Friday, 13 May 2016

සඳුන්ගිර ගිනිගනියි - සුනේත්‍රා රාජකරුණානායක



සුනේත්‍රා රාජකරුණානායක පළමු වරට 1989 දී පළ කල, ඇගේ කුළුඳුල් නවකථාව කියවුවෙමි. මා සතුව ඇත්තේ 2012 නිකුත් වූ සත්වෙනි මුද්‍රණයයි. සැලකිය යුතු පිරිසක්, මේ කෘතිය ඇගේ හොඳම ලෙස සැලකූ හෙයින් කියවන්නට සිතුවෙමි.
මෙහි එන ප්‍රධාන චරිතය වන කුසුමාවති, තමනට ආදරයක් හෝ රැකවරණයක් හෝ ලබා නොදෙන තමන්ගේ මවගෙන් ඈත් වී, කොළඹ ගෙයක සේවය කිරීමට යාමත්, අවුරුදු දහයකට වැඩි කාලයක් එහි විසුමෙන් අනතුරුව, තම ගම පළාත  වන පැල්මඩුල්ලේ කඳුකර ගම්ගොඩේ පුරුෂයකු හා සරණ බන්ධනයකින් පසුව එහි විසුමට පැමිණෙන්නිය. කොළඹ ජීවිතයට පළමුව නුහුරවක් දැනීම, ඊට අවශෝෂණය වීම සහ අනතුරුව තම ගමට පැමිණිමෙන් පසු ගම හා ඇති අති මහත්  දුරස්ථ බවත්, විදහා දක්වමින් නිර්මාණය වූවකි.

ඇත්තෙන්ම නවකථාවේ කථාන්දරය, මෙය ලියවුණු 1989 යුගයේ නැවුම්බවක් ගෙන දුන්න විය හැකිය. එලෙසම ලේඛිකාව ඉතා ශූර නිර්මාණයක නිරත වන්නි, කොළඹ වෙසෙන පිළිවෙලකට හැඩ ගැසුණු උදවිය වඩා අර්ථවත් ය‍යි වරෙක ද, ඊළඟ නිමේෂයේ,  මේ ගම්ගොඩවල් වල මිනිසුන් ඔවුන් ජීවත්  වන අයුරෙන් විනා වෙන කුමන අයුරින් ජීවත් වන්න දැයි, දෙපැත්ත ම පාඨකයා  විසින් සාධාරණීකරණයකට පෙළඹෙන්නේ ය.


එනම් මේ දෙපාර්ශයේම ගුණ සහ දොස් ඇත. මේ දෙපාර්ශවය අතර පරතර උත්තරද්‍රැවය සහ දක්ෂිණද්‍රැවය තරම් යැයි සිතේ. නවකථාව 1989 දී පළ වුවද, භාවිත වන මුදලේ වටිනාකම ආදිය නිසා, කෙන්ද්‍රගත කාල පරාසය 70 දශකයේ මුල සිට 80 දශකයේ මුල යැයි සිතේ. කතුවරිය පෙරවදනේ , මෙහි බීජ අවස්ථාවන් 1985 දී ඈ ඕපනායක්, හත්තැල්ලේ සේවය කරන අවදියේ තම සිතේ රෝපනය වු වගක් පවසා ඇත.. එනම් අද ට වඩා නගරය සහ හද්දා පිටිසර අතර පරතරය  වඩාත් තීව්‍ර වූ යුගයකය. එනම් "නගරය ගමට යෑමට" බොහෝ කලකට පෙර ය.

මේ කථාව ලියැවුණු යුගයේ, මේ කියනා ප්‍රදේශ අතර දිවි ගැලපීම "යා දෙක නොරත රත" යන්න ඒත්තු ගැන්වන්නකි. අද වන විට මේ කියනා ගම් දනවු බොහෝ නාගරීකරණය වී ඇතිවාට සැක නැත. ඒ අනුව, මෑත ඉතිහාසයක අප රට නගරය සහ ගම අතර වූ දුර කෙතෙරම් දැයි සිතුවිල්ලක නිමග්න වීමට මෙය අපූරු නිමිත්තකි.

