සත්‍යකාම > තඹරවිල > මහසෙන් > අකාලයාත්‍රා
මේ මා මෙතෙක් කැත්ලීන් ගේ පොත් කිය වූ පිළිවෙලයි. ඇය පොත් ප්‍රකාශ කල පිළිවෙල හා ගැලපුවහොත්, මහසෙන් සහ අකාලයාත්‍රා වන විට, ඈ පළ කරන නවකතාවක් කුකුසකින් තොරව මිල දී ගැනීම ට ඈ මා යොමු කල තිබිණි. සිංහල සාහිත්‍යයේ දාර්ශනිකත්වයේ ලකුණ ඇය විය. ඒ නිසා ම මෙම කෘතිය ද මිල දී ගත්තෙමි.
(+): පළමු කොටසේ ඇගේ සුපුරුදු දක්ෂත පෙන්නුම් කරමින්, අප රට සමාජය පෙළෙන අගතීන්, පෙන්නුම් කරමින් අපූරු විග්‍රහයක යෙදෙන්නීය. එම කොටස කියවාගෙන යද්දි සිතෙන්නෙ, කැත්ලීන්ගේ තවත් අපූර් නිර්මාණයක් බවටයි. ආබාධිත සෙබෙළෙකු, අසබඩ කන්‍යාරාමයක තරුණ කන්‍යා සොයුරියක්, මැදි වියට ආසන්න නිදහස් අදහස් ඇති පූජකයෙකු සහ මැදිවියට පා තබා ඇති මෙහෙණින් වහන්සේ නමක් -
මේ අප ට පළමු කොටසේ හමුවන ප්‍රධාන චරිතයෝය. අප ට මේ සැම දෙනා ගේ පෞද්ගලික කතාන්දර හමු වේ - මෙහෙණින් වහන්සේ ගේ හැර ! ඒ අනුව අප ට අප සමාජයේ උඩු දුවා ඇති ගැටළු ගැන තියුණු ඇසකින් බැලීමට බල කරයි.
වරෙක එය වෛශ්‍යාවක් හා පූජකවරයා අතර පිළිසඳරකි ( ඇගේ නම වෙරොනිකා වීම අහඹුවක් විය නොහැක):
"'එතකොට බඹසර ආරක්ෂා කරගෙන එහෙම මැරිල යන එක ද, සදාචාරෙට හෙණගහලා ගියාදෙං කියල ජීවිතේ ජීවත් කරවන එක ද අඩුවෙම්ම පල දෙන පාපෙ වෙන්නෙ?'
'වෙරෝනිකා, ඕකට උත්තරයක් දෙන්න ඕන දෙවියන් වහන්සේමයි.' පියතුමා කීවේ නොසතුට නොමනාපය හැඟවෙන පරිදි ය." (42 පිටුව)
වරෙක එය අපූරු අන්තර්-සාමයීක පිළිසඳරකි. එහි එම පිළීසඳර පූජක-පූජ්‍ය මට්ටමින් ඔබ්බට යා යුතු යැයි සියුම් ඇඟවීමක් ඇත්තේදයි සිතුනේ, අද වන විට බොහෝ පූජ්‍ය-පූජක කොටස් ද වේගයෙන් වෙනස් වන සමාජයේ එක්තරා මට්ටමක ට ගොදුරු බවට පත්ව ඇතැයි පෙනී යන නිසා ය.
