ඇත්තෙන් ම මේ කෘතිය මිල දී ගෙන මා සතුව වසර දහයකට අධික කාලයක් තිබෙන්නට ඇත. මෙය කියවන්න ට යොමු වුනේ ම අමරකීර්ති ගේ "සිතිවිලි සිතිජය" කෘතියේ සරච්චන්ද්‍රයන් අලලා ලියූ ලිපි දෙකක් කියවීමෙන් උපන් යම් කුහුළක් විමසනු පිණිසය(1). ඉන් ලැබූ රසෝත්තජනය, මුළු කෘතිය කියවීමට හේතු විය.
ආරම්භයේදී ම, මෙම කෘතිය කවරාකාරයේ එකක ද සැල කරනු වස්, හෙතෙම රසල් සාමිගේ චරිතෝපදානයත්, කමලා දාස් ගේ චරිතෝපදානයත් නිදර්ශනයට ගනියි. වෙසෙසින් භාරතීය සංස්කෘතිය හේතු කොට ගෙන, දාස්ගේ කෘතිය මහත් ආන්දෝලනයට පත් වූයේ එහි වූ අතිශය පෞද්ගලික තොරතුරු හේතු කොට ගෙන ය. එලෙස ම, මෙය වික්‍රමසිංහගේ "උපන්දාසිට" හා වෙනස් වන්නේ කෙසේ ද යන්නත් මේ ආශ්‍රයෙන් පහදයි. මේ පිළිබඳව විවිධ පාඨකයනට විවිධ මත තිබිය හැකිය. සිංහල කලාවත්, එහි ඉතිහාසයත් පිළීබඳ විශේෂ උනන්දුවක් ඇති මා මිතුරෙකු පැවසුවේ, තමන් සරච්චන්ද්‍ර ගේ පෞද්ගලික දිවියේ කාරණාකාරණා දැන ගැනීමට වඩා, ඔහු ගේ මත සහ එහි මැ නිරතව තම වෘත්තීය දිවියේ හැසිරීම හේතු කොට ගෙන, යම් අසාධාරණයකට පත් වූ කොට්ඨාශයක් සිටි බැවින්, එම ආන්දෝලානාත්මක අවධිගැන වැඩි අවධානයකට යොමු කිරීම ට තිබුණු බවත්, එය වඩා සාධාරණ බවත් ය. මගේ පෞද්ගලික කියවීම නම්, සරච්චන්ද්‍රයන් කෘතියේ තැනින් තැන, තම ස්ථාවරයන් ට හේතු කිම ද යන්න ගැන ඉඟි දක්වා ඇති බවත්, ඉන් ඔහු ගේ වැටහීම අනුව ඔහු ගත් මතභේදාත්මක තීරණ ගැන පශ්චාතපයට පත් නොවූ වගත් ය. ඔහු ගේ මතයන් අනුව එය අසාධාරණයක් ලෙස ඔහු දුටුවේ ද යන්න ම විවාදාත්මක ය. එතැන් පටන් සරච්චන්ද්‍රයන් ට වැඩිම උවහොත් කල හැක්කේ අසාධාරණයට පත් වූවන් ගැන පෞද්ගලික කණගාටුවක් පළ කරලීමක් පමණි. ඒ අනුව, සරච්චන්ද්‍රයන් තම දිවිය තුල කොපමණ කලා සම්ප්‍රදායන් ඇසුරු කල තිබ්බ ද ඔහු ගේ යම් සීමා හේතුවෙන් සාර්වභෞමිකත්වයේ ද සීමා වූ බවත්, සමහරක් වා වෙනස් වූවේ ඉතා පසු කාලයේ මද වශයෙන් බවත් කිව හැක. මේ එවැන්නක ට නිදසුනකි.
