Sunday, 25 February 2018

Notes from the Underground - Fyodor Dostoyevsky

"I look inside myself and see my heart is black
I see my red door, I must have it painted black
Maybe then I'll fade away and not have to face the facts
It's not easy facing up when your whole world is black"
                                    ( Paint it Black - Rolling Stones )

    This is possibly Dostoevsky's least organized, chaotic work, with doses of philosophy brimming over; it is in two parts and the first is a monologue, which reminded me of the Camus' masterpiece "The Fall" - and, it is considered one of the first existential novels ever written; so the style of the monologue - wordy, trying to justify one's outlook, one's doubts, what one wants a possible reader to seem like convictions. The book is in two parts - the monologue which run about 30% of the way - and then the second part, which is his recalling of certain life's early incidents - when he was a young man of twenty four ( He is forty at the time of the monologue). A few quotes from the monologue suffices to show the doubt our unnamed "Underground Man" is up against:

"Oh, gentlemen, do you know, perhaps I consider myself an intelligent man, only because all my life I have been able neither to begin nor to finish anything. Granted I am a babbler, a harmless vexatious babbler, like all of us. But what is to be done if the direct and sole vocation of every intelligent man is babble, that is, the intentional pouring of water through a sieve?"

Dostoyevsky, Fyodor. Notes from the Underground (pp. 20-23). Kindle Edition.

" And how do these wiseacres know that man wants a normal, a virtuous choice? What has made them conceive that man must want a rationally advantageous choice? What man wants is simply INDEPENDENT choice, whatever that independence may cost and wherever it may lead. And choice, of course, the devil only knows what choice.

Dostoyevsky, Fyodor. Notes from the Underground (pp. 30-31). Kindle Edition. "

"you tell me again that an enlightened and developed man, such, in short, as the future man will be, cannot consciously desire anything disadvantageous to himself, that that can be proved mathematically. I thoroughly agree, it can--by mathematics. But I repeat for the hundredth time, there is one case, one only, when man may consciously, purposely, desire what is injurious to himself, what is stupid, very stupid--simply in order to have the right to desire for himself even what is very stupid and not to be bound by an obligation to desire only what is sensible."

Dostoyevsky, Fyodor. Notes from the Underground (p. 32). Kindle Edition.

Every man has reminiscences which he would not tell to everyone, but only to his friends. He has other matters in his mind which he would not reveal even to his friends, but only to himself, and that in secret. But there are other things which a man is afraid to tell even to himself, and every decent man has a number of such things stored away in his mind. The more decent he is, the greater the number of such things in his mind.

Dostoyevsky, Fyodor. Notes from the Underground (p. 44). Kindle Edition.

As can be seen, the monologue travels through the narrator's doubts fueled by Nihilism, Existentialism and Egoism. Then we move to the second, larger part of the novel which has some plot - and shows our "Underground Man" for his true worth - how bogged down by egoism he has been in his youth, that he cannot deal in any relationship. That this egoism will ruin others too, who come to embrace, to help him out. The tale of Liza the twenty year old prostitute - who Dostoevsky shows us as in possession of virginal innocence, not with standing her current state in life. We then see that the narrator's stand at forty is fueled by his ideologies, but the primary reason for him to distance himself and make himself "a pedestal" , albeit below the functioning every day life - far from association of others is the egoism that he's been hampered with.

A relatively shorter work - a novella - is both a dark piece of writing, yet rewarding in its presentation of ideologies - and the fall to the underground. Another book that reminded me of is Herman Hesse's Steppenwolf. There too, we are shown that the man who elevates himself over other in ideologies, is possibly there due to early life events, of his own short coming, although smirking in self satisfaction in his own cocoon of making, in later life.

