Saturday, 6 February 2021

කේ. ජයතිලක ගේ අප්‍රසන්න කතාවක් සහ සරච්චන්ද්‍ර අනුග්‍රහය

 මම කේ. ජයතිලක ගේ 'අප්‍රසන්න කතාවක්' කියවා ඇත්තේ 2014 අගෝස්තු මස දහ වන දිනට ආසන්න දිනක ය. මගේ සටහන් පොතක එම පොත ගැන ඇති විචාරයෙන් කොටසක්, සංශෝධිතව මෙසේ ඉදිරිපත් කරමි.

උපුටා ගැනීම ඇරඹීම;

අප්‍රසන්න කතාවක් - කේ. ජයතිලක
=============================
***

සැබවින් ම අප්‍රසන්න කතාවකි. කතානායක තම අනෝ විකාර, අසංඝත දර්ශන වල සිරකරුවෙකි. ඔහු ගේ දර්ශනය ඔහු ව කෙතෙරම් පරාජිතයෙකු කරයි ද කිවහොත් ඔහු තම බිරිඳගේ උවමනාවන් ට අන්ධය. තමන්ගේ දර්ශනය හා සාම්ප්‍රදායික සිතුම් පැතුම් අතර දෝළනය වන හේ, ඔහු ට අවශ්‍ය දේ ද ලබා ගැනීමට අසමත් ය. කතුවරයා සිරිපාල නම් චරිතය හරහා කියාපෑමට උත්සාහ දරණ කාරණයක් ඇත. අපි ඊට යොමු වෙමු.

තුන්වෙනි මුද්‍රණයට කතුවරයා ලියූ පෙරවදනේ  මෙසේ සඳහන් වේ, "... අධ්‍යාපනයෙන් මෙන්ම අපේක්ෂාවන්ගෙන් ද ගමටවත්, නගරයටවත්, නැති චරිතයක් බිහි කරයි. ඔහුගේ අදහස් උදහස් මෙන්ම හැඟීම් ද, දේශීය හෝ විදේශීය හරවත් සංස්තියකට අනුව ජීර්ණ වූ ඒවා නොවේ." මෙම අදහස පෙන්වීමේ අරුතින් මේ නවකතාව ලියැවී ඇති බව පැහැදිලිය. ඒ අරුතෙන් ගත් කල කතුවරයා තම අභිලාෂයන් මුදුන් පත් කරගත්තා විය හැකිය. එහෙත් මෙය කියවීමට ප්‍රිය නූපදවන රස හීන කථාවක් ලෙස හැඟිණි. මෙය ව්‍යාකූල මනසකින් යුක්ත වූවෙකු, තම මනසේ ව්‍යාකූලත්වය ප්‍රකට කරන ආරේ නවාකතාවකි. එම නිසා මෙය කියවීම එතරම් පහසු නැත.

මෙහි තැනෙක මෙසේ කියයි.

"ඇත්ත වශයෙන් වූ දේවදත්තයා බුදුන් කෙරෙහි  පැවති දේවදත්ත ස්වරූපය සංකේතයට නඟා පෙන්වීම පිණිස ඔවුන් විසින් මවන ලද්දෙකැයි නොපිළිගත යුතු ද ?" ( 203 පිටුව)

පුවත් පත් ආදියෙහි සාකච්ඡා ආදියෙන් අප තේරුම්ගෙන ඇත්තේ ජයතිලකයෝ පුණර්ජන්මය කෙරෙහි විශ්වාසයක් නැති බවකි. ඒ අනුව පෙර කියූ අදහස ට අමතරව  ධර්මය පිළිබඳ  තම ආස්ථානයන් ද මෙම කෘතියට පැමිණ ඇතැයි සිතිය හැක.



==========================
උපුටනය නිමයි. ( සත්‍ය වශයෙන් ම පවසතොත්, මෙම ලිපියේ, ධර්මය හා බුදුන් පිළිබඳ වූ ආස්ථානය ගැන මා එවකට එතරම් පැහැදීමක නොසිටියෙමි. අද වන විට මා ඒ ගැන එතරම වද වෙන්නේ නැත). 



