමට තුඩු දෙන්නේ, එම අස්වාභාවික කථකයා කවුදැයි අවබෝධ වත් ම ය.
3. සුදු පාට කොඩි: අප ගම් වල ඇති කුල පීඩනය හේතුවෙන් දරුවන් ගේ
සබඳතා වලට ඇති වන අසාධාරණ බාධා, පිළිකාවන් වැනි සුව කිරීමට අපහසු රෝග,
අහේතුක ලෙස ඇති වන පටිඝය සහ වෛරය, ආදි කාරණා කිහිපයක් අලලා ලියැවී ඇති මෙම
කෙටිකතාව අග, මවගේ හැසිරීම වෙනුවෙන් වන්දි ගෙවන්නේ කෙටිකතාවේ කථකයා ට ය.
4. තාත්තා: මෙහි අන්තිම ඇති නිබ්බුත පද පෙළ තමන් ආරක්ෂා කරගත් සංඝ පීතෘ වහන්සේ වෙනුවෙන් ද ? එවිට ළපටි සංසාරයා මෙම අසරණ කොළුවා ද ?
5. 54 වෙනි අට්ඨික සංඥ්ඥාව: මවක පියෙකු නැති වීම, හෝ ඔවුන්ගේ
නොසැලකීම, මෙහි එන බොහෝ කුඩාවුන් ට පොදු ධර්මතාවකි. ඒ අනුව ය එම දරුවන්
ඔවුන ට විඳිය නොහැකි තරමේ දුක් අනුභවයෙන් දිවි කරගැනීමට යත්න දරන්නේ. මෙම
දරුවාට, සිය මහළු විය දක්වාම ආදරයට සිටියේ කිකිළියන් ය. 54 වෙනි කිකිළයගේ
සමාගමේ ඔහු ගේ දිවි නිමා වේ.
6. බෙහෙත් අබ ඇට: සුළු පියෙකු තම භාර්‍යාව විෂයෙහි ඇති බැඳීම,
තමන්ගේ ම දරුවා නොවුවද ඔහුට ජීවිතයක් ගොඩනගා දීමට කල කැපවීම කෙතෙක් වුවත්,
තම බැඳීම නිසා ම කිසිදු නිවීමක් නොලබන වීරේ ගැන කතාවයි මේ.
7. පඨිඝ-කාමරංග: උමතු බලු රෝගය, දෙමව්පියන්ගේ නොසැලකීම, තරහව (
පඨිඝය ) ආදී කාරණා භාවිත කොට කෙරෙන තරමක් සැහැසි ආරේ කෙටිකතාවකි. එහි
එක්තරා අවදියක දී අතීතයට යාම යන කාරණාව ගෝචර කර ගැනීමට අපහසු වුවද තරමක්
වෙනස් කියවීමේ තෘප්තියක් ගෙනා නිර්මණයකි.
8. නිමුන්නා: කාත් කවුරුවත් නැති දරුවෙකුට, ගුරුවරයෙකුගේ තාවකාලික
ඇල්ම බැල්ම නැති වීම, තවතවත් ජීවිතාශාව නැති කරන්නක් විය හැකිය. ඉන්ද්‍රා
නැන්දාගේ පශ්චාත්තාපයෙන් තම දිවියෙන් මිල ගෙව්වන්ට ඇති පළේ කිම ?
9. කෝපි මල් සාක්කිය: කෝපි මල් වල සාක්කිය, කෝප ගත් ගැමියන් බාර
ගන්නේ නැත. තම පුතුගේ වියෝවෙන් සොවින් දිවි ගෙවමින් සිටි රෝහිත ගේ අම්මා ට
ගැමියන්ගෙන් සමාවක් ලැබෙන්නේ නැත.
10. ටීවර්ට ලියමනක්: මෙම කෙටිකතාව මතකයට නැගුවේ නිවෙසක මෙහෙකාරකමකට
එවු දරුවෙකු තම සීයාට ලියූ ලියුමක් මුල් කරගත් ඇන්ටන් චෙකොෆ්ගේ
නිර්මාණයකි. එහෙත් මෙහි එන දරුවාගේ ලියමන වඩා නිර්මාණාත්මකය. තම සැබෑ
දිවිය ඔහුගුරුතුමියට නාට්‍යානුසාරයෙන් පවසයි. මෙහි එන හොඳම නිර්මාණයක් විය
යුතුය.
