මෑතක නිම වූ හොඳම කාව්‍ය කෘතිය ට හිමි රජත සම්මානය ට නිර්දේශ වූ කෘති සතරෙන් මා පළමුව කියවා නිම කලේ නඳුන් යසිත දසනායක ගේ "විල් නෙතක මල් මතක" (****) කාව්‍ය සංග්‍රහයයි. කවියා ගේ තෙවෙනි සංග්‍රහය වුව ද, මා කියවූ පළමුවැන්නයි. කවි පංති තිස් අටකින් හෙබි මේ සංග්‍රහයේ, මා වඩාත් සලිතයට පත් කල පංති අටකුත් ( වැහි දවස්, තේ බඳුන, ජීවිතේ දේදුන්න, මොඩර්න් සිත්තරෙක්, බඹර චක්කරයක් කියයි, දෙපහන්, හංගන්ඩ පුළුවන්, යතුර ), ඊට අමතරව මාතෘකා වල නැවුම් බව ආදි හේතුන් නිසා රස විඳි පංති දහයකුත් ( නිර්මලා, එක එක්කෙනා කියූ කතා, නටන සැපින්නට දුවගෙන් ලියුමක්, ගසක මතක සටහන්, ගිරා පෝතක වස්තුව, සල්මල් මතක, ඇත්තමයි ඇස් තෙත් උනා මගෙ, දඩ, හිසරදය, සෙල්ලම් පිට්ටනියක තණකොළ ගහක පැමිණිල්ල ) ලෙස සංග්‍රහයෙන් අඩක් පමණ ම අගය කරන්නෙමි. මේ පංති සියල්ල පිළිබඳ කීමට තැන නොවන බැවින්, පංති පහක් පමණක් තෝරා ඉන් සමහර කවියක් පමණක් ගෙනහැර දක්වමි.
මෙහි මා වඩාත් සිත් ගත් කවි පංතිය "වැහි දවස්" ය.
"වසන්තය නෝළඹි දිය හිඳුණු දිවි පෙතේ
අද තමයි මං දැක්කේ වැහිවලා ආකහේ
වහිනවා නම් ඉතින් අන්ඩ අන්ඩා හීතලේ
තෙමි-තෙමී නටනවා නිවෙන තුරු ජීවිතේ...
මේ තරම් වැහිබර ව වලාකුළු දුටු දිනේ
ඇයි තාම නොවතින්නේ හිත අසයි හාමතේ
වැහි අකුණු පුපුරවා තෙත පිරුණු ඇස් ඉමේ
මැකී යාවී ද? වළාකුළු යළිත් නුබ ගැබේ"
කෙනෙකු ට ලෙන්ගතු සිතක තෙතමනයක් ජීවිතයේ කිහිප විටක් ම ඉඟි කොට, ඒ පිළිබඳ පොරොන්දු තබා සැංගී ගොස් යොවුන් විය අගට පැමිනෙද්දි, මැදි විය අත වනද්දි, කොපමණ සිත්තැවුලෙන්, තම දිවිය දෙස ආපසු හැරි බලනවා ඇති ද ?
"තේ බඳුන" වූ කලි මා වඩාත් කම්පනයට පත් කල කවි පංතියකි. ඒ ගැන යමක් කීමට අනවැසි, එය කියවන්නාට ඉන් අඟවන බර, පිටු ගණනාවකින් කිවිය නොහැකි ජීවිත කථාවක් බැවිනි. ඒ මෙලෙස ය:
"කුස්සියේ කෙළවරක
දමා තිබුණු
ඔබෙ බිඳි ගිය තේ බඳුන
සීතල මළැකඳක් සේ
දෝතින් ම ගත්තෙමි...
මේ මෙතැන
ඔබ තොල තැබූ තැන
දැනේ තාමත් උණුසුම...
පුරවා එය
මටත් දී උණුසුම් වූවා මිස ඔබ
පුරවා දෙන්නට බැරි විය මට ඔබට
මේ බඳුන කිසි දවසක...
දැනේ හිස් බවක්
පුරවා නොහැකි ලෙස
තබමි තොල බිඳුණු ඉරිතැළුණු
තොල් මත..."
ජීවිතය ට එක් ම ප්‍රමිති පෙළක් නොමැත. අයෙක් තමුන්ගේ කාලාත්‍රයාගේ වරදකට කිසි වරදක් නොදෙන මුත්, දිවියෙන් අර්ධ වශයෙන් පරාද වූ අයෙකුට, බලාපොරොත්තු අඩු අයෙකුට, වරදේ බැඳුනු තම සුනඹුවගේ නැවත පැමිණීම බලාපොරොත්තු ගොණ්ණක් ඇති කරවන්නකි.
