Monday, 17 January 2022

අලුත් නගරාධිපති - බටුවන්ගල රාහුල හිමි

 


ලේඛක භික්ෂූන් වහන්සේ ගේ නවකතා කිහිපයක් කියවා තිබුන ද ( බොර තෙල්, නයිගලින් උපන් පුත්‍රයෝ, ගුම්, රන් කරඬුව, රන් පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා ), උන් වහන්සේ ගේ කියවූ පළමු කෙටි කතා සංග්‍රහය මෙයයි. 2020 වසරේ ප්‍රකාශ වූ හොඳම කෙටි කතා සංග්‍රහයට හිමි රජත පුස්තක සම්මානය දිනා ගැනීම මෙම පොත කියවීම ට ආසන්න ම හේතුවයි.

කෙටිකතා නවයකින් සැඳි මෙම සංග්‍රහයේ, කෙටි කතා හයක් පමණ වර්තමාන සමාජ-දේශපාලන තත්තවයන් හා තදින් බැඳී ඇත. වරෙක එම තත්ත්වයනට කෙරෙන උපහාසාත්මක නිර්මාණාත්මක විචාරයකි. ලේඛක හිමියන් තම නවකතා වලින් පිළිඹිබු කොට ඇති, යථාර්තවාදී ශෛලියෙන් ඔබ්බට ගොස් වරෙක තරමක් වියුක්තව ද, තවත් විටෙක අද්භූත බවක් ද රැගත් නිර්මාණ ශෛලිය මෙහි දී ද සාර්ථකව භාවිත කොට ඇත.

මෙහි ආරම්භක කෙටි කතාව වන 'රෝස මල' මා රස විඳි නිර්මාණයකි. යුද්ධයේ බිහිසුණුකම මෙන්ම, කුමන හේතුවක් නිසා හෝ වෛරය අයෙකුට හිමි විය යුතු ආදරය ද ඈත් කිරීමට පෙළඹෙන ආකාරයත්, මැනවින් ලේඛක හිමියන් තම නිර්මාණය තුලට ගැබ් කොට ඇත. මෙහි එන පියාගේ පැසවෙන වෛරයත්, සමාව නොදිය හැකි වැරැද්දක් තමනට සිදුවී ඇතැයි යන තහවුරුවත්, තමන් ගේ දියණිය වසනා වර්තමානයත්, ඇගේ ලොව හා ඇගේ සිතුම් පැතුම් හා නොගැලපෙන ආකාරයත් පෙන්වීමට භාවිත කොට ඇති 'නිර්මාණිත රෝස මල' ඇත්තෙන් ම අපූරු නිර්මාණාත්මක උපායකි.

තමන් ට ජීවිත තර්ජන ඇතැයි මෙරටින් පිට ව ගොස්, සරණාගත තත්ත්වයන් ඉල්ලමින් බටහිර රටක වෙසෙන මාධ්‍යවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ගැන කතා අපට අලුත් දෙයක් නොවේ. 'සරණාගත' නම් වූ මෙම නිර්මාණය මගින් එවන් දෙපළක් සමාජයට වෛර කිරීමට හේතු වන පුද්ගලානුබද්ධ හේතුන් ඇති බවත්, ඔවුන් අඳිනා සමාජ සාධාරණත්වයේ සළු පිළි වල රැවටීමට ත් ඒත්තු ගන්වමින් ලියූ කෙටි කතාවකි.

'අලුත් නගරාධිපති' වර්තමාන දේශපාලන ක්‍රියාකාරිත්වයේ ඇති අසාර්ථකභාවය ගැන වෙනත් නෙතකින් බලා ලියූ කෙටි කතාවකි. අප රට සැලකුවහොත්, මෙහි සමාජ දේශපාලන සාධාරණත්වය ඇති කරලීමට නම්, සමාජයේ නිරෝගීතාව උදෙසා උඩම ස්ථරයේ සිට පහතම කෙනා දක්වා,  තම අත්‍යවශ්‍ය දායකත්වය, කැපකිරීම තේරුම් ගත යුතුව ඇත. නැතිනම් හැමදාම සිදුවන්නේ මෙම නිර්මාණයේ  එන්නාක් මෙන් 'කුණු කන්ද' ඉවත් කරලීමට ප්‍රතිඥ්ඥා දෙනු මිස, එය 'චීනෙන් ආනයනය' කරන විශාල රෙද්දකින් ( වරාය නගරයකින් ?, අධිවේගි මාරගයකින් ?) වසාගෙන කුණු කන්දට ම බිලි වීම පමණකි. අපූරු රූපක භාවිත සාර්ථක නිර්මාණයක් ලෙස මෙය දකිමි.

දේශපාලනය අප රට ක්‍රියාත්මක වන ආකාරයේ අපූරු පිළිඹිබුවක් වන 'පඩ මුත්තා' ද, අප රට සමාජය 'පහත් තැනින් යයි ගලා ජලේ' න්‍යාය පිළිබඳ නිදසුනාකාර නිර්මාණයකි.  මෙම සමහර නිර්මාණ වල ඇති වර්තමාන අදාළත්වය අඟවමින්, කතුවරයා සමහර කෙටිකතා අවසන් කරන්නේ, '...මෙම කතාව අදටත් නො නිමියේ යැ..' කියමිනි ( වැඩිමනක් වා, 'නිමි' කියා අවසන් කෙරේ).