"භාරතීය සංගීතයෙහි සංධ්වන්‍ය භාවිත නොකරන බවින්, රාගය - එනම් ස්වර සමූහය හෝ සන්තතිය - සැරසීමට ශ්‍රැති වැනි අලංකාර අවශ්‍ය වේ. ශුද්ධ ස්වර පමණක් නිපදවීමට කටහඬ සකස් කරගත් ගායකයන්ගේ මුවින් මෙවැනි අලංකාර නොගැයේ. එබැවින් ඔවුන්ගේ ගායනය නීරස වේ." (41 පිටුව )
මේ කෘතිය 1985 පළ වූ හෙයින් ඊට පෙරාසන්න යුගයක ලියැවුන්නකැයි සිතීමේ වරදක් නැති. එනම් ඔහු දිවි පුරා ම ශුද්ධ ස්වර පමණක් නිපදවන ගායකයින්ගේ ගායනා නීරස යන අදහසේ සිටින්නට ඇත. එය ඇත්තෙන්ම පෞද්ගලික ස්ථාවරයකි. එතැන ද ඔහු ගේ සාර්වභෞමිකත්වය තක්සේරුවට හොඳ තැනෙකි. හියුබට් රාජපක්ෂ "දන්නෝ බුදුන්ගේ" ගීතය ගයනුයේ තනිකර ම බටහිර ශෛලියකින් බව ඔහු පෙන්වා දෙයි. සාහිතකාමි මිතුරෙකුට ස්තූතිවන්ත වෙන්න හියුබට් ගැයූ මේ කියනා අනුවාදය ඇසීම ට අවස්ථාවක් මට ලැබිණි. සංගීතයේ තාක්ෂණයන් හෝ ස්වර් පද්ධති ගැන මෙලෝ හසරක් නොදන්නා, එලෙසම බටහිර සංගීත ලෝලියෙකු වශයෙන් හෝ, මට වුව, ඒ අපට පුරුදු නුවාන්සයන්ගෙන් තොර සිංහල ගී ගායනය ට සමීප වීමට නොහැක. සරච්චන්ද්‍රයන්, සූරියසේන දර දඬු අදහස් වලින් පසුව වෙනස් වෙමින්, මුලින් ඔහු ගැයූ බටහිර ආර වෙනස් කරමින් සිංහල ඌරුවකට ( අසාර්ථකව හෝ ) ගැයීමට යත්න දැරූ බවක් පවසයි. අයෙකුට සංගීතය යන විෂය පිළිබඳව, සරච්චන්ද්‍රයන් ද දර දඬු ප්‍රතිපත්තියක් දැරූ බව පැවසිය හැක. එරික් ඉලයප්ආරච්චිගේ මේ පිළිබඳව අපූරු ලිපියක් තම කලාව හා කතිකාව යන කෘතියේ පළ කොට ඇත.
සරච්චන්ද්‍රයන් ට භාරතීය කලා ශිල්පයන් ගැන ඇල්මක් උපදින්නේ ඔහු විශ්ව විද්‍යාලයට ද යාමට පෙර, ඔහු ආශ්‍රය කල හේවාහැට ටෙලිෆෝන් ඔපරේටර්වරයකු නිසාය. ඔහු හරහා එකල මහනුවර කැරොල් කණ්ඩායම් ගැනත්, පසුව රවීන්ද්‍රනාථ තාගෝර් මෙහි පැමිණි කල ඔහු ගෙ මුද්‍රා නාට්‍ය නැරඹීමෙනුත් ඔහු කෙතෙරම් එම කලා සම්ප්‍රදායන්ට ඇදී ගියේද කිවහොත්, යුනිවසිටි කොලීජිය වෙනුවට ශාන්ති නිකේතනයට යාමට ද ඔහු කාලයක් සිතා ඇත.
සරච්චන්ද්‍රයන් පවසන්නේ, තමන් පාසල් ගිය සමයේ සිංහල ගුරුවරයා යනු ශිෂ්‍යයන් විසින් හාස්‍යයට ලක් කල, පුද්ගලයකු බවයි.