මෙහි  එන කුසුමාවති වැරදි නැත - ජයසේන වැරදි ද නැත - කුසුමාවතිගේ නැන්දම්මා වැරද ද නැත - කොළඹ ලොකු හාමු හෝ බන්ටි නෝනා හෝ වැරදි ද නැත.  කුසුමාවති ට වසර දහයක වෙනස් පරිසරයක් විසුමෙන් පසු ව ඈ  තම මූලයන්ගෙන් ඉදුරුණු  ඇත්තියකි. ඇගේ කුඩා කල අත්දැකීම්, ඇගේ ස්වාධීනත්වය,  ඇගේ පසු කාලීන මානසිකත්වය තීව්‍ර කරන්නකි. අනෙක් පැත්තෙන් කොළඹ ඈයන් ට කෙතෙරම් ලන්ගතු වුව ද, කෙතෙරම් එම දිවියට  කෙතෙරම් අනුගත වූ ව ද, ඇය ට සාධාරණයක්, එනම් ඇගේ දිවියේ ඉතිරි අදියර ට අදිතාලම දැමීම ට කොළඹ ඈයෝ පමා වූ බවත් පිළිගත යුතු සත්‍යයකි.





පහත සඳහන් සිතුවිල්ල කුසුමාගේ සිතේ ඇතිවන්නේ ඈ කොළඹ නිවෙසට ගිය දිනය :
"මේ මහ රාත්තිරියේ දත් මදින, මූණ හෝදන මෝඩ වැඩේ නං මහ කරදරයක්.... බුදිය ගන්න ඇඳුම් මොට ද? කුසුමෙගෙ ඔළුව ආයෙමත් අවුල් වුණා" (78 පිටුව )

අනතුරුව, වසර දහ-දොළහක් ඇවෑමෙන් තම සැමියා සමඟ සයනය බෙදා ගනිද්දි කුසුමා තුල ජනිත වන සිතුවිලිය, පහත දැක්වෙන්නේ.

"රෑට දත් මදින්න පුරුද්දක් නෑ. රෑට කන කරවලවල ඌරල් ගඳයි, බුලත් විට පල්වෙච්චි ඒවයි කටේ තියෙද්දි ළං වෙනකොට ජයසේනගේ මුණ මගාරින්න කුසුමගේ මූණ එහාට මෙහාට හැර වෙන්නේ වයින් කරපු බෝනික්කෙක් වගෙයි."

කුසුමාගේ වෙනස් වීම තේරුම් ගැනීමට මෙය ම පමණක් වුව ප්‍රමාණවත් ය. ඉතින් ඒ වෙනස් වීමට ඈත දෙස් තැබිය හැකි ද ? කිසිදා ගම්දොඩෙන් එපිට නොයන ජයසේන ට දොස් තැබිය හැකි ද ?


ඉදින්, මෙවන් නවකථාවකට , වඩා ඖචිත අවසානයක් - එනම් අසම්පූර්ණ, අතීරක අවසානයකින්ම නවකථාව සමාප්ත කිරීම සාධාරණය. කිම ද, මෙහි මතුවනව අන්තර්-සංස්කෘති ගැටුමට පිටු 250කින් තීන්දු තිරණ දීම නොකල හැක්ක කි. ලේඛිකාව මෙතැනදී ද, තම ප්‍රඥ්ඥාව, නිර්මාන‍ය තුල ට ගොණු කර ඇත්තා සේ ය.

සිතන්නට යමක් ඉතිරි කරන, ලියැවුණු කාලය අනුව තරමක් විවාදාත්මක ද, නිර්මාණයක් ලෙස හුදෙක් කථාන්දරයකින් ඔබ්බට ගිය සාර්ථක නිර්මාණයකි.

මෙය මා ලේඛිකාවගේ කියවූ සත්වැනි නවකථාවයි. ඉන් මුල් තැන ගන්න කෘති තුන හතර අතර්ට මෙය ද ඉදිරිපත් කිරීමට නොපැකිලෙන්නෙමි.

No comments:

Post a Comment