Sunday, 18 February 2018

හඳුන්මල් කඩුල්ල - සේන තෝරදෙනිය

"මට මතක් වෙනවා සුද්ද තැලූ පෙළු හැටි
අපි කතා කලේ පන ගැහි ගැහි දණින් වැටී..."
( පද - නිමල් මැන්දිස්; ගායනය - නෙවිල් ප්‍රනාන්දු; නීලා වික්‍රමසිංහ )
"පේරදෙනියෙ ඉස්ටෙසමේ ටිකැට් දෙන", නම් වූ කෙටි කතා සංග්‍රහයේ "වන්දනාකාරයෝ" නමින් කෙටි කතාවක් වෙයි. එහි එක්තරා බෑනෙකුගේ හදිසි වියෝව උහුලා ගත නොහැකි වූ මාමණ්ඩිය, මෙසේ හඬා වැටේ:
"මයෙ පුතේ... මයෙ යෝදයා... මයෙ පරපුරේ යෝදයා... යෝද බල.... යෝද දහිරිය තිබිච්චි උඹට මොකද මේ උණේ? මයෙ යෝදයා... මයෙ කඩොල් ඇතා... ඇයි මේකව ඉතුරු කරල මට දඬුවම් නොකෙරෙව්වේ? "
තෝරදෙනිය විසින් 2016 ඔක්තෝබරේ අග ලියා පළ කල හඳුන්මල් කඩුල්ල නම් වූ කෘතියේ 318 පිටුවේ මාමණ්ඩියක් තම ප්‍රියතම බෑණන්ඩියගේ හදිසි වියෝව නොඉවසන්නේ, මෙසේ ලත වන්නේය:
"මයෙ යෝදයෝ! උඹට මැරෙන්ට තෝපරේටම එන්ට සිද්ද උණා! මයෙ පරපුරේ යෝදයා! යෝද බල යෝද දහිරිය තිබිච්චි මයෙ කඩොල් ඇතා! ඇයි දෙයියනේ මෙහෙමත් කෝප වෙලා මයෙ කඩොල් ඇතාට දඬුවම් කෙරුවේ?"
වෙනස ඇත්තේ කෙටිකතාවේ සහ නවකතාවේ, මේ කියනා බෑණන්ඩියලාගේ මරණයට හේතුන් තුල ය. මෙම නවකතාවේ මුඛ්‍ය කාරණාව ලොකු බණ්ඩාර නොහොත් දෙනිහතේ රාළ නොහොත් වෙඬරුවේ බන්ඩා නම් වූ පාංශුදේහ දාරී පුරිසයා, වන්දනාගමනක් අතර හදිසියේ අවුරුදු තිස් හතරේ දී මිය ගියේ කෙසේ ද යන්න ය. සියළුදෙනාගේ සිත් ගත් පුද්ගලයෙකු වන ලොකු බණ්ඩාරගේ මරණය පරම්පරා තුනක් අතර ම රහසකි. පාතදුම්බර නම්බුකාර පරම්පරාවකින් පැවතෙන්නෝ, මෙකී ලොකු බණ්ඩාරගේ අකල් මරණය පිළිබඳ නිවැරදි විස්තර නොදත්තෝ, දැනුම් දී තිබුණු නිල හේතුව තුල යම් පමණ ලජ්ජාවකට කාරණා ඇත්තේ, පවුලේ වැඩිහිටි කිසිවෙක් මේ මරණය ගැන දොඩමළු නොවුවොය. ගුත්තිල නම් වූ, ලොකු බණ්ඩාර ගේ මුණුබුරා ට ද, සුසිරිරත්න බණ්ඩාර වෙඬරුව නම් වූ ඔහුගේ පුතුණුවුනට ද, ටිකිරි බණ්ඩාර නම් වු ඔහුගේ මස්සිනා ට ද, ඒ ඒ අයගේ මරණය තෙක්, ඔවුන් මියැදෙන්නට පෙර ලොකු බණ්ඩාරගේ මරණය ට සැබෑ හේතුව සොයා ගත නොහැකි වෙයි. ඒ ලොකු බණ්ඩාර දන්නා අය සහ ඔහුගේ පරම්පරාවේ අන් අය, ඔහු ගැන අසා ඇති කාරණාකාරණා හේතුවෙන්, ඔහුගේ මරණයට නිල හේතුව යැයි වෛද්‍යවරයා ගේ ඉදිරිපත් කල හේතුව පිළිගැනීමට මැළි වන නිසා ය. ඔවුන් සියළු දෙනා සිතනුයේ මෙම මරණයට වෙන යම් කාරණාවක් ඇති බවයි. ඒ ඥාතීන් මෙම සැබෑ හේතුව නොදැන මිය පරළොව ගියත්, පාඨක අපි ට කෘතිය අග එය නිරාවරණය වේ - එහෙත් ඒ වන විට ලොකු බණ්ඩාරගේ මී මුණුඹුරාට තම මී මුත්තා ගැන තඹ සතයක දෙයක් සෙවීමේ උවමනාවක් නැත. හේ නූතන පරම්පරාවෙහි ය. හේ ඔවදන් මායිම් නොකරන්නෙකි; තාක්ෂණවේදියෙකි; පියා නැති කල තමන් ඇති දැඩි කල තම සීයා අවඥ්ඥාවෙන් බැහැර කරන්නෙකි. නුමුදු මේ මරණයට හේතු සෙවීම සඳහා පාඨක අප ව ලේඛක තෙමේ වටවන්දනාවේ ගෙනියයි. එය කැමැත්තේ- නොකැමැත්තේ, ඒ ඒ පාඨකයා අනුව ය. මට එය සෑහෙන ප්‍රියය. වෙහෙසකර තැන් නැතුවා නොවේ ( හත්තිලව්වේ වන්දනා ගමනක් යද්දි මාන්සියක් දැනෙන්නැත්තං කොහොමෙ ? )
නවකතාව එක් අහඹු මරණයක් නිමිති කරලමින් කියාපාන්නේ 1913 තරම් මෑතක ඉංගිරිසි ආණ්ඩුව මගින් ස්වදේශිකයෝ කෙතෙරම් පීඩනයට ලක් වූවා දැයි යන කාරණාවයි. වන්දනාකරුවෝ නුවරකලාවියේ, තමන්කඩුවේ, තෝපාවැවේ යන්නෝ, කෙතෙරම් අහිංසක මිනිසුන් පෙළීමක් මේ සුද්දන් විසින් කරන්නෝ ද යන්න ත්, එය පාතදුම්ඹර තමන් මුහුණදෙන පෙළීමත් සසඳන්නෝ ය.
කතාවේ මුඛ්‍ය තේමාවේ කියැවෙන්නේ, අදට ත් අප රට මිනිසුන් තමනට අත් වූ ඉරණමේ සැබෑ තතු පිළිබඳ වැටහීමක් නැති තරමට අප සුද්දා අතින් තැළුණු බවට ය. "සුද්දා හිටියනම් මරු" යැයි නන්දොඩන්නන් මේ පොත කියවීම වටී. කිම ද ඔවුන් වචනයේ පරිසමාප්තියෙන් ම කොටසකට "මරු" ගෙනා නිසා ය. මේ කියන්නේ 1818 හෝ 1848 කැරැලි මර්දනය ගැන නොවේය. ඉන් මෙපිට ගැන ය. ඉතින් නූතන පරම්පරාවට මේ පොත රුස්සන්නේ නැති වීමට පුළුවන. එහෙත් මේ පෙළීම තේරුම් ගත යුතුය.