"...-විශේෂයෙන් සාන්ත තෝමස් හා ඇලොවිසියස් යන පාසැල් දෙකේ සිංහල පැය ළමයින් විසින් සලකනු ලැබුවේ විනෝද පැයක් ලෙස ය. සිංහල උගන්වනු ගුරුවරයාට නොයෙක් අයුරේ විහිලු තහලු හා කෙණෙහිලි කරමින් ළමයි මහත් ප්‍රීතියක් ලබති...
මේ තත්වය විදුහල්පතිවරු ද නොදන්නාහු නොවෙති. එහෙත් ඔවුන් ද එයින් විනෝද වන්නා සේය." (23 පිටුව)
සරච්චන්ද්‍රයන් විශ්වවිද්‍යාලයේ උගත් කාලය පිළිබඳ විස්තර කියවීම රසවත් ය.
රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමියන් නම් වූ ශාස්ත්‍රයන් කෙරෙහි ලැදි, තරමක්
වෙනස් දිවිපෙවෙතක් ගත කල හිමි නමක් එකල විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කල බවත්,
උන්වහන්සේ ගේ ප්‍රාචීන භාෂා දැනීම මලලසේකරයන් ට වඩා ගැඹුරු බවක් ඔහු ට
තැනුනු බවක් පවසයි. ඔහු මේ බව පවසන්නේ මලලසේකරයන් එම ලන්ඩන්
විශ්වවිද්‍යාලයෙන් මල භාෂාවක් අයුරින් සංස්කෘතය හැදෑරීමත්, සිද්ධාර්ථ
හිමියන් කල්කත්තා විශ්වවිද්‍යාලයෙන් ජීවමාන භාෂාවක් ලෙස සංස්කෘතය හැදෑරිමත්
අතර වෙනස පෙන්වීම සරච්චන්ද්‍රයන්ගේ අරමුණ බව පැහැදිලිය. "කිරා බුදිද බං"
කාවය සිද්ධාර්ථ හිමියන්ගේ නිර්මාණයක් බව හේ පවසයි.
විශ්ව විද්‍යාලයේ උගෙනීමෙන් පසුව, පරිපාලන සේවයට එක්වීමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් අනතුරුව, ඔහු ශාන්ති නිකේතනයට යන්නේ මෙහි ලේක් හවුසියේ ඇතුළු රැකියා කිහිපයක යෙදීමෙන් ද පසුව ය. පෙරදිග සංගීත ආර සහ බටහිර සංගීත ආර අතර වෙනස පිළිබඳ ඔහු ප්‍රථමයෙන් දැන ගත්තේ ශාන්ති නිකේතනයේ දී ය. සුනිල් සාන්තයන් ශාන්ති නිකේතනයේ දී ඔහු ගේ සමකාලීනයෙකි. ඨාකුරයන්ගේ කවි ආශ්‍රයෙන් ඔහු මෙවන් අදහසක් පවසයි.
"රවීන්ද්‍රනාථ ඨාකුරයන්ගේ කාව්‍ය මුල් වංග බසින් ශ්‍රවණය කරන විට, ඉංග්‍රීසි පරිවර්තනයෙ හි දී ඒවා කෙතෙරම් රසහීන වී ඇත්දැයි වැටහේ. ඒවායේ ශබ්ද ධ්වනිය විසින් අර්ථ ධ්වනිය විසින් අර්ථ පෝෂණය වෙමින්, ස්වර රචනාවෙන් ඒ දෙක ම උද්දීපනය වී ඇති සැටි මනෝඥ ය...
