කතුවරයා කෙටිකතා වලට ප්‍රථමව, නොනිල පෙරවදනක පවසන්නේ, මෙහි එන 'ඇතැම් අවස්ථා' කුණුහරුප' ලෙස විග්‍රහ නොකරන බවයි. කෙටිකතා අට කියවාගෙන යාමේදී මට නම් පැහැදිලි වූයේ, කතුවරයා ඒවා කුණුහරුප ලෙස නොව, ඔහු ගේ අදහස්, විශ්වාස, සමාජ විග්‍රහයන් වෙනුවෙන් භාවිතයට ගන්නා සිදුවීම් ලෙසය. මෙම කෙටිකතා සංග්‍රහයයේ සාර්ථකත්වයත්, දුර්වලතාවත් ඇත්තේ මෙතැනය. කතුවරයා යම් යම් අදහස් දරන්නේය. තම නිර්මාණ තුලින්, එම අදහස් හි සාධාරණ බව, සත්‍යතාව තහවුරු කරලීම, තම පරම උවමනාව ලෙස සලකන බවකි අප ට හැඟෙන්නෙ. එසේ තම නිර්මාණ තුලින් යම් අදහසක් වෙනුවෙන් පෙනී සිටීම කරනා කතුවරු දුර්ලභ නැත. එහි සාර්ථක-අසාර්ථක බව අපට පසක් වන්නේ, නිර්මාණය තුලට එම අදහස් ගිල්වා, තනුක කොට, සුපරික්ෂාකාරී කියවන්නියකුට ගෝචර වන අයුරෙන් හා, නිර්මාණයට අනවශ්‍ය බරක් ලෙස ඉදිරිපත් නොකිරීමේ හුරුබුහුටි බවේ ඇති සාර්ථකත්වය මතයි.
ගැහැණියක් ඇත්තටම පිරිමියෙකුට ආදරය කරන්නේ ඇයට ඔහුගේ සුවිශේෂි යැයි සිතෙන හේතුවක් නිසාය. සමාජ සම්මතය අනුව -ස්ථාවර රැකියාව, මිල මුදල්, උගත්කම, පරම්පරාව, සත්‍ය වශයෙන් එම වසඟවීමට කෘතීමව සමාජ පීඩනය මගින් එක්කල කොටස් ය. අපතයා කෙටිකතාව මගින් මේ තත්වය නිර්මාණාකාරයට ගෙනහැර දැක්වීමට වෑයම් කරත්, කතුවරයාගේ නිර්මාණ සැකැස්මේ ඇති යම් ආකෘතික භාවිතය, පෞද්ගලිකව රසාස්වාදය උපරිම තලයට ගෙන ඒමට බාධාකලේය.
අතරමංවූවෝ කෙටිකතාව, නූතන, වෙසෙසින් බටහිර අදහස් ඔස්සේ යම් විවේචනයකට ද පාත්‍ර විය හැක. මෙහි එන ගැහැනිය පළමුව පිරිමියා ඇයව රවට්ටා ගැනීම, නම්මවා ගැනීම ගැන ප්‍රවේශම්කාරී වෙයි - එසේ නොකරනා කල තම ගැහැනුකම ගැන, ඔහුගේ පුරුෂභාවය ගෑන අවිශ්වාස කරයි - සිතින් පුරුෂයාට බැණ වදියි. එහි ස්ත්‍රිය කෙරෙහි යම් ඒකාකෘතික බවක් ආරෝපනයට ආසන්න අවස්ථාවක් නැත්තේ නොවේ; එහෙත් එවන් අවස්ථා මත පිහිටා සිටීම සාහිත්‍ය සේවනයට බාධාවක් බවයි අපගේ අදහස - එ නිසා එය නොසලකා යුත්තකි. පෙර කී පළමු අවස්ථාවෙන්, එනෙක් අවස්ථාවට ගැහැනු මනසේ ආගමනය කෙටිකතාවේ මුඛ්‍ය මාතෘකාවයි ( පුරුෂයා කුමන අවස්ථාවේ හෝ ගැහැනිය තම කැමැත්තට නම්මවා ගැනීම තම එකම අභිප්‍රාය යන ආස්ථානයේ සිටය එම ගැහැනු මනස ක්‍රියාත්මක වන්නේ - එය එසේ නොවන බව කීමට තැත් නොකරමි). එනුමුදු මෙම ගැහැනු මනසේ සැකය සහ වෙනස්වීම යන කාරණාව පෙන්වීම උදෙසා කතුවරයා එතරම් විශ්වාසදායක කතාකෝවක් නිර්මාණය කරන්නේ ද යන්න ගැන අයෙකු ට ප්‍රශ්ණ කල හැක.
ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ සිදුවන මදි පුංචිකම්, නොසලාහැරීම්, ආදිය ගැන, සාහිත්‍ය පිළිබඳ උනන්දු අයෙකුට අසන්න නොලැබෙන දවසක් නැති තරම් ය. මහාචාර්‍යවරයාගේ විචාරය ද එවන් අවස්ථාවක් ගැන කියවෙන නිර්මාණයකි. කිසිදා නොලියවෙන විචාරයක් පිපාසාවෙන් මෙහි එන ලේඛකයා මේ කියනා මහාචාර්‍යවරයාට තම පොතෙන් පිටපතක් යවන්නේ විටක බර වියදමක් ද දරමිනි. මෙය කතුවරයා ගේ පෞද්ගලික අත්දැකීමක් වීමට ඉඩ නැත්තේ නොවේ.
පෙර ද කීවා සේ, මෙම කෙටි කතා සංග්‍රහයයේ එන කතුවරයා ට සමහර දෑ ගැන තමන් ට විශ්වාසී අදහස් තිබේ. ඔහු එම අදහස් වෙනුවෙන් තරයේ පෙනී සිටී. තම කෙටිකතා නිර්මාණ එම අදහස් ද ක්ෂාත්ක්ෂාත් කරලීමට භාවිතා කරනවා යැයි සිතේ. දක්ෂ නිර්මාණකරුවෙකු ලෙස එවන් අවස්ථා සාර්ථක වන අවස්ථා ඇතත්, පාඨකයා ට කතුවරයා ගේ අරමුණ ම කුමක් දැයි වැටෙහෙන අවස්ථා වලදී නිර්මාණයේ සාර්ථකත්වයට යම් පලුද්දක් එකතු වේ. වැල එවන් නිර්මාණයකි. අද වන අධ්‍යාපන කටයුතු වලට නොහැකි ම බැරි උපාංගයක් වන පරිඝණකයක්, මෙහි එන කතා නායකයාගේ පවුලේ, ඔහු ඇරෙන්න අන් සියළු දෙනාම තම කාම අස්වැසිල්ලට අපරික්ෂාකාරී ලෙස භාවිත කිරීම යනු, අපට නම් හැඟෙන්නේ කතුවර අරමුණ වෙනුවෙන් ම සේවය කරනා උපක්‍රමයක් ලෙසට ය.
අප රටේ, සමාජ ස්ථරය අනුව යම් පුද්ගයලන් තමන් වෙත කෙරෙන ඕනෑම දෙයක් ඉවසීම අද වන විටත් සිදුවනා දුක්ඛිත තත්වයකි. "වැසිකිළි සෝදන්නාගේ දුව වීම නිසා", ඇය ද ඒ සියල්ල ඉවසීම, හෝ ඊට එරෙහි වීමේ ශක්තියක්, හෝ මානසිකත්වත් නොතිබීම, මෙම තත්වයන් අද වන විටත් එලෙසම පැවැත්මට හේතු වන බව පැහැදිලිය.
කතුවරයාගේ නිර්මාණ වල තනිකම සහ ලිංගිකත්වය විෂයෙහි, වඩා සාධාරණ ආස්ථානයක් වෙනුවෙන් පෙනී සිටීම, මා සිත් ගත් කාරණාවකි. ලිංගික සූරාකෑමෙහි අජූව පෙන්වා දෙන අතර, ලිංගිකත්වය විඳිය යුත්තක් වශයෙන් ද, දෙදෙනෙකුගේ කැමැත්ත ඇත්තේ නම්, එය අනෙකාගේ වැඩක් නොවේය යන ආස්ථනායත්, එකට විසිය නොහැකි නම්, වෙන්වීමේ වරදක් නැති බවත් පෙන්වීම, එහි දිගුවකි. තුන් දොහේ දීගේ කෙටිකතාව, පුළුල් ලෙස මෙවන් අදහස් කෙටිකතාව තුලින් නිරූපනය කෙරෙමින් දිගැදෙන අතර, මෙහි එන ඉස්කෝල මහතා, කුසුමා ගේ ආරාධනය ප්‍රතික්ෂේප කල ද, ඉස්කෝලේ මහතා එතැනින් පිටත් වෙද්දී, කුසුමා තවම ජීවිතය විඳීමට කැමති කාන්තාවක් බව පෙන්වන ආකාරය සුවිශේෂිය.
