ගෙදර'වට සිතියම කතුවරයා ගේ අටවෙනි කෙටිකතා සංග්‍රහයයි; මා කියවූ පස්වැන්නයි. පහත දැක්වෙන්නේ ඒ කෙටි කතා ගැනත්, සමස්ත සංග්‍රය ගැනත් මාගේ රසවිඳීම අනුව මතු වූ ආ පෞද්ගලික අදහස් ය.
තරමක් දුරට අඩහඳයාගේ ලොවට අප ගෙන යාමට සමත්, අසූව දශකයේ වැල්ලව ආශ්‍රිත ගම් පෙදෙසේ අව්‍යාජ ගැමි පරිසරය, එහි චරිත අප ඉදිරියේ මවා පාන්නේ, ගාමිණි නම් ආරෝපිත නම් රැගත් චිත්‍රපටි පිස්සා, කේන්ද්‍ර කොට ගත් ආඛ්‍යායනයක් ලෙසට ය. කලකට පෙර සිනමා හල් වලින් චිත්‍රපටි බලා ලත් වින්දනය, එය රූපවාහිනි තිරයට මාරු වීමේදී අප ට අහිමි වූ වින්දනීය නිදහස් ( කොටු දැමීම ආදිය) අතර අපූරු ගැලපීමකි, මෙම කෙටි කතාවකි මෙය. සැලකිය යුත්තේ, අසූව දශකයේ තම තරුණ විය ගත කල, දැන් හැට විය ඉක්මවා ඇති, නවීන ලොවට පා තැබීමට යම් යම් අපහසුතා ඇති වූ පුද්ගලයන් යන කුලකය වෙත අවධානය යොමු කරලිමට මෙම කෙටි කතාව සමත් විමය. අද ජීවත් වන යොවුනන් ට සහ යොවුන් වියේ අග බාගයේ වෙසෙන්නන් ට, එදා ට නොතිබූ අවස්ථා අද හමු වී තිබිය හැක. Netflix වේවා, DVD/CD වේවා, Spotify වේවා රසාස්වාදය ඊළඟ තලයට ඇවිත් ඇති බව සැබවි. එහෙත් 1970 දශකයේ අග සහ, 1980 දශකයේ මුල, සිනමා හල්, කැසට් පිස් සහ රෙදෙව්ව ආශ්‍රයෙන් තම කලා රසාස්වාදය පෝෂණය කල ගත් පරම්පරාව ට යම් කිසි අසාධාරණයක් සිදු නොවේදෝ යන සැකය අප තුල ඇති වන්නේ, 1983-1990 පමණ වන කාලය තුල අප රට තිබු දේශපාලන වියවුල, අප රට ජනතාවගේ වසර හතක් පමණ සොරා ගත් හෙයිනි. ( සිහින අහසක කතාවක්)
මානුෂික මෙහෙයුම හා සම්බන්ධ වූ හමුදා සොල්දාදුවෙකුත්, ඇගේ බිරිඳත් මුල් කොට ගත් සින්දු කෑලි කෙටිකතාව, 2007 සිට දශකයක පමණ කාලයක අප රටේ සිදු වූ දේශපාලන වෙනස්කම්, රණ විරුවා තැකීමේ සිදු වූ වෙනස්කම ආදිය පසුබිම් කරගත්තද, මූලික වශයෙන් බිරිඳක් සැමියෙකුගෙන් බලාපොරොත්තු වන ආදරය පිළිබඳ කතාන්දරයකි. කෙටිකතාවේ අවසානය තරමක් අපැහැදිලි වුවද, ආදරයක තව දවසක් ගැන සියුම් බලාපොරොත්තුවක් ඉතුරුකරමින් අවසන් වෙයි. කතාන්දරයක් ලෙස පාඨකයා බැඳ තැබීමට සමත් වුවත්, එහි දේශපාලන පසුබිම කෙටිකතාවට හා කොට ඇති අයුරු ගැන එතරම් පැහැදීමක් මා තුල ඇති වූයේ නැත. කතුවරයා අප රට සමස්ත දේශපාලන ප්‍රවණතා තම නිර්මාණ වලට ගැබ් කර ගැනීමට දරණ උත්සාහය තුල යම් cliché, හෙවත් තරමක සුලභ උපක්‍රමයක් භාවිත වන්නේ දෝ යැයි සිතිණි.
