ඒ දෙදහස් දහහතර වසරේ මැදක් ය. ඒ, විට විදෙස් ගත
ව සිටි මා නිවාඩුවට ලංකාවට පැමිනි කලක ය. දරුවන් ට වන්නියේ ඇත්තන් මුණගැස්වීමේ උවමනාවෙන්, මහියංගනයට විත් මාපාකඩ වැව අසල නවතැනක දින 2-3 ගත කලෙමු. මාපාකඩවැව කී පමණින් කුමක් දෝ කාරණාවක් ගැඹුරු මතකයෙන් කිති කැව්ව ද, නැවත කොළඹ එනකං ඒ නිශ්ශංක විජේමාන්නයන්ගේ නිවෙස ආශ්‍රිත පෙදෙස යැයි මතක් නොවිණි (ඔහුගේ පැරණි කෘති වල ලිපිනයේ මාපාකඩවැව යැයි සඳහන් විණ.). එහි විසූ එක් දිනෙක රාත්‍රියේ මයියංගන සෑ රදුන් වඳින්න ට ගිය ද, එදින බුද්ධ චීවරයට අපහාසයක් වන චීවරදාරියෙක් සමඟ එහි පැමිණි සිටි "සේනාවක්" නිසා එම කටයුතු, මට හැකි පමණ සැදැහැ සිතින් කරගත නොහැකි විය. ඔවුන් මයියංගනේට කඩා වදින්න ට ඇත්තේ එහි තිබූ සුළු නොසන්සුන්තාවයක් අවුලන්න ට විය යුතුය. ඒ 2014 දී ය.ඔය සේනා පාලනය නොකිරීම එක් හේතුවක් කොට ගෙන එවක පැවති රජය, 2015 දී පරා ද වී, එතෙක් පටන් රට ට ම හෙණයක් වූ පාණ්ඩුවක් වැළඳී ඇත. මෙහි එන දේශපාලන අදහස් මගේ පෞද්ගලික ඒවා ය. ඔය කියනා කාලය වන විට විජේමාන්නයන් මේ රචනාවේ නිරත වන්න ට ද ඇත. මේ කෘතිය කිය වූ බොහෝ අය මෙය වර්තමාන සංහිඳියා උමතුව මත පිහිටා ලියූවක් බව පවසයි. මට ඉන් ඔබ්බට ගිය යමක් සිතේ. විජේමාන්නයන් තම මුළු දිවිය ම හෝ ඉන් බොහෝ කලක් හෝ මයියන්ගනේ විසූවෙක් යැයි සිතමි. ජෙලාබ්දීන් ගේ කෙටි කථාව මට මතක විදිහට තිබ්බේ "මුවා මැරූ සලමන්" කෘතියේ ය ( මා වැරදි විය හැක ). ඉතින් විජේමාන්නයන් ට තම පෙදෙසේ සිහළුන් සහ මුසල්මානුවන් කෙසේ විසූවේදැයි යන්න පිළිබඳ සෑහෙන තරමක අදහසක් තිබෙන්න ට ඇත. ඔහු අනෙක් ඉතිහාසය සොයා හදාරන්නට ඇත. ඒ අනුව කිවුලේගෙදර මොහොට්ටාල, දෙවෙනි රාජසිංහ, ෆලීල් සහ මයියංගන පෙරහරේ හිස් දෝලාව ගැන කථාවන් ඔහු ට උත්තේජනය වන්න ට ඇත. අනෙකා හා බොහෝ කලක් එකට විසූ අයට තම ජාතියේ අයගේ නොපනත්කම් ලජ්ජාවට කාරණාවකි ( මාත් සමඟ පාසලේ සිට අද දක්වා ගජ මිතුරු මුස්ලිම් මිතුරන් ඉදිරියේ ඔය කියන සේනාවන් සිටීම මට ලජ්ජාවකි - ඔවුන්ට මා ඉදිරියේ ගිනි මද්දහනේ කළු ඇඳන් ගමන් කරන ගෝනි බිල්ලන් ලජ්ජාවකි ).ඉතින් මට සිතෙන්නේ විජේමාන්නයන්ගේ මේ කෘතිය දැන් සිදුවන හිස් සංහිඳියා ව්‍යාපාරයේ කොටසක් ලෙස ට නොව, තම ප්‍රදේශය උවදුරකින් බේරා ගැනීමට ලේඛකයකු ලෙස ගත් අවංක උත්සාහයක් ලෙසට ය. ඔහු ගේ සහජ ලේඛණ කෞශල්‍යය ඉදිරියේ එය බොහෝ දුරට සාර්ථක ය.