ගුරුදේවගේ රචනා ශෛලියේ ආභාසය, වගු බස දත් චන්ද්‍රරත්න මානවසිංහගේ ඇතැම් කාව්‍ය රචනාවල දක්නට ලැබේ." ( 76 පිටුව)
මෙම කොටසේ තැනෙක, වෙසෙසින් බෞද්ධයන් ක්‍රිස්තියානි නම් තිබීමේ සංස්කෘතික නොගැලපීමත්, බෞද්ධයන් ට නම් තැබීමේ උත්සවයක් නොතිබීම නිසා දෝ යැයි ඔහු එකල ප්‍රශ්ණ කරයි. කෙසේ වෙතත් මෙවන් කාරණා වලින් නිදහසට පෙර යුගයේ ජාතික අනන්‍යතාවය සෙවීම යන්න සාධාරණ අවශ්‍යතාවක් බව පෙනී යයි. (
අතුරු කාරණාවක් - අනගාරික ධර්මපාල ද ඉංග්‍රීසි නම් සිංහල නම් වලට මාරු කරලීමේ අවශ්‍යතාව ලිපි ආශ්‍රිතව පෙන්වා දී ඇත. ඔහු ආවේගශීලි ලෙස සමහර දේ කීවද, එම කාර්‍යයන් බොහෝමයක් දේ නිවැරදි බව, මධ්‍යස්ථව තැනෙක සිට බලද්දී ය. 1983 දෙමළ කෝලහාල වලින් පසුව, ජනාධිපති සහ ඇමතිවරුන් තමන් සිංහල ජනතාව පමණක් නියෝජනය කරන අය මෙන් කතා කලේ වසර 40 ට ත් අඩු කලකට පෙර ය. මීට වසර සියයකට පමණ පෙර, සාමාන්‍ය ජනතාව ආමන්ත්‍රණයේ ස්වරය අනුව ඔහු පිළිබඳ කෙරන අවසන් තීරණ කෙතෙක් සාධාරණ ද යන්න ගැන නැවත සිතා බැලිය යුත් බවත්, සරත් අමුණුගමයන් ලියූ Roar of the Lion කෘතිය පරිශීලනය කල යුතු බවත් හැගුණේ මේ ගැන කියවද්දීය. )
අසනීප වූ නිසා වසරකින් අනතුරුව නැවත මෙහි ආ සරච්චන්ද්‍රයන්, ප්‍රායෝගික ජීවිතයේ අසීරුතා තරමක් මුහුණ දුන්නේය. ඔහු වික්‍රමසිංහයන් හා සමීප ඇසුරක් ඇති කරගත්තේ මෙකල් හි දී ය. විරමසිංහයන් ගේ ජීවිත රටාවත්, ඔහු ගේ අතිශය කාර්‍යශීලිත්වයත්, එහෙත් අන් අයට උපකාර කරලීමට සැදී පැහැදී සිටි අයුරුත් පිළිබඳ විස්තර කොට ඇත්තේ වික්‍රමසිංහයන් කෙරෙහි මට ඇති කැමත්ත තවත් වැඩිවන අයුරෙනි. ඔහු මෙකල ලියූ Modern Sinhalese Fiction කෘතිය ගැනත්, ඊට වෙසෙසින් ඩබ්. ඒ. සිල්වා සහ කුමාරතුංග වෙතින් ආ විවේචන පුද්ගලික ගැරහීම් තත්ත්වයේ තිබූ බව ඔහු පවසයි. ඔහු එම කෘතිය ලිවීමට හේතු වූ කාරණා මෙසේ සැකවින් සඳහන් කරයි.
