ටිම්රාන් "යන්නං චන්දරේ" ලියා පළ කොට ඇත්තේ 2014 දීය. අප එය කියවා කෙටි සටහනක් ලියා ඇත්තේ 2016 අප්‍රියෙල් වල දී ය. අප එම කෙටි සටහන අවසන් කලේ මෙසේ කියමිනි.
"කවි ගෙත්තම් විසි නවයකි. මේ තරම් අව්‍යාජ ලෙස ජිවීත ගමනේ විවිධ ජවනිකා
ගෙනහැර දක්වපු, මනසින් නිරායාසයෙන් ඒවා අත්විඳුවන කවි එකතුවක් මෑතක කියවුවේ
නැති තරම් ය. මෙහි ආකෘතිමය වශයෙන් සුවිශේෂතා නැතුව ඇති - බස කවියා ට ඉතා ම
හුරු එකක්, මිස සුවිශේෂි වශයෙන් කවියට ඔප මට්ටම් වූවක් නොවන්න ට ද පුළුවන.
ඒත් කියවන්නෙකුට කවියාගේ හදවත කවියා තම හද බසින් ම විස්තර කරයි. එය මට
ගෝචරය. ඒ නිසා මා එය රස වින්දෙමි - මහත් සේ අගය කරමි.කවියා මෙතනින් ඉදිරියට
තම ශෛලීය කෙලෙස වෙනස් කරගනිමින් තම කවිකම මුවහත් කරගනිවී ද යන්න පිළිබඳ
උවමනාවෙන් බලා සිටිමි." (1)
එම විසල් පිළිගැන්මෙන් අනතුරුව ඔහු නැවත කාව්‍ය සංග්‍රහයක් පළ කරන්නේ 2018 දී ය. එය ම හොඳ සළකුණකි. කවියා තම කවිකම් මුවහත් කරමින්, තම මගේ ඊළඟ අදියර ගැන වෙහෙසුනු බවක් ඉන් ඇඟවේ. ඔහු ගේ මෙම 'ඊළඟ' අදියර අප කියවන්නේ 2021 දෙසැම්බරයේ, එනම් පළමුවැන්න කියවීමෙන් වසර පහමාරකට ද පසුව ය.
ඉතින් මෙම 'පෙම්බරියන්ගෙන් වෙන්වුණු, ඇළකට හැරුණු ලූලා' අප ට දැනුනේ කෙසේ ද?
අපට දනුනු විලසින් සැලකිය යුතු නිර්මාණ සංඛ්‍යාවකදී ඔහු බස වඩා සුමට තලයකට ගෙන ඇත. එලෙසෙම, අතරින් පතර 2015 දී අප දුටු ටිම්රාන් ද සිය කවිකම් මතු කරයි. කවි වලට උක්ත වූ මාතෘකා වලදී, පෙර සේම ජීවිතය විඳින, විඳවන, දුක් අනුභව කරන තැන් වල නැවති ඇතිවාක් මෙන්ම, ශෘංගාරය, කාමය, ආදරය පිළිබඳ ආවර්ජනා වලට ද ඉඩ වෙන් වී ඇත. මට හැගෙනාකාරයෙන් මෙම දෙවෙනි වර්ගයේ කවි කිහිපය මෙහි වඩා සාර්ථක කවි ය. පළමු කවි ගණය අසාර්ථක යැයි ඉන් නොහැඟේ - එහෙත් තැනෙක දෙකක, පාඨකයාගේ සිත වඩාත් කම්පනයට පත් කරලීමට යෑම නිසා දෝ එහි විශ්වාසනීයත්වය ගැන සැක ඇති වෙයි. මේ ඝනයේ කවි අතර සාර්ථක නිර්මාණ අතර 'අපේ අම්මා හැර සේරම බුදු වේවා', 'යමුනා දික්කසාද නඩුව දිනුවා ය', 'ළඟ හිඳ මට තදින් දැනුනා', 'නිල් මැණික' තිබුන ද, 'බිම්මල් පිපේවා කුණු කාණුවේ ගැට්ටේ' සහ 'මා ලෙඩෙක් කල ඒ වචන' වල අතිශයෝක්තියක් දැනුණි.