"බොහෝ ගීතිකා අර්ථ ගැන්වී ඇත්තේ මිනිසා දුබල හෙයින් පාපයට පෙළඹීමේ වැඩි නැඹුරුවක් ඇති නිසා ඔහුට නිරන්තරයෙන් ම පිහිට හා රැකවරණය අවශ්‍ය වන බව අවධාරණය වන සේ ය. මේ කතාවේ සියුම් ඇත්තක් නැද්දැයි මෙහෙණිය සිනාසෙමින් ප්‍රශ්න කරන විට ශර්ලි පියතුමා කියන්නේ මිනිසා පෙළන පෞද්ගලික හා සමාජීය වේදනා වැඩිහරියක් මිනිසා විසින් ම, මිනිස් සමාජය විසින් ම නිර්මාණය කරනු ලැබූ ඒවා වන බවය. එහෙයින් ඒ සාවද්‍ය, පාපිෂ්ට සමාජ රටාවට එරෙහි ව මුල් ගල් පහර එල්ල කළ යුත්තේ ද මිනිසා ම යැයි එතුමා විශ්වාස කරයි. එය දේවකාරියක් නොවේ" ( 157 පිටුව )වරෙක ආබාධිත සෙබලා ගේ සිතේ ඇති වෙන ස්වභාවික හැඟීම් ය;
"මේ මිනිසුන්ට මා ගැන මොන අදහසක් ද ඇත්තේ? උදේ වරුවේ කන්අඩි පුපුරවන අත්පොලොසනකින් උත්කර්ෂයට නැඟූ රණවිරුවා සවස් වන විට ඔවුන්ට පොට්ට කාසියකි." (25 පිටුව)
ශාසනය සම්බන්ධා ගැටළු ගැන ද මෙහි ඇඟවෙයි.
"'ගහක අරටුව රකින්න එළය වුවමන තමයි. ඒත් ඒකෙන් නරක බැක්ටීරියාවක් අරටුවට කාන්දු වෙනව නං එළය රැහැල දාන්න මොකක් හරි ක්‍රියාමාර්ගයකුත් ගන්න වෙනවා" යි මෙහෙණිය කීවා ය.
ඒත් ඒ උත්සාහෙ යෙදුණු අයට ම තමයි ඔක්කොම ප්‍රශ්න ඇතිවෙන්නෙ, ඉතිහාසෙ අරං බැලුවත් බෞද්ධ විරෝධි ලේබලය වැදිලා තියෙන්නෙ ඒ අයට' "( 30 පිටුව)
භික්ෂූණි ශාසනය ථෙරවාදි රටවල නොතිබීම ගැන කෙරෙනෙ සාකච්ඡාවද, මා සිත් ගත්තේ, මේ "තුවාලයට බෙහෙතක් නොදෙන" ලක්ෂණය හේතුවෙනි.
"...ථෙරවාදි රටවල පුරුෂයාට පැවදි උපසම්පදාව ලැබිය හැකි මුත් කාන්තාවන්ට පැවිද්ද හා උපසම්පදාව අකැප ය. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ ථෙරවාදි භික්ෂුණී ශාසනය ඓතිහාසික වශයෙන් ආරක්ෂා වී නොත්බීමයි. එක් අතකින් බලන විට මේ කතාවේ පදනම ම දේශපාලනිකයි" (97 පිටුව )
" 'ශ්‍රී ලංකාව තුළ භික්ෂූණි සසුන පිහිටුවීමට නම් උපසපන් භික්ෂූන් වහන්සේ පස්නමක් එකවිටම ස්වභාවික ලිංග විපර්යාසයකට බඳුන් වී, ස්ත්‍රීත්වය ලබා ඒ මගින් භික්ෂූණී බවට පත් වී, භික්ෂුණී සසුන පිහිටුවිය යුතු ය.'
මේ ප්‍රකාශනයේ ගැබ් වුණ උපහාසය ගැන මෙහෙණිය සිතා බැලුවා ය. එහි යටි අදහස වන්නේ එවැනි වූ ආශ්චර්‍යයකින්ම විනා භික්ෂුණි ශාසනය පිහිටුවිය නොහැකි බව ය." (125 පිටුව )
ඉතින් 178 පිට වෙනතුරු, පාඨකයා රඳවා ගැනීමට සමත්, ඇය ගේ සිතීම් කෙනිත්තන අපූරු ආඛ්‍යායනයක් ලෙස මේ නවකතාව ඉදිරියට ඇදි ගියේය. මා සිතුවේ, කැත්ලීන් සාර්ථක තුන්වෙනි වතාවටත් පිටපිට, තමන්ගේ නවාකතාව මගෙ ඇගයීම අනුව වසරෙ හොඳම නවකතා 5 ඇතුලට ගෙන ඒමට සමත් වන්නා සේයකැ යි, කියාය.