"සමහර (සිංහල) ලේඛකයන් බටහිර කෘති අනුකරණය කළ අතර, සමහරු බටහිර කෘති පරිශීලනය කරමින් ඒවයේ ආභාසය ලැබ ස්වතන්ත්‍ර කෘති නිර්මාණය කළහ. බටහිර කවර ලේඛකයන් සිංහල ලේඛකයන් කෙරෙහි බල පා ඇද්ද යනු සෙවීම ද කුහුල් වඩවන කාර්‍යයක් බව මට පෙනුණි." ( 99 පිටුව)
ඔහු පළමු වරට කපුවා කපෝති නිෂ්පාදය කොට රඟ දක්වන්නේ 1945 දී ය. එම ඩී.ජේ. විජයරත්නත්, ඒ.පී. ගුණරත්නත් දායක වූ අයුරුත්, ලුඩොවික් මහතා සහ එම මැතිණිය ගේ මැදිහත්වීමත් මතු කරයි. යුනිවසිටි කොලීජිය, සම්පූර්ණ විශ්වවිද්‍යායක් බවට පත් කොට, එහි පාළි භාෂා අංශයෙහි වසරක් සේවයෙන් අනතුරුව, ඔහු එංගලන්තයට යන්නේ ඔහු ගේ ආචාර්‍ය උපාධිය උදෙසා ය. ඔහු ට මංජු ශ්‍රී හිමියන් හමුවන්නේ එම ගමනේදීය. මංජූ ශ්‍රී තම ස්වයං තෘතිය වෙනුවෙන් චිත්‍ර කර්මයේ යෙදීම ගැන රසවත් විස්තරයක් ද මෙහි එයි.
එංගලන්තයෙන් මෙහි නැවත ඒමෙන් පසුව ඔහු "රෙඩියෝ ශිල්පියෙකු" වීමට් ආරාධනාවක් ලබන්නේ නවත කොළඹ විශ්ව විද්‍යාලයේ සේවය කරන ගමන් ය. සාහිතකාමි මිතුරෙකු හා මේ කෘතිය ගැන කතාකරන විටෙක ඔහු කීවේ, තමන් මේ කෘතිය ගැන සතුටු නොවන බවෙකි. ඒ, සරච්චන්ද්‍රයන්ගේ පෞද්ගලික විස්තර මෙහි ඇතුලත් වුවද, වෙසෙසින් ගුවන් විදුලියේ ඔහු ගේ භූමිකාව අන් අය කෙරෙහි කෙසේ බලපෑවේද යන්න ගැන ඔහු කිසිදු ආත්ම ගවේශණයක් කර නැති වීම, කෘතියේ අසම්පූර්ණත්වයට නිදසුනක් කියාය. මේ ගැන තිස්ස අබේසේරයන් "නොදනිම් කාගේ දොසා" නමින් අපූරු ලිපියක් තම " අයාලේ ගිය සිතක සිතුවිලි" පොතට එක්කාසු කොට ඇත. සරච්චන්ද්‍රයන්ගේ මේ පොත ලියවෙන්නේ ඊට අවුරුදු විසි දෙකක ට පෙරය.
ඔහු නැවත නාට්‍ය නිෂ්පාදයට යොමු වන්නේ මෙකලය. එකල තම නිර්මාණ පිළිබඳ වෙසෙසින් රෙජී සිරිවර්ධනයන්ගේ විචාරයන් ගැන උනන්දුවෙන් සිටි බවත්, සිංහල පුවත්පත් කරුවෝ නම් විශ්ව විද්‍යාලයෙන් නිපදවෙන නාට්‍ය පුරුද්දක් ලෙස විවේචනය කල බවත් ඔහු පවසයි.
1952න් පසුව භාෂා ශාස්ත්‍ර පීඨය පේරාදෙණියට ගෙනයාම හේතුවෙන් තමන් ද කොළඹ හැර එහි වාසයට ගිය යයි. ශාස්ත්‍රයන් උදෙසා එම පරිසරයේ යෝග්‍යතාව ගැන ඔහු උදම් අනයි. ඕස්ට්‍රියනු ජාත්ක ජුබාල් මෙහි ගෙන්වා, පේරාදෙණි සිසුන්ට නාට වැඩ මුළුවක් ආරම්භ කෙරුණේ මේ කාලයේය. ජුබාල් හා සමග වෙද සටන නිෂ්පාදනය කොට පෙන්වුවද, දෙපළ අතර මතභේද ඇති වූයේ සිංහල කලා ශිල්ප හා සංස්කෘතිය පිළිබඳ ව අවමානාත්මක ආකල්පයන් නිසා ය.