"අපි ගංවල හැම වැඩක්ම එකට හමුඩු වෙල කොරගත්තේ. එකා වගේ කට්ටි ගැහිලා, අපි කුඹුරු මඩ කොළේ, හී හෑවේ, වෙන කුඹුරු දිහා බලාන. එකට. වැවේ වතුර කුඹුරු කට්ටි ගාණට බෙදාගෙන. තනිතනියම එකලායක් වෙන්ඩ බැලුවෙ නෑ. අනිකා පාගාගෙන. හේං කෙටුවෙත් එහෙමයි. ඒත් සුදු මහත්තුරු ගමට ඇවිල්ලා කියන්නේ තනි තනියෙන් නැඟිටපල්ලා කියලා. ඒජන්ත උන්නාන්සෙගෙ අඬහැරේ ඕකමයි. උංගෙ රට වෙන රටවල් අල්ල ගත්තී එහෙමලු. තනි තනි මිනිහා නැගිටිනකොට මුළු තුළානම, කෝරළේම, පළාතම, රටම නැඟිටිනවාලු. අපිට එහෙම කොරන්ඩ චාලිත්තර ඉඩ දෙන්නෙ නෑ. අපි හැමෝටම කුඹුරේ පංගුවක් තියෙනවා. ඒ පංගු පවුලෙ ගාණ විදිහට දික් අතටහරි හරස් අතටහරි බෙදා ගත්තා. අපි කුරුල්ලොන්ට කන්ඩත් කුරුලුපාළුවක් ඉතුරු කරපු ජාතියක්. මෙහේ වෙන පළාත්වල වාගෙ තට්ටුමාරු ක්‍රමේ තිබ්බේ නෑ. වැවේ වතුර මඳි නං වැවේ වතුර ප්‍රමාණේ හැටියට වතුර අරපරෙස්සං කොරගෙන කුඹුරු කැබලි වෙන් කොරගෙන බෙත්මට වැඩ කොරපු ඇත්තො. සුදු මහත්තුරු කියන්නෙ බැරි එකාගෙ ඉඩං රොක් කර ගනිං කියලා. ඒක බැරි එකාටත් හොඳයි කියලා. ඌ එතකොට ගොවිතැනෙං අයිං වෙලා වෙන වැඩක් බලා ගනී කියලා. ඒක හරියට කන පත උදුරා ගන්නවා වගේ වැඩක්. කන පතේ රෙනව වගේ. අපිට එව්ව හුරු නෑ." ( 272-273 පිටු )
මේ කෘතිය ගැන පිටු ගණන් ලිව හැක: උඩු දුම්බර-පාත දුම්බර ජීවන රටාව; සුද්දන් ට විරුද්ධව කැරළි ගැසූ හැටි; එම මිනිසුන්ගේ ගුණ සහ දුර්වලතාවන්; ඔවුන්ව සුද්දන් පෙළු හැටි; නුවරකලාවියේ මිනිසුන්ව සුද්දන් පෙළු හැටි; මේ වන විට නුවරකලාවියේ ජීවිතය කෙතෙරම් දුෂ්කර ද යන වග - එපමණ්ක් නොව රාජ්‍ය සේවය; එහි ගැටළු; නානුඔය සිට නුවර එළිය හරහා රාගල දක්වා දිවූ "පුංචි කෝච්චිය" ආදි මෙකී නොකී කතා රැසක් මේ පිටු 351ක් හරහා කියැවේ. තෝරදෙනිය ඉතා ලක්ෂනට සිහල බසින් ලියන්නේ, ආගිය තැන් මුල ගිය තැන් ඔස්සේ ය. ඒ ඔහුගේ ලේඛන ශෛලියයි. තැනෙක බිල්පත් ය; තැනෙක දුම්රිය මාර්ග විස්තරය; තැනෙක මාර්ග විස්තරය; ඉතින් මේ පොත කියවෙන්නෙකු ට යම් ඉවසීමක් තිබිය යුතුම ය. එනුමුදු වත්මනෙහි "මායා යථාර්තවාදි රීතියේ" පොතක් පිටු පන්සිය ගණණාවක් පුරා දිව ගොස් අතිශය වෙහෙසකර කියවීමක් ව අවසන් වද්දි, එය ද සමහර සම්මාන වලට නිර්දේශ වද්දී, මෙවන් පොත් නිර්දේශ නොවීම පුදුම ය. කිම ද, මේ පොතෙන් ගත හැකි දේබහු ල ය ( මෙය ගොඩගේ සම්මානයට නිර්දේශ විය ).
මෙහි අග මුල ගිය විස්තර රසවත් ය. නිදසුන්;
"'මෙහේ ඉඩං අයිතිය ව්නස්. පරවේණි ඉඩං ඇර අනික් ඔක්කෝම ඉඩං ගෝරමේන්තුවේ. අපේ ගොඩැ ඉඩංවල අයිතිය ගෝරමේන්තුවට හැකයි. හේං කොටංඩ යාප්පු වෙන්ඩ ඕනෑ. ලැයිසොං ගන්ඩ ඕනෑ. සුපියල දෙක හේං කාසි ගෙවන්ඩවත් අපේ ඇත්තන්ට බැරිමරගාතේ. වී බදුවලින් අපේ ඇත්තො උහුලංඩ බැරි පදමට අහීපාත උණා. ඒ අව්වස්සෙ හරක් උලා කනවටත් දඩකාසි ගත්තා.'
මේ ඉඩම් තමන්ගේ උරුමය යයි සිතූ ගැමියන් බලපත්‍ර ගාස්තු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ට සිදුවූයේ දඩැකාසි ගෙවීමටය.
අපේ පැත්තෙත් මෙයාකාර තමයි.ගම් අවට ලොකු ඉඩම් අයිති සුද්දන්ගෙ කොම්පැනිවලට. උන් කෝපි, තේ, රබර්, කොකෝ, එනසාල් වැව්වෙ එව්වායෙ. එව්ව ක්‍රවුන් ලෑන්ඩ් කියලයි කිව්වේ. එංගලන්තෙ රජ්ජුරුවොන්ට අයිතියි. අපිට එව්වැ කොටන්ට අයිතියක් තිබ්බේ නෑ. එව්ව ඔක්කොම අපේ ඉඩම්. බලහත්කාරයෙන් අල්ලගත්තු එව්වා'යි ටිකිරි බන්ඩාර කීවේ ලොකු බණ්ඩාර ද දන්නා යමක් පහදා දීමටය.'" (252-253 පිටු )
"මරදන්කඩවල සිට හබරණ දක්වා ඇත්තේ වන දුර්ගයකි. එහි ඇත්තේ දුෂ්කර, රළු, කටුක පාරකි. දෙපස අඳුරු වනාන්තරවලින් වැසී ඇත. පාර පුරා රතු වැලි හා බොරලුය. වැස්සෙන් පාර සෝදාගෙන ගොස් ඇත. ඇළ මාර්ගයක් වැන්න. ගමන දුෂ්කරය. ගොනුන්ට වේගයෙන් යා නොහැකිය. අලින් වලසුන් හා නරින් පාර හරහා යනු පෙනේ. වළිකුකුළෝ කිකිළියන් පිරිවරා සිටිති. මොනරු පිල් විදහා රඟන බව පෙනෙන්නේ එළිමහනකදීය. මොනරුන් හා මොනරියන්ගේ කෙකානාද ගුවනට මුසුවෙයි. උන් කෙකාසර නඟන්නේ කරත්ත රෝදවලින් නැඟෙන දඩ දඩ හඬට බියවීද, ස්‍රංගාර මතින්දැයි කිව නොහැකිය. "( 304 පිටුව )
"කන්දෙක පහළට එල්ලා වැටෙන, බෙල්ල පහත් කරගත්, කටෙන් සෙම ගලන, ඇස්වලින් කඳුළු බේරෙන ගව රංචු දැක ගත හැකි විය. මේ රෝගි වූ ගවයින්ය. උන්ගේ ගොමවලද ලේ තැවරී අත. ඇඟ පුරා මැස්සන්ය. කට තුවාල වී ඇති හෙයින් උනට උලා කෑ නොහැකිය. බීමට ජලය නැත. මඟදිගට ගවයින්ගේ මළැකුණුය. සතුන් විසින් කා දමන ලද ගවයින්ගේ කොටස්ය. ඇටකටුය." (307 පිටුව )
යම් පරීශ්‍රමයක් දරා, එක් ආකාරයක අත්දැකීමක් විඳ ගැනීමට කැමැත්තෝ මෙය කියවත්වා. ඉංග්‍රීසි, හා අනෙක් භාෂා නවකතා වල ප්‍රස්තුත කාරණයෙන් පිටයෑම්, මහත් රසවත් යැයි කියා පා, සිංහල නවකතා වලදි යම් විෂයක් ඔස්සේ කිමිදීම නොඉවසන්නන් ට මෙය කියවීම ට අනුමත නොකරමි. මා හට නම් මෙය "බණ්ඩර මැරූ උන්", " සදත් විල මහා සුභද්‍රාවෝ" ආදි රසවත් නවකතා සමඟ එක පෙළට තිබිය හැකි ආරේ නවකතාවකි."

