Thursday 10 March 2016

භාවගීත - ගුණදාස අමරසේකර


අමරසේකරයන්ගේ පළමු කාව්‍ය එකතුව වූ "භාවගීත" කියවූවෙමි. 1955 දී, එනම් ඔහු විසි හය වියේදි,  කාව්‍ය එකතුව පළ කිරීමට දිරි දුන් සරච්චන්ද්‍රයන්ට කෘතිය පුදා ඇත.  පළමු පොතට පෙරවදනක් ලියූ කතුවරයා, "පැරණි කාව්‍ය රීති මේවා ලිවීමේදී නොසලකා හරින ලදී. එසේ වුව ද මේ හැම කාව්‍යයක ම එයට පොදු ලයක් හෙවත් තාලයක් තිබේ" යැයි පවසයි. මේ කාව්‍ය සංග්‍රහයට භාව ගීත ලෙස නම් කිරීමට මේ  "තාලය" හේතු වන්නට ඇත. මේ තාලය යන්නෙන් රිද්මය යන්න ගම්‍ය වන්නේ නම්, මෙහි එන සියළු කවි වල ඒකායන ලක්ෂණය මේ රිද්මයම බව පසක් කර ගත හැකිය. වරෙක කවියා රිද්මය ම මුල් කරගෙන, අන්තර්ගතය දෙවෙනි තැනට හෙළා ඇතැයි සිතෙන තැන් ද වේ.  කවියා ගේ විශිෂ්ඨ ත ම නිර්මාණ ලෙස සැළකෙන්නේ අමල් බිසෝ සහ ගුරුළු වත වුවත්, මෙහි අංකුර කවියකුගේ පැහැදිලි දසුන් දැකිය හැකි යැයි සිතමි. 2009 මුද්‍රණයට පෙර වදනක් ලියමින් අමරසේකරයන් පවසන්නේ මේ කෘතිය පළමු වරට පස්මත් විරිත ආකෘතිය හඳුන්වා දුන් වගය. ඒ කාරණාව මත පමණක් වුව මෙය ඓතිහාසික කාව්‍ය සංග්‍රහයක් බැව් නොකියාම බැරිය.



මේ කවි පංති අතර ඉතා විශිෂ්ඨ කවි පංති සැලකිය යුතු ප්‍රමාණයක් ඇත.  ඒ වාගේම කෙටි කථා වන් දිගු, අනවශ්‍ය යැයි සිතන කවි වලින් පංතිය දිගු කෙරෙන, පාඨකයා නිර්මාණය තුල රඳවා ගැනීමට අසමත් නිර්මාණ ද සෑහෙන්න තිබේ. නූතන සිංහල කවියේ ළදරු අවස්ථාවක , කවියා ම කියනා පරිදි ඔහු අවිඥ්ඥාණකව තම කවිකම, සිංහල කවියේ ඉදිරිමග ගැන සිතනා අවදියක ලියැවුණු ඓතිහාසික වටිනාකමකින් යුත් කාව්‍ය සංග්‍රහයක් ලෙස මෙය හඳුන්වා දීමට පුළුවන. මගේ නිරීක්ෂ‍ය වන්නේ නම්, ඒ වන  විට කවියා අතැඹුලක් සේ දත් අත්දැකීම් සහ පරිසරය කවියට නැගීමේ දී හේ ඉතා සාර්ථක වී ඇති මුත්, ඔහුට ඒ වනවිට සාපේක්ෂ වශයෙන් නැවුම් අත්දැකීම් හා අදහස් කවියට නැගීමේදී, එය එතරම් සාර්ථක වී නැති බවෙකි.

දුර්වලතා වලින් පටන් ගනිමි.

තම චින්ත සන්තානයේ ඇති වන අලස කම, පාළුව, ශෝකය ප්‍රකාශ කිරීමට තම නිර්මාණ යොදා ගෙන ඇත. මගේ කියවීම අනුව නම්, ඔහු තැනක භාවිත කරන විරිත, පදවැල් වලට ආරෝපිත වේගය, භාවයට පටහැනි බවෙකි දැනෙනුයේ.

නිදසුනක් ලෙස අලසකම යන කවි පංතියේ මේ කව පිරීක්සන්න:
 "මගේ හැම දිනයක් ම
මෙ ලෙස ගෙවෙ වා නිතර
ඇඳ මතෙහි දිග ඇදී
කල්පනාවෙන් තොර ව
අලස දෙව්දුව ඇගේ
පට සළුව සිත ඔතා
ඇගෙ අලස සිපගැනුමෙ
මා ගනී වා නිබඳ"
කවි පෙළේ, මීට පෙර කව් වල සුනංගුව, එහෙ මෙහෙ දුවන මිනිස් කැළ ගැන පළවෙන අවඥ්ඥාව, පස්මත් විරිත ගෙනෙන වේගය හා කව ම තනි නොබිඳි ප්‍රකාශයක් වීම , හා හොඳින් ගැලපෙන මුත්,  කවියාගේ අලසකම කියා පානා මෙම කවියේ දි  එය උචිත ද යන්න සැකය.

