Saturday, 3 November 2018

කළු සපත්තු - ජයතිලක කම්මැල්ලවීර


කළු සපත්තු වනා හි කම්මැල්ලවීරයන්ගේ පළමු කෙටි කථා සංග්‍රහයයි. විශේෂයක් වන්නේ 1985 වසර ට හිමි හොඳ ම කෙට් කතා සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය මෙම කෘතිය හිමි කර ගැනීම යි.  එය උචිත සම්මානයක් යැයි හැඟේ,

ජයසිරිගේ කතාව: ජයසිරි නම් වූ ඉගෙනුමට කාත් කවුරුවත් නැති ළමයෙකි. හේ විසුවේ පන්සලක් ආශ්‍රිතව ගෙනගිය අනාථ නිවසකය. එහෙත් ඔහුගේ කථාව වනාහි ඔහු ඉන් පැනවිත්, කොහු මෝලේ වැඩ ට යොමු වීමේ පසු බිම මත්තේ ය. පසුකාලීනව කතුවරයා ගේ අනන්‍ය ලක්ෂණයක් වූ සියුම් ව යමක් ඇඟවීමේ ශෛලිය ඔහු තම මුල් කෘතියේ දී ම පෙන්වයි.

"හැම ළමයෙකුටම ඇඳක් සහ කුඩා කබඩ් එකක් එම ශාලාවේ ඇත. පොත් පත් සහ ඇඳුම් දැමීමමට එම කබඩ් පාවිචි කිරීමේ අවසරය ළමුන්ට ලැබී තිබුණත්, ඇඳන්වල නිදා ගැනීමේ වරය ඔවුන්ට ලැබී නැත. නායක හාමුදුරුවන්ට කැමති වෙලාවකට ඕනෑම ළමයෙකු වහාම තමා වෙත කැඳවා ගත හැකි අන්දමට ඔවුන් ළමා ශාලාවටත්, නායක හාමුදුරුවන්ගේ කාමර පේළියටත්, අතර ඇති ධර්ම ශාලාවේ පැදුරු එලාගෙන නිදාගත යුතුය. සමහර දවසක ධර්ම ශාලාවේ 'පැට්ට්‍රෝල් ලාම්පුව' නිවා දැමූ පසුව පවා නායක හාමුදුරුවන් එහා මෙහා ඇවිදිමින් ළමුන් මුරකරන අන්දම ජයසිරි දැක තිබේ." (20 පිටුව )

ආපසු යෑම: මෙහි එන රසවත් ම කෙටි කතාවකි. ප්‍රේමය අයෙකු ව මනස් රෝගියෙකු බවට පත් කිරීමට සමත් වෙද්දි, ඊට සම්බන්ධ අනෙක් කෙනාට එය මතුපිට ස්පර්ශ කරන හැඟීම් මාලාවකට එහා නොයන්නක් විය හැක. මෙහි එන්නේ පරණ ප්‍රේමවන්තියක ගේ ආරාධනයක් වැරදි වැටහීමක ට ගත්තකු පිළිබඳ රසවත් කතාවකි - මෙහි වැදගත් වන්නේ ඒ වැරදි වටහා ගැනීමට හේතු වූ  කෙනාගේ මනස ක්‍රියාකාරිත්වයයි.

ජීවිතයෙන් දොළොස් පැයක්: දියණියක් විවා පත් වන විට මෑතක් වන තුරු ම - බාගෙ විට තවමත් අපේ ගම් වල - ඇගේ "පිරිසිදුකම" මැනීම විවා මංගලයේ ම සිරිතක් මෙන් බැඳී තිබිණි. මේ කෙටි කතාව එය ඉටු කිරීම නොහැකි දියණියක් වෙනුවෙන් ඇගේ මවගේ සැලැස්මක් සහ ඉන් පසුව සිදු වූ සිදුවීම් පිළිබඳව ය. කෙටි කතා සන්දර්භය තුල බලාපොරොත්තු නොවූ අවසානයක් සහිත සාර්ථක කෙටිකතාවකි.

සිරිසේන අයියා: පිටස්තරින් බලන්නෙකුට කෙතෙරම් විඳවීමක් ලෙස පෙනුන ද, මිනිසෙකු ට  සහ ඔහුගේ බිරිඳ ට තම දිවි පෙවෙතේ දුක් "පැණි රස" ය. වෙසෙසින් තම දරුවන් ඔවුන ට සම්පතක්ය. ඒ පිළිබඳ ඔවුන්ගේ බාහිර ස්වභාවය බලා උපකල්පනයන් කල නොහැකි බව පසක් කරවන තාලේ කෙටිකතාවකි.

