භාවාතිශෝක්තියෙන් විනිර්මුක්ත වීම එරික්ගේ කවියේ සළකුණ යැයි සිතමි. භාව ජනනය අප බොහෝ කවියන්ගේ ලකුණක් නම්, කව් නිමිත්ත ට එපිටින් සිට, උපමා-උපමේය ආදිය භාවිතවෙන් යම් උපෙක්ෂක නෙතකින් කව් නිමිත්ත ගැන පබැඳුම එරික්ගේ ක්‍රමය දෝ සිතේ. ඉදින්, ඊට කැමැත්තෝ ද, අකමැත්තෝ ද වෙති. මා මින් කුමන ගණයට අයත් දැයි මම තවම නොදනිමි. ඔහුගේ කවියට කැමති ගණයට ආනත යැයි සිතමි. මේ මා කියවු එරික්ගේ තෙවෙනි කාව්‍ය සංග්‍රහයයි. මෙතෙක් නොකියවූ "කේ.කේ." කාව්‍ය සංග්‍රහයත්, "මැදියමේ ගීතය සහ තවත් කවි" නම් වූ පෙර සංග්‍රහ වල කවි එක්කාසුවත්, ලක්දිව අප නිවෙසේ රාක්කයක මා එනතුරු බලා සිටී - එනම් මා දිගටම එරික්ගේ කාව්‍ය සංග්‍රහ මිලදි ගැනීමට පෙළඹි ඇත. එහෙත් මා කියවූ එක් සංග්‍රහයක ට වත්, මට තරු තුනකට වඩා ලබා දීමට නොහැකි වී ඇත. සමස්ත වශයෙන් මේ කාව්‍ය සංග්‍රහය පිළිබඳ ව ද කිව හැක්කේ, එරික්ගේ කවීත්වයට කැමති පාඨක පෙළ තව දුරට ත්, රඳවා ගැනීමට සමත් මුත්, මේ නිර්මාණය හරහා ඔහු නව පාඨකයන් දිනා ගන්නේ යයි සිතිය නොහැකි බවයි (සමහර විට සම්මානයක් දිනුවහොත් මේ තත්තවය වෙනස් වනු ඇත. ඔහු මීට පෙර කවි සඳහා සම්මානයට පාත්‍ර වී ඇත ). අන් වදනින් කියන්නේ නම්, "අලුත් මාතෘකා" උදෙසා ලියැවුණු එරික් ගේ පැරණි ආරේම කවි එකතුවකි මෙය. ආකෘති හරඹ වලින් අවම වූත්, සුපුරුදු වියළි, නො ඇළුණු ස්වරයෙන් රචිත, එහෙත් ලොව බොහෝ දේ දැක එය තම කවියට නිමිත්තක් කරගන්නා එරික් ඉලයප්ආරච්චි, තමන් දැනටම දිනූ පාඨකයන් වෙත, තවත් මීට පෙර ආරේම රසයක් ගෙනෙන ආරේ කාව්‍ය සංග්‍රහයක් ප්‍රදානය කොට ඇත. ඔවුහු තව දුරටත් ඔහුගේ කවියෙන් තෘප්තියට පත්වන්නෝ ය.
ඔහු ලියූ "පිත්තල හන්දිය" සහ " මගේ කොළඹට හඳ පායයි" හි කවියේ දිගුවක් මෙනි, "කොළඹ අලුයම දසුන" මා දුටුවේ. ඔහු දකින්නේ නැවත පෙර දින ලෙස දින චක්‍රයට සූදානම් වන බලාපොරොත්තු මිල දි ගත් කොළඹකි. කොළඹුන් ට එසේ බලාපොරොත්තු මිල දි ගත නොහැකි නම් විකල්පයක් ලෙස ගෙළ වැල දා ගත හැක.
"නුඹ කුස ගෙලේ වැලලා
මියගිය දුගී අඩ සඳ
පොළොවට ගෙනෙනු නොහැකිව
වළලයි වල සොහොනක
ඉපැයූ රැයේ මුදලින්
දවසක් මිලට ගනු රිසි
වෙසඟන බඳියි මුහුලස
බලමින් කිරණ කැඩපත"
එරික් කාව්‍යකරණයට උචිත උපමා-උපමේය යහමින් භාවිත කරන මුත්, මෙවන් කව් වලට වඩා උචිත, මාතෘකාවට නොබැඳුනු ස්වරය ආරෝපනය කරගන්නේ කෙසේ ද? ඒ විකුමේ රහස, ඔහු භාවිත කරන සම මාත්‍රා ගණනකින් බැඳුනු කෙටි පද පේළි ද ?
