Saturday, 12 May 2018

ඉක්බිතිව ඔහු මරාපීහ - පී. බී. ජයසේකර



( ගොඩගේ සම්මාන - හොඳම සිංහල නවකතාව 2016 )

     මේ කෘතිය ට නැඟුණු ප්‍රධානත ම චෝදනාව, මෙය නවකතාවක් නොව ඓතිහාසික වාර්තාවක්, නොහොත් සටහනක් බවට ය. පළමුව මාගේ කියවීම අනුව නම් එම චොදනාව බැහැර කරමි. මෙය සත්‍ය සිදුවීමක් අලලා, සත්‍ය චරිත අලලා කෙරුණු නිර්මාණයකි. ඇයි ඊට නිර්මාණය යන පදය භාවිත කරන්නේ ? මහසෙන් චරිතය අලලා නවකතා ලියවේ නම්, ඇහැලේපොල චරිතය අලලා නවකතා ලියැවේ නම්, මෑත කාලීන සිද්ධියක් අලලා නවකතාවක් ලියවෙන්න නොහැකි ද ? ( මෙහි එන චරිත සත්‍ය චරිත හා බොහෝ දුරට සමාන හෙයින්, ඉන් නැගෙන නෛතික තත්ත්වය ගැන කීමටැ නොදනිමි ) බණ්ඩාරයනායක සිතූ ආකාරය, සෝමාරම සිතූ ආකාරය, බුද්ධරක්ඛිත සිතූ ආකාරය, දේශපාලනයේ දි මුහුණ දීමට ඇති වන ගැටළු   ආදිය සියුම් ව ඉදිරිපත් කරමින් ලියැවී ඇති නිසා මා එය ප්‍රබන්ධයක් ලෙස සලකමි.  බන්ඩාරනායක යනු උදක් ම අප රට සිංහල-දමිළ දෙපිරිස් අතර භාෂා ප්‍රශ්ණයට මුල් වූ තැනැත්තා යන අවිචාරවත් කියවීමට වඩා එය ඔහු ට ඓතිහාසිකව එක් පාර්ශවයකින්  ලැබුණු වගකීම ඉටු කල තැනැත්තා බවත්, එම තීරණය ගැනීමෙන් අනතුරුවු හේ එහි යම් දුර්වලතා අවබෝධ කරගැනිමෙන් වගවීමට යත්න දැරූ අයුරු විදහා දක්වමින්  එම චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කර ඇති නිසා ය.  බුද්ධරක්ඛිත ප්‍රමුඛ පිරිස්, එම මුඛ්‍ය කාරණාව හා ඔවුන්ට අවාසිදායක මුල්‍යම තීරණ හේතුකොටගෙන, ඔහුව "මකා දැමීම" ට යොමු වූ අයුරුත් පාඨකය ඇඳ බැඳ තබන වේගයකින්, ආරකින් හා, ගවේෂන කොට සොයා ගත් තතු වලින් පෝෂිතව ලියැවී ඇති නිසා ය. ඉතින් මෙහි නිර්මාණාත්මක අංශය තේරුම්ගත් ගොඩගේ සම්මාන නිර්දේශ කමිටුව  ට ස්තූතිවන්ත වෙමි. අන් සම්මානයන් "නොදැක්ක (?)"  එහෙත් සාර්ථක කෘති වලට ( නිදසුන් - ආෂාඪ පුෂ්පය ) සුදුසු ඇගයීම කිරීම පැසසිය යුත්තකි.

ඉතා පැහැදිලිව, මෙවන් "රට හෙල්ලූ" කාරණාවක් පිළිබඳ මධ්‍ය ස්ථානයක සිට ආදානග්‍රාහි නොවී ලිවීම පහසු නැත. කතුවරයා ඒ ඒ චරිතයට සාධාරණයක් ඉටු කරන අයුරු නිදර්ශන කරමි:

සෝමාරාම: "ඔහු අක්ෂි වෛද්‍යවරයෙකි. ඔහු අන්ධවෙමින් සිටි බොහෝ රෝගීන් අන්ධ භාවයෙන් මුදාගෙන ඇත. ඒත් ඔහු අන්ධ වුයේය. කෙනෙකු අන්ධවන කාරණා බොහෝය. ඇතැමෙක් බලයෙන් අන්ධ වේ. ඇතැමෙක් ආදරයෙන් ආලයෙන් අන්ද වේ. ඔහු ජීවිතයේ කිසිමදාක ඒ කියනා ලෝකාස්වාද රතී සුවය විඳ නැත. ඔහු කිසිමදාක ගැහැනියකගේ මුවා වූ තැන් දක නැත. ඔහු ඒ උවමනාව මැඩගගත්තේ වෙනත් අයුරින් අන්ධ වීමෙනි." ( 18 පිටුව )