මා දන්නා තරමින් ලේඛක හිමියන් සැලකිය යුතු කාලයක් එක්සත් රාජධානියේ ගත කොට ඇත. එක්සත් රාජධානියේ වර්ගවාදය, ජාතිවාදය ප්‍රතික්ෂේප කරලනු වස් බොහෝ නීති සම්පාදනය කොට ඇත. එහි බොහෝ වැසියන් කැමැත්තෙන් ද, අනෙක් අය අන් විකල්පයක් නැති හෙයින් දෝ එම නීති වලට අවනත වෙති. එහෙත් අවස්ථාවක් ලත් විටෙක, අනෙකා පෙළීම ට මැලි නොවෙන අවස්ථා වාර්තා වී ඇත. දීර්ඝ කාලයක් එම රටවල ජීවත් වූ,  සුදු සම් නැත්තන්, හෝ අන් ලබ්ධිකයින් හට, තමන් විඳි වෙනස්කම් ගැන කීමට කතා ඇත්තේ, නව නීති තත්ත්වයන් යටතේ වුව, සැඟවුණු ආකාරයට හෝ සියුම් ලෙස හෝ ඔවුන් එවන් තත්ත්වයනට මුහුණ පා ඇති නිසා ය. 'වහල් දූපත' නම් වන මෙම කෙටිකතාවේ එන ශෙරී නම් වූ කාන්තාව තම ජාතියට, පැලැන්තියට පෙර පැවති සමාජ සම්භාවනාව නැති වීම මකාලනු වස්, කෘතීම ව හෝ එවන් තත්වයක් සාදා ගැනීමට නොපැකිලෙන්නීය. එලෙසම 'ධර්මසුන්දරම්' වැනි අය ශෙරී ලා ගේ පැලැන්තිය සේවනයට සේවය කිරීමට නොපැකිලෙන්නෝය.

අප රට වාමාංශික ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරයේ සීමාවන් නිසාම, අප රට සමාජයේ උන්නතියට මහත් සේවයක් කරලීමට සමත් දේශපාලන දර්ශනයක්, අද වන විට අවලංගු වී ඇති ආකාරය පෙන්වන අතිසාර්ථක නිර්මාණයකි, 'කඳුකර කොමළි'. එම දේශපාලන දර්ශනය දැඩි ලෙස ග්‍රහනය කොට ගත්තෝ, මෙහි එන එම දේශපාලන අදහස ට වහල් වූ රියැදුරු මෙන්, කැඩුනු බසය කෙසේ හෝ සාදාගෙන එම කෙටි දුර යෑම ගැන නොසිතා, බසයේ අබලන්බව ගැන රෑ වන තුරු දෙස් තැබීමට පමණක් ම සැදී පැහැදී සිටින්නෝය. තම සමාජය විරසක කරගන්නෝ ය. එහෙත් ඔවුන් තුල මනුසත්බව ඉහළින් ම අති බව පිළිගත යුත්තෝය. මෙහි එන රුසියාවේ ඉගෙන ගන්නා තරුණයා ගේ ප්‍රායෝගීක දැනුම් භාවිතාව, එම රත් කමිසයට සීමා වූ වාමවාදියනට යමක් සිතීමට බල කරයි. එසේ ඔවුන් සිතන්නේ නම් රටක් ලෙස එය අප රටේ උන්නතියට හේතු වනු නො අනුමාන වන්නේ, එම දේශපාලන දර්ශනයේ සුදුසු භාවිතාවක් අදට ද අවශ්‍ය නිසා ය.

සම්භාව්‍ය බසක් භාවිතා කරමින්, අද වන විට රට ට විහිළුවක් බවට පත් ව ඇති 'භාවිතා බුද්දාගම' පිළිබඳ කර්කශ උපාහාසාත්මක නිර්මාණායක් වන 'ආකාල ජාතකය' ද මෙහි එන තවත් අපූරු නිර්මාණයකි.