රොකර්පෙලර් සංචාරක ශිෂ්‍යත්වයක් ලැබ, පළමුව ඉන්දියාවටත්, ජපානයත්, ඇමරිකාවත් ගොස්, එම රට වලට ආවේණික නාට්‍ය ශිල්පය සියැසින් නරඹයි. කබුකි සහ නෝ නාට්‍ය ඔහු ගේ වෙසෙස් අවදානය දිනීමෙන්, ඔහු අමරිකාවේ ගතකරන කාලය අඩු කොට නැවත ජපානයට ගොස් එම නාට්‍යය ගැඹුරින් හදාරයි. පිටු 12 ක් පමණ පුරා දිවෙන මෙම විස්තර බෙහෙවින් රසවත් වන අතර, අමරිකාවේ කලාවේ ධනපති මැදිහත් වීම න දීර්ඝ ලෙස සාකච්ඡා කරයි.
නැවත පේරාදෙනි ආගමයෙන් පසුව මනමේ බිහිවෙද්දී, එම රචනාවට රශෝමාන් ආභාෂයත්, බිසව ගේ සිතුවිලිත්, එය සාම්ප්‍රදායික චුල්ල ධනුද්දර ජාතකයෙන් වෙනස් වන්නේ කෙසේ ද කියාත්, එම ආස්ථානයට පැමිණි විවේචනත්, නාට්‍ය නිෂ්පාදනයට සිරි ගුනසිංහගේ වෙස් නිර්මාණයෙන් හා අංග රචනයෙන් ලැබුණු සුවිශේෂි දායකත්වයත් ඔහු මතු කරයි. එය වේදිකා ගත කිරීමේදි ඇති වූ ගැටළු ද, ඒ ආශ්‍රයෙන් සිංහල නාට්‍යය පිළිබඳ 1956 දී සිංහලයා පිළිබඳ වූ ආකල්පයන් ගැන ද, මුලින් එතරම් ජනප්‍රිය නොවූ මනමේ නාට්‍යට මානවසිංහ වගතුග ට ලියූ විචාරය ඒ ගැන යම් අවදානයක් යොමු වීමට හේතු වූ අයුරු ආදිය රසවත් විස්තරයන් ය.
මේ හා සම කාලයේ සරසවි සිසුන් වූ සිරි ගුනසිංහ හා ගුණදාස අමරසේකර ගේ සක්‍රීය සාහිත්‍යා දායකත්වයත් ඊට එකල පැවත් පේරාදෙණි පරිසරය හේතු වන බවත් කියන මුත්, පේරාදෙණි ගුරුකුලයක් නම් නොවූ බවත් හෙතෙම පවසයි. එනුමුදු, දැනට ආරංචි විදිහට මේ පිළිබඳව සුවිශේෂි ගවේෂණයක් ඉටු කල සේන තෝරදෙනිය, "පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම" නම් පොත එම මාතෘකාව පිළිබඳ හැදෑරීමකට, මැදිහත් සිතින් කියවීමට උචිත පොතක් බවකි තතු දන්නෝ පවසන්නේ. එම පොත අප තවම පරිශීලනය කොට නැති මුත්, එය පරිශීලනය ට සිතමි.