තව තැනෙක කවි පංතියක් අනවශ්‍ය ලෙස දිගුය. එහි බොහො කවි වලින් සමස්ත භාව ප්‍රකාශනයට යමක් එක්කාසු කරතැයි සිතිය නොහැක. "සම්භාෂණය" යන කවි පංතිය නිරීක්සන්න. පිටු හතක් පුරා, කවි 43ක් රැගත් මේ කවි පංතියේ නැවත නැවත  ලියැවී ඇති, පදවැල් බොහෝය. සම්භාෂණය විස්තර කිරිමට කටවහරින් ලියැවී ඇති කොටස් හිස් පදවැල් වලින් ගහණ යැයි සිතේ. කවියක සෑම වචනයක් ම එහි පැවැත්මට අත්‍යවශ්‍ය, එහි භාවය සහ ආකෘතිය පෝෂණයට හේතු වන්නේ යැයි සිතන ගුරුකුළ වෙති. එය සාධාරණ ප්‍රවාදයක් යැයි සිතේ. ඒ අනුව බලන කල මේ කාව්‍ය පංතිය බෙහෙවින් කෘතීම, පාඨකයා වෙහෙසට පත් කරවන ව්‍යායමකි :
"'හා එන්න මෙහාට ම
මාලිනී මෙහෙ එන්න'
'අර වයින් වීදුරුව
ඇන්ටීට ගෙන එන්න'

...

'යන් තිලක, ගඟ ළඟට
මෙහේ හරි ඌස්ණ යි
අර ඉන්න විස කොඩිය
ඒවි දැන් මෙතෙන්ටත්'"

"සැත්කම්ගාරය ළඟදී", "නර කෙස" කවි පංති වලත් මෙම දොස දැකිය හැක.

මෙහි එන විශිෂ්ඨතම නිර්මාණ , අමරසේකර ගේ ජීවන සුවඳ, රතු රෝස මල, කරුමක්කාරයෝ, ගමනක මුල ආදි නිර්මාණ වල මූල බීජ සැපයූ යටලමත්තේ සාරසොබාවෙන් සුපෝෂිත ය. ඇත්තෙන්ම, ස්වභාව සෞන්දර්ය වැනුම පමණක් නොව, ඔහු ගේ මුල් කාලීන නිර්මාණ වලින් ඔහු මුසපත් කල, කාමයෙන් නොකිලිටි, අප්‍රකාශිත පෙමක නිකළැල් සිතුවිලි මතක් කරවන සුළුය.

මෙහි එන "සිතින් කල ගමනක්" කවි පංතිය ඇත්තෙන්ම අප ව ද එම ගමනට එක්කාසු කර ගැනීමට සමත් ය. එය මෙහි එන සාර්ථක කවි පංතියකි.
"පාලමේ මෙ ගොඩ ඇති
අප්පුහාමි ගෙ කඩෙන්
උණට උණු තේ එකක්
හකුරු කා බීලා යමු

ගඟ අයිනෙ උණ පඳුර
හිරු එළිය වැටී වැල්ල
පාරුව ද එ ගොඩ වෙන
එහි ඉඳන් ගැහැනියක
රෙදි ගහන හඬ ගලෙහි
උදෑසන නිසසල වු
කොයි තරම් පියකරු ද?"

"සැඳෑ සිතිවිලි" අප සිතු චිත්‍රණය කිරීමට සමත් මා සිත් ගත් තවත් නිර්මාණයකි.

"රෝල් ගෙය, තාප්පය, උණ පඳුර, පේර ගහ
වසාගෙන හොර හොරෙන් අඳුර එන සැටි පෙනේ
කාරගෙන එනු ඇසේ නාකන්දේ අයියා ද
උණට උණු තේ වතුර ඉව වැටිලා වගේ

....

කොයි තරම් සුන්දර ද කොයි තරම් සුන්දර ද
මට අහෝ ඒ හැඟුම් විඳගන්න යළි බැරි ද
සිතින් වත් මේ මොහොත එහි ගොසින් එක් වෙන්ට
සිත විනා කය නොමැති බඹ ලොවක් නම් මෙ ලොව ?"

අප ද ප්‍රිය කල සමාජයක, ඊට ඖචිත ම පරිසරයකින් පෝෂණය වූ යම් යම් අවස්ථා අප ට ආවර්ජනය කිරීමට සමත් පමණක් නොව, අමරසේකරගේ ඒ සැඳෑ සමාජයේ ම කොටස්කරුවන් බවට  පත්වන්නේ අප ද නොදැන ය.