"ඔයා ඇවිදින් ආයෙ
ගෙදර බඩු අස්කරනකොට
මං හිතන් උන්නෙ ම
අරය එක්කං ඔයා
ආයෙමත් හබ වෙලා
ඇවිත් යැ යි..
මුත්‍ර බට අල්ලගෙන
ඔයාට වාරුවෙකා
මං නැගිටිනකොට ම
මතක්වුණා
මට ඔය ඇස් හමුවෙච්ච
ඒ දවස...
පොඩි උන්ට පොඩි දෙයක්
උයා දී කවඩකො
උන් ආස කතන්දර පොත් එහෙම
ඇති අතන
එක යතුරක් ඔයා ගෙනියන්ඩ
එපා බෙල් එක ගගහ
දොර ගාව වදවෙන්ඩ...
( යතුර )
නිදසුන් මෙතකට සීමා කල ද, මෙහි මා සිත් නොගත් කවි අඩු ය. පෙර කී මා සිත් ගත් කවි පංති ගොණ්ණට අමතරව, අන් අර්ධය කවි මාතෘකා අතින් සුලභ මුත්, ඒවා ද බොහෝ සෙයින් රසවත් ය. තැනෙක කවියා දේශපාලනය මුසු කොට ගත් උපහාසයක් කවියකට නගන්න උත්සාහ දැරුව ද එය සාර්ථක ද යන සැක සහිතය (රජ වාසලින් ඇසෙන කතා )
"අන්දරේ දැං අලුත් ජොබ්-එකකටත් යනවලු
ජෝක් වැඩ නෑ ෆුල් සීරියස් වැඩ කරනවලු
රජ්ජුරුවො දැං හිනාවෙන්නෙත් ඉඳලා-හිටලලු
කවට වේකන්සියක් ගැන පත්තරෙන් දැම්මලු"
මෙහි එන ඉංග්‍රිසි වචන "ගෙඩිය" පිටින් එබ්බවීම, මා කවිය දමා සැතැපුමක් පමණ දිවවීමට සමත් ය.
එහෙත් මෙවන් අවස්තා අඩු ය. එහෙයින් සමස්ත වශයෙන් සාර්ථක කාව්‍ය සංග්‍රහයක් ලෙස හඟිමි.
======================================
මෙවර නිර්දේශ වූ කවීන් සිව්දෙනාගෙන් පෞද්ගලිකව මගේ ප්‍රියතම කවියා ලක්ෂාන්ත ය. එනුමුදු නිර්දේශ කෘති අතරින් හොඳම කෘතිය තේරීමේ දි මෙවන් පුද්ගලික කැමැත්තයන් හැකි තරම් ඈත් කරලීම ට උත්සක වෙමි. එසේ වුව ද "සමහර කමටහන්" (****1/2) කියවමින් ඉදිරියට යෑමේ දි, ලක්ෂාන්ත තමන්ව ම අභිබවමින් අග්‍රගන්‍ය කාව්‍ය සංග්‍රහයක් නිමවා තිබේ දො යැයි මට සිතුණි. ඒ කවි සිතුවිලි නිමවා තිබූ අලංකෘත බස නිසා පමණක් නොව. ඒ පද ගැලපීම නිසා ම ඒ පෙළ මගින් පාඨකයාගේ සිත ට සියුම් ඊතල වලින් ඇනීමට තරම් ඒවා සියුම් නිසා ය.
"පවුල් දෙවොලේ ජීවිත පෙරහරේ
දළ ඇතා වූ නුඹ
කනේරු මලක් ලඟ
දණ නැමුවා පුදුමයි
කොහොමත් පුදුමයක් තමයි
ප්‍රේමය
කසු කුසු විස පෙදෙසෙන්
අවමන් ගාලෙන්
දුර අලුත් ආල නුවරකට
යන බවයි එදා කීවේ
මා බදාගෙන"
(සුමිතුරේ ඔබ දහවලේ වැහි පොදක් සේ )
අප දිවියේ හොඳම මිතුරන් අතලොස්ස අපෙන් ඈත් පෙදෙසක හෝ රටක විසීම දුකට කරුණකි. දිවියේ අපහසු තීරණයක් නිසා ඈත් වන්නෙකු, නැවත කවදා හෝ නොදකින්නේ නම් ඒ දුකේ තරම කෙතෙරම් විය යුතු ද?