Friday, 16 February 2018

යක්කු බොලව් - රන්වල බලකාය




රන්වල බලකායේ නවතම ගී එකතුව වන යක්කු බොලව් ඇසී මි. මේ ලයනල් රන්වල \ රන්වල බලකායේ සවැනි ගී එකතුවයි. පස්වැන්න වූ "ත්‍රී" පසු ගිය වසර කිහිපය තුල ඇසූ මා වඩාත් රස විඳී සිංහල ගී එකතුවයි.

ඉතින් මේ සංග්‍රහයේ ගීත දොළස කෙලෙස ද?
- "යුද්දෙටත් ඇවිත්" - හටන් ගී ඇසුරෙන් නිම වී ඇති මෙය රංවල බලකයේ ම පෙර ගියක නව නිමාණයක් වුව, මෙහි ඇති අපූරුතම රසාස්වාදය ගෙන එන්නේ ආත්මා ලියනගේ තම සමාන්‍ය හඬ වෙනස් කරමින් කරන ගායනා විලාශයයි. රන්වල බලකාය ආගන්තුක ගායක ගායිකාවන් තම ගීත සංග්‍රහයන් තුල ට ආරාධනාව අලුත් දෙයක් නොවේ. එහෙත් මේ ගීයේ ආත්මාගේ ගායනාව විශේෂයෙන් ම සුවිශේෂීය.

- රංවල බලකායට උපහාසය තම නිර්මණ වලට එක්කසු කර ගැනීම, නුපුරුදු දෙයක් නොවේ. "අහසේ ඉන්නවලු" නමින් ලයනල් රංවලයන්ගේ නමින් මීට වසර ගණණාවකට පෙර නිකුත් සංයුක්ත තැටියේ සිට මෙය අප දැක ඇත. "ත්‍රී" ගි එක්තුවේ ද "මං මැරිලා" ගීය තුලින් ලාංකිකයා පුරුදු වී ඇති අවමංගල්‍ය ක්‍රමවේදයත්, "ලොකු වුනාම වෙන්නේ කවුද?" මගින් අප රට බහුතරයක් කෙටි මාර්ග මගින් මුදල් ඉපයීමේ ව්‍යායාමයත් හාස්‍යයට ලක් කලේ ය. මෙහි එන සරම් මූණ නම් වූ ගීය මගින් අපට "ටයි දැම්මට සරම් මූණක්" තිබීම ගැනත්, "පොෂ් උනාට චීත්ත මූණ" ගැනත් හාස්‍යයට ලක් කරන්නේ අප පිට දෙසේන් එන දේ බදා ගැනීමට ඇති හදිස්සිය ගැන මතක් කරලමිනි.

