Sunday, 7 January 2018

අසාත්මිකතාව - කේ. කේ. සමන් කුමාර


    අසාත්මිකතාව වූ කලි, 2017 වසරේ අගට ම වෙන්න මා කියවූත්, 2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උදෙසා නිර්දේශ වූත්, ලේඛකයාගේ මා කිය වූ දෙවෙනි කෙටි කතා සංග්‍රහයත් වූයේ ය. 2016 පළ වූ කෙටි කතා කියවීමේ කර්තව්‍යයේ තවත් පරිච්ඡේදයක් ලෙස මෙය කියවීමි.

පළමු කාරනාව නම්, මෙය කියවීම මට මහත් අභියෝගයක් වූ බවයි. කෙටි කතා පහකින් සමන්විත යැයි කීව ද, ඇත්ත්තෙන්ම කුඩා කුඩා කතා කොටස් රැගත් පත්තර කෑලි කොලාජ් චිත්‍රයක ආරෙන් අලවා, ඒ ඒ චිත්‍රයේ (කෙටි කතාවේ ) ඒ ඒ පත්තර කෑලි අතර ඇති සබඳතාව මත කියවන්නියගේ සිතේ මැවෙනා සිතුවිලි සමුදාය, කම්පනය ඔස්සේ කෙටි කතාවකැයි කතුවරයා හඳුන්වා දුන් ප්‍රපංච පහක් මෙහි ඇතුලත් ය. මේවා කෙටි කතා ම ත් නොවන්නේ ය. එසේ නොවන්නේ ද නොවේ ය. මෙහි එන සමහර කොටස් වල අර්තයන් වැටහෙන්නේ කතුවරයා ට පමණක් ම විය හැකිය. සමහර විටෙක දැඩි උත්සාහයෙන් තුන් හතර වතාවක් කියෙව්වොත් මීට වඩා අර්ථයක් වටහා ගත හැකි වනු ඇත. ඒත් මේ නූතනයේ, සාහිත්‍ය කියවීම අයෙක් ගේ මුඛ්‍ය කර්තව්‍ය නොවන තාක්, එවන් කාලයක් එක් පොතක් වෙනුවෙන් වෙන් කරලීමට අයෙක් ඉදිරිපත් වේවී ද ? මාගේ අවංක අදහස නම් මේ පොත අතට ගන්නා දහදෙනෙකුගෙන් පස් දෙනෙක් හෝ ඊට ත් වැඩි කොටසක්, පොත බාගෙට කියවා නවතා දමා වි යැයි කියා ය.

මෙහි එන දෙවෙනි කෙටිකතාව "ඈ... ආසනික මධු බඳුන" නම් වේ. එහි ආරම්භය  ඉතා රසවත් ය ( සාමාන්‍ය කතාවක් තරම් පැහැදිලි නොවූවත් )

"A ළඟ ගොඩක් දේවල් තිබුණා. ඒ ගොඩල් දේවල් සේරම මං ආස ඒවා. B ළඟ ඒවයින් තිබුණෙ චුට්ට චුට්ට. කොටින්ම හුඟක් වෙලාවට මට ඇගෙ මූණ මතක්කර ගන්න හුඟක් දාඩිය දානකන් හති වුණා..." (37 පිටුව )

"'ෂෝයි බබෝ ඇයි ඔයා අඬන්නේ?'

'අම්මා... උක්කුං දුන්නෑ ඇ...."

ඒ මං කිව්ව

'ඊ අලි බබ්බු එක්කුං බොනවැ?'

මං ඇහුවා.

'දැං මට කුක්කු එපා. ඡුට්ටිත්තං කාලෙ දුන්නැති කුක්කුවලටයි මං දැන් අඬන්නේ'

මට ඒක තේරුං ගියා. අද වහ බොන්න ඕන එකට සමහරු තව අවුරුදු දහයකින් විතර වහ බොනවා. ( 40 පිටුව )

මෙසේ යම් යම්  මනෝ විද්‍යාත්මක සංකේත යැයි සිතිය හැකි භාවිතාවන් ඔස්සේ ගලා යන කතාව තැනෙක, තව තවත් ගෝචර මට්ටමෙන් ඈත් වේ.

