පියල් කාරියවසම් 1990 දශකයේ මැද භාගයේ තම පළමු කෙටිකතා සංග්‍රහය (දික්කසාදය) පළ කලද, 2000 වසරෙන් පසුව වැඩි කෙටිකතා සංග්‍රහයන් සංඛ්‍යාවන් පළ කොට ඒ ඔස්සෙ සිංහල පාඨකයින් අතර විශ්වාසය දිනාගත් ලේඛකයෙකි. ඒ අතර ද සැඳෑ සක්මනක සැහැල්ලුව (2003) සහ කුරිරු සුරංගනා කතාවක් (2014) සුවිශේෂිය. "රිදී රැයකි කළු දිවියෙකි" ප්‍රකාශ වන්නේ වසර 11ක විරාමයකින් පසුව ය. ඉතින් මේ කෘතිය මිල දී ගත් දා ම කියවීමට පටන් ගත්තේ ඔහු ගේ පෙර කෙටිකතා මහත් රසවිඳි හෙයින් ඒ බලාපොරොත්තුව නිසාම ය. මීට පෙර එරික් ඉලයප්ආරච්චි, ජයතිලක කම්මැල්ලවීර, නිශ්ශංක විජේමාන්න යන අයගේ අලුත් කෙටිකතා පොත් ප්‍රකාශ වූ විට ද මේ වගේ නොඉවසිල්ලක් ඇති ව කියෙව්ව ද, ඔවුන්ගේ හොඳම නිර්මාණාතමක යුගය අවසන් දෝ යම් සැකයක් සිත ට වද දීමට පටන් ගත් ඇති වර්තමානයේ, අවම වශයෙන් පළමුවට සහ තෙවෙනියට නම් කල ලේඛකයන්ගේ නවතම කෙටිකතා සංග්‍රහයන් තවම කියවා නැති හෙයින්, සැකයේ වාසිය ඔවුන් වෙත තබා නුදුරු අනාගතයේ එම නිර්මාණ කියවීමට සිතා සිටිමි. ඒ අනුව මෑතක මා වඩාත් කැමැත්තෙන් කිය වූ සිංහල කෙටිකතාකරුවන් දෙදෙනා ප්‍රින්ස් සේනාධීර සහ ප්‍රභාත් ජයසිංහ විය යුතුය. ඉතින් මෙවන් වටපිටාවක ය කාරියවසම් ගේ අලුත් ම කෙටිකතා සංග්‍රහය කියවීම ඇරඹුවේ.
එහි කෙටිකතා හතකි - ඒ ගැන සාමාන්‍ය පාඨකයකු ලෙස අපගේ අදහස් මෙසේය.
- කෙටිකතාකරුවා, කතාවේ කාලගලනය සෙමින් සිදු වන විට දී පවා පාඨකයා තමා වෙත තබා ගනිමින් ලිවීමට කවදත් රුසියෙකි. එය මා පළමුව අත්දුටුවේ ඔහුගේ එකම නවකතාව වූ 'වීදුරු කුඩු කැවුණු කලෙක' කියවීම ඔස්සේය. ගිරිදේවී කෙටිකතාව ඔස්සේ ද සාමාන්‍ය කලබලකාරී, වාහන තදබදය සහිත සතියේ උදේ වරුවක එක් අවාසනාවන්ත සිද්ධියක්, බලාපොරොත්තු රැසක් කාලය සමඟ එදිරිව තරඟය තබා, සටනක යෙදෙන අප නොදත් බොහෝ අභියෝග වලට මුහුණ දෙන අය ගැන අප මනැස විවෘත කරයි. අප රටේ නීතියේ අඩුපාඩුකම් වහා වහා විසඳා ගත යුත්තේ මෙහි ගිරිදේවී මුහුණ දුන් අසාධාරණයන් ට සාධාරණයක් ඉටුකරනු වස් ය.
- ග්‍ර්‍රාමීය ප්‍රදේශ වල සහ උපනගර වල නවයොවුන් වියේ මල් කැකුලක් වෙළඳ ප්‍රචාරයේ වසඟයට පත් ව අකාලයේ විනාශ වීම අලලා ලියැවූවකි, නුඹ නාඩන් උලලේනී. කාරියවසම් ගේ කෙටිකතාමය ලක්ෂණයක් කිව හැකි, ජීවිතය හා මරණයෙන් මතු කාලය එකීයව ගලායාමේ ලක්ෂණය අපට මෙහි දී හමු වේ. මේ ලක්ෂණය මෙහි එන අන් කෙටිකතා වලද, මීට පෙර නිර්මාණ වලද දැක ඇත්තෙමි. නිර්මාණයක් ලෙස මෙහි එතරම් නව්‍යතාවක් නොදුටුවද, කතුවරයා ශූර ලිවීම පාඨකයා රඳවා තබා ගැනීමට සමත් වේ.