-පළමු පැරකුම්බා රජු පිළිබඳ ගැයෙන ගීයක් වන "පුලතිසි නිරිඳෝ" ප්‍රශස්ති ආරෙන්, උඩරට ශාන්තිකර්ම නාද රටා භාවිත කොට නිමැවී ඇත. මෙම ගීය ඇසීමට ප්‍රිය සිතෙන ආරේ ගීයක් වුව ද, මේ සංයුක්ත ගීයේ සමස්ත ලක්ෂණයක් වන, නැවත තමන් පෙර කල නිර්මාණ ආර ට යෑම මෙහි ඇත. රංවල බලකාය "ත්‍රී" හරහා අපට ඉදිරිපත් කල, ජන ගී ආර භාවිතාවෙන් බිහි කල නව ගී සංකල්පනා වලින් බැහැරව නැවත අතීත කිතු ඝොස වෙත වැඩියෙන් යොමු වී ඇති සේ ය. මට ඇති උන පැණ වූයේ 2013-14 දී නව ඉසවු වෙත දැක්ම යොමු කල රංවල බලකාය ( "ත්‍රී" හි "මහා පුරුෂ මිනිස් රුවන", මහබඹාට මූණු දෙකයි", "මං මැරිලා", "අනාගතේ කවුද වෙනේ?" ), 2017-18 වෙද්දි නැවත අතීත කිතු ඝොස ගැන ගැයීමට යොමු වූයේ ඇයි ද යන්න යි.

-අහසත් පොළවත අතර සබඳතාව ඇති කොට, අප රට බතින් පෝෂිත කරන්නා වූ, ඒ උදෙසා අද දවස වන විට දහසක් දුක අනුභව කරන්නා වූ ගොවි පුත්තු ගැන අපූරු ගීතයකි, "හිරුගේ පුතු". එහි ජන ගී ආභාෂය පූර්ණව ඇතත්, විෂයමය වශයෙන් එහි නැවුම් බවක් මෙන්ම, කුමක්දෝ ලෙන්ගතු බවක් ද එහි අන්තර්ගතය. ගීයේ අපූරුව නම් බඹර කවි සහ තෙතඟු ගී යන ආරයන් දෙකේ ආභාෂය ගීයේ   වෙන වෙන ම යෙදී ඇති හෙයින්,  එම වෙනස ගීය වඩාත් රසවත් ය. අමන්ද්‍යා උත්පලී ගේ ගායන විලාශය අපූරුය.

-"යක්කු බොලව්" ගීය, අපූරු ගායන ආරක් ද, ඊට ම ගැලපෙන සංගීත භාවිතයක් ද තුලින්, තරමක අද්භූත හැඟීමක් ආරෝපනය කරන ගීයකි. මෙලෙස ගායනය තුලින් ගීයට යම් වෙනස් කමක් ගෙන එන ආරේ ගී අගය කල යුතුය. කිම ද අප සිංහල ගීය බොහෝ විට සීමිත ගායන විලාශයන් භාවිතා කරන් බැවිනි. කසුන් කල්හාරගේ " රොමාන්තික ඔපෙරාව" නම් වූ ගී ඇල්බමයේ  මේ ගායනා විලාශයන් සමඟ කෙරෙන පරීක්ෂණයන් හා වෙනස් ආරක ගායනායන් ගැන කියා ඇට. ඒ සංගීත සංග්‍රහයේ ගායන විලාශයේ බොහෝ අපූර්වතා ඇත. මේ සංයුක්ත තැටියේ අවම වශයෙන් මේ ගීයේත්, "යුද්ධෙටත් ඇවිදින්" ගීයේ ආත්මා ලියනගේ ගේ සුවිශේෂී ගායනා  ද, යම් තරමකින් කට හඬ ද මෙවලමක් ලෙස භාවිතය, ගීය ට ගෙන එන නැවුම්බව ගැන කියා පායි.


- මා බලාපු රංවල බලකායේ සංදර්ශන දෙකක දී ම අමතර අංගයක් ලෙස පෙන්නාපු රජරට වැසිකාලයත් සමඟ මැඩියන් ගේ බාලවිය සිට දිය කඩිති වල දිය සිඳෙනා අවදිය තෙක් උන් හඬ නගනා ආකාරයේ වෙනස නිමිති කොට ගෙන ඉදිරි පත්  කල මැඩියා වන්නම. එය පාදක කොට ගෙන නිර්මාණය වූ අපූරු ගීයකි, "සක්වල පුරා". මෙහි එන සමස්ත ගී අයුරින්, ත්‍රී හි නිර්මාණ දිශානතිය - එනම්, ජන ගී ආර මත නූතන ගීත කලාවක් නිර්මාණයේ අපූරුව, ප්‍රදර්ශනය වන අවස්තාවකි මේ ගීය.

- මෙහි එන මා සිත් වඩාත් අඩුවෙන් දිනූ ගීය "මක්කෙයි" විය යුතුය. රුහුණේ බස් භාවිතාව මුල් කොට ගෙන නිමැවී ඇති ගීයේ, ඒ බසේ ඇති යෙදුම් පිළිබඳ අවදානය එහි ගී ස්වරූපය ඉක්මවා යාම නිසා එහි ව්‍යාජ ස්වරූපයක් මතු ව ඇතුවා පමණක් නොව, බස් භාවිතාවේ යෙදුම් කිහිපයක් දුර්වල ගීතයකට ව්‍යායාමයක් දරා ඔබ්බවා ඇති ස්වරූපයක් අරුත් යයි.