"එම නිවන් පිපාසිත ජනයෝ, නිවන් කොහිදැයි සොයමින් දිය නොදැක මිරිඟු පමණකින් වෙහෙස වන මුව රැළක නියාවෙන් ඇවිද යන කල්හී, රූප නාලිකා මගින් විවරණ දී, බුදු කොට රහතුන් කොට දෙන්නා වූ සම්මුතික බුදුවරුන්, රහතුන්ගෙන්ම වෙහෙස ව ගිය ඒ ජනයෝ ඒ මගින්ම සොයා දෙන බුදුන්, රහතුන් ලොව උතුම් වන්නේ යැයි අදහමින් සිටිනා කල්හී, ඒ රූප නාලිකා තරගකාරයන් විසින්ම සොයා දුන්, මහා ප්‍රාතිහාර්‍ය පානා එක්තරා සම්මුති බුදු කෙනෙකුන් ගැන අසා, නිරුදක කතරක අතරමංව සිටිනා සඳ දියත්තක් දැක ප්‍රීති ඝෝෂා නගනා පිපාසිතයින් පරිද්දෙන්ම සාධුකාරයෙන් ප්‍රීති ඝෝෂා නගමින්, ඒ බුදුන් දකින්නට අපි ද යමෝයි සිතමින් මග ලකුණු, යන පිලිවෙත් ඒ රූප නාලිකා ඇදුරන්ගෙන්ම ශුද්ධකොට දැනගෙන, ඇඟ විළි වැසීම් පමණකුදු වස්ත්‍ර ඇඳීම්  මැනවැයි සිතා ඒ වස්ත්‍රයන්ද නේක විධ වර්ණයෙන් ඔප නොදමා ශ්වේත වර්ණ පමණක් ම පිළියෙල් කොට ගෙන කන කර ආභරණ කිසිත් නොපළඳා වැල ගැසී පිළිවෙලින් නිවන් සොයා යන්නෝය." (94 පිටුව)
             ඉහත සඳහන් කෙටි කතා 7 ම මා මහත් රස විඳි, සාර්ථක නිර්මාණ ලෙස දකිමි. මෙම නිර්මාණ හතේම අප කතුවරයා සුවිශේෂි රූපක, කතා උපක්‍රම ආදිය භාවිත කරමින් තම දක්ෂතාව මැනවින් පිළිඹිබු කරයි.
පහත හඳුන්වා දෙන කෙටි කතා දෙක ගැන මා අදහස් මිශ්‍ර වුව ද, ඒවා අසාර්ථක යැයි කීමට හදිසි නොවෙමි.

ආතර් සී. ක්ලාක්ගේ 2001:Space Odyssey හි අවසානය මතක් කෙරෙනා භාවනාවක් තුලින් සිතින් ගමන ගන්නා විශ්ව ගමනත්, අණ්වික්ෂයක් බඳු ඇතුලාන්තයට යන ගමනත් යම් අපූරත්වයක් පාඨකයාට ගෙන ආ හැකිය. ඇරත් වෙනස් ආරක විෂයක් කෙටි කතාවකට බඳුන් කරලිමට ගත්  ලේඛක හිමියන්ගේ  උත්සාහය අගය කල යුත්තකි. (ශුන්‍ය)


මා ඉතා ප්‍රිය කරනා රොක් සංගීත කණ්ඩායමක් වන Tool ගේ, ප්‍රියතම ඇල්බමය වන Lateralus අවසන් වන්නේ faaip de oiad නම් වූ දුරකතන ඇමතුමක ආකාර ගන්නා track එකකිනි ( එය ගිතයක් නොවේ). ඉන් කියවෙන්නේ එම අමතන්නා ඒරියා 51 හි සේවය කල බවත්, පිටසක්වල ජීවින් හා අප ලොව සමහර බලවත් දේශපාලන බලාධිකාරීන් මගින් ඔවුන් අප සමාජය ට දැනුවත් ව බලපෑම් කරන බවත් ය. Track එකේ නම ඉනෝකියන් නම් 16 වෙනි සියවසේ එංගලන්තයේ පැවති බසකින් එන අතර එහි සරල පරිවර්තනයේ තේරුම, 'දෙවියන්ගේ හඬ' ය. එය සත්‍ය වශයෙන් ම අමරිකාවේ රෙදෙව් සේවයකට 1997 දී ලත් දුරකතන ඇමතුමක කොටසකිනි - එහෙත් මා ඒ පිළිබඳ දැන ගත්තේ Tool නිසාය.  එම ඇමතුම්කරු ම පසු දිනෙක නැවත අමතා තමන් කලේ රැවටීමක් යැයි පවසා තිබෙන බවක් පැවසේ. ( Lateralus විශිෂ්ඨ ඇල්බමයක් වන්නේ මෙම සත්‍ය හෝ අසත්‍ය හෝ ඇමතුම නිසා නොව, එහි එන මහත් නිර්මාණාත්මක සංගීතය නිසා ය). මා මේ දීර්ඝ විස්තරය කලේ මෙවන් පසුබිමක් භාවිත කොට 'ඒරියා  51' හි සිදුවන මහත් කුමන්ත්‍රණයක් ගැන දැනුම් දීමක් මෙම කෙටිකතාව ට මුල් වේ. එය ද දුරකතන ඇමතුමක් මුල් කරගෙනය. එහි ඇත්තේ විද්‍යාගාරයක් වෙනුවට 'සංස්කරණාගාරයක්' ලෙස සලකමිනි, කතාව ගොඩනැගෙන්නේ. අප ලේඛක හිමියන් Art Bell ගේ එම ඇමතුම ගැන අසා තිබෙන්න ට පුළුවන.

සමස්ත වශයෙන්, කෙටිකතා රසිකයෙකුට කියවීමට බලකිරීමට තරම් සිත් දෙන සාර්ථක නිර්මාණ රැසකින් සුපෝෂිත සංග්‍රහයක් බව කීමට මැලි නොවෙමි.

ශ්‍රේණිය: ****1/2
ප්‍රකාශනය: KBOOKS (2020)
2020 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 2

No comments:

Post a Comment