ත්
"ග්‍රීස්මේ පිපෙන මහනෙල් අමුතුයි ලස්ස්නයි", අප රටේ අවම වරප්‍රසාද යටතේ ජීවිතය නම් මඩ ගොහොරුවෙන් උපන් නෙලුම් වලට උදාන වැකි පෙළක් සේ ය.
"පුලින මලු ගෙන දෙගොඩ පිහිනන
කැළණි ගඟබඩ සිහිනි කොල්ලෙක්
නුහුරු පිරිසුදු නිල් තටාකෙක - ලබයි ජය පළැඟක්
මුදා අබිමන ඔහුගේ අත
දවටන්න සුබ පැතුමක්
නිහඬ සෝබර ගැහැනියක කුස
නැගී මෙලොවට වාද කතිකා - නැණ සභා වදනින්
එයින් පැහැදී මොහොතකට
නැගිටින්න ඔබ අසුනින්"
අප ර්‍අට දෛනික දිවි පොර පිටියේ පොර බදින, දුක් විඳින මිනිසුන් දෙස විමසිලිවන්නී, භාවනාවකට "සමහර කමටහන්" අඳුනා ගන්නීය.
"සුරූපියක සීන් ඇඟිලි
අත් බෑගයෙ බැස කළැඹන
ලතු - විලවුන් - පුයර බඳුන්
සුදු මුදු මුව පිස්න මැදින්
මඳකට ගිළිහි විසිවුණ
පිළිකා රෝහල් තුණ්ඩුව
මොහොතකින් කියවා ගන්නට
හැකි වූ තව ලොකු පොතක්ය...
තැඹිලි කරත්තෙක -අ කමතක
මාළු ලෑල්ලක - පතළක
දුටු අත් මත කැපුම් කැළැල්
ලේ සුවන්ධැති සිහිනයන්ය
මුහුණක පීඩා දුක් රැලි
ඇඹරුණු පය නහර ගැටිති
ජීවන සිතියම් පත් මත
පං සළකුණු තිලකයන්ය"
(අඳුරු පෙදෙස් විමසන භාවනාවන්ට කමටහන් )
මා ලක්ෂාන්ත නම් කවියා ගේ නිර්මාණ වලට වඩාත් ප්‍රිය කරනුයේ, ඔහු තවමත් අලංකෘත සිහළ බසින්, එනුමුදු නුහුරු අවභාවිත වදන් භාවිත නොකරමින් මනරම් කව් පද බඳින නිසා ය. වර්තමාන පරම්පරාවේ ඔහු හා සැසඳිය හැකි බස භාවිත කරන්නෙකු වන්නෙක් ඒ වෙඩිවර්ධන විය යුතුය. වෙඩිවර්ධන ධ්වනි රසයට, කාව්‍ය රිද්මයට, සහ ක්‍රීඩාශීලි පද පෙරළියට සමත්තේ, අරුත් පරාසය ලක්ෂාන්තයන් තරම් නොමැත්තේ ය. ලක්ෂාන්ත ගේ "කුඩ සපත්තු පිළිණ වටේ සිනහ කටේ ඉහෙන සතුටු" බස භාවිතාවෙන්, මාතෘකාවේ සුළභ බව අබිබවා යන වටනාකමක් කවි පංතියට එක්කාසු කරන බවකි මට හැඟුනේ.
"නිසුවඳ වහන් මිරිවැඩි ලෙස ලැගි තුරුළ
කුඩ නණ පොකුරු නටු අග පිපි සිනා කට
හිතවත දිරිය දිවියට අලවා තබන
සංතුෂ්ටියේ ලාටුව මට දුන මැනව
පොද වැසි - කිනිසි සේ දැක සැඟවෙන අපට
ගං කුස ගිලි පිහිනන ඔබ මවිතයෙක
අහසත් බිමත් තව ගැට ලනු බැරි කලට
මුළු ලොව ළිහා ඔබ මෙන් අත් හරිමි හෙට"
"වෙහෙස තුළමය පහස - රිදුම තුළමය සතුට", වූ කලි දවසින් දවස හැල්මේ දුවන, වරෙක සුළු ඉසුඹුවකින් විඩා නිවා, නැවත තම ශ්‍රමය වැය කරන ජනීජනයාට කෙරෙන උපහාරයක් වැනි ය.