එනුමුදු එතනින් ඔබ්බට සංග්‍රහයේ අපූරු ගී හතරක් පෙළ ගැසී ඇත.

-"ඉතිං කැන්දන් යන්නම්", තම සහකාරිය සමඟ තම අනාගාතයත්, දරු මල්ලන් සමඟ දිවිගෙවන අයුරුත් සිතනා මානවකයෙකුගේ මනසින් ලියැවුණු අපූරු ගීයකි. සබරගමු වන්නම් ආශ්‍රෙයෙන් නිමැවී ඇති මේ ගීය ජන ගී ආභාශයත් පරිපූර්ණව රැගත්, එලෙසම සමස්ත වශයෙන් ගීයක් වශයෙන් අසන්නා ට ප්‍රිය ගීයකි.

- රන්වල ළමා බලකාය ගායනය කරන, නිශ්ශංක දිද්දෙනියන් ද පද පෙළක් ගායනයෙන් සම්මාදම් වන "දශ මහ යෝධයෝ" ගීය ද මේ සංග්‍රහයේ ඉහළම තලයේ ගීයකි. පෙර කී "යක්කු බොලව්" ගීය මෙන්ම, මේ ගීය ද සමස්ත අවකාශයක් ගොඩනැඟීමට සමත් ගායනයක්, පද පෙළක් සහ සංගීත සම්මිශ්‍රණයක් රැගත් ගීයකි.

- "අන්දරගේ හාමිනේ" ගීය ද සාර්ථක ගීයකි. අන්දරගේ හාමිනේ ගේ දෘෂ්ටියෙන්, තම සැමියාගේ තැනට සුදුසු නුවණ සහ හාස්‍ය උත්පාද හැකියාව ගැන උදම් අනන පද පෙළකින් සමන්විත මේ ගීය, ඊට උචිත තනිවකින් හා සංගීතයකින් හෙඹිය. ගී මැය පද පෙළට හෝ සමස්ත ගීය අඩාල නොකරයි ( "මක්කෙයි" කලා වගේ )

- මෙහි එන ගී අතරින් මා වඩාත් කැමතිම ගීය කුමක්දැයි අයෙක් විමසුවහොත්, ඒ "ළමිස්සියේ" ගීය විය යුතුය. සී පද ශෛලියෙන් නිමැවී ඇති පෙම් ගීයක් වන මෙහි, ගායකයා වන ප්‍රදීප් මුතුකුඩාආරව්වි අපූරු ගායනයක යෙදෙයි. වරෙක ඔහු ඕසේ ඇල්ලීම තත්ත්පර 15 පමණ තරමක් වෙයි; ඉන් ගී‍යට ලැබෙන සාංකාවක ඊඟිය හා ළයාන්විත බව ඉතා සුන්දරය.

- ජනනාත් වරකාගොඩ ගයනා, උඩරට ශාන්තිකර්ම නාද රටා සහ ගජගා වන්නම ආශ්‍රයෙන්  නිර්මාණය කොට ඇති "මැදුරේ සිරි" ගීය, අප රට සෙන්කඩගල මුල්කරගත් පෙදෙස අලලා නිර්මාණය වු ගීයකි. මෙහි මේ වන විට රංවල බලකාය මගින් බලාපොරොත්තු විය හැකි ගීයක ආර ( සංඥා නද/ Signature sound ) රැගත් ගීයකි.


ඉතින් පෙර කී ලෙස ඇසීම ටැ ප්‍රිය අලුත් සිංහල ගී අසන්නට ලැබීම ම සතුටකි. දැනට පෙනෙනායුරෙන් රංවල බලකාය වසර තුන - හතරකට වරක් අලුත් ගීත සමුච්චියක් එළි දක්වන අයුරකි දිස්වන්නේ. ලයනල් රංවලයන්ගේ ඇවෑමෙන් ඔවුන්ගේ සාර්ථක ම ගී එකතුව "ත්‍රී" යැයි සිතමි ( ත්‍රී වලට මම ****1/2 ප්‍රධානය කලෙමි ). ත්‍රී තුලින් මා දුටුවේ ජන ගී පදනම මත පිහිටා ඔවුන් අප සංස්කෘතිය පමණක් නොව අප වර්ත්මනාය ද කියවීමට තනමින් ඒවා ශ්‍රවණයට ප්‍රිය ගී තුලට තැන්පත් කල ආරකි. "යක්කු බොලව්"  හී ඔවුන් අඩියක් පසුපසට ගෙන අප උරුමය ගැන ත්‍රී හී ට වඩෑ අවදානය යොමු කොට ඇත. එහෙත් මේ ගීත් ත්‍රී ගී තරමට ම පාහේ රසවත් ය. මේ ලියමන කියවන්නියකට රංවල බලකායේ ගී ශ්‍රවණයට සිත් ඇති වන්නී, ත්‍රී හා යක්කු බොලව් යන ද්විත්වයම මිලට ගන්නා මෙන් කියා සිටිමි ( නුගේගොඩ "සුපර්මාර්කට්" පරීශ්‍රයේ KND Enterprisesහි රංවල බලකායේ සියළු ගී එකතු ඇත ). එනුමු දු ඔවුන්ගේ මීළඟ ගීත එකතුව උදෙසා ජන ගී ආශ්‍රයෙන් වඩාත් වත්මනහි පිහිටා අපූරු ගී රචනාවන්ට හා සංගීත නිර්මාණයන්ට සිත් ඇති වේවායි පතමි. තව ද, රංවල බලකායේ සජීවී ප්‍රසංග වල ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනා ගන්නා අංගයක් වන විවිධ මාදිලියේ බෙර නාද ඒකල අංගයක්, සංගීත එකතුවකට සුදුසු ලෙස එකතු කරන්නේ නම් මැනවි - එහි ගායනයක් නොවීම ගැටළුවක් නොවනු ඇත.