වසර හයකට පෙර කියවූ පොතක් ගැන මෙවන් සටහනක් පළ කරනුයේ අප රට එවකට සාහිත්‍ය ලෝකය (ගුරුකුලය ? ) ක්‍රියාත්මක වු ආකාරය පිළිබඳ යම් තොරතුරු ප්‍රමණයක් අන් කෘතියක් හරහා එළිදරවු වීම හේතුවෙනි.

මෙතැන් පටන් මා සේන තෝරදෙනියගේ "පේරාදෙණිය ගුරුකලයේ උපත, විපත හා බිඳ වැටීම" යන කෘතියෙන් යම් උපුටන ගෙන හැර දක්වමි. ඒවා බොහෝ අන් කෘති වලින් උපුටන බවත්, තෝරදෙණියගේ ම අදහස් දැනට සඳහන් කිරීමෙන් වලකින්නේ අනාගත දිනෙක, එම පොත ගැන අදහස් දැක්වීමේ  බලාපොරොත්තුවක් තිබෙන හෙයිනි.


"'ආ, බයවෙන්ට එපා, සරච්චන්ද්‍ර ඉක්මනින් අයිසෙවත් ඉහළින් තියාවි' යි ජී.බී. සේනානායක තමාට කී බැව් ජයතිලක පවසා තිබේ ( 84 පිටුව - පේරාදෙණිය ගුරුකලයේ උපත, විපත හා බිඳ වැටීම )


"කේ. ජයතිලක සිය නිර්මාණ උල්පත ගැන ලියූ 'පුංචි පුංචි නුවණිනා' නැමැති ග්‍රන්ථයේදී (1994).... 'අප්‍රසන්න කතාවක්' ගැන ... ඉදිරිපත් කරන විස්තරය (66-71 පිටු) සමස්ත පේරාදෙණිය නවකතාවට එරෙහිව කල් යවා ඉදිරිපත් කරන ලද සමාව අයැදීමේ වාක්‍යයක් බඳු වේ. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව යුරෝපය පුරා ස්වකීය ලිංගික තෘප්තිය ජීවිතයේ ලොකුම තෘප්තිය ලෙස සැලකූ 'පාවෙන චරිත' ඇතිවීමට හේතු වූ කරුණු පෙන්වා දෙන ජයතිලක , 'පාවෙන චරිත' විශේෂයක් ආශ්‍රරයෙන්  ඒවා සිතින් මවා ගත් බව කියයි. ඉන්පසුව 'ලිංගික ප්‍රශ්න ගැන ලියන ලද නවකතාවම හරවත් සේ ගැනිණ.... 'වාසනාවකට මෙන්, එවකට සාමාන්‍ය සිංහල කථිකාචාර්‍යවරයෙකු පමණක් වූ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "පෞරෂයෙන්" තොර වූ අසහාය පෞරෂය ඛේදවාචකයක් විය හැකිව තිබූ ශිෂ්‍යයන්ට ඉන් මිදීමට ආධාරකයක්ව සිටියේය'(68 පිටුව)

....මේ අලුත් තත්වය යටතේ නවකයෙකු හැටියට සාහිත්‍ය ලෝකයෙන් ඉවතට විසි නොවීමට, එසේ  නැත්නම් එයට පිවිසීමට මා විසිනුදු 'නවීන' නවාකතාවක් ලිවිය යුතු විය" (68 පිටුව ) ජයතිලක අප්‍රසන්න කතාවක් ලියා අත්තේ සාහිත්‍ය ලෝකයෙන් ඉවතට විසි නොවීමට හෝ එයට පිවිසීමටය. ( 246-247 පිටු - පේරාදෙණිය ගුරුකලයේ උපත, විපත හා බිඳ වැටීම )

248-252 පිටු ඔස්සේ අප්‍රසන්න කතාවක් පිළිබඳ යම් දිගැරීමක් ද, එවකට තිබු දේශපාලන වටපිටාව නවකතාකරුවන්ට මගැරීම ගැන ද, එංගලන්තයේ 19 වෙනි සියවස පැවති වික්ටෝරියානු සදාචාරය හා කුහකත්වය ගැන යම් කියවීමක් ද මෙහි එන්නේ, තෝරදෙනියෙගේ පොතේ ඇති පූර්ණත්වය හා වටිනාකමට දෙස්දෙන්නට ය.

No comments:

Post a Comment