Monday, 22 July 2019

මල් සූටික්කා - නිශ්ශංක විජේමාන්න



සිංහල කෙටිකතාවේ විශිෂ්ඨයෙකු ලෙස මේ වන විට පිළිගැනෙන නිශ්ශංක විජේමාන්න 2018 වසරේ ප්‍රකාශ කලා වු ද, පසුගිය දා පැවති රජත පුස්තකය උදෙසා නිර්දේශ වූ ද, "මල් සූටික්කා" කෙටි කතා සංග්‍රහය කියවූවෙමි.

මම එහි විජේමාන්න ගේ සුපුරුදු බුහුටි, නැවුම්, කතා වස්තූ බීජ අනුසාරයෙන් බිහි වූ නිර්මාණ මෙන් ම, තරමක් දේශපාලනික වූද, සමකාලීන වූ ද කතා වස්තූන් රැගත් නිර්මාණ ද දුටුවෙමි. වඩා සාර්ථක නිර්මාණ වල දේශපාලන කරුණුකාරණා ඉතා කුඩා මාත්‍රාවෙන් භාවිත කොට ඇත්තේ, ඒ උගුල් වලට හසු වූ අහිංසකයන්ගේ අසරණත්වය විදහා දක්වමිණි.

මා වඩාත් රස විඳි පළමු වර්ගයේ නිර්මාණ ගොන්න මෙලෙස ය;

දොස්තර හොඳහිත - අප රට ට ගොඩ වෙද්දුන්ගෙන් අඩුවක් නැත.  පාරම්පරික වෙදකම සහ  වට්ටෝරු වෙදකම ට අමතරව, දේවාශිර්වාදයෙන් බෙහෙත් කරන අය ද වෙති (මෙය ඒ ගැන විවේචනයක් හෝ ප්‍රශංසාවක් නොවන්නේ මා ඒ ගැන කීමට නොදන්නා නිසා ය ). මෙහි එන වෙද මහතා තම හොඳ හිත හේතුවෙන් තමන් ම සිතා නිර්මාණය කරන හයිබ්‍රිඩ් බෙහෙත් නිමවා රෝගීන් ට බෙහෙත් දෙන වෙදෙකි. තම අතින් වරදක් සිදු වී, ඒ වෙනුවෙන් දඬුවම් විඳීමට සිදු ව ඇති වෙද මහතා ගේ හොඳ හිත, සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියා ගේ කිලිටි හිත පෙන්වමින් අප නිර්මාණකරුවා, අපෙන් ප්‍රශ්ණ කරන්නේ චේතනාව පමණක් යහපත් වීමේ සීමාවයි.

මීයෙක් ට වලිගයක් තියෙන්නේ ඇයි ...  - මෙහි එන වඩාත් නිර්මාණාත්මක වූත්, දේශපාලනික වුව, ඒ සීමාව පසුකොට කතුවරයාගේ නිර්මාණාත්මක හැකියාව, දුෂ්ඨ හාස්‍ය රසයක් සමඟ අප ඉදිරියේ ගෙන හැර පාන අපූරු නිර්මාණයකි. ඒ ලෙසම කෙටි කතාව අවසන් කරන වැකිය සුපිරිය. එහි ඇති තර්ජනාත්මක හාස්‍යය, කතුවරයාගේ ඉහළ ම නිර්මාණත්මක අවස්ථාවන් සමඟ එක පෙළ තිබිය හැක.


ගොවි රජ්ජුරුවෝ  - අප රට ගොවියන් යනු තම මහන්සියට පළ නොලැබූ කොටසකි.  නිදහසින් පසු පත් වූ සෑම ආණ්ඩුවක් ම පාහේ ඔවුන්ගේ අද අසරණ තත්ත්වයට දායක විය. මේ කතාවේ එන රජු ට හොර හිතක් පහළ කරන්නේ ඔහු ගේ වත්මන් අසරණකමයි. අප සමාජයේ කෙතෙරම් පිරිසක් නම් අසරණතාවෙන්,  අග හිඟ කම් වලින් පෙළේ ද ? මගේ වර්තමාන අත්දැකීම නම් කිලෝමිටරයක් ඇවිද්දොත්, තම අගහිඟකම් කීමට ළඟට විත් අවසර ඉල්ලන අයෙක් හමු වීමේ සම්භාවිතාව 50% ට වැඩි  බවයි. ඉතින් සොර සිතක් ඇති වී ඇත්තේ අප ගොවි රජුට පමණක් නොව - අහේනිය නිසා බොහෝ අය ට එම සිත පහළ වේ. කරවල මුදලාලි ,  කරවල කූරියාට ගැහැණුන්ගේ බෑග් වලට රිංගනවා ට "බණින්නේ" හේ මෙම ප්‍රවණතාව දන්නා නිසා ය.  එලෙසම විස්තර මගින් අනුරාධපුරයේ හෝ ඇඹිලිපිටියේ හෝ සාම්ප්‍රදායික පොළක කාර්යබහුල එහෙත් ආස්වාදජනක දර්ශනයක් අප කතුවරයා අප ඉදිරියේ මවා ඇත.



