Saturday, 12 August 2017

දැති රෝදෙන් උපන් බුදුන් - ටෙනිසන් පෙරේරා



1967 වසරේ ප්‍රථමව එළිදැක්වී ඇති, මෑතක "අහස" ප්‍රකාශනයක් ව තෙවෙනි වරට මුද්‍රණයෙන් එළි දැක්වුණු "දැති රෝදෙන් උපන් බුදුන්" කෙටි කතා සංග්‍රහය කියවීමි.


පළමු ව, එක්දහස් නවසිය හැට හත තරම් ඈතක, අද සිට බලනා කල ගතානුගතික යැයි සිතිය හැකි වටපිටාවක ට මෙවන් කථා ගොණ්නක් රචනා කිරීම ම සම්මත ය ට අභියෝග කරන්න කි.1967 දී දැති රෝදෙන් උපන් බුදුන් ලියූ ලේඛකයා, දෙදහස් දහය දශකයේ, අබිරහස් ජීවිත තරණය, දණ්ඩභූමි, භවාන්තරය ආදි නවකතා ලියද්දී තම සමාජ විචාරයේ රළු බව තරමක් අඩු කොට ඇති බවෙකි දැනෙනුයේ.

මෙහි එන සංග්‍රහයයේ නමැති කෙටි කථාව සලකන්න. මෙම කෙටි කථාව ආකෘඉමය වශයෙන් එකල සිංහල සමාජයට ඉතා නැවුම් වන්න ට ඇත - අදට ත් නැවුම් ය. මෙහි එක් කථාවක් නැත; කොටස් සතරක් ඔස්සේ සමාජය පිළිබඳ පොදු කථාවක් ඇත.

"බණ කීම පිළිබඳ චිර ප්‍රසිද්ධියක් ඇති මුත් බණ දෙසා මුදල් ඉපයීමේ පාපයට උන් වහන්සේ ගොදුරු නොවේ. එහෙත් උන් වහන්සේ ගමන් ගන්නා තමාගේ වාහනයේ පැට්‍රල් වියදම සඳහාත්, රිය පදවන්නාගේ වේතනය සඳහාත් පමණක් රුපියල් විස්සක් පමණ අයකරගන්නේ යයි කියන ආරංචිය ද එතරම් සත්‍ය නොවේ. ගුවන් විදුලියේ බණ වලින් ලැබෙන ආදායමින් ඉඳහිට නුවර එළියේ ගොස් සතියක් දෙකක් මුත් විවේක ගැනීම ද උන්වහන්සේ විසින් කරනු ලබන්නේ පැවිදි විනයට අනුකූලව බව එහිමියන්ගේ අදහසයි." ( 27 පිටුව )


'67 රුපියල් විස්සක් යනු සැලකිය මුදලක් බව සැකයක් නැත.  මීට වසරක කිහිපයක ට පෙර, මා දන්නා අයෙක්, තම දරුවා ගේ අභාවයෙන් පළමු වසර නිමිත්තෙන් සිදු කල පිංකමක ට අප ප්‍රදේශයේ වෙසෙන කවි බණ ට ප්‍රචලිත ස්වාමීන් වහන්සේ නමක් කැඳ වූ බවත්, පළමු ව ඒ වගකීම භාරගෙන, පසුව පිංකම දින ඉන්ධන ගාස්තු, ශබ්ද විකාශන පද්ධතියේ වියදම ආදිය ගැන කියා පා, තම දරුවා ගේ පිංකම ගැන තිබූ පහන් සිත කෙළසූ බවක් මට කිවේ ය. ඉත්න් '67ත් එසේ ය - 2012 ත් එසේ ය.


දෙවියන්ගේ දඩයම කෙටිකතාව ගතහොත්, මෙහි විස්තීර්ණ පරිපූර්ණ අවස්ථා අපට අනුරසිරි හෙට්ටිගේ ගේ ක්ළුවරයි පුරහන්න්හ තුල ත්, ටෙනිසන්ගේ මේ භාවාන්තරයේ ද දිටිය හැක. මෙහි වෙසඟනක් භක්තිය මුල්කොටගත් ආධිපත්‍යයකින් වනසා දම අයුරු රසවත් ව ලියැවී ඇත. යථාර්තයේ සීමා අභියෝග කොට ඇති අයුරු කෙටි කතාවේ වටපිටාව ට උචිත ය.