මෙහි එන තෙවෙනි කෙටිකතාව (පෙම් කතාවක අතරමැද ) මා සිත් ගත්තේ, 'නිලුකි' තමන් පොදු ප්‍රවණතාවකට විරුද්ධව යන බවට තමන්ට ම ඒත්තු ගන්වමින් ජීවත් වන බවට කරන පාපොච්චාරණය හා ඊට අනුගතව තම ප්‍රේම වෘතාන්තය හැඩ ගැස්වන අයුරු නිසාය. එහෙත් 'නිලුකි' ගේ ලියුමේ තැනෙක දෙකක, කියැවෙන කියුම්, අනවශ්‍ය ලෙස ඍජු වන අයුරෙන් කෙටිකතාවට සියුම් හෝ ලාභයක් වන්නේ ද යන්න නම් සැක සහිතය.
( මේ උදෘතය සලකන්න); කතුවරයා තමන් කර මතට ගෙන ඇති සමාජ ශෝධනයක ප්‍රයත්නයක් හේතුවෙන් දෝ වරින් වර මෙවන් cliché ( ක්ලීෂේ - ඊට සුදුසු සිංහල වචනයක් සොයාගත නොහැකි විය ) කොටස් තම නිර්මාණ වලට ගෙන ඒමෙන්, එහි කලාත්මක අගයට හානියක් ම සිදුවන බවකි, අපගේ අදහස.
විශ්‍රාම වියැති, සිතින් අසිරිමත් අයෙකුගේ මනස් චාරිකාවක් අලලා ලියැවී ඇති "අසිරිමත් මිනිසෙකුගේ වීර චාරිකාව", කෙටිකතාව ද මා රස වින්දේය. එහි මුල් කොටස විශ්වාසනීයත්වය අභියෝගයට ලක්වෙන අයුරෙන් තිබුන ද, කෙටිකතාව සමස්තය තුල එය නැවුම් මෙන්ම සාර්ථක ප්‍රයෝගයක් ලෙස හැඟෙයි.
අප රට දැනෙට "ක්‍රියාත්මක" වන 'බුද්ධාගම' මට බොහෝ විට පිළිකුලක් ගෙන දෙයි. ව්‍යාපාරික මනසකින් ක්‍රියාත්මක වන, ප්‍රසිද්ධියට කැමති චීවරධාරීන් හා, එයට ගැලපෙන අනුගාමිකයින් අප රට සමස්ත ලෙස ගෙන යන තැන කුමක්ද යන්න ගැටළුවක් මෙන්ම, එක් ජාතියක් ලෙස එකමුතු වීමට ඇති ප්‍රධාන බාධාවකි. සමහර අන් ලබ්ධීයික කොටස් වල අන්තවාදී ක්‍රියාවන් වලට මධ්‍යස්ථව නීතීය ක්‍රියාත්මක කරලීමේ දී වුව, යම් සැකයකට පාත්‍ර වීමට අර පෙර කී කොටස් වල කියාපිළිවෙල හේතු වේ. සියළු බෝ ගස්, බෝධීන් වහන්සේ බවට පත් වීමේ ප්‍රවණතාව හේතුවෙන්, මීළඟ ගැටළුව කොතැනක මතු වේ දැයි හිතා ගත නොහැක. ඇත්තෙන්ම මේ වන විට අප රට බොහෝ ගස් ගැන සැලකීම ද දේශපාලන අභිමතයන් මත සිදු වන බව පෙනී යයි. යම් සමාජ දේශපාලන කාරණාවක් මතු වූ විට, ඒ පිළිබඳ ව කවුරුන් ඇත්ත කියන්නේ ද, කවුරුන් බොරු කියන්නේ ද යන්න නොව, කවුරුන් වඩා ලොකු බොරුව කියන්නේ ද යන්න තේරුම් ගැනීම අප රට සාමාන්‍ය වැසියන් මුහුණ දී ඇති ගැටළුවකි. මෙම සංග්‍රහයේ එන කෙටි කතා අතරින් 'ගෙදර'වට සිතියම' මා සිත් ගත්තේ, මෙවන් වටපිටාවකය.
"බොරු කරපු දෙන්නෙක්" කෙටි කතාවේ, ලොකුම බොරුව කර ඇත්තේ ඒ අහිංසක තරුණ වියේ සිටි, කාන්තා රූපයට ආශක්ත වන කොලුවන් දෙදෙනා නොවෙන බව පෙන්වීම අපූරු පෙරළීමක් වුව, කුමක් හෝ හේතුවකින්, 'හනි' (Honey) සඳුනිගේ ම 'හනි' නොවෙන බවට ඉවක් පාඨකයාට ඇති වන්නේ, කියවන්නිය අමරකීර්ති ගේ බොහෝ නිර්මාණ කියවා ඇත්තේ නම් ය.