විමලාවති විජයවර්ධන: "ඇගේ වියපත් සැමියා නවඔවුන් ඇය තුළ ගින්නක් ඇවිඅළවින. ඔහුට එය නිවාදැමීට නොහැකි විය. ඒ හිනි මැඩීමට ඔහු කළේ ඇය තමා නිතර යන එන කැලණි විහාරයට කැටුව යාමයි. එසේ ඔවුන් අතර පරස්පරතා තව තවත් ගොඩනැඟිණ. ඔහු මල්පහන් තබා දොහොත් මුදුනට ගෙන බොහෝ වේලා ගාථා කියමින් වැන්දේය. ඇය එය  කළේ පන්සල් ආවා වෙනුවටය....ඔහු බුදු දහා ගැන පොත් ලියනවිට ඇය නිදිමරාගෙන කවි ලීවාය. ඔහු දුම්පානය කලේ නැත. ඇය කවි ලියන විට බොහෝ කවිකාරයින් මෙන් සිගරැට් බොන්න වූවාය. ඇය තුළ දැවෙන ගිනි ඇය ඔහුට දැක්වූයේ ඔහු අගය කරන දේට පරස්පරය කරමින් ඔහුට එරෙහි කම් පෑමෙනි." ( 71 පිටුව )



බුද්ධරක්ඛිත: "බණ්ඩාරනායකට ජාතික ඇඳුම වගේ මට සිවුර, කොතලාවලට කලිසම කෝට් එක වගේ මට සිවුර... බණ්ඩට සිරිම වගේ මට ඔයා. බණ්ඩට දේශපාලනය වගේ තමයි මට මගේ ව්‍යාපාර... බණ්ඩට දේශපාලනේ කොරගන්න සල්ලි නැතිව ළතවෙනකොට මං මිනිහට සල්ලි දුන්න. නැති බැරිවෙලවාට මිනිහට පිහිටවෙන්න මට මුදල් කොහෙන්ද කියල බණ්ඩ හිතන්න ඕනෑ. ඒවා මං පින්කැටේ කඩල ගත්තු සතේ දෙක නෙමෙයි." ( 235 පිටුව )


බණ්ඩාරනායක ගැන විචාරයන් මීට පරිපූර්ණ ලෙස, ඔහුගේම සිතිවිලි ලෙස ලියවී ඇත. එක් තැනෙක ඔහුව බලයට ගෙන ආ පිරිස හේතුවෙන් ඔහු ට රටේ සියළු ජනතාවගේ නායකයා වීමට නොහැකි වීම ගැන හේ පසුතැවෙයි. අන් තැනෙක හේ දැඩි ලෙස සිතාගන්නේ තමන් ව මරුමවට පත්කල ද අන් අයගේ ව්‍යාපාර දිනවීම පිණිස තමන් උදව් නොකරන බවයි. තම පෞද්ගලික දේපල විකුණා ඡන්දේ දි ගත් ණය ගෙවා නිදහස් වීමට සිතුව ද එය ඒ තරම් ලේසි නැත. ඔහු ට ගැලවීමක් නැත. ඒ අර්ථයෙන් බණ්ඩාරනයාක හා සෝමාරාම යන දෙදෙනා ම අන් පාර්ශවයන්ගේ වාසිය උදෙසා භාවිත කල ඉත්තන් ය. වියත් බණ්ඩාරනායක තමන් පසුව කොටු වූ බව වටහා ගත්ත ද, සෝමාරාම ට එම බුද්ධිය එන්නේ තම මරණය කරා ඉන්නා විට ය.

මේ අපූරු නවකාතාව අවසන් වන්නේ ඇත්තෙන්ම මරණීය තුවාල ගෙන දුන් වෙඩි උණ්ඩ පිට කලේ කවුරුන්ද යන්න ගැන සැකයක් මතු කරලමිනි. බණ්ඩාරනායක් ඝාතන සිද්ධිය ගැන මා මීට කලින් විස්තර සොයමින් කියවා නැති හෙයින්, එහි සත්‍ය-අසත්‍යතාව ගැන නොදන්නෙමි.  මෙය කියවිය යුතු ම නවකතාවක් ලෙසත්, මරිය සිලොනිකා වස්තුව,

අවලමා සහ ඇහැටුව ආදි රසවත් කෘති ලියූ ලේඛකයා එම නිර්මාණ වල සාර්තකත්වය ද අභිබවා යාමට හැකි තරමේ කෘතියක් පළ කොට ඇත.

No comments:

Post a Comment