"කොටුව පාලම උඩට පෙනෙයි ශ්‍රම හමුදාව
දස අතට ඇවිදියි දුවයි
හිස් හැරුණු අත දුවන දස දහස් වෛවර්ණ
කඩි - කුහුඹු - දිමි රොතු වැනිය
...
අඳුර එන තුරු නොඉඳ යුතු වේ සතුට
ගෙවෙනතර මේ ජීවිතේ
වෙහෙස තුළමය පහස - රිදුම තුළමය සතුට
ගමන තුළ නැවතුඅ ඇතේ."
"ෆැක්ටරි මෝලෙ ඇඹරෙන ඉස්කෝලෙ අන්තිම දවස්", "යුද්දෙන් උපන් ආදරේ යුද්දෙත් පස්සේ යුද්ධයක්", "අන්ධකාරය මැදින් ගමන් කළ අම්මා", "හැමෝටම තමන්ගෙම පෙම් කතාවක් තියෙනවා", " සහනුත් අරුණිත් තරණිට කතා කරති" සහ "ප්‍රේමය සමඟ ගැඹුරුතම හුදකලාවේ කාමරයක" ආදි වශයෙන් මෙහි මා සිත් ඇද කවි පංති රැසකි. පෙර කීවාක් මෙන් මනරම් බස, කව් මාතෘකා වල පුළුල් පරාසය සහ ඒවා ලියැවී ඇති දෘෂ්ඨිකෝණමය විවිධත්වය, මෙය සුවිශේෂි කාව්‍ය සංග්‍රහයක් බවට පත් කරයි. අවම වශයෙන් ලක්ෂාන්තගේ ම යටි වියන සහ ඊ යන කාව්‍ය සංග්‍රහයන් අබිබවා, ඔහු දිගු කවි පංති වලින් හෙබි අමාවකේ සඳක් සිඹිමි සහ වැසි වැටන ඉසව් නම් වූ මා වඩාත් ප්‍රිය කරන කාව්‍ය සංග්‍රහයන් සමඟ එකට සිට ගැනීමට සමත් කාව්‍ය සංග්‍රහයකි, මෙය.
===============
බ්ලොග් පිටු වල කොතෙකුත් ඇගේ කවි දැක ඇතත්, ( එකක් දෙකක් කියවා තිබුනත් ), "ඔබ ගැඹුරු නින්දක"(****1/2) කවි පොත කියවීමට පෙර, සිතට එකඟව, සොයාගෙන කියවිය යුතු කිවිඳියක් ගණයට නොහැඳින සිටි මාලති කල්පනා ඇම්බ්‍රෝස්, මේ කෘතියත් සමඟ, මාගේ "කියවිය යුතු" කුලකයට ඇතුලත් කරගත්තෙමි. ඇත්තෙන්ම ඇගේ මේ පොතවත් සරසවියේ මිලට ගන්නට තිබුනේ නැත. මා සතු පිටපත ඉනික්බිතව අන්තර්ජාලයෙන් මිල ගෙවා ඇණවුමෙන් ගෙන්වා ගත්තකි. ඊට අමතරව, ඈ මෙම සම්මාන තරඟයෙන් ඉල්ලා ඉවත් විණ. එහෙත් මම ඇගේ පොත මිස, ඈ ඉවත්වීමෙන් පසු ඇතුල් කරගත් කෘතිය කියවීමට තෝරා නොගත්තේ, මුල් තීරණයට එවකට හොඳම පොත් සතර ලෙස විනිසුරන් දැරූ මතය වඩා නිරවද්‍ය යැයි සිතූ හෙයිනි.
ඉතින් කෙලෙස ද කල්පනා ගේ කවිය ? ඈ සැලකිය යුතු අවස්ථා ගණණක එළිවැට රකිමින් කව් පබඳින්නීය. එහෙත් ඇගේ කව් සිතුවිලි නූතනය, වරෙක දේශපාලනීය ය. ඈ ප්‍රේමය ගැන කියා ඇති අදහස් ඇගේ අවංක අදහස් බව පාටකයනට හැඟේ. වරෙක ඈ තුල වෙඩිවර්ධන ගේ ආභාෂයක් හෝ දෙදෙනා ම වදන් සමඟ කෙළිලොල් වන අයුරක් දිස් වේ.
"ඔබ නිදනවාට මම කැමති
සිහින දකිනවාට අකමැති