කෙටි කවි දෙකක් මෙහි එයයි - දෙකම අපේ සංඝ සමාජය හා බැඳිය. ස්වාභාවික ලෙස ලෞකිකත්වය මුලිනුපුටා නොදැමිය හැකි පෘථග්ජන බව ඉන් පිටාර යයි. 'විහාර මන්දිරයේදි' ඉන් එක් කෙටි කවකි. මෙය මා මහත් සේ ගත් කවියකි.
මෙහි මා වඩාත් රසවිඳි කවි මොනවාදැයි සිතුවහොත්, "
දේදුන්න කෙටෙනවා ඔන්නොහොම" ඉන් එකකි. දරු ඵළ නොගෙන එන බිරිඳක හා නැන්දම්මා අතර ගැටුම කවකට අලුත් මැයක් නොවෙතත්, එහි අවසන් ඇති අලංකාරත්වය මා සිත් ගති.
යා යුතු පිළිවෙල ද රස විඳි කවකි. එහි දෙවෙනි කවේ මාත්‍රා, පද පේළි අතර 12/11 අතර මාරුව වන්නේ 'සෙල්ලිපි අකුරේ' අඩුපාඩුව ආඝාත වෙනසට ලක් කරන්න ද ?
"කා එක්ක බොන්න ද", මෙහි එන කවි අතර, යන්නං චන්දරේ මතකයට නගනා ආරේ කවකි. "උත්පල දියේ රකුසා" ද මා කැමති කවකි - වෙසෙසින් එහි ආරම්භය - එනම් වෙනත් ආරේ මල් කෙල්ලක පිළිබඳ ඉඟිය.
එහෙත් සමහර නිර්මාණ වලදී, කවියා තම වදන් තෝරා ගැනීම මගින් එම කවට සාධාරණයක් කලාදෝ සැකයක් මතු වේ. මෙය වඩාත් මතුවුන එක් අවස්ථාවකි, "සුරඟනක් ගැන කතාවක්", යන කවි පංතිය. මෙතැන බස භාවිතාව බත් කටක වැලි හැපෙන්නාක් මෙන් මා පෙළුවේය.
කවියා තමන් ලැබූ සාර්ථකත්වයෙන් පසුව කල් යල් බලා, පෙර නිර්මාණ මග සුමට කිරීමට තැත් කරමින් කෙරුණු නිර්මාණයක් බව පැහැදිලිය. පෞද්ගලිකව මා එය "යන්නං චන්දරේ" තරම් රස විඳි නැති බව සැබෑවකි ( මා "යන්නං චන්දරේ" එක රස වින්දේ මගේ එවකට තිබූ රස විඳීමේ මානයෙන් එපිටට යමිනි. ටිම්රාන් එකල එය බල කලේය). එවන් බලපෑමක් කරලීමට තරම් මෙම සංග්‍රහය ප්‍රබල නැත. ඒ වගේම මෙහි එන කවිකම් එවන් බලපෑමක් ඉල්ලන්නේ ද නැත. කවියා තම ගමන සවිඥ්ඥාණකව, සාර්ථක නිර්මාණ කිරීමේ ලොබින් යෑමට යත්න දරන බව මෙම සංග්‍රහය දෙස් දෙයි. එය ප්‍රමාණවත් ය. කිම ද සටන ඇත්තේ ම තමන් සමගය.
( එලෙසම මා සතුව ඇත්තේ 2019 නොවැම්බරයේ ප්‍රකාශ වූ පස්වැනි මුද්‍රණයයි. එය ද පෙන්නුම් කරන්නේ ටිම් රාන් කීර්ති කෙරෙහි සිංහල පාඨක ප්‍රජාව බලා ඉන්නා වගකි.)
ශ්‍රේණිය: ***1/2
සම්මාන: විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2019 විශිෂ්ඨත ම කාව්‍ය සංග්‍රහය.
නිර්දේශ: රජත, ගොඩගේ, රාජ්‍ය සාහිත්‍ය, අවසන් වටය සඳහා
ප්‍රකාශක: වලාකුළු (2018)
1. https://me-and-err.blogspot.com/2016/04/blog-post_15.html ( යන්නං චන්දරේ - ටිම්රාන් කීර්ති)