Tuesday 1 October 2019

මීනම්මාගේ ලයින් කාමරය - චමින්ද අබේරත්න

ගොඩගේ, රාජ්‍ය සාහිත්‍ය වන් සම්මාන කිහිපයක් උදෙසා නිර්දේශ චමින්ද අබේරත්නගේ "මීනම්මාගේ ලයින් කාමරය" කෙටි කතා සංග්‍රහය, කොළඹ මහජන පුස්තකාලයෙන් රැගෙන විත් කියෙව්වෙමි. 2018 ගොඩගේ අත්පිටපත් තරඟයේ ප්‍රශස්ත කෘතියක් ලෙස ඇගයී ඇත. කතුවරයා ගේ අන් සාහිත්‍ය නිර්මාණ ලෙස 2018 වසරේ ම ප්‍රකාශ වී ඇති සෙම්බුදිය කෙටි කතා සංග්‍රහය සඳහන් ව ඇත.

දුම්රියක දැන ඇඳින ගත් කුඩා දරුවෙකු තුලින්, තම ලොකු මහත් වී වෙනම ම වාසය කරන පුතු ගේ කුඩා කල දකිනා පියෙකු ගේ කතාවයි, "කෙළිලොල්". නිර්මාණයේ විශේෂි බවක් නැතත් රසවත්ය.

භෞතික සුවයක් ආපේක්ෂාවෙන් සිවුරු හරිනා භික්ෂුවක්, ඒ කාරණාවම කමටහනක් කරවන, නොසිතූ ආරේ පෙරළීමක් සහිත කෙටිකතාවකි; රසවත් ය.

"ආදරය කියන්නේ අනුන් වෙනුවෙන් අපේ සතුට කැපකරන එක..." යන කාරණාව උගත්, එහෙත් මදුවිතට ලොල් මහතෙකු උගන්නේ යාචකයෙකු තුලින් එක්තරා අත්දැකීමක් ඔස්සේය. හොඳ නිර්මාණයකි (නොනිමි ගීතය).

"නෑදෑයෝ", තවත් '83 සිද්ධියක් අලලා ලියූ කෙටි කතාවකි. එක ම වෙනස, තම ජන වර්ගය ආඩම්බර වන මිනිසෙකු ඇත්තෙන්ම අනෙකා කෙරෙහි කෙසේ හැසිරිය යුතු දැයි ලේඛකයා ඉඟි කිරීමට යත්න දරා ඇත. '83 ට සාපේක්ෂව සලකනවා නම් වටිනාකමක් ඇති කෙටිකතාවකි. එහෙත් අවාසනාවකට 1983 දී මේ කියමන කීව කෙනෙක් මෙසේ කතා කලා යැයි සිතිය නොහැක.

කෘතියට නම දුන් "මීනම්මාගේ ලයින් කාමරය" කෙටි කතාව, අවුරුදු 80ක් වයසැති තේ දළු නෙළමින්, මුළු දිවියේ ම තේ වත්තෙන් මෙපිට ගමන් නොකල මීනම්මා වටා ගෙතූ නිර්මාණයකි.  මීනම්මා ගේ වයසට සාපේක්ෂව ඇගේ දියණිය සහ මිණිබිරියගේ වයස් නිවැරදි ද යන්න මා සිත උපන් ගැටළුවකි. පිටස්තර සැප පහසු දිවිය සහ මීනම්මලාගේ ජීවිත අතර වෙනස මතු කිරීම අතින් යම් සාර්ථකත්වයක් පෙන්වුව ද, මට මේ නිර්මාණයේ සුවිශේෂත්වයක් නොපුණුනි.

මෙහි එන වඩාත් සංවේදී ම කෙටි කතාව "සංවේදනා" විය යුතුය. වැඩිහිටි නිවෙසකින් රෝහලකට පැමිණි වයසක මවක්, තම මිණිබිරිය නන්නාඳුන කෙල්ලක් ඔස්සේ සිතේ මවා ගනී. ඇයට ඒ කෙල්ලට පිදීමට ඇති ආදරය ඇය එක්තරා අයුරකින් සුවපත් කිරීමක් ද නිවීමක් ද ඇති කරන සේය.

පසුගිය කාලයේ කොළඹ "වතු" යම් තරමක වෙනස් කරලීමක් දේශපාලනිකව සිදු විය. එහි අතුරු සිදුවීමක් අලලා ලියැවුණු කෙටිකතාවකි, අරගලය. දෙමටගොඩ දුම්-රිය අංගන ආශ්‍රිත පෙදෙසේ විස්තරය සිත් තුල එහි චිත්‍රයක් මවා පෑමට සමත් වෙයි.

ඇරැව්වල නන්දිමිත්‍රයන්ගේ විශිෂ්ඨ කෙටිකතාවක් ලෙස සැලකෙන සුදු කොඩි කෙටිකතාව මතකයට නංවන්නකි, "තාලය" කෙටි කතාව. එහෙත් සුදු කොඩි වල ජයවික්‍රමගේ ඉරණම ට වඩා සුභදායි ඉරණමක් සිරිදාසලාට ලැබෙන්නේ, කතාව වඩා වර්තමානයට ලඟ නිසා ද? නැතිනම්, සිරිදාසගේ බිරිඳගේ විවෘත මනස නිසා ද ? එහෙත් හින්නමානය එකම ය - නූතන යුගයේ වෙනස්වීම්  තුලින් කැමති අයෙකුට හීනමානයට ද ඖෂධ  සපයා ගත හැකිය.


පෙර කී සම්මාන නිර්දේශ දෙකම කෘති දහය බැගින් නිර්දේශ වූ අවස්ථාය - හෙවත් දිගු ලයිස්තු නොහොත් පළමු වටය හා සැසඳේ. මේ කෘතිය එම සීමාවට ඒමට තරම් සුදුසු යැයි හැඟේ. කතුවරයා අනාගත නිර්මාණ වලින්, මෙහි එන සමහර කෙටි කතාවල ඇති "තරමක් උඩින් දිවෙන ආර හෙවත් මතුපිටින් අත පත ගා ඇති ආර" අකා මකා දමා වඩා සුමට පරිපූර්ණ නිර්මාණ බවට පත් පත් කල යුතුව තිබිණි. කිම ද කතුවරයා ට හොඳ නිර්මාණ වලට වස්තු බීජ ඇත - එවා වඩා පරිපූර්ණ නිර්මාණ බවට පත් කරලීම ඇවැසිය. කතුවරයා ම පවසන අයුරෙන් මේ සංග්රහය ඉතා කෙටි කලකින් ලියූවකි. නිර්මාණ තව සුමට වුවේ නම්, දෙවෙනි වටයට නිර්දෙශ වීමට තරම් හැකියාවක් මේ නිර්මාණයන් හි ගැබ් වී, (එහෙත් උද්දීපනය නොවී ) තිබේ.

No comments:

Post a Comment