යුධ වැදුණු මිනිස්සු: මේ කෙටි කතා සංග්‍රය ලියැවෙන විට අසූවේ වැඩ වර්ජනය සිදු ව එතරම් කලක් නැත. කළු ගලක ඔළුව ගසා ගත් ඒ අය ට, තම හිතේ හයිය හැර ආඩම්බර වීමට හේතු අවම වන තරමට ඔවුන් අසරණ විය. කතුවරයා ඒ වන විට තවම අලුත් පෞද්ගලික බස් රථයක වූ සිදුවීමක් අලලා මේ වර්ජකයෙකු ගේ සිත ඇතුලට එබීම ට අවස්ථාවක් උදා  කර දෙයි.
"රස්සාව නතිවෙලා අවුරුදු පහයි. ඒත් අපි තවම සටනෙ. තේරුණාද මල්ලි. මම වැඩ වර්ජකයෙක් තේරුණාද? ගන්නව තමුසෙගෙ සල්ලි ආ.... ගන්නව!" (58 පිටුව )

පොත ලියවුණු යුගයේ මිනිසුන් ට තිබූ ගැටළු, ඉතා ස්වභාවික වටපිටාවක් තුල ඉදිරිපත් කරලීමට සමතෙක් බව ලේඛකයා තම පළමු කෙටි කතා සංග්‍රහයෙන් ම පසක් කරලයි.

අපරාධකාරයා: අප රට සාමය පවත්වාගැනීම තම වගකීම වන ආයතන වගවීම පිළිබඳ සැමදා ප්‍රශ්ණ තිබිණි. මෑතක ගායිකාවක ගේ ඝාතන සිද්ධියක දී ඇට චරිත වාර්තා දීමට හදිසි වූවෝ ඔවුන් අතර වෙති. මේ කෙටිකතාවේ අත් අඬංගුවට ගත් අයෙක් සන්ත්තනයේ තිබූ භාණ්ඩ ( බඩු මුට්ටු ? ) මත ඔහු කවරෙක් ද යන්න තීරණය කිරීමට තරම් ඔවුන් දක්ෂය. මේ එහි උපහාසය ද අපහාසය ද රැගත් නිර්මාණයකි.

හේතුවක් නැති මිනිමැරුමක්: මිනිමරුවා එසේ ක්‍රියාත්මක වූයේ ඇයි ද යන්න පිළිබඳ කතාවසනය ආසන්නය වන තුරු කිසිවක් නොකියවේ. එහෙත් හිරෙන් නිදහස් ව විත් ඇති ඒ මිනිමරුවා, "එක් පුද්ගලයකු" දුටු වහාම ඔහුගේ මුහුණේ භාව ප්‍රකාශය  වෙනස් වීම මතින් පමණක් බොහෝ දේ ඉඟි කරයි.  සියුම් නිර්මාණයකි.

කළු සපත්තු: විරැකියාවෙන් පෙළෙන්නකු අවුරුදු ගණණාවක් දුක් විඳ රැකියාවක් ලබා ගනී. රැකියාව හා බැඳි වගකීම් ඉටුකරලීමේදි තම නිදහසේ සිමාවන් උල්ලංගණය, මහ බරක් වෙන අවස්ථා තිබිය හැක. මෙහි එන මිනිසා ට රැකියාව අහිමිවීම හේ මහත් වූ භාග්‍යයක්, නිදහසක් ලෙස සලකන්නේ, ඒ සන්දහර්භයේ ඔහුගේ අන්ත අසරණවීම අභිමුඛව ය.

අදට වසර තිස් පහකට පමණ පෙර, නාගරීකරණ ය තවම ගමට එබිකම් නොකල යුගයක, අප මිනිසුන් මුහුණදුන් ජීවන ගැටළු ඉතා ස්වභාවිකාකාරයෙන් මෙන්ම කෙටිකතා කියවීම ආයාසකාරි නොවන ලෙස අන්තර්ගත කොට ඇති අපූරු නිර්මාණයන් ය. තවම නගරයෙන් පිට පෞද්ගලික බස් ලෙස ඉසුසු එල්ෆ්, ටොයොටා හයි-ඒස් දිවූ යුගයක ට අප ගෙන යයි. ඒ අදට වඩා විරැකියාව රජ වූ යුගයකි. ඒ රැකියා අවස්ථා මදි වූ නිසාත්, අසූවේ වැඩ වර්ජනය නිසා රැකියා අහිමි වූවන් නිසාත් ය. එම යුගය අශ්‍රිත ව නිමැවුණු නිර්මාණත් ( යුධ වැදුණු මිනිස්සු; කළු සපත්තු ) මිනිස් සන්තානයේ ප්‍රේමය පිළිබඳ හැඟීම්, දෙමව්පියන් අහිමි දරුවන් විඳින පීඩා ආදි එදාට ත් අදට ත දාළ මාතෘක ත් අලලා ලියැවුණු අපූරු නිර්මාණ පෙළකි. මෙහි දුර්වල යැයි කීමට තරම් කෙටි කතාවක් නැති තරම් ය - ඇත්තේ හොඳ කතා සහ ඉතා හොඳ කතා ය; ඒවා ද සමෝසමව මෙනි. සිංහල කෙටි කතාව ට ඇළුම් කරන කියවන්නිය, කියවිය යුතු ම සංග්‍රහයක් ලෙස නම් කිරීමට මැළි නොවෙමි.

( ගොඩගේ පොතකි;  සිව්වෙනි ප්‍රකාශනය 2017 )



No comments:

Post a Comment