වඩාත් ප්‍රිය ගී: යුද්දෙටත් ඇවිත්; හිරුගේ පුතු; යක්කු බොලව්; සක්වල පුරා; දසමහා යෝධයෝ; ළමිස්සියේ

රංවල බලකායට සුභ!

Friday, 2 February 2018

දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා - මංජුල වෙඩිවර්ධන


2016 වසරේ හොඳම කෙටි කතාවට හිමි රජත සම්මානයෙන් පිදුම් ලත්, මංජුල වෙඩිවර්ධනයන්ගේ "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා" නම් වූ කෙටි කතා සංග්‍රහය කියවීමි. වෙඩ්ඩාගේ පොතක් කියවීම යනු - එය නව කතාවක් වේවා, කෙටි කතා වේවා, කවි වේවා බාසාවේ රමණීය වූත්, නව්‍ය වූත්, කාව්‍යමය වූත් ඉසවු තුල අතරමං වීමකි. ඇතැම් කියවන්නියක් මේ අතරමං වීම කියවීම නම් සංචාරය ට අයුතු බරක් එක්කාසු කරන්නේ යැයි සිතන්නී වුව, මට නම් කියවීමේ අභ්‍යාසය වඩා උනන්දු කරන්නකි. එසේ වුව, මේ කෙටිකතා එකතුවේ වෙඩ්ඩාගේ සුපුරුදු බාසා හරඹ අඩුය. ඒ ඔහු තැනෙක නූතන නාගරික සිහළ බාසාවේ  භාවිත විකෘතියකින් ලියැවී ඇති නිසා ය.

මේ කෙටි කතා කියවන්නියක ට රත්මලාන වූ කලි මානවකයන් හට මානවිකාවන් හා යහමින් සංවාසයේ යෙදීමට සුදුසු අවකාශයක් ලබා දෙන "රමණීය" පෙදෙසක් ලෙසත්, ඒ පෙදෙස නිතැතින් කංසා ධූම වළාවකින් වැසී ඇත්තේ යැයි සිතුනොත් එය පුදුමයක් නොවේ. මෙහි එන පළමු කෙටි කතාව වන්නේ "පාන්දර වනතුරුම අද රෑ" ය. එහි තම තනි මව ගේ තනිකම පිළිබඳ විවෘත අදහස් රැගත් පුතෙකු,  තවත් මවක් හා දුවක් අතර සපත්නි රෝෂය ඇති කරන්නේ පමණක් නොව,  අන් නිත්‍ය පෙම්වතියක් සමඟ ද කල් ගෙවන්නේ ය. රත්මලානේ බොහෝ පෙදෙස් අතර ගැවසෙන කථක තෙමේ ඒ විස්තර තුලින්, කතාවට රසවත් බවක් ගෙන එයි.

ආදම් හමුවීම වූ කලි මෙහි එන කංසා මතේ උච්චතම අවස්තාව ය. රත්මලානේ අග මුල ගැන දිගැරෙන්නේ අප රට ගහක් ගාලේ රාවණාවන් දකින්නන්ට ටොක්කක් ද අනිමිනි. පසුව සමනල මුදුනට පහළින් කථක ට ආදම් හමුවන්නේ, ඒවා කොහේදෝ යන්න ආදම් ට ද ප්‍රහේළිකාවක් බව පෙන්වා දෙමිනි.තම මිතුරු "සමනලුන්" සමඟ පද්මේ වඳිනට යන අතරේ ඔවුන්ගේ භක්තිය වඩනා කියුම් හමුවේ අප කථක සමනලයාගේ මේ පාපොච්චාරණය මා සිත් ගත්තේ ය:
"දසබලධාරි චරිතයක් අබියස වුව  මතුව ආයේ මගේ දසකම වන්නට පිළිවන... සිරිපාදේ පියාඹන සමනල් රෑනක් අතරතුරත් පිටස්තර බවක් දැනෙන්නට මා කළ කුණු පව කුමක්ද ? මගේ කතෝලිකකම ද?" ( 54 පිටුව )

මෙහි එන "ඔහු සූප්පුව උරන එක නැවැත්තුව", කියවීමට වඩාත් ප්‍රයත්නයක් දැරිය යුතු වූත්, මීට කෙටි කලකට පෙර කියවා හමාර කල කේ. කේ. සමන් කුමාරගේ  ආකස්මිකතාව සංග්‍රහයේ එන බොහෝ කෙටි කතා මතකයට නගන්නා වූ කෙටි කතාව ද විය. එහෙත් එහි එන බොහෝ වියුක්ත කොටස් ඔස්සේ බොහෝ ගමනක් කියවන්නියට  යා හැකිය.