"මී දුමෙන් වැසුණු ලෝකය" කවි පංතිය ද අප ව උක්ත මීදුමේ අතරමං කිරීමට සමත්ය. ලියැවී ඇති පස්මත් විරිතින් සුපෝෂිත කෙටි වැකි, මා මනසේ මැවුවේ, ඝණ මීදුම නගනා කෙටි දුරය.
"ගඟ දිය ද, පාරුව ද
හිස් ය නිදි ගත් වැන්න
සළුව මී දුම් එතී
දෙ පා අත් බැඳ තිබේ

....

මට මෙන් ම ඔරුවට ද
ඔරුවට සෙ කඩයට ද
පිටත ලෝකය ඇතැ ති
සිහි නො වේ මොහොතකට"

"බොළඳ ප්‍රේමය" කවි පංතිය තරමක් අනවශ්‍ය ලෙස දිගුයැයි සිතුන ද, අමරසේකරගේ මුල් නිර්මාණ වල ඇති කාමයෙන්  "නොයිඳුල්" ප්‍රේමය ගැන ඔහු මනෝභාවය පසක් කරයි. වෙසෙසින් තම නිවස්නේ නැවතී සිටි තරුණ ගුරුවරියකට සිතින් පෙම් බැඳි  අවස්ථාවන් ඔහුගේ "යළි උපන්නෙමි" ඇතුළු තවත් නිර්මාණ වල තිබුනා මතකය.

"ඔබ ගෙ කාමරයෙ වූ මල් බඳුන තුළට මම
හැම දිනෙක උදෑසන සුවඳ මල් දැමූවෙමි
එ විට ඔබ සුදු අතින් මගේ හිස පිරිමදිත
බැති සිතින් පිරුණු හද මම ඔබට පුද කළෙමි

....

විදාගත් නිය දැළැති, ලේ පෙරාගත් මුවැති
පවිටු රකුසෙකු දිටිමි, උරා බොන ඔබෙ රුහිරු

ඔහු පහස රුදු පවිටු දුඟඳ දෙන ගොරහැඩි වු
ඔබට රිසි වූ අයුරු කෙ ලෙස අදහමි අහෝ"

මෙහි එන සාර්ථක නිර්මාණ වල රහස, තමන් හොඳින් ම දන්නා මනෝභවයන්, ඊට හේතුභූත වූ පරිසරයෙන් පොෂිත වැ, අප කවියා එම සුසංයෝගය ඉතා මැනවින් පදවැල් වලට පෙරළා තිබීම ය. ඔහු ගේ මනසට පමණක් ගෝචර, එහෙත් පරිසර අත්දැකීමෙන් සාපෙක්ෂව ඈත් යැයි සිතිය හැකි කව් නිර්මාණ කෘතීම ය, රස හීනය ( නිදසුන් පෙර කී "සම්භාෂණය" , "නර කෙස" නම් වූ කවි පංති ).  එහෙත් අර සාර්ථක සුසංයෝගයෙන් සහ කවියාගේ කවිකමෙන් ඔපවත් වූ කවි පංති අඩකට ආසන්න සංඛ්‍යාවකින් මෙම එකතුව පොහොසත් ය. "අඳුර සහ බිය" වන් කවි පංති නිරීක්සන්න. මින් මවනා චිත්ත රූප, හැඟීම්, පාඨකයා තුලරස නිෂ්පත්තියක් ඇති කරයි

"රබර් ගස්වල මුදුන් මහ කිතුළෙ හේඩාව
අඬාගෙන ඇද වැටෙන දොළ අයිනෙ උණ පඳුර
තාත්ත ගෙ සොහොන් කොත වසාගෙන එන අඳුර
ගලා එන විලාසය මසිත බිය දෙන සුලු ය

...

දොළ අයිනෙ ගල ගාව මෙ වේලෙහි ගන අඳුර
එය ම නේ පිළිකන්න වසාගෙන මේ එන්නේ
ගල් ගහන, තනි කරන, දොළ ඉහළ මඟ වහන
මේ අඳුර දැන් ඇවිත් මෙන්න මගෙ අත ගාව"


නාම මාත්‍රික හෝ අලුත් දේශයක, සිංහල කවිය තම අනාගත මග එළි පෙහෙළි කරලීමට යත්න දරණා අවදියක,  ලියැවුණු වැදගත් කෘතියක් බව අවිවාදිතය. සිංහල කවිය ට පෙම් කරනා, එය නැවත නැවත කියවමින් තමනට ද හොරා එය යම් අයුරකින් හදරණා පාඨකයන් අනිවාර්යයෙන්ම කියවිය යුතු කාව්‍ය සංග්‍රහයක් ලෙස මෙය මම දකිමි.




No comments:

Post a Comment