කොඑලොගේ "Veronica Decides to Die" කෘතිය මතකය ට නගමින්, මෙහි විජේමාන්නයන් ද එක් සුළු චරිතයකි. චාරුලේඛනයෙන් නවකතාවක ට ආභාෂයක් දෙන්න ට ගත් උත්සාහයක් ලෙස දෝ, කථනයේ විසිරුණු බවක් ඇත. නවකතාව බැඳ තබන ප්‍රේම කතාව තරමක් පැණිරසෙන් අධික යැයි පෞද්ගලිකව සිතුන ද, එය නොසැලකිය හැකි ආරේ දොසකි (එය දොසක් නම්, අයෙකු ට එය එසේ නොවිය හැකිය) . නවකතාව කියවාගෙන ඉදිරියට යාමේදි පලමු පිටු 50-60 දී මෙය සංහිඳියා ව්‍යාපෘතියේ නිෂ්පාදනයක් දෝ යැයි සැක මතු නොවී නොතිබුණ ද, ප්‍රාදේශීය ඉතිහාස කතා එම සැකය තුරන් කරන සුළුය.
නිර්මාණයේ දී, ලේඛකයා ඉස්ලාම් දර්ශනය සහ සංස්කෘතිය බොහෝ සෙයින් හදරා ඇත. ඔහු එය සුදුසු මාත්‍රා වලින් නවකතාව ට ඔබ්බවා ඇත. තැනෙක ඔහු එකඟ නොවෙතැයි සිතෙන තැනක් වුව, ඉදිරිපත් කොට ඇත්තේ ඉතා සූක්ෂමවය. ඔහු කිසිදු පාර්ශවයක ට අගතිගාමි වී නැත. ඉන් නිරූපනය වන්නේ තමන් වෙත සියළු පාර්ශවයන්ගේ විශ්වාසය පිළිබඳ සැක නැති බවයි.
"ඉතිං අබ්දුල් මාමා අම්මගේ ඒ කියමන තදින් බාර ගත්තා. එයා නැවත අම්මා ළඟට ආවේ නැහැ. 'ගැහැනුන් නුඹලාගේ කෙත්වතුය, රිසි සේ එහි යන්න.' කීවට ඔහු එය නැවැත්වුවා..." ( 161 පිටුව )
තැනෙක එන දාර්ශනික අදහස් ඉතා ඉහළ ඒවාය
"ජීවියෙක් එයා බිහිකරන කෙනාගෙන් වෙන්වුනාම එයා අයිති සොබාදහමට. ඒකයි ඇත්ත. අපි විශේෂයෙන් මිනිස්සු මේ ඇත්ත වෙනුවට සංස්කෘතියක් හදාගන්නවා. අම්මා, තාත්තා, ආදරේ, ජාතිය, ඔය කතන්දර ඔක්කොම හංද අපේ බැඳීම අපව අහුරනවා." (175 පිටුව )
මා මෙතෙක් විජේමාන්නයන්ගේ කියවූ කිසිදූ කෘතියක් පිළිබඳ නොසෑහීමක් නොවීය ( වැලන්ටයින් කුමරා කියවීමට ඉතිරි ව ඇත. ) ලේඛකයකු ලෙස ඔහු වෙත ඇති විශ්වාසය තවත් තහවුරු විය. ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු කෘති අතරින් මා කියවූ පළමු කෘතිය මෙයයි. එය එසේ අවසන් වටයට තේරීමට සුදුසු කෘතියකැයි හඟිමි. ගොඩගේ අවසන් වටයට කෘති දහය අතර මෙය නොතිබීම ගැන පුදුම වෙමි. සැම අතින්ම කියවීමට සුදුසු කෘතියක් යැයි සිතෙන අතර, ලේඛකයා, තම ගම් බිම් ප්‍රදේශය පිළිබඳ මහ දැනුම් සම්භාරයක් ඇත්තෙකු බවත් ඒ පිළිබඳ පිළිසඳරක් කරන්න ට හැකි නම් එය වාසනාවට කාරණාවක් බවත් සිතේ.
No comments:
Post a Comment