11. ඉතිපිසෝ ගාථාව දහ පාරක් කියන්න... : රොඩි කුලයේ උපන්
දරුවෙකු තම ජීවිකාව උදෙසා කුකුලන් විශාල සංඛ්‍යාවක් දෛනිකව මැරීමත්, ඔහු
තමන් සමඟ ජීවත් වීම සඳහා ඉතිපිසෝ ගාථාවෙන් සිත සවිමත් කරගැනීමත්, ඔහු ට තම
දිවියේ හොඳ දිශාවකට බලාපොරොත්තු තබාගත නොහැකි ආකාරයත් පෙන්නුම් කෙරෙනා
කෙටිකතාවකි. කුකුළන් මැරීමේ කර්තව්‍ය කුඩාවෙකු කෙසේ කරන්නේ ද, ඊට ඔහුගේ සිත
කෙසේ දැඩි කරගන්නේ ද යන්න ගැන කතුවරයා නොකියයි. වාක්‍යයකින් දෙකකකින්
කෙරෙන විස්තරයකින් ම එය පාඨක මනසට කම්පනයක් ඇතිකරලමින් ඇතුලත් වේ.
12. මැදි සංසාරය: බෞද්ධ ජාතක කතා වල ආභාෂය, එම කතා ආර භාවිතය මෙම
සංග්‍රහය තුලින් මා පළමුව දුටුවේ මෙම කෙටිකතාව තුලින්ය. කාමයේ ආදිනව, එහි
නොතිත් බව පමණක් නොව කෙටිකතාව අවසන් වන්නේ එහි විකෘතීන් වන ව්‍යාභිචාරය සහ
කෞමාර කාමය ට ඉන් ඉඩ ඇරෙන බව ඉඟි කරමිනි.
13. ගන්ධබබ්බයෝ: කාම ගින්න වයස් බේදයක් නැත. මෙහි එන සමහර කෙටි කතා වල එන මහළු සංසාරයා නීරූපනයක් ද ?
14. ළමයා සහ කැරපොත්තා: විටෙක දෙමාපියන් විසින් දරුවන් ට ඉගෙනීම
විෂයෙහි ලා විශේෂ පීඩනයක් ගෙන එන්නෝය. මෙය එම මාතෘකාව අලලා දරුවකුගේ
විනාශයත්, එම පවුලේ විනාශයත් පෙන්නුම් කරනාකාරයේ නිර්මාණයකි.
15. අලගු අක්කා: කඳුකර පෙදෙසක යැයි සිතිය හැකි, තම සුළු පියාගේ
අඩත්තේට්ටම් හා හිංසනයන් විඳිමින්,මැ දිවි ගෙවූ "අලගු" ( දෙමලින් 'සුන්දර'
යන්නට යෙදෙන වදන ) වැඩිවියට පත් වූ තරුණ දියණියකගේ අවාසනාවන්ත ඉරණමත්, ඇය ට
උදව්වට පැමිනි සිංහල පවුලත්, ඔවුන්ගේ අසාර්ථකත්වයත්, ඔවුන්ගේ කුඩා දරුවාට
අලගු අක්කාගේ ඉරණම ගෙනෙනා කම්පනයත් පෙන්වන කෙටිකතාවකි.
16. සංසාර ගෘහ: ගැබ් ගත් වෛශ්‍යාවක් වේදනා විඳිමින් ම තම යැපුම්
රැකියාවේ නිරත වීම විස්තර වන ආකාරය කියවෙන පිටු දෙකහාමාරක් වත් නොදිවෙන
කෙටි නිර්මාණයකි.
17. එය තවම ගැටළුවකි: ඇනයා, මහසෙන් ද? ඒ කෝච්චි ගානේ පැණි වළලු විකුන්නේ වීරේ ද ? මද සිහිය ඇත්තී සුමනා ද ?
18. සේපාලිකා මලක් කතා කරයි: මෙම කෘතියේ එන බොහෝ කෙටි කතා, ඉතා කෙටි ඒවා ය. මම පොත ගැන යම් අදහසක් ගනු වස්, මෙහි එන ඉතාම කෙටි, එනම් පිටු එකහාමරක්වත් දිග නැති කෙටි කතාවකින් පටන් ගත්තෙමි. පුදුමයකි, මට එම කෙටි කතාව යම් තරමකින් තේරුම් ගත්තෙමියි මට ම විශ්වාස වීමට තෙවතාවක් කියවන්න ට සිදු විය. කොතැනක දී සේපාලික මල, මලක් ද, කොතැන ක ළඳක් ද යන්න තේරුම් ගනීම උගහටය. එහෙත් ඉන් කෙටිකතාව අසාර්ථක හෝ නීරස හෝ නොවේ. අපි මෙහි එන දළ සැලැස්මෙන් සම්පූර්ණ, නැතිනම් අපට අප තේරුම් ගත්තා යැයි සතුටු විය හැකි ආරේ කෙටිකතාවක් ගොඩනගා ගැනීමට උත්සාහ දැරුවෙමු. (
බලන්න *18)
19. සංසාර මහල්ලා: පෙර කියූ මැදි සංසාරයා නම් කෙටි කතාවේ කෞමාර කාමයේ යෙදෙන සංසාර මහල්ලාගේ සිතුවිලි සමුදාය අපට මෙම පිටු දෙකක් තරම් වූ කෙටිකතාව තුලින් දිස්වේ. මෙම සංග්‍රහයේ මෙවන් පිටු දෙකක්වත් නොදිග කෙටිකතා කිහිපයකි. මෙම කෙටිකතාව කියවා හමාර ව පටුන දෙස බැලූ කල පෙනුනේ, මෙම කෙටි කතාව, කෙටිකතා පහක දාමයක එක් කොටසක් බවටය. මීට කලින් නොබෙල් සම්මාන ලාභී ඇලිස් මන්‍රො මෙන්ම අ'ර්නස්ට් හෙමිංවේ ද මෙවන් ආරක් භාවිතාකරනු මීට පෙර හමු ව ඇත.