ඔහු "පැරණි මඟුල් පින්තූරය" නම් කවියෙන් ද, වෙනස් වන ලෝකය ඉදිරියේ පෙර පැවති සබැඳියාවන්, වර්තමානයේ වෙනසට භාජනය වන අයුරු නොසැලි දකී. නවීනයෝ, නව මානයෙන් නිරීක්ෂණ කරන්නෝ වෙත, උපෙක්ෂක නෙතක් හෙළන්නේ, ඒ මතැ සිට කව් පබදලන්නේ ය. ඔහු භාවිත කරන පස්මත් විරිත මේ උපෙක්ෂක ගුණය තීව්‍ර කරයි යැයි සිතමි.
"ඔබේ දරු මුනුබුරන්
වෙසෙන නව දේශයෙහි
කාලයේ පා පහර
අතුල් අවමන් පහර
නොදෙයි අවසර නොදෙයි
පැරණි කැමරා ඇසින්
විවාහය දෙස බලන
ඉසුරුමුනි ගල්වඩුට"
මෙහි එන "ත්‍රී වීලර් කවි" යන්න නම් එරික් ගේ විශිෂ්ඨත ම නිර්මාණයකි. පස්මත් විරිතකින් පෝෂිත, රිද්මයෙන් අනූන අපූරු කවි පංතියකි. එහි එරික් ට ආවෙණික, නො ඇළුණු බව සමඟ, සියුම් උපහාසයක් ද, අප සමාජයේ හොඳ-නරක දෙකේ "නිති පෙරළීම" පිළිබඳ යථාර්තවාදි පද බැඳුමකි, මෙය. සියුම් ලෙස පද බෙදීමේ, විරාම රීතිය අදියත් හේ තම ගෙත්තමට ආධාර කර ගෙන තිබේ.
"පන්සලට ගිය ගමන
නිමා කොට එන අතර
නඟින විට වසවර්ති
මාරයකු ඉවත් කර
එහි රැඳුණු මල් සුවඳ
- චේ තමයි පින්තූරෙ
මනමාල යුවළකට
මල් කළඹ භාර දී
හැරෙන විට මංසලෙන්
පිම්පියෙකු අත වනා
ළැඟට කැන්ධවන විටදි
- චේ තමයි පින්තූරෙ"
කවියා ට තමන් රූපවාහිනි තිරයේ බලන නාලිකා සමූහය තුලින් ලොව නොතිර බව, සිත රවටා ගැනීම, විනෝද වීම යන විවිධ සිතුවිලි හට ගැනීම ද කව් සිතුවිලි වලට නිමිත්තකි. මෙහි වික්‍රමය නම්, මේ අනේකවිධ මාතෘකා ඔස්සේ කවියා සාර්ථක නිර්මාණ බිහි කිරීමට ඇති හැකියාව යි. සනාථ කරයි. "ඩිස්කවරි" නම් කවි පංතියේ කව් දෙකක් මෙලෙස ය.
"විසිවෙයි බලන පුටුවෙන්
දුටු කල අයිස් පර්වත
දිය වී ලොවම යට කොට
මතු දින කරන ව්‍යසන
...
අපොයි සුළු දෙයකි විසඳුම
නවතන සියලු ව්‍යසන
තිරයට ගෙනෙමි භාරත
සිනමා පටක සුමිහිර"
එරික් ගේ කවිය සතුටක් නූපද්දවන මුත්, එහෙත් දුක දෙස නො ඇළි, අතිශය ලෙස සංවේදි නොවී, මැදහත් බවක් ම නිරූපනය කරයි. වෙසෙසින් කොළඹ අවලස්සන, මෙතරම් සාර්ථක ලෙස කවියට නගන අන් කවියෙක් මතකයට නො නැගෙයි.
"උදා මිහි මුව අරින ඈනුම
කසළ වළකට වඩා දුගඳයි
සිහින බොජුනෙන් ඉතිරි බත් ඇට
නරක දත් මැද රැඳි කුණු වෙයි
තැඹිලි නටුවෙන් මදින දත් ටික
සුද ලබන්නට බැරිව සෙලවෙයි
උගුර හාරා දැමූ සෙම පිඩ
කාස ලකුණක් සමඟ වැළලෙයි"
ප්‍රේමය, එරික් නිතර කවියට නගන මැයක් නොවේ. එහෙත් ,මෙහි එන "අවසන් ලියුම" ද යම් නැවුම් බවකින් පිරි ආදරය පිළිබඳ කවියකි. වර්තමාන සමාජයේ පෙම්වතුන් සුහද සිතින් වෙන්වීමට එකඟ වීම සාපේක්ෂ ව සුලභය. එය නවීන ලොවේ වෙසෙසින් බටහිර බොහෝ සුලභය. ඇය, නික්මුණු තම පෙම්වතාගේ අවසන් ලිපිය කියවයි. මාත්‍රා එකොළස බැගින් රචිත කවිය, අවසන් ලිපියේ කොටස් අඟවනු වස් එය ලියැවී ඇත්තේ නිසදැසිනි:
"සිතක ඇති ආදරය නිවා දා පහන ලෙස
ඉඩ දෙන්න ඉත සිතින් සිනාසී සමු ගන්න
එකට එක්වී දෙදෙන ඇරඹි ලෙස ආදරය
සමු ගන්න අත වනා ඈත යන පිළිරුවට"
එනුමුදු ඇය, ඔහුගේ ඉල්ලීමට ඉඩ දුන්නි, සිතින් තවෙන්නි, තම ආලය ඉතා සියුම්ව අඟවන්නීය.