- දීර්ඝ, තරමක නීරස ගමන් විස්තරත්, සිතේ තෙරුපුන මෑත දේශපාලන ඉතිහාසයේ ත්‍රාසය සහ සමාජයක් ලෙස යම් තරමක වරදකාරී හැඟීමක්(?), කෙටිකතාවකට පෙරලීමට යත්න දැරූ ප්‍රයත්නයක් ලෙස මෙම කෙටිකතා සංග්‍රහයට නම දුන් නිර්මාණය දකිමි. එහි සාර්ථකත්වය ගැන මට ඇත්තේ අවිශ්වාසී නොපැහැදිලි බවකි.
- තම ඇබේණිය ගේ අවාසනාවන්ත මරණයත් සමඟ උක් වගාව හා සබැඳි පැක්ටේරිය ගමට ගෙන ආ විපැත්තිය ගැන සංවේදී වන ගුණේරිස් උක් වගාවෙන් පලිගන්න සිතා ගනී. එනමුදු කෙටිකතාව අවසන් වන්නේ අවතාරයක ඉඟියක් සහ තවත් අවාසනාවන්ත මරණයක් සමගිනි. කාරියවසම් ගේ ත්, විජේමාන්නගේ මුල් කාලීන කෙටිකතා ආර මතක් කරවන කෙටිකතාවකි, උක්පැණි සුවඳ.
- අප රට පසුගිය සමයේ උතුරේ සහ දකුණේ සිදු වූ සමාජ හා දේශපාලන ගැටීම් හේතුවෙන් මරණයට පත් වුනේ අහිංසකයින් පමණක් නොවේ - අවාසනාවත්ත ලෙස, නොදැක සිටිය යුතු දේ දුටු, නෑසිය යුතු දේ ඇසූ අය ද වන්දි ගෙවූ අවස්ථා වූහ. මේ හමුදාවට සම්බන්ධ යම් අපරාදකාරී සිදුවීමක් දුටු හෙයින්, ඊට ඉහළ මිලක් ගෙවූ සරත් ගේ කතාවයි ( වැලිකුමාරි සහ ගොළුකුමාරයා )
- තමන් නොකල වරදකට රාජ්‍ය ත්‍රස්තවාදයෙන් වන්දි ගෙවූ අහිංසකයෙක් ගේ කෙටිකතාවකි, ඇතා වෙලා හිමයේ ඔබ උපන් දා. කෙටිකතාවේ විශ්වාසණීයත්වය ගැන මට පෞද්ගලිකව යම් සැකයක් ඇති මුත්, ඒ අප කථකයාගේ මරණින් මතු 'තතු' නිසා නොව, ඔහු රාජ්‍ය ත්‍රස්තවාදයට "හේතු" වූ "අපරාදය" නිසාය - කෙටිකතාව හැඟීම් ඉස්මතු කරලීමට වැඩි බරක් ලියා ඇති සෙයකි.
- සවලක් අතින් ගත් ගුරුතුමිය, එකී සවල අතට ගැනීමට තව මොහොතක් හෝ පමා නොවීම පිළිබඳ පාඨකයා ට සිතේ සහනයක් ඇතිකරනා අයුරකින් ලියා ඇති බොහෝ දුරට සාර්ථක කෙටිකතාවකි. භුතාවේශයෙන් ගුරුවරිය වෙත පැමිණෙන ඇගේ ගුරුවරයාගේ ඔවදන්, ඇයගේ නාට්‍ය තුලට වද්දා නොගත්තා ද සැබෑ ජීවිතයේ ඇයව විමසිල්ලෙන් තබා ගැනීමට සමත් වීද ?
එනුමුදු, සමස්තයක් ලෙස පොත අතට ගත් විට තිබූ බලාපොරොත්තු ඒ අයුරෙන් ම ඉටු වූ කෙටිකතා සංග්‍රහයක් ලෙස නම් කල නොහැක.
ශ්‍රේණිය: ***1/2

No comments:
Post a Comment