Tuesday, 26 June 2018

මල්බෙරි සමය - සුනන්දා ප්‍රේමසිරි


2017 වසරේ ප්‍රකාශ වූ කෙටි කතා එකතූන් කියවීම ඇරඹීමි. ඒ මෙවර රජත පුස්තක සම්මානයේ අවසන් වටයට නිර්දේශ වූ සුනන්දා ප්‍රේමසිරි ලියූ  "මල්බෙරි සමය" කියවීමෙනි. මේ ඒ ගැන මගේ සාපේක්ෂ වශයෙන් අවියත් කියවීමයි.

පසු කවරයේත්, පෙරවදනේත් කතුවරිය, "නිර්මාණයක් ඔස්සේ හුදු කතා පුවතක් රස විඳීම යන කරුණින් ඔබ්බට පිවිස, ඉන් වහනය වන නැවුම් 'අත්දැකීමක්' ද විඳ ගනිමින් ජීවිත පරිඥානය පුළුල් කර ගත හැකි වන්නේ නම් එය පාඨකයෙකුට නිර්මාණයකින් අත් විඳිය හැකි ඉහළම පළයයි", යැයි පවසන්නීය.  එම වදන් සමඟ එකඟ නොවීමට කිසිදු කියවන්නිය ක ට හේතුවක් තිබිය නොහැක. පෙරවදන පාද සටහනක ඈ අපට Edith Wharton ගේ The Writing of Fiction පරිශීලනය ට ඔවදන් දෙන්නීය. පාඨකයා, කෙටි කතාව නම් ශාස්ත්‍රීය නිර්මාණය කියවීමට යොමු කිරීමක් ඈ ඉඟි කරයි. ශාස්ත්‍ර වන්තියක් එසේ කිරීම යුක්තියුක්තය.


එහෙත් කතුවරියගේ ඒ අපෙක්ෂාවන් මුදුන්පත් කරලීමට ඈ ඊට එක්කාසු කරගන්නා ප්‍රධාන ම අමුද්‍රව්‍ය වන අත්දැකීම්, කෙතෙරම් විචිත්‍රවත් ද, පොහොසත් ද, දුර්ලභ ද යන්න ගැටළුවකි. මේ වන විට මේ කෘතිය රජත පුස්තක අවසන් වටයට පැමිණීම ප්‍රශ්ණ කිරීමේ තත්ත්වයකට පත් ව ඇත. විනිශ්චය මණ්ඩලය, කතුවරිය අපේක්ෂා කල ශාස්ත්‍රීය පදනම, තම තේරීම ට හේතුව කරගත්තා දැයි මා නොදනිමි. අපේක්ෂා, සැලසුම් එකකි - අචසන් ප්‍රතිපළය අනෙකකි. මගේ අවංක අදහස නම්, කතුවරිය ගේ බලාපොරොත්තු මුදුන්පත් කරලීම ට ඒ අත්දැකීම් ප්‍රමාණවත් තරම් විචිත්‍රවත් නැති බවයි. සියුම් නිරීක්ෂණ, සියුම් ගැලපුම්, ස්වභාව ධර්මයේ සමාන්තරව සිදු වන සිදුවීමකින් කෙටි කතාව තුල ට ඇඟවුම් කාරකයක් ගෙන ඒම ආදි සැලකිය යුතු මට්ටමේ ශාස්ත්‍රිය මෙවලම් කතුවරිය භාවිත කොට ඇත. එහෙත් ඉන් පාඨකයා කම්පනයට පත් කරවන තීව්‍රතාවයක් නිර්මාණය නොවේ. ඉතින් ඉහත කී නිරීක්ෂණ වලට සංවේදි නොවන පාඨකයා ට මෙය "පතෝල-වැටලොළු" ආරේ නිර්මාණයකි. සංවේදි පාඨකයා ට හෝ මතකයේ රඳවන ආරේ සිද්ධි මාලා වලින් තොර වූ නිර්මාණ පෙළකි. මේ කී දෙවෙනි පාඨක පැලැන්තිය, කතුවරිය ගේ උත්සාහය තේරුම් ගන්නෝ ය. ඈ සමඟ එකට සිට නිර්මාණය සෙමින් කියවන්නෝ ය. එහෙත් පොත අවසන් කරද්දි, බිහි ව ඇති අවසන් ප්‍රතිපළය ගැන සෑහීමකට පත් වන්නෝ ද යන්න සැක සහිත ය. එවන් පාඨකයන්ට ප්‍රාර්ථනා කල හැක්කේ, කතුවරිය ට තම ශාස්ත්‍රීය උවමනාවන් ආරක්ෂා කරගනිමින් ම තම දුර්වලතාවන් මැඩ වඩා ඉහළ නිර්මාණයක ට යොමු වේවා කියා ය.

ඉතින් මේ කෘතිය රජත පුස්තක අවසන් වටයට තේරීම විනිශ්චය මඬුල්ලේ වගකීම මත සිදු වූවකි. එය වෙනම ම කතා කල යුත්තකි - ඊට කතුවරිය පළි නැත; විනිශ්චය මඬුල්ලේ ප්‍රශ්ණ අවුරුද්දක් අවුරුද්දක් පාසා පැණ නැගෙන්නකි.

No comments:

Post a Comment