මනමේ පිළිබඳ විචාරයන් සහ එහි සාහිත්‍යා පාර්ශවය, වෙසෙසින් සිංහල විචාරකයින්ගේ ඇසට හසු නොවූ අයුරු, තත්කාලීන නවකතා පිළීබඳ සරච්චන්ද්‍ර කියවීම, මලගිය ඇත්තෝ - මලවුන්ගේ අවුරුදු දා පසුබිම, සිංහබාහු නාට්‍යය ගැන ඔහුගේ ආස්ථානය ආදිය මේ කෘතිය කියවීමට සිත් වඩවයි. ඊට අමතරව, හෙතෙම අමරදේව ගැන කතා කරනුයේ සංගීතය ඔස්සේ යම් ආවේශයක් තුල ට කා වැදී ඒ තුල වෙසෙමින්, පිටස්තරව අඩසිහියෙන් වෙසෙන්නෙකුගේ ස්වරූපය මතුකරමිනි. ජයලත් මනෝරත්න, බන්දුල ජයවර්ධන ආදි අය ඔහුගේ පසුකාලීන නාට්‍ය නිර්මාණ වලට සහභාගි වූ අයුරු ද ගෙනහෑර දක්වයි.
කෘතියේ අවසන් පිටු විසි ගණන කැප වන්නේ, ප්‍රංශ තානාපති ලෙස ඔහු ගත කල කාලය පිළිබඳ ඔහුගේ අපැහැදීමත්, වෙසෙසින් 1977 න් පසු ව බිහි වූ එක්සත් ජාතික පක්ෂ රජය හමුවේ ඔහු තුල රට කෙරෙහි ම බලාපොරොත්තු නති ස්වරයකින් ඒ ගැන විවේචනයත් ය. නැවත වරක් ඔහු ගේ සාර්වභෞමිකත්වයේ සීමාවන් ගැන ප්‍රශ්ණය මතු වන්නේ වෙසෙසින් මෙම 1980 දශකය පිළිබඳ හෙලන තරමක දැඩි ඍණාත්මක ආකල්පයත් නිසා ය.
"වර්තමාන ආණ්ඩුව විසින් කලාව ද වෙනත් පාරිභෝගික භාණ්ඩ මෙන් වෙළඳ පොළැට දමා වෙළඳ පොළේ න්‍යාය අනුව වැඩෙන්ට හෝ වැනසෙන්ට ඉඩ දී බලා සීටින්නා සේ ය. වෙළඳ පොළේ න්‍යාය අනුව නම් කලාව පිරිහෙන බව ඔවුන් නොදන්නවා විය හැකිය. එසේ නත්නම් ඔවුන්ට එයින් කම් නැතිවා ඇත." ( 223 පිටුව )
සමස්තයක් ලෙස පැවසිය යුත්තේ, මේ කෘතිය මට කියවන්න ට තිබුනේ මීට වසර ගණනාවකට පෙර බවය. ඒ මෙය සම්පූර්ණ චරිතෝපදානයක් නිසා නොවේ.- ඒ ආශ්‍රිතයෙන් තව බොහෝ දෑ කියවීමට මග පාදන හෙයිනි. මා මේ පොත අගයන්නේ අප රටේ 1930 සිට 1980 පමණ දක්වා කාලයේ, කලාවේ දසාව පිළිබඳ යම් අදහසක් එහි ගැබ් ව ඇති නිසා ය. ඒ අර්ථයෙන් මෙය සිංහල කලාව පිළිබඳ උනන්දු අයෙක් අනිවාර්‍යයෙන් කියවිය යුත්තකි.
ශානරය - චරිතෝපදාන
ඇගයුම - *****
තුන්වෙනි මුද්‍රණය - සරසවි (2007)
මුල් මුද්‍රණය - 1985
(1) බලන්න,
(අ) මනමේ, සංස්කෘතික ඉතිහාසය හා සංස්කෘතික විචාරය පිළිබඳ සරල හැදෑරීමක්….
( https://me-and-err.blogspot.com/2020/06/amarakeerthi-sithijaya-sithivili-essay01.html )
(ආ) සරච්චන්ද්‍රයන්ගේ සාර්වභෞමිකත්වය පිළිබඳ යම් හැදෑරීමකි
(https://me-and-err.blogspot.com/2020/06/cosmopolitan.html )