ග්‍රීස් යකා - පසුගිය පාලන කාලයේ බොහෝ නාටක සිදු විණ. ඒ හැම එකකම අන්තිම බලාපොරොත්තුව ධනය සහ බලය රැස් කිරීම විය. මේ මුල මග නොතේරෙන බොහෝ නූල් සූත්තර වල, මැද කොටස් වලට පමණක් එක්කාසු වූ අහිංසකයෝ බොහෝ විය. ග්‍රීස් යක්කු ද තම යක්ෂ ජවනිකාවෙන් මෙපිට පුළුල් කතාව නොදත්තෝ යැයි සිතමි (ඒ පුළුල් කතාව දත්තෝ අතලොස්සක් විය යුතුය. දන්නව නම් රඟ පෑ අය නම් එමට ය ). ඉතින්, මේ ඒ අතරමැදි සුළු චරිතයක ට ඇඳි කිහිපදෙනෙකු ගැන  අපූරු නිර්මාණයකි. බලවත්තු ධනය සහ බලය පස්සේ යද්දි, මේ අහිංසකයන් තමන්ගේ ජීවිත තේරුම් ගැනීම ට යත්න දැරීය. ඒ ප්‍රයත්නය අතර තුර ඔවුන් පෙර කී අයගේ උගුල් වලට ද හසු වූ අවස්ථා තිබිණි. මේ එවන් අවස්ථාවකි.

ඉහත කෙටි කතා අප දන්නා, අප අගය කරන ආරේ නිශ්ශංක විජේමාන්න කෙටි කතාය. එහි ලේඛක ලකුණ තිබෙන අතර ම. හේ පෙර ලියා ඇති කෙටි කතා වලින් වෙනස් වන්න ට තරම් විවිධත්වයක් ද ඇත.



එහෙත් විටෙක, අප නිර්මාණකරුගේ කතා වල ඒ හාස්‍ය හෝ, උගුල් වලට හසු වූ බව පසක් කරන හෝ, චරිත වල අසරණ බව ට වඩා නැගී සිටින්නේ සමාජයට පණිවුඩයකි. එවන් අවස්ථා වල ඒ නිර්මාණ තරමක් ආයාසකාරි ගැට ගැසීමක් යැයි මට සිතුනේ ය. මෙහි එන තම්බි හාමුදුරුවෝ එවන් අවස්ථාවකි. එය හඳ පළුව තනි තරුවේ අතුරු කතාවක් වැනි ය.

 එසේත් නැත්නම් නැවුම් නොවූ වස්තු බීජයක් ඔස්සේ නිර්මාණයකි -එය කියවද්දි මෙවන් නිර්මාණ මීට පෙර ද කියවා ඇතැයි සිතේ. අප ගම්බද පාසැල් වල සමහර මුල් ගුරුවරුන්ගේ කෙරුවාව ගැන කතා ඕනෑ තරම් ය. එවන් පසුබිමක් මත පිහිටා ජාතකයෙන් එක් පාර්ශවයක් මුස්ලිම් වන සිසුවෙකු අලලා වෙසෙසින් අවධානය යොමු කරමින් ලියැවී ඇති "අන්තිම පීරියඩ් එක" මගේ සිත දිනා ගැනීමට සමත් නොවීය.


වලවේ වම් ඉවුර පුනරුත්ථාපනය හා බැඳි උමා ඔය මෑතක බොහෝ සේ කතා බහ වුණු මාතෘකාවකි. උමා ඔය හා ඒ ආශ්‍රිත ගම්මාන වල මිනිසුන් මුහුණ දෙන පාරිසාරික ගැටළු අලලා අප කතුවරයා "උමා" නමින් නිර්මාණයක් මෙහි ඇතුලත් කොට ඇත. තරමක් ව්‍යාකූල රටාවකට ලියා ඇති මේ කෙටි කතාව, ඒ ව්‍යාකූලතවායට සරිලන ප්‍රතිඵල පාඨකයාට ගෙන දෙනවා යැයි මට දැනුනේ නැත.


මෙහි එන "දොන්ත බබක්කයි මල් සූටික්කයි" කෙටිකතාවත්, තරමක වෙනස් ආරකින් ලියැවී තිබුන ද, එහි තිබෙන සියුම් ලිංගිකත්වය හෝ ප්‍රේමය හෝ, පාඨකයා වෙත යම් කම්පනයක් ඇති කරනා ආකාරයෙන් ලියැවී ඇත්තේ ද යන්න ගැටළුකාරී ය.


සමස්තයක් ලෙස ගත හොත්, සංග්‍රහයේ දෙවෙනි අර්ධය වන විට යම් රසස්වාදයක් ගෙන දෙන, කෙටි කතා අටකින් සපිරි සංග්‍රහයකි. විජේමාන්න මීට පෙර ලියූ කෙටිකතා සංග්‍රහය "මුවා මැරූ සලමන්" ය. එය එක්තරා විදිහකින් සමස්ත සිංහල කෙටි කතා ඉතිහාසයේ ම නොමැකෙන ලකුණක් වන් කෘතියකි. ඊට පෙර ද කතුවරයා බොහෝ සාර්ථක සංග්‍රහන් ලියා පළ කර ඇත. ඒ හා සාපේක්ෂව එතරම් සාර්ථක නැති වුව ද, සැලකිය යුතු මට්ටමේ කෙටි කතා 3-4කින් සපිරිය.

No comments:

Post a Comment