Thursday 23 December 2021

ඇන්ටික් කඩයක මරණයක් - අශෝක හඳගම

 කලකින් පසුව නාට්‍යයක් නැරඹුවෙමි. ඒ හඳගම ගේ ඉහත මයැති නාට්‍යයයි.


1. රංග ශාලාව පිරී තිබුනි. "දිවයින" ලාංඡනය දුටු මා පළමුව සුතුවේ, මෙපමණ පිරිසක් පැමිණ සිටියේ උපාලි පුවත්පත් සමාගමේ උත්සවයකට වත් දෝ කියා ය. කිම ද අදහස් අතින් හෝ දිවයින හා හඳගම අතර අදහස පරතරය දුරස් නිසාය. කලින් ප්‍රවේශපත්‍රයක් මිල දී නොගෙන සිටි මට තිබුනේ 'බැල්කනි' විකල්පය පමණි. එපමණ ප්‍රේක්ෂක පිරිසක් සිටියේ, සෞඛ්‍යාරක්ෂක හේතුන් මත ආසන සීමිත හෙයිනි.

2. නාට්‍යය, සහ නාට්‍යය නිරුපනය අතර ස්ථරයක්, නාට්‍යය තුලින් ම දැකීම අලුත් අත්දැකීමක් විය. ඔවුන් ගැයූහ. චරිත හඳුන්වා දුන්හ.  සමහර විට ජාත්‍යන්තර නාට්‍යකලාව දත් රසික පිරිසට එය අලුත් නොවන්නට ඇත. එම මධ්‍ය තලය ප්‍රේක්ෂකයන් දැනුවත් කරයි - ඒ අතරම නාට්‍යයේ චරිත හා පිළිසඳරක යෙදෙයි. නූතන පූර්වක චරිතයක් පානා කණ්ඩායමක් මෙනි. එහි (unofficial/raw) නොනිල/අමු ගතිය නාට්‍යයට තවත් වටිනාකමක් එක්කාසු කලේ යැයි සිතමි.

3- විරාමයකින් තොරව විනාඩි 120 ට ආසන්න කාලයක් දිවූ නාට්‍ය විවිධ දිශාවන්ගෙන් ඇගයිය හැකිය.

     අ. හුදු කලා කෘතියක් ලෙසින් සියළු අංශයන්ගෙන් මා මහත් රස වින්නයක් ලැබීය. එය ගායනයෙන්, කතා වස්තුවෙන්, චරිත වලට පණ පෙවූ එම නළු නිළියන්ගෙන් ආදී සියළු අංශයන්ගෙනි. සෞම්‍ය ලියනගේ විශිෂ්ඨ රංගනයක යෙදෙයි - එහෙත් එය යම් තරමක බලාපොරොත්තුවකි ( ඔහු සූර් මතින් ගැයූ ගීය මා සිත් ගත්තේය.) මට මෙම නාට්‍යයේ සුවිශේෂිම රංගන දායකත්වය නිපුනි ශාරදාගෙනි - ඇගේ ගායනය ද ඊට නොදෙවෙනි ය. මෙලෙස පළමු රංගනයෙන් මා විස්මයට පත් කිරීමට මීට පෙර සමත් වූයේ,  ප්‍රියංකර රත්නායකගේ  අද වගේ දවසක ඇන්ටිගනී නාට්‍යයෙන්, ප්‍රසාදිනි අතපත්තු ය. 