20. සංසාර කමටහන්: ප්‍රේතයා, කාම යකින්න, සහ මිණිබිරයක් ආශ්‍රයෙන් මෙතෙක් දිගැරුණු කතා ගොන්න සමාප්‍ර්තයට ගෙනෙනාකාරයත්, එය ජාතක කතා ආකාරයෙන් කවුරු කවුරුන්දැයි විස්තර කරමින්ද සමාප්ත වේ.
ඉතින් මෙය සුවිශේෂි කෙටිකතා සංග්‍රහයකි. පළමු කෙටි කතා සංග්‍රහය යැයි සිතද්දි, මෙය ආශ්චර්‍යයක් දෝ යැයි සිතෙන්නට් අද නැමියාවක් නැත්තේ නොවේ. කතුවරයා පෙරවදනේ පවසනා පරිද්දෙන් ඔහු ට සුවිශේෂි බලාපොරොත්තු ඇති බවට පැහැදිලිය. ඔහු තමන් වෙත ආරාධනා කරගන්නා අභියෝගය සුළුපටු නැත. එය සංසාර බිය ඇති කරලීමකට ඔබ්බට යන සාහිත්‍ය ගමනක් වේවා යැයි අපි උදක් ම බලාපොරොත්තු වෙමු.
ලියනගේ අමරකීර්ති මෙම පොත ගැන ප්‍රශංසාමුඛයෙන් කතා කොට අවසන පවසන්නේ ලේඛකයා අනාගතයේ කුමක් කරන්නේ ද යන්න ඉතා වැදගත් යන්නයි.
"ඔහුට
තියෙන ඊ ළඟ අභියෝගය තමයි තමන් දන්න දේ හොඳට කීමේ හැකියාව පාඨක සමාජයකට
තේමාත්මකව අදාළ වන, අප වසන සමාජය සංවාදයකට කැඳවන කතා කීමක් බවට පෙරළන එක" (
උපුටනය - ලියනගේ අමරකීර්ති, අගෝස්තු 14 2021, තම මුහුණුපොතේ දී)
මෙහි
දී අමරකීර්ති පවසන්නේ සුනිල් භාවිත කරන අපට තරමක් හුරු පුරුදු එහෙත් දැන්
දැන් තරමක් පිළිගැනීමේ, නැතහොත් භාරගැනීමේ නැමියාව අඩු අදහසක් ( සංසාර බිය
) වෙනුවට වඩා වර්තමානික, වර්තමාන සමාජය බලකෙරෙන, සහ පිළිගැනෙන අදහස්
ගොන්නකට තම නිර්මාණ කෞශල්‍යය ගෙනයන්නේ කෙසේද යන්න ගැන යැයි මා සිතමි. (
එහෙත් සුනිල් වික්‍රමසිංහ නවගත්තේගම ගත් මග සහ, පෙරදිග බෞද්ධ දර්ශනයේ
පිහිටා දේශජ මායා යථාර්තවාදයක් ගැන විශ්වාස කරයි. ඔහු එම සිහිනයේ පළමු කොටස
මෙම ග්‍රන්ථයේ ඉතා සාර්ථක ලෙස ක්‍රියාවට නංවා ඇත. බටහිර ආරට නම් sophomore
effort, නැතහොත් දෙවෙනි නිර්මාණයේ පීඩනය ඕනෑම නිර්මාණකරුවෙකු ට සුවිශේෂීව
දැනේ. එය වර්තමානික සමාජය ට වඩා අනුකූලව කෙසේ ගොඩනගන්නේ ද යන්න අප ද මහත්
උවමනාවෙන් බලාඉඳිමු. කිම ද සංසාරය ගැන බිය අපට ගෝචර නොවුන ද, මෙම දේශජ ආර
නම් ආකර්ශනීයය - එය වත්මනට තවතවත් අදාළ කරගන්නේ කෙසේද යන්න ඇත්තෙන්ම
උවමනාවෙන් බලාසිටිය යුතු කාරණාවකි.
