1960 දී මුල් වතාවට ප්‍රකාශ වී ඇති, එම කාලයට අනුව තරමක් විප්ලවීය තේමාවක් අලලා ලියවූවක් යැයි සිතිය හැකි, මෙම කෘතිය කියවාගෙන යාමේදී, පින්ක් ෆ්ලොයිඩ් රොක් සංගීත කණ්ඩායම 1979 දී පළ කල The Wall ඇල්බමයේ එන "Mother" ගීතය මතකයට ඒම, නොවැලැක්විය හැකි විය. එහි පදවැලින් කොටසක මෙසේ ය.
"Mother, do you think they'll drop the bomb?Mother, do you think they'll like the song?Mother, do you think they'll try to break my balls?Ooh
Mother, should I build the wall?
...Hush now baby, baby, don't you cryMama's gonna make all of your nightmares come true
Mama's gonna put all of her fears into you
Mama's gonna keep you right here under her wing
She won't let you fly but she might let you sing
Mama's gonna keep baby cosy and warmOoh baby, of course mama's gonna help build the wall"
"තමා හැදුනු වැඩුනු තරුනයෙක් බව දැනගැනීම පුතාගේ දියුනුවට බාධාවක් විය හැක. විශ්වවිද්‍යාලයට ඇතුල් වූ නමුත් පුතා තවම පොඩි දරුවෙකි. අම්මාගේ අනට කීකරු විය යුතු කුඩා දරුවෙකි." (22 පිටුව)"
මෙම නවකතාවේ ප්‍රධාන චරිතය, ජිනදාස ය. දැඩි ලෙස අම්මා ගේ රැකවරණය, ඇගේ සිතුම් පැතුම්, පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ සීමිත ලෝ දැක්ම ආදියෙන් හැඩ ගැසී, විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ, උපාධිය ලබා, සිවිල් නිලධාරියෙකු ලෙස රැකියාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.
විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී විශ්ව විද්‍යාලය
ජිනදාස අකමැති තැනෙකි - ඒ ඔහුගෙ මනසික ඝට්ටනය නිසා ය. විජේපාල පැහැදිලි දොළ
පාරක පතුල දකින්නක් මෙන් ජිනදාස ගැන මෙසේ කියයි:
"තමුසෙට මෙතන අල්ලන්නෙ නත්තෙ අපි වල්ලු හන්ද නෙවෙයි, වලෙක් වෙන්න තමුසෙ බය හන්ද, දන්නවැයි." (10 පිටුව )
එහෙත් වැඩි කල් නොගොස් තමන්, තමන් ගේ යෞවන කාලයේ කෘතීම ලෙස අඩාල කර, නවතාගෙන තිබූ ආශාවන් දිය යට ඔබන්නට වෙර දරණ බැලුමක් ලෙස, සියළු පීඩනයන් පරයමින් නැගී සිටින බවත්, තමන් තම නිදහස දිනා ගත යුතු බවත් ඔහුට ඒත්තු යයි. මෙම නවකතාව දිවෙන්නේ, මේ නිදහස වෙනුවෙන් ඔහු වෙසෙසින් තමන් සමඟ වෙන සටනේ විස්තරත් සමඟය. වරෙක මෙය ජිනදාසගේ මනසේ සංඥ්ඥා ප්‍රවාහයකි.
"ඔලුගෙඩිය. සාහිත්‍යය. බම්බුව. දුප්පත් මිනිස්සුන්ට මොන සාහිත්‍යයද. ඒ
මිනිස්සු ජීවත් වෙන්න බැරුව දඟලනවා. අනිත් මිනිස්සු ඒ මිනිස්සු ගැන පොත් ලියනව. ලියල හම්බුකරනව. උසස් වෙනව. පොහොසත් මිනිස්සු දුප්පත් මිනිස්සුන්ගෙ දුප්පත් කමෙන් පොහොසත් වෙනවා. දුප්පත් මිනිස්සු. පොහොසත් මිනිස්සු. දුප්පත් මිනිස්සු. පොහොසත් මිනිස්සු. හොඳ. නරක. අසරන. සරන. අසරන සරන සරනංකර." ( 51 පිටුව)
වරෙක සාංදෘෂ්ඨිකවාදී අර්බුදයේ ස්වභාවය ගැන භාෂණයකි.
