කිවිඳියගේ 'රිදුම් පිරි පිරිමැදුම්' කාව්‍ය සංග්‍රහය කියවා එය රස විඳි හේතුවෙන්, සහ 2016 වසරේ පිරිනැමුණු හොඳම කාව්‍ය සංග්‍රහය උදෙසා වූ රජත සම්මාන, සහ ගොඩගේ සම්මාන යන සම්මාන ද්විත්වයටම නිර්දේශ වූ හෙයින් ද, උක්ත කාව්‍ය සංග්‍රහය කියවීමට වීමි.
මෙය රිදුම් පිරි පිරිමැදුම් (2019) වලට පෙර ප්‍රකාශ වූවක් හෙයින්, සහ එය රජත සම්මානයෙන් පිදුම් ලත් හෙයින් ද, එය වඩාත් සර්ථක කාව්‍ය සංග්‍රහයක් ලෙස සැලකුවහොත්, එවන් අනාගත කාව්‍ය සංග්‍රහයක් ගැන බලාපොරොත්තු තබා ගත හැකි ආරේ නිර්මාණ රැසක් මෙම සංග්‍රහයේ හමු වේ. තවද, 2021 හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත් නාරි සූත්‍රය වූ කලි, ස්ත්‍රීවාදී දෘෂ්ඨිකෝණයෙන් ලියූවක් යැයි සැලකුවහොත් (මෙම සංග්‍රහය මම තවම කියවා නැත - නුමුදු එය 'කාලයේ විනිසුරු හමුවේ කතුන් දහසයදෙනෙකුගේ හෘද සාක්ෂි කැඳවීමක්' ලෙස පුළුල්ව සැලකිය හැකි ලෙස දැනට සිතමි), එහි බීජ අවස්ථා ද මෙහි දැකිය හැකි බව සිතේ.
අප මෙහි එන 'ගැටපිච්ච' නම් කවි පංතිය රසවිඳින අතරම, ඉහත කී කරුණු ද මෙනෙහි විය.
"හීනි නූලක් වාගේ දහ අතේ පැටලිච්ච
ජීවිත ම මහ ගොඩකි, ජීවිතේ තනිවෙච්ච
බවානිගෙ, මනෝහාරිගෙ සුවඳ සැඟවෙච්ච
ඒ බිමේ තියෙනවා පිච්ච තව පරවෙච්ච"
මෙම කවි පංතියෙන්, තිස් අවුරුදු යුද්ධය හේතුවෙන්, විවිධාකාරයෙන් 'පරවුණු' යුවතියන්ගේ ජීවිත සෙනෙහබර මතකයනට ලක් කරයි. එහි දේශපාලනයත්, බවානිලා-මනෝහාරිලා ස්ත්‍රීන් නිසා ම විඳි අමතර තර්ජනයේ ස්වභාවය ගැන ද ඉඟි කරයි.
කිවිඳිය, වෘත්තියෙන් මාධ්‍යවේදිනියකි. ඒ නිසා ම දෝ, ඇය සමාජ දේශපාලන කාරණා අලලා ලියනා කවි වල කවි සිතුවිලි වඩා බලවත් ලෙස ට ඇයට ඉදිරිපත් කර හැකිය. 'ආපදා සජීවීකරණය', මීට හොඳ නිදසුනකි. මෙවන් කවි වලදී, කිවිඳිය වඩා මුඛරිව ද, සෝපාහාසය මතු වන ආකාරයකින්ද නිර්මාණකරණයේ යෙදෙනු පෙනේ.
"ඒ සෙප්පඩ මී පැටවු වාගෙ ද
අපේ විලිරුදාවේ තරම!
දැනුත් ලොක්කා
වීඩියෝ කොන්ෆරන්ස් එකක
අහසත් එක්ක
පුළුවන් ද බලන්න
තවත් සතියකට විතර
දිග් කරගන්න
මේ අනෝරා වැස්ස!
කඳු නාය යන තරමට
මුදුනට නැගගන්නෙ
කවුද කියල
බලාගත්තැහැකි එතකොට...."
පිළිකාවක් වැනි දරුණු රෝගයක් වැළඳුණු අයෙකු ට, තම අසරණබව, ක්ෂුද්‍ර බව, පිළිබඳ අදහස කවියට නගා ඇති "මං කවුරු ද?" මා තරමක් කම්පනයකට පත් කල කවි පංතියකි.
