කැත්ලීන් ජයවර්ධන ලේඛිකාවට දැන් දැන් තම නවකතාව, වර්තමාන සමාජයේ සියළු දුරාචාර, දූෂණ, ව්‍යාජයන් ට එරෙහි තමනට ඇති සියල්ල කීමට ඇති වේදිකාවකි. මීට පෙර කිය වූ ඉවුරු නවකතාවේ දුටු පරිදි ම, අප රට දූෂිත දේශපාලනයත්, සමාජ ක්‍රමයත් විවේචනය කෙරෙන මෙම ආඛ්‍යායන දැන් පිළුණු බවක් දනවන්නේ, එම සිද්ධීන් වල ඇති පිළුණු බවත්, කතුවරිය අප දන්නා තත්ත්වයක් වඩා තීව්‍ර කරමින් ලියන බවක් දැනෙන නිසාය. ඇරත් ලේඛිකාව ට කීමට අත්‍යවශ්‍ය ම දේ, සහ නොකියා නවකතාවේ රසය පවත්වාගෙන යාම පිළිබඳ සමතුලිතතාවය තව දුරටත් වැදගත් නැති සේය. ඉතින් අපේ පිළුණු දේශපාලනය තුල, පට්ට ගැසූ සිද්ධීන් (cliche ) ඔස්සේ පිටු 332 ක් ම, පොත කියවීම ගැන මං මට ම බැණ වැදුනෙමි. ( මට ඇත්තටම ආත්මීය තෘප්තිය වෙනුන්වෙන් පොත අවසන් කරලීමේ 'හරිය' දැමීම වෙනුවෙන්, මගේ ජීවිතයෙන් පැය ගානක් කැප කිරීම ගැන කම්පා වෙමි.) ඉවුරු නවකතාවේ සේ ම ද්‍රෝහි නවකතාවේ ද ක්‍රිෂ්ණා, ශිරෝමී, ඊශ්වරී යනු කැත්ලීන් ගේ ම අවතාර ය. ඔවුන් කැත්ලීන් කිය වූ පොත් වල කොටස් වමාරයි. පොත අවසන ඇත්තේ යුවාල් නොවා හරාරි ගේ කියමනකි. එහෙත් ඔහු දකිනා ශුභවාදී සිහින නම් කැත්ලීන් නොදකී. කැත්ලීන් දකිනුයේ, 2050 වසරේ දී ත්, දෙමළ මනුස්සයෙකුට 'දෙමළා' යැයි අමතන, විදෙස් රට වල සිටින දරුවන් ගේ මෙහෙ ඉඩ කඩම් ණය වෙනුවෙන් ලංකාවේ බැංකු සමඟ ඇණ බැන ගන්නා දෙමව්පියන් සිටිනා සමාජයකි. මේ අද වන විටත් මකෙමින් පවතින තත්වයන් ය. කැත්ලීන් ගේ අශුභවාදය එතරම් ය.
ද්‍රෝහී ලෙස මා නම් කියෙව්වේ තමනට වඩාත් ම කීමට ඇති දේ කුමක් දැ යි තෝරාගත නොහැකි, බොහෝ දේ කීමට තැත් කරන, ඇයගේ සාමාන්‍ය දාර්ශනික ආනතියට පක්ෂ,
සුළු සුළු මාතෘකා, ස්වයං තර්ක කිරීම් වලට ඉඩ දීම සඳහා වේදිකාවක් කර ගත්, ඒ නිසා ඇය ගේ පෙර ලිවීම් ගැන විශ්වාසයෙන් පොත් මිල දී ගත් පාඨකයින් ගේ කාලය කා දමන පොතකි. මාංශ භක්ෂණය හේතුවෙන් ඇති වන සත්ව අවිහිංසාව, කැරපොත්තෙක් දුටුවොත් ඌට විඳවන්න නොදී අධිමාත්‍රා විෂ දී ඌට ක්ෂණික මරණය ගෙන ඒම, ආදී එකි මෙකි හිසට නැගෙන හැම දේම මේ පොත ඇතුලට එබ්බවීමේ ඇගේ තනි අභිලාෂය වූයේ ද?
මේ පොත අන්තිම දුර්වල නවකතාවකි - කිසිදු පාලනයකින් තොරව, අවතාර චරිත කිහිපයක් මගින් ඇය කිය වූ පොත් කීපයක අදහස් වමාරන, ඒ කිසිදු අදහසක නව්‍යතාවක් නොමැති, පාඨකයා ට ඇත්තට ම පීඩාවක් ගෙනෙන නවකතාවකි.
ඔබ ඔබට උදවුවක් කරගන්න - මෙය නොකියවා ඉන්න!
ශ්‍රේණිය: *1/2
No comments:
Post a Comment