"යුගල ප්‍රතිමා නෙළු
සත් වසක ආලයට
දැන් ඉතින් ඉඩ දෙන්න
නෙළන්නට නොවැලපෙන
ඔබේ තනි ප්‍රතිමාව"
මේ දින වල මා කියවමින් සිටින කෘතියකි, අග්‍රගණ්‍ය නවකථාවක් ලෙස සැලකෙන, "ලොලිටා". එහි හම්බර්ට් නම් වූ කථිකයා ගේ හැඟීම් වල බලවත්කම, ඔහුගේ හැසිරීමේ සාධාරණීකරණය ඉඟි කරනා අපූරු කවි පංතියකි, "ලොලිටා මල":
"මගේ ලොලිටා කෙල්ල වූ මල
විදා ඇස්වල කොමල වියරුව
සවස වැඩිහිටි මවෙත යොල්මු කළ
බැල්ම සිහි වී මහද පෑරෙයි"
...
"අධම බලහත්කාර රැයකට
ගොදුරු වුණු මල යමක් මුමුණා
තැළී ගිය පෙති කමල ඔසවා
මගේ උර මත වරද පටවයි"
එනුමුදු බොහෝ කවි මැ ලෙස, කවියා තෝරා ගෙන ඇත්තේ රටේ හෝ ලොවේ හෝ සිදු වූ කාලීන සිදු වීමක් ය ; නැතිනම් ලෝක ප්‍රසිද්ධ කලා කෘතියකි. ඊට කවියා ගේ ආත්මගත නො-ඇළුණු කව් ලකුණු එක්කාසු වූ විට, පාඨක සිතේ ද ඇති කරන්නේ කවියෙකු පුවතක වනනායුරු මිස, කම්පනයක් හෝ අලංකාරයක් නොවේ. අලංකාරය අවම වීම තුලින් ඒවා රසවත් නොවන වගක් නොකියවේ. මගේ විශ්වාසය නම් මේ එරික් ගේ කව්-ලකුණ ම මිස, කවියේ දොසක් නොවේ. නිදසුන් ලෙස "ටෙක්නිකල් හන්දියේ ගිනිබත් අවන් හල", "ප්‍රපාතය අද්දරට", "විල්පත්තුවේ දී" "මැජස්ටික් සිටියේ දී", ""කිචි බිචි මැෂිම", "අටමාකා දුරදක්න", "ලොලිටා මල" ආදි නිර්මාණ නම් කල හැකිය.
මෙහි මා සඳහන් කල කවි කිහිපයට අමතරව, මා සිත් ගත් අන් කවි පංති කිහිපයක් නාම මාත්‍රිකව සඳහන් කරන්නේ නම්, "නැති වුණු දෙවිවරු", "සහෝදර මරණය","පළවෙනි රිචඩ්","කේ.කේ." සහ "රෑට ලුණාව" ආදිය නම් කල හැක.
පෙර කීවා සේ, එරික් ගේ කවි මීට පෙර කියවා රස විඳ ඇත්නම්, මෙය සොයාගෙන කියවන්න. එරික්ගේ කවි ස්වභාවය ඔබට දුරස්තර, නම් එය මේ තුලින් ලං නොවනු ඇත. කිසිදා එරික්ගේ කවියක් කියවා නැතිනම්, අප රට නිර්මාණකරණයේ යෙදී සිටිනා අපූරු කවියෙක් හඳුනාගන්න. සැසඳීමක් කිරිමට තරම් මා ටී. ඇස්. එලියට් කියවා නැතත්, කියවා ඇති ස්වල්පයෙන් නම්, කවි ආරේ යම් සමානතාවක සෙවනැල්ලක් තිබේ දොයි මා සිත මගෙන් ප්‍රශ්ණ කරයි (මෙහි සිටිනා කවිය මට වඩා හොඳින් තේරුම් ගත් පාඨකයින්, වියතුන්, මේ සැසඳීම වැරදි නම්, මට කමා කොට, හැකිනම් හේතු ද සපයන මෙන් ඉල්ල සිටිමි ).
No comments:
Post a Comment