   ආ. මෙහි අප සමාජ දේශපාලන යටිපෙළ බොහෝය. ඉන් අප සමාජය පිළිබඳ විචාරයක් යෙදේ. හතර කේන්දරේ පාළු වන්නේ අප රට මුල් පුරවැසියන් හා සම්බන්ධයන් නැත්තන්ට ය - ඒ අපේ රටේ හැටිය. කිම ද එම ආස්ථාන හතරේ වෙසෙන්නන්ට අප රට අමුතු වරප්‍රසද ඇත. එවිට ඊට ළඟින් හෝ ගෑවී ඇත්තන් ට ඉන් යම් පදමක එළියක් සිය සිරුරේ ගා ගත හැකිය. එලෙසම එසේ "හතර කේන්දරය" වාසනාවන්ත නුවූවන්ට "හරි යන්නේ" පන්සලේ ය යැයි කියන්නේ, අප රට ආගමික ව්‍යාපාරය යන අදහස මුල් කරගෙන බව සිතමි. නිදසුනක් ලෙස, මෑතක දුටු මීමයක (i.e. meme ) කියවුනේ දැන් එළවළු හතරක් සමඟ බත් කෑමට මහණ වීමට ඇවැසි බවකි. එහි හාස්‍ය රසයක් පමණක් නොව අප රට බහුතරයක ගේ ආගමික ආස්ථානය ගැන ද උපහාසයක් දනවමනි.

    ඇ. එහෙත්, මෙහි එන ලිංගික ව්‍යාභිචාරය පිළිබඳ දිගැරීම අත්‍යවශය ද ? එය නොතිබ්බොත් නාට්‍යයෙ සමස්තයට විශාල පාඩුවක් වේද ? මට මේ ගැන අවසන් නිගමනයක් දීමට තරම් නාට්‍යකරුවා ගම්‍ය කරන මනෝවිද්‍යාත්මක කාරණාව ගැන එතරම් අවබෝධයක් නැත. කිම ද, ලිංගිකත්වය, ව්‍යාභිචාරය පිළිබඳ කියවීමක් මෙහි එයි.  පුරුෂ ලිංගයේ මූලිකත්වය මෙන්ම, මෙහි එන තරුණිය තමනට නැති වීම හේතුවෙන් දුක් වන ඇගේ පරණ පෙම්වතා, ඇගේ පියා ගේ දෙපා  අසල වැඳ වැටෙද්දී, ස්ත්‍රී ලිංගයක් වෙනුවෙන් වැඳ වැටීම වෙනුවෙන් ඔහුගේ කර්කශ සමච්චලයට පාත්‍ර වේ. පුරුෂ ලිංගයේ ගීතයක් පමණක නොව ගල් කාලක ගීයක් ද, තවත් බොහෝ ගී ද මෙහි එයි. මනෝ විද්‍යාව, දේශපාලන කියවීම, උපහාස රසය ආදි සියළු අංගෝපාංග වලින් සුපෝෂිත වීම මෙම නාට්‍යයේ සාර්ථකත්වයට හේතුවක් යැයි සිතමි.

   ඈ. බලාපොරොත්තු: තරුණිය ගේ බලාපොරොත්තුව හුරුබුහුටි තරුණයෙකු අතින් තම ගැහැණුකම විවරකර ගැනීමය. පියාගේ බලාපොරොත්තුව තම දිළිඳු බවට පිළිසරණයකි. තරුණයාගේ බලාපොරොත්තුව තමන් කවුදැයි සොයා ගැනීමය. මට හැඟෙනා පරිද්දෙන්, තරුණියගේ කාමරාගය, හා ඔහු ඔහුව හඳුනාගැනීම එකකි. එය ඇන්ටික් කඩයක මරණයක් බවට පත්වීම ප්‍රතිපළයක් පමණි.

ඇත්තෙන්ම, මෙම නාටය කෘතිය පිළිබඳ විචාර ලිපි රැගත් පොතක් ඒමට නියමිතය. එය කියවීමේ දොළෙන් පසුවන්නේ එරික් ඉලයප්ආරච්චි, මහේෂ් හපුගොඩ, සුනිල් විජේසිරිවර්ධන, සමන් වික්‍රමාරච්චි, ලියනගේ අමරකිර්ති, විදර්ශන කන්නන්ගර, සහ චින්තන ධර්මදාස යන අයගේ ලිපි එහි ඇතුලත් බව ආරංචි වීමෙනි. එහෙත්, එම ලිපි කියවා පූර්ණ රසවින්දයකට ඉඩ ලැබෙන්නේ, මෙම නාට්‍ය නැරඹු බැවිනි.

ශ්‍රේණිය: *****

No comments:

Post a Comment