"තමා කල කියූ හැම දේකම දී ම හෙවනැල්ලක් මෙන් අම්මා පසු පසින් ඇදීම ජිනදාසට ඉවසුම් නුදුන් දෙයකි... අම්මා ඔහුගෙන් බලාපොරොත්තු වූ දේත්, ඔහු ම ඔහුගෙන් බලාපොරොත්තු වූ දේත් මිරිඟුවක් පමනකි... අම්මාගෙන් බේරීමෙන් හැම දෙයින් ම බේරෙන්ට හැකිවේය යන්න ඔහුට විශ්වාසය... අම්මාත්, තමාත්, අතීතයත් ජීවිතයෙන් බලාපොරොත්තු වූ හැම දෙයත්, එකම එකයි. පරාජිත ජීවිතයයි. බලාපොරොත්තුවක් ඇල්මක් නැතුව ජීවත් වීමට නං තමා අම්මාට බැඳ තබූ බැමි බිඳ දැමිය යුතුය" (133 පිටුව )මෙම නවකතාව කියවීමට සිත් දෙන්නේ, කලාව-සාහිත්‍යය වේවා, හොඳ-නරක වේවා, ධර්මය වේවා, දුසිරිත් වේවා - අන් අයෙකුට අවැඩක් අපරාදයක් නොවන්නේ නම්, ඒවයෙහි යෙදුනා කිම ද? ලැබී ඇති දිවිය විඳීම සීමා කර ගැනීම තමන් තමන් ට ම කරගන්නා මුග්ධ අසාධාරණකමක් යන්න ක්‍රමයෙන් ඒත්තු යන තැනට ඒම නිසා ය. ඉහත නිඩහ්සුන් කිහිපයකින් පෙන්වා දුන් පරිදි, මෙහි කිහිප තැනෙක, අදට ත අයෙක් සදාචාරයකට මුවා ව මගහරින ප්‍රශ්ණ වලට නිර්භයව, එකලට අනුව නම්, ජනප්‍රිය නොවෙන පිලිතුරු දීමට නොපසුබට ව, එය සාර්ථක ලෙස ප්‍රබන්ධ සාහිත්‍යයකට කා වද්දා තිබීමය. ගුනසිංහයන්, කැමූ ගේ The Fall සහ The Outsider යන කෘති වලින් යම් ආභාෂයක් ලබා, එය දරුවන් තුලින් තම බලාපොරොත්තු මුදුන්පත් කරවා ගන්නා ලාංකීය සන්දර්භයට අපූරුවට ගැලපුවේනම්, මා පුදුම නොවෙමි.
සිංහල නවකතාවේ අවශ්‍යම වූත්, සුවිශේෂී වූත්, සන්ධිස්ථානයක් යැයි සිතමි.
*****
හත්වන මුද්‍රණය - ගොඩගේ (2015)
පළමු මුද්‍රණය - 1960
23/12: පසු සටහන - i: හිතවත් පොත් කියවන මිතුරෙකු පැවසුවේ ඩී. ඇච්. ලෝරනස් ගේ "sons and lovers" කෘතියෙන් මෙහි යම් ආභාෂයක් ලබා ඇති බවයි. එම කෘතිය තම මව සමඟ තිබූ ආවෘතිභීතිකාව ( claustrophobia ) මුල් කොට ගත් සබැඳියාව අභාෂයක් ලත් බවත්, "හෙවනැල්ල" කෘතිය ද අවසනක් වෙනකං තම අම්මාගෙන් නිදහස දිනා ගැනීමේ සටනක් හා නිරත වෙන නිසාත් ( මෙහි එන ජිනදාස කියවන එක් පොතක් වන්නේත් sons and lovers ම ය ), එම කෘතියෙන් සැලකිය යුතු ආභාෂයක් ලබන්න ට ඇත. එහි තීව්‍රතාව ගැන පැවසීමට නම්, කියවීම මෙතෙක් කල් දැමූ sons and lovers කියවීමට ම වන්නේය.
No comments:
Post a Comment