සහෝදර පාඨකයන් ට කීමට ඇත්තේ නොපමාව මෙම සංග්‍රහය කියවන්න කියාය. ඉන් පසු කතා කරමු!
ශ්‍රේණිය: *****
ප්‍රකාශනය: ගොඩගේ 2021
-------------------------------------------------------------------------------------------------------------------------
** සංසාරය, සංසාරයේ භයංකාරත්වය ට එදිරිව සාංදෘෂ්ඨිකවාදය ගැන නොවියත් මගේ සත දෙක: සංසාරයේ බියංකරකම වනාහි බෞද්ධ සම්ප්‍රදාය කොතෙකුත් මතු කර පෙන්වන
කාරණාවකි. මගේ මුග්ධ භාවයට වේවා මේ කියනා බියංකරබාවය මට ගෝචර නොවේ. සරල
වැටහීමකින් පමණක් සෑහෙන මා සිතන්නේ, ඉන් පසු භවයේ උපදින්නේ මාත් නොවේ නම්,
මම නොවෙත් නොවේ නම්, ඊළඟ භවය ගැන විශේෂ බියක් ඇතිකර ගැනීම හෝ මහන්සි වීමේ ඵලයක් නැත්තක්
ලෙසය. එහෙත් ජීවත් වන ටිකේ සමාජය ගැන සංවේදීව, ඊට අහිතක් නොකර ජීවත් වීමේ
වගකීමක් සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙකුට නොවැටහී තිබීමට හේතුවක් නැත. අවාසනාව වන්නේ අප
වන් රටක මේ කාරණාව එනම් වගකීම සහ වගවීම, සමාජයට ගෝචර වී නැති සෙයකි. අප සමාජයේ ඉහළම
දේශපාලඥ්ඥයා සිට අඩු ආදායම් ලාභීයා දක්වා සම්මත නීති රාමුවෙන් මෙපිට යමක්
කරගැනීමට ඉඩක් ඇත්තේ නම් පසු බට නොවී එය කරගන්නෝය. ඔවුන් ගේ ආගම පුදපූජා මගින් දෙවියන් සමඟ ද "ඩීල්" දමා ගන්නෝය. එම නිසා ය කෙතෙරම් නීති තිබුන ද එම නීති බිඳින්නේ හෝ, එහි හිඩැස් වලින් රිංගන්නේ.
මීට පෙර කලෙක හය හතර පිළිබඳ භය සමාජ සංවරයට
අත්‍යවශ්‍ය සේවාවක් කරන්නට ඇතැයි සිතිය හැක. සියළු ආගම්, ( එනමින් කෙතෙරම් ලේ
හැලී තිබුන ද,) මෙම සමාජ සංවරය සඳහා පමණක් නොව, දැනුම් නිපදවීමට ද
අවිවාදිත සම්මාදමක් ඉතිහාසයේ සිදු කොට ඇත. හරාරි ගේ වර්ගක්‍රමයට අනුව මාක්ස්වාදය සහ
මානවවාදය වැනි "ආගම්" වලින් මෙම දැනුම් පද්ධතීන්ට සුවිශේෂි වටිනාකමක් එකතු
වී ඇති බව පැහැදිලිය. එවන් දැනුම් ලොව ප්‍රචලිත වූ පසුව, සංසාර බියක
ප්‍රයෝජනය මට පෞද්ගලිකව නොවැටහේ. දර්ශනයක් ලෙස නිර්වාණයේ වටිනාකම
දකින්නෙකුට පවා, සාංදෘෂ්ඨිකවාදී ස්ථාවරයක හෝ ජීවිතයේ නිරර්ථක ( Absurdism ) ලෙස
හෝ දකින්නෙකු, සිය දිවි හානි නොකරගෙන සිසිෆස් සතුටින් ම ඒ මහ පාෂාණය
නොනවත්වා ඉහළට ගෙනයන්නේ යම් සේ ද, ජීවිතය අත් නොහළ යුතුය යන ප්‍රතිමුඛ
ස්ථාවරයක සාධාරණත්වය ගැන යම් සැලකීමක් කල හැකි යැයි සිතමි.
*18කීර්ති වැලිසරගේ තම අනගි "කෙටිකතා නිර්මාණවලෝකන" යන පොතෙන් පෙන්වා දෙන පරිද්දෙන්, සංවෘතතා නියමය අනුව සම්පූර්ණ සංජානනය ට ද, අවිච්ඡින්නතා නියමය අඛණ්ඩ සංජානනයට ද, මෙහි දී අප යොමු වන බව පසක් විය.