"ඉසකෙයා කෙන්දක තරම්වත්, සීරීල්ලක්, පැලීමක් නැති, බත් අහුරක් දමාගෙන කෑ හැකි තරම් පිරිසිඳු ඔහුගේ දෙපා - යටිපතුල් දොරකඩ ගලවා තිබූ රබර් සෙරෙප්පු දෙක දමා ගන්නා විට ඇගේ ඇඟ සලිත වනවා - ඇඟ පුරා දිවූ හිරිය ඇය දෙනෙත පියා සපා ගන්නවා ඔහු දුටුවේ නැත." (92 පිටුව)
විශ්වවිද්‍යාල දේශපාලනය මුවාවෙන්, සහ එහි ආකෘතික ජීවිතයට විරුද්ධ ජීවිතයක් වෙනුවෙන් වන්දි ගෙවූ ෂර්මිලා, තම දිවිය පුරා තමන් තෝරා ගත් අයුරකින් සමාජයට සේවයක් සපයෛ. කෙටිකතාවේ නම 'වේසි!' වුව, ඇය මුදලට විකිණෙන ඇත්තියක් නොවේ. ඈ සැම දා තම සිරුර පරිත්‍යාග කලේ, අන් අයගේ ව්‍යාකූලත්වයක් වෙනුවෙනි. මුල දී ඈ භාවිත වුව ද, පසුව ඈ කැමැත්තෙන්ම පාහේ තම දිවිය උරුම කර දුන් තත්වයෙන් තව මිනිසෙකුගේ යම් ආකාර ගැටළුවකට අස්වැසුමක් ලබා දෙයි.
"'ආදරය' කියන්නේ ඒකට තමා!" යන්න ලිංගිකත්වය සහ ආදරය යන්නෙහි වඩා නූතන අදහස් වෙනුවෙන් පෙනී සිටියි. වර්තමාන සමාජයේ සමරිසි - හා එසේ නොවන යන විභේදනයේ දෙකින් එකක් තුල ගොණු නොවන අය ගේ වැඩිවීමක් දැකිය හැක. එය දේශපාලන සටන් පාඨයක් නොකරගෙන, කෙටිකතාවක් තුල, සාර්ථක ලෙස අලලා ගත් අවස්ථාවකි, මෙම නිර්මාණය. අයෙකු යම් අවස්ථාවක සම ඇසුරකුත්, තවත් විටෙක තමනට පෙර රිසි වූ පුද්ගලයා ගේ ඇසුර පසු කොට ජීවිතයේ තවත් අඩවියකට පා තිබෙනවා වන්නට ත් පුලුවන.
"ඉතිං මං කිව්වනෙ මට එහෙම දෙයක් ඕනෙ නෑ. එදා ඒ දේ ඕනෙ උනේ අපි දෙන්නට දෙන්නා ඒ තරං සමීප හින්දා. ඒ මොහොතෙ ඒ ආදරේ ප්‍රකාශ වෙන්න තියන හැම ඉඩක්ම හෙව්ව හින්දා. නැතුව මට එහෙම දෙයක් ඕනැ උන හින්දා නෙමෙයි." (128 පිටුව)
මෙම සංග්‍රහයේ එන සාර්ථකම, හෙවත් කතුවරයා පෙනී සිටින අදහස් වඩා සුමට ලෙස කෙටිකතාවක් තුල ගොණු කල අවස්ථාවක් මෙය වේයැයි සිතේ.
සාරාංශ ලෙස, නූතන අදහස් හා සබැඳි කතුවර අදහස් වෙනුවෙන් පෙනී සිටින කෙටිකතා ගොන්නක් ලෙසත්, සාර්ථක පාර්ශවයට වඩා ආනත මුත්, එහෙත් කතුවර අදහස් වෙනුවෙන් සේවය කිරීමට යාමෙන් කතා රසය මෙන්ම විශ්වාසයත් විටෙක අභියෝග කෙරෙන අවස්ථා ද දැකිය හැකි කෙටිකතා අටකින් සපිරි සංග්‍රහයකි. මෙම සංග්‍රහයේ, 2022 වසරෙ, 2021 වසරේ ප්‍රකාශිත හොඳම කෙටිකතා සංග්‍රහය සඳහා වූ සම්මානයට, රජත, විද්‍යෝදය, සහ ගොඩගේ යන තුන් පාර්ශවයෙන්ම නිර්දේශ විය. මෙහි එන නූතන අදහස් ඊට බොහෝ සේ හේතූ වුවා විය හැකිය.
ශ්‍රේණිය: ***1/2
ප්‍රකාශනය: සරසවි
ශානරය: කෙටිකතා
2021 ප්‍රකාශිත තෝරා ගත් කෙටිකතා සංග්‍රහයන් කියවීම: 3