ශිෂ්ඨත්වය නම් වූ කෘතීම සීමාවක් හේතුවෙන් ලිංගිකත්වය නම් වන ස්වභාවික උවමනාවක සීමාවන්, සහ ජීවිතය වෙනස් වන විට යම් දේ ස්වභාවිකව ම වෙනස් වන අයුරු ද කියවෙන අපූරු කෙටිකතාවකි, 'කිරිකජු'. වෑන් රියේ දී නිලන්ති විසින් රමණී ට දෙන්න ට යැයි කියූ 'කිරි කජු' ලියුම් කවරය මගින් අපූරු පණිවුඩයක් දී තිබිණ. 'ඔය දේ සිදු වේවි' යැයි පාඨකයාට මුල සිට හිතුන ද, එය රමණී ට කියූ අයුරු හා, එම අලුත් ප්‍රායෝගිකත්වයේ වැඩ පිළිවෙල ට සියළු දෙනා 'කැමති' වූ අයුරෙහි යම් අපූරත්වයක් දිටිමි.
"ඇත්තටම වෙලා තියෙන්නෙ කොළඹ ඉඳලා බදුල්ලට යන කෝච්චිය බදුල්ලටම යාම විතරක් නෙමේ, ඒ කෝච්චි පාරෙ පීලි දෙකත් එකිනෙක අතර එකම පරතරයක් පවත්තගෙන බදුල්ලට යාම, කෝච්චිය හින්ද පීලි දෙක යනවා. පීලි දෙක හින්ද කෝච්චිය යනවා. බඹාට කොටන්න තැනක් නෑ. කෝච්චිය බදුල්ලට නොයා කෝච්චි පාරක්වත් නැති පැත්තකට, පේරාදෙණියෙන් හැරිලා කුලියාපිටියට වගේ, ගියා කිව්වොත් ඔන්න බඹා යම් කෙටීමක් කොටලා තියෙනව කියල කියන්න පුළුවන්." (173 පිටුව )
පීල්ලේම යන ජීවිත වලට කලක් ගත වන විට පීල්ලෙන් පිට ජීවත් වන්නෙකු ව මහත් චමත්කාරයකින් පෙනෙන බව මා ද අත්දැකීමෙන් දනිමි. ඒ නිසා ම මා මෙය මහත් රස විඳි කෙටිකතාවකි.('ආගාධය හරහා තුනී දැල')
කෙටි කතා අටෙන්, ආගාධය හරහා තුනී දැල, කිරිකජු, ගෙදර'වට සිතියම, සිහින අහසක කතාවක් යන කෙටිකතා මහත් රස වින්දයක් ගෙන ආවේය. අසිරිමත් මිනිසෙකුගේ වීර චාරිකාව හි ද නැවුම් බවක් තිබිණ. පෙම් කතාවක අතරමැද, ද යම් වින්දනයක් ගෙනාවේ එහි අවසන කතා නායිකාව සිදු වූ සිදු වීම් තුලින් යම් අපූරත්වයක් ගොඩ නැගීමට දැරූ ප්‍රයත්නය නිසා ය. සින්දු කෑලි සහ බොරු කරපු දෙන්නෙක් රස විඳි මුත්, ඒවා හි යම් පෙර කී cliche අවස්ථා සහ කලින් බලාපොරොත්තු විය හැකි ආකාරයේ නැම්මක් තිබීම, එම රස වින්දයට යම් පළුද්දක් නොගෙනාවා නොවේ.
තව දෙයක් කිය යුතුය. මෙහි පිටපතක් මිල දී ගෙන තිබුන ද, පසුගිය සිකුරුදා ට පෙර තිබූ කියවීමේ කාල අඩුව හේතුවෙන් මින් වැඩි කොටසක් කියෙව්වේ, ගමනේ දී ශ්‍රවණය හරහා ය. තැනක් දෙකක් සහ, එක් කෙටි කතාවක අර්ධයක් පමණක් මා සතු පිටපතෙන් කියෙව්වෙමි. යම් මිලකට හෝ සිංහල කෙටි කතා හෝ නවකතා, ශ්‍රවණගොණු ලෙස ලබා දෙන්නේ නම්, ඒවා කියවීමේ නැඹුරුව වැඩිවිය හැකි බවකි මගේ අදහස. නැතිනම් යම් ප්‍රකාශකයෙකුට, මුල් පිටපත් 500 මිල දී ගැනීමේදී, ශ්‍රවණ ගොණුව ට මුර පදයක් ඒ සමඟ ලබා දිය හැකිය. මා මෙය යෝජනා කරන්නේ, සිංහල ප්‍රබන්ධ සාහිත්‍ය නම් කුඩා වෙළඳපොළ ආරක්ෂා කරගෙන, විකල්ප කියවීමේ ක්‍රම ඇති කරලීමේ වැදගත් කම මතුකරලීමට ය.
ප්‍රකාශක - විදර්ශන
ශ්‍රේණි ගත කිරීම - ****
2020 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 1
No comments:
Post a Comment