"විප්ලවීය කෙට්ටු අතක ස්පර්ශය", මෙහි එන ඉතා රසවත් කෙටි කතාවකි. සංවාසයේ යෙදීම ඉඩ ප්‍රස්තා පිළිබඳ ඉතා බහුලව තිබුන ද,  මෙහි අප රට ප්‍රධාන විප්ලවකාරී පක්ෂයක් ගැනත් ඉතා සියුම් ව ලියැවී ඇතැයි හැඟේ.
"ඩෙනිම කියන්නේ ඇඳුම් කන්දකින් තෝරගන්න තවත් එක ඇඳුමක් නෙවෙයි. ඩෙනිම කියන්නෙ විලාසිතා ප්‍රජාතන්ත්‍රකරණයට ලක්වුණු සංකේතය." ( 112 පිටුව )
මට මෙහි එන පිලුප් මහතාගේ චරිතය ඉලයප්ආරච්චිගේ  විතණ්ඩ සමයේ මාඕ මාස්ටර සිහි ගන්වයි. චන්දා සහෝදරයාගේ කියුම් ද රසවත් ය:
"සංවිධානෙ, මේ විදිහට නොබොන කම්කරුවො තෝරන්න ගත්තොත් අපිට කිසිදාක ශක්තිමත් කම්කරු පදනමක් හදාගන්න බැරුව සහෝදරය... බොන්නැති කම්කරුවෙක් කියන්නෙ අන්තිම කුහකයෙක්." ( 125 පිටුව )
නිරායාසයෙන්, අප රට ප්‍රමුඛතම විප්ලවීය පක්ෂයක ඉහළ පෙළ නායකයකු බීමතින් යැයි සැක සහිතව රිය අනතුරකට නතු වූ අයුරු ද, මෑතක කාන්තාවන් හා මත්පැන් පිළිබඳ නීතයක් වෙනුවෙන් එම පක්ෂයේ ම නායිකාවක් හඬ නඟූ අයුරු ද, එම පක්ෂය වෙනුවෙන් විවෘතව පෙනී සිටින ප්‍රධාන පෙළේ ලේඛකයකු අප රට මත් පැන් භාවිතාව පිළිබඳ ලියූ නිරවුල්, රසවත් ( එහෙත් පුරුදු පරිද්දෙන් එම පක්ෂය හැර ගිය අයෙකුගේ බිරියකට ටොක්කක් ද අනිමින් - හේ ලිවීම තරමට ම ටොකු ඇනීමට දක්ෂය ) ලිපියක් ද මා මතකය ට ගෙන ආවේ ය.

දුස්ටකමේ සවුන්දර්ය වූ කලි මා මෙහි කියවූ රසවත් ම කෙටි කතාව පමණක් නොව  ප්‍රමුඛතම කෙටිකතාව යැයි ද සිතමි. නාගරික, නූතන, තරුණන් භාවිත කරනා විකෘති බසකින් ලියැවී ඇති මෙය, ඒ නිසා ම යම් සාහිත්‍ය ලකුණක් නියෝජනය කරයි. නිදසුන්:
"හුකා. අන්න  අරූ වැටුණා කන්දෙන්, අන්න එල්ලුණා. මෙන්න මේ මෝඩි. මේකි එනව කන්දෙ අයිනට මූව බලන්න. යකෝ මේකි දන්නැද්ද මුගෙ වසලකම. හයියෝ පික්ෂී. අන්න සාරුකයා එල්ලුණා මදුරිගෙ සිරි පතුළෙ. මූ නම් මාර ජල්තර් පොරක්...." ( 147 පිටුව ) මේ කෙටිකතාව දිගැරෙන්නේ අන්ජාම් නම් හිංදී චිත්‍රපටිය හා සමගාමිව. හින්දි විත්‍රපටියක් හා සබැඳි යැයි දැන ගත් විගසම මා මේ කෙටි කතාව මා ප්‍රිය බිරිය හමුවේ  කියවූයේ මා දන්නා අන්ජාමයක් නැතිමුත් ඇය අනිවාර්යයෙන්ම එය බලා ඇතැයි සිතූ නිසාත් ය. කථකයා ගේ පුරාජේරුව කෙසේ වුව හේ අවසන පරාජය වී ඇති බවත්, එය විත්‍රපටි තේමාව හා සමගාමි බවත් වටහා ගතිමි.

"බුනීල පෙති සුළඟෙ ගියා" කෙටි කතාව ද තරමක් වෙනස්, ළඟින්-ළඟින් කතා නැම්ම කිහිපකින් හෙබි රසවත් කෙටි කතාවකි. ඒ තුල කියවෙන අපූරු පුරුෂ දර්ශනයක් ද වෙයි.
"ඌ අවුරුදු විසිපහ වෙද්දි ජීවිත කාලෙටම ඇතිවෙන්න හැමිනිච්ච් එකෙක්... ඒ හින්දා ඌට ඇරියස් එකක් නෑ.. මං ඒක ඉර හඳ වගේ දන්නවා ඩයා... ඒ හින්දා ඇරියස්කාරයො වගේ සමාජයට වෛර කරකර.. පිරිමින්ට ඊර්ෂ්‍යා කර කර සරුපයෙක් වගේදෂ්ඨ කර කර... ඒ අතරේ ගෑනුන්ට බොරුවට සෙවල පෙර පෙර... දුක්විඳින්න දෙයක් ඌට නෑ මචං..." (167 පිටුව )

සමස්තයක් වශයෙන් රසවිඳි කෙටිකතා සංග්‍රහයක් වුව වෙඩ්ඩා ලොකු වැඩක් අතරතුර ලියූ කුඩා වැඩක් යැයි නොසිතෙනවා නොවේ. කලකින් ඔහු ඔහුගේ ප්‍රමුඛ දේශපාලනයෙන් තොර ඉදිරිපත් කල ඇති රචනා කිහිපයකි. " විප්ලවීය කෙට්ටු අතේ" යම් දේශපාලනයක් වූව ද, මා ඇඟවූ දේශපාලනය එය නොවේ. මෙහි තරමක හෝ "වෙඩිසිරිතක" අසිරියක් ද රැගත් යැයි ද සිතේ. සිංහල කෙටි කතා කියවන්නියක් කියවිය යුතු ම සංග්‍රහයකි.