ඉතිහාසයේ වීරයා, තමන් ව අමාරුවෙන් හදාගත් අම්මාගේ සිතුම් මැතුම් නොසලකා වැඩකරන ජනතාව වෙනුවෙන් තම දිවි කැප කරන, මවගේ සියළු බලාපොරොත්තු බිඳ දමා තම දිවිය ද නාස්ති කරගන්නෙකි. ඒ සමාජ අසාධාරණය හේතුවෙන් ඔහු වෛරයේ ගොදුරක් වීම හේතුවෙනි. වීරයා ගෙදරින් පැන යන්නේ ද ගෙදර තිබූ දේව රූප විනාශයෙන් අනතුරුව ය. වසර ගණණාවක් තැන තැන ඇවිදින ඔහු අවසන් වන්නේ උමතුවේ අසබඩ ය. දැති රෝද, තඹ කැබිලි ආදියෙන් විළි වසා ගත් ඔහු  ගැන විවේචන පත්තරයේ තිබුනේ මෙසේ ය:

"සිහිවිකල් වූ උගතෙක්.
(සවස ප්‍රවෘත්ති පත්‍රයක්)

ඔත්තුකාරයෙක් නොවිය හැකි ද ?
(දේශපාලන පුවත් පතක්)

විනෝද වීමට කදිම දර්ශනයක්
(භික්ෂූන්වහන්සේ නමක් )

ඔහු මම ප්‍රිය කරමි. තේරුම් ගැනීමට වෑයම් කළ යුතුය.
(අරවින්ද )

අතෘප්තිකර ආශාවෙන් ජීවත් වන්නෙක් ද ?
( මගේ බිරිඳ )

ජෝකර් කෙනෙක් හූට් එකක් දාපල්ලා
(විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් )"

මේ කියමන් මගින් අප මනසේ ඒ ඒ චරිතය ඔස්සේ කෙටි කථා කිහිපයක් මැවිය හැකිය.

මාරයාගේ දේදුන්න කෙටිකතාව සාමාන්‍ය බීමත් තරුණ පිරිසකගේ හවස් වරුවක් විස්තර වන අයුරෙන් ඇදි ගොස්, යම් ප්‍රබලත්වයක් පෙන්නුම් කරන්නේ කතාවසානයේ දී ය. ඒ මාරයාගේ තීන්දුව අනුව ය.
"නුඹ දෙවියන් වහන්සේගේ බසට මුලා වූවෙහිය. නුඹ දෙවියන් වහන්සේ මැවු ඔහුගේ පන්දම්කාර සල්ලි වලින් තැනූ ලෝකයට ඔබ දීන ලෙස  බැලයෙකු වී සිටියේය.
ඔබ දීනයෙකු බැලයෙකු වූයේ දෛවය නිසා යයි සිතා ඔබ දෙවියන් වහන්සේට ගැතිකම් කළෙහිය."

මෙහි එන දියසේන කෙටිකථාව ද, ජීවත්වීම ප්‍රහේලිකාවක්, අභියෝගයක් වූ තරුණෙකු මත පදනම් වූ කෙටි කථාවකි. එහි ද අනියම් සසඟෙහි යෙදෙන භික්ෂුවක් වෙයි. හේ අන්‍යයනට බණ කියයි, තමන ට දේව බලය ඇතැයි කියයි. පාදඩයෙකු වන දියසේන, මේ මහණ ට වඩා පිවිතුරු බව අප ට සිතෙයි.

"මා මළ පසු" යනු තමන්ගේ මිණිය දෙසත්, තම අවසන් කටයුතු දෙසත් බලා සිටින මළ අයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් ලියැවුන්නකි. ප්‍රබල රචනයකි.