(-): එහෙත්, අහො!!! එය වැළැක්වූයේ "කාක්කෙකි" ; නැතහොත් කැත්ලීන් විසින් දෙවෙනි කොටස මෙහෙයවීමේ ප්‍රයෝගයක් ලෙස, කාක සන්දේශයක් ගද්‍ය ස්වරූපයෙන් සිහියට නංවමින්, සදාකාලික ව වෙසෙන සමාජ දේශපාලන විචාරයේ යෙදෙන කාක්කෙකි. අප රට සමාජ දේහයේ රෝගි බව අප සැම දෙනාට ම සක්සුදක් සේ පැහැදිලිය. එය නොදැක්ක සේ සිටින්නෙකු නම් ,එය එම සමාජ රෝගි තත්ත්වය තම තාවකාලික සුඛ විහරණය හමුවේ නොදැක්කා සේ සිටින්නෝය. මේ විවේචනය පිටු 113 පුරා ඇදී යන්නේ පාඨකයා ට නවකතාව තරමක් ආයාසකාරි, ඒකාකාරිත්වයක් එකතු කරමිනි. මගේ වැටහීම නම්, ඉන් නවකතාවට අලුත් යමක් එකතු නොකල බවකි. පහත සඳහන් ආකාරයේ දැඩි සමාජ විචාරයක් තැනෙක, දෙකක, තිබේ,
"මොනතරං ලේසි ද බුදුහාමුදුරුවන්ගේ මැටි පිළිමවලට පූජා පවත්වන එක. මොකෝ? පිළිමෙ ඇහැ ඇරලවත් බලන එකක් යැයි? පොළොව පැලෙන බොරු කිව්වත් පිළිමෙ නිශ්චලව ඉන්නේ හිනා වෙවීම තමයි." (239 පිටුව)නුමුදු වැඩිමනක් කොටස් සැමට පැහැදිලි දේශපාලන විචාර, සහ අනවශ්‍ය දිගු කිරීම් ය. පහත දැක්වෙන්නේ එක් නිදසුනක් පමණකි. මෙවන් කොටස් බොහෝය.
"හරස් වීදිවලට ගාල් වෙන අනේකප්‍රකාර ලොරිවල, බයිසිකල්වල, තැඹිලි කරත්තවල ඝෝසාවට මුසුවෙලා ගලා-ගලා යන්නේ යකඩ කටවල් දෙකක් එකට ම මුදාහරින පිරිත් සජ්ජායනයකුයි දේව කන්නලවුවකුයි, මේ බර-බරේ දෙවියන්ටවත් ඇහෙනවද කියලයි මට හිතුණෙ. ඊයේ ගමන් තෙහෙට්ටුව නිසාම මළා වගේ නින්ද ගිහින් තිබුනට පිටකොටුව කියන්නේ කාක්කෙටුවත් ඇහැ පියවගන්න පුළුවං ඉසව්වකැයි?" ( 236 පිටුව)එම කොටස තුල පළමු කොටසේ නොවිසිඳුනු සමහර තැන් විසඳුන ද, එම ආකෘතික හරඹය මුළු නවකතාවට ම විශාල මිලක් ගෙවයි. සාර්ථක නවකතාවක්, අසාර්ථකත්වයේ දොරටුව ළඟටම කැඳවයි. මට හැඟුන අයුරෙන් නම් ඇය ගේ ආකෘතීක අත්හදා බැලීම අසාර්ථක ය. කෙටි තෙවෙනි කොටසකින්, අනාගත කතාවක් කියවුන ද, එයින් ද ධනාත්මක ලකුණක් නොලැබේ.
නවකතාවේ පළමු කොටස තුල කැත්ලීන් යෙදූ නිර්මාණාත්මක ශ්‍රමය අපතේ ගොස් ඇතැයි සිතී, ඇගේ වෙහෙස ගැන දුකක් ඇති වුනත්, මගේ කාලය කා දැමීම ගැන සියුම් උදහසක් ද ඇති නොවුනා නොවේ. දැන් දැන්, අපි කියවන්න ට ළඟා වෙන්නෙ කියවිය යුතුම පොත්, නැතිනම්, නොකියවා නොසිටිය හැකි පොත්, යන පොත් ගොන්න ට ය. මෙවන් පොතක් කිය වූ විට හැඟී යන්නේ, එවන් තීරණයක් වහා වහා ගැනීමේ වටිනාකමයි.
ඇගයීම: ***
විදර්ශන ප්‍රකාශනයක්
2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 10
No comments:
Post a Comment