"සත්තකේ ම උකස් තියල
සැපත, සතුට
වියදම් කර
අමාරුවෙන් ගොඩදාන්න
මං කවුරු ද?"
මීට අමතරව, "ආරි, සත්තයි - මං කැතයි", "මතක ද", "ඇගේ නම මල්ලිකා", "ඔවුහු පුරුෂයෝ වම්හ", "ලොකු එකාගේ ලියමන" ආදි කවි පංතිත්, නම් සඳහන් නොකල කවි පංති කිහිපයකුත් මා සාපේක්ෂව වඩාත් රස වින්දෙමි. එනමුදු, "අනුලා බිසවගේ සිරියහන් ගැබට රහසින් පිවිසි ආගන්තුකයා", "යන්නේ අපි දැන් දිවිය ලෝකෙ ද", "පෙෂාවෝර් කඳුළු", ආදියේ කවීත්වයේ යම් අඩුවක් දැනිනි. එහි විෂය නොව, විෂයය එසේම තිබිය දී, කවිය තව ඔපමට්ටම් වන්නට ඉඩ තිබුණු බවකි, අපගේ සාමාන්‍ය පාඨක රසාඥ්ඥතාවට දැනුනේ. ඇරත් "මොනිකා", "පිල් මොනරියේ" කවියේ පද ගැලපීම සහ, ශබ්ද රසය රකිනු පිණිස ම වදන් භාවිත කොට ඇති බවත්, සමහර කවියක පේළියක් පමණම, රසාස්වාදයට යමක් එක්කාසු නොකරන බවකුත් අපට හැඟෙන්නට වුණි.
කවියක්, එය ට ජීවය ලබා සිටිය හැකි උපරිම සූක්ෂම තත්වයට ඔපමට්ටම් වීද යන්න ගැන සිතන්නට වන විට, කවි නිර්මාණය කෙතෙරම් අපහසු දෙයක් ද යන්න, එහි කිසිදු නිපුණත්වයක් නැති අපට පවා වැටහෙති. මේ සටහන වූ කලි, කාලය වියදම් කොට කියවාපු කාව්‍ය සංග්‍රහයෙන් අප යමක් ලබා ගත්තේ ද යන්නට අප අපට ම දෙන පිලිතුරක් පමණක් නුමුදු, මෙය බෙදාගන්නේ කියවන්නට සිතුනු කෙනෙකුන් ගේ පරිශීලනය සඳහා ම පමණකි. ඒ අර්ථයෙන්, සමහර කාව්‍ය සංග්‍රහයන් කියවීමට ගත කරන තරම් කාලයක්, මෙම සංග්‍රහය උදෙසා වියදම් නොකලෙමි. ඊට හේතු දෙකකි - කිවිඳිය ගේ සමාජ- දේශපාලන කාව්‍ය සහ, නිසදැස් ආරේ කවි බොහෝමයක් සරල බසකින් ලියැවී, තේරුම් ගැනීමට පහසු ආරකින් තිබීමයි. ඒවා බොහෝමයක අර්ථ රසය අපට ගෝචරය. ශබ්ද රසය රැකීමට තැත් කල සිව් පද ආරේ බොහෝ කවි වල, ශබ්ද රසය උදෙසා ම මිස, කවියේ සමස්තයට යෝග්‍යතම පද භාවිත වී නැති බවකි අපගේ සාමාන්‍ය වැටහීම.
එසේ වුවද, අපි මේ සංග්‍රහය කියවා අවසන් ව, 'රිදුම් පිරි පිරි මැදුම්' ගැන අපගේ සටහන කියවුවෙමු. අප ට වැටහුනේ මේ කාව්‍ය සංග්‍රහට වඩා බොහෝ ඉදිරියෙන් එම සංග්‍රහය තිබෙන බවකි. ඒ අනුව නිතර තම කවීත්වය ඔපමට්ටම් කරමින්, විෂය පරාසයන් හි දි විශේෂයෙන් වඩාත් නූතන කවියක් වෙනුවෙන් වෙහෙසෙනා කිවිඳියක් අපි ඇය තුලින් දකින්නෙමු. ඒ අනුව, 'නාරි සූත්‍රය' පමණක් නොව, ඉන් පසුව ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් පවා, අපට කාලය ලැබෙන අයුරින් කියවීමට සිතා ඉන්නෙමු.
ශ්‍රේණිය: ***1/2