"මගේ පෙට්ටිය දරාගෙන සිටින ඇතැමුන්ගේ අත්වලින් එක දෑතක් රැයෙහි මගේ ගෙල ඉදිරියේ වෙව්ලු සැටි මට සිහිවේ. එකෙකුගේ දෑත් රාත්‍රියේ මගේ කාමරයට වැදී මගේ මුදලුත් ඇඳුනුත් ගෙන යාමට ගත් දිරිය මට අමතක කල නොහැක."

මෙහි එන රචනා විවිධ වචන වලින් හැඳින්විය හැක. නරුමවාදි, සංශයවාදි, පාදඩ සමාජය එළි දරවු කරන සුළු මෙම කෙටිකතා, සිංහල සාහිත්‍යය ට 1967 දී එක් වූවා යැයි සිතීම ම එහි තිබෙන පිළිවෙත ප්‍රශ්ණ කරනා සුළු බව කවදත් තුබූ බවත්, එහෙත් එය වෙනස් වන්නේ ඉතා සෙමින් බවට ත්  ප්‍රබල සාක්ෂියකි. '67 මෙය පළ වූ පසු හැත්තෑ ගණන් වල වික්‍රමසිංහ බව තරණය ලිවීම එතරම් ප්‍රශ්ණයක් වුයේ , මෙය එකල සමාජය බැහැරකල යුත්තක් ලෙස සැලකු නිසා ද ?  මේ කිසිදු කෙටිකථාවක් තුල බලාපොරොත්තුවක ඡායාවක් හෝ රැඳී නැත. ඇත්තේ ගසා කෑම්, කුහකත්වය, නරුම කම, පරිහානිය, විෂාදය ආදිය යි. අයෙකු ට මෙය ඉතා යතාර්තවාදි නිර්මාණයක් යැයි කිව හැකි මෙන්ම, මෙම නිර්මාණ අදට ත් ඉතා නූතන ය. වෙන්ස්වී ඇත්තේ, එදා රුපියල් විස්සේ වටිනාකම අද රුපියල් පන්දහසකට හෝ දහදසකට ලැබී තිබීම ම පමණි. සියළු තාක්ෂණ අවතීර්ණයන් ඔස්සේ වුව සමාජය තවම රෝගී ය. මේ සියළු කථා වලින් කේ. කේ . සමන් කුමාර කොපමණ තරම් ආභාසයක් ලබන්නට ට ඇත්තේ දැයි සිතේ.

ටෙනිසන් පෙරේරා මහතා මෑතක ලියූ පොත් පිළිබඳ මගේ මනාපයක් නැත. භවාන්තරය සහ කැළණි නදී ගලා බසී රස විඳි මා, අබිරහස් ජීවන තරණය සහ දණ්ඩ භූමි කියවීමෙන් අනතුරුව, එතුමාගේ නිර්මාණ කියවීම තාවකාලික ව නැවැත්වූවෙමි. එහෙත් මේ කෙටි කතා පොත නැවත මුද්‍රණය වූ වග ආරංචි වූ වහා එය මිල දී ගත්තේ ඒ හා බැඳි මතභේදාත්මක පසුබිම හේතුවෙනි. මෙහි එන සියළු කෙටිකථා වල පාහේ ආගමික සංස්ථා දැඩි දෝෂ දර්ශනයට ලක් කොට ඇත. '67 තරම් ඈතක  ටෙනිසන් පෙරේරා අප සමාජයේ ප්‍රශ්ණ නොකෙරෙන ඉසවු නිර්භීත දෙස එළිදරවු කොට, ඊළඟ පරම්පරාවක් උත්තේජනය කර ඇති බැව් ඉතා පැහැදිලිය. මෙය කතුවරයාගේ ඉතා සාර්ථක නිර්මාණයක් පමණක් නොව, සිංහල නිර්මාණ සාහිත්‍යයේ විශේෂ සන්ධිස්ථානයක් ලකුණු කරන්නක් බව පැහැදිලිය.

1 comment:

  1. Thanks Naleendra. I didn't know there is a new print. I will look for it.

    ReplyDelete