"ඉලෙක්ට්‍රාත් එක්ක මං නිතර දෙවේලේ ගැවසීම අලුත් සංකීර්ණෙකට හේතුභුත වෙන්න පුළුවන්ය, මං නිත්‍ය වාසස්ථානයක් නති සංචාරකයෙක් නිසා මං කවදාහරි කොහේහරි ඉන්ටර් ගැලක්සියකට මකබෑවිලා අතුරුදන් වුණාම ඒකෙයි ඒ සංකීර්නේයි දෙකේ විසංවාදයෙන් දැඩි ආතතියක් ජනිත වීමෙන් ඉලෙක්ට්‍රාගේ ආධ්‍යාත්මයට කුමකින් කුමක් වේදැයි යන සිතිවිල්ල නිසා එවන් සංකීර්ණයක් ගොඩ නොනැඟෙන විදිහටත්, ඒ වෙනකොට ගොඩනැගීගෙන ඇවිත් තිබුණානං ඒක හෙමින් සීරුවෙ අතුරුදහන් වෙලා ක්ෂීන වී යන විදිහටත් නිරන්තරයෙන්ම අප අතර පැවතියාවූ අන්තර් සබඳතා නවත්වා දමන්න ගත්ත තීරණේ ගැනයි ඈ කීවේ. ( 54 පිටුව )

මෙවන් කොටස් පිටු ගණනාවක් පුරා පාඨකයෙකු  දිගැරෙද්දි,  පාඨකයන්ගෙන් කී ප්‍රතිශතයක් ඉවසාවි ද?


මෙහි එන අසාත්මිකතාව කෙටි කතාව රසවත් එකකි. ආසත්මිකතාව ට හේතුව කතාව අවසන මිය ගිය තැනැත්තේ ගේ මරණීය සිතුවිල්ල  ට ලගු කර දක්වන්නේ ප්‍රසිද්ධ තැනක් වන මෙහි සංවර බාවයේ නමින් ය.

"අනේ දෙයියනේ ඊළඟ ආත්මෙවත් මට මෙහෙම ලෙඩක් නැතුව, මේ ආත්මෙටත් එක්ක ඇති පදං තන් බලන්න ලැබුණොත්...!"
( 81 පිටුව )

සිහින, පොත් පිල්ලුව සහ අහසත් පොළොවත් වෙන් කළ නොහැකිය, මෙහි එන අනෙක් කෙටි කතාය.  කෙටි කතා පහෙන් දෙකක් 1986 රචනා වූ ඒවා ය; දෙකක් 1996 දී ය; අනෙක 2003 දී ය. සියළු කියවීමේ අභියෝග හමුවේ හෝ මෙතරම් නව්‍ය රචනීය ශෛලියක් වර්තමානයේ දැකිය හැක්කේ කේ. කේ. සමන් කුමාරගෙන් පමණි. ඔබ ඉවසිලිමත් නම්, හා  අභියෝගාත්මක දේ කියවීමට කැමති නම් පමණක්, සොයා ගෙන කියවන්න.  මාත් ඉවසීමෙන් අවසන දක්වා කියෙව්ව ද වටහාගැනීමේ අභියෝගය මුළුමනින් ජයගත්තෙමියි නොසිතමි.  මගේ වත්මන් ආවස්තික පිරිවැය මත මෙය දෙතුන් වතාවක් කියවීමේ හැකියාවක් නොමැත.

( 2106 ප්‍රකාශ වූ කෙටි කතා වලින් මේ වන විට
1. එරික් ඉලයප්ආරච්චිගේ බැග්ඩෑඩ්,
2. කම්මැල්ලවීරගේ එකොළහ,
3. සමරසිංහ ගුණසේකරගේ කාලිදාස, කල් ඉකුත් වී නොමැත,
4. ප්‍රභාත් ජයසිංහගේ මකර තොරණ,
5. වෙනුර සනත් කුමාරගේ අම්මයි තාත්තයි වහල උඩ,
6. කමල් පෙරේරා ගේ කූඹියා නම් ඩොලැක්ක වාදකයා සහ,
7. කේ. කේ. සමන් කුමාර ගේ අසාත්මිකතාව කියවා හමාර කොට ඇත. තව ඉතුරුව ඇත්තේ, 8. වෙඩිවර්ධනගේ දුෂ්ඨකමේ සෞන්දර්යය සහ රත්මලානේ තවත් කතා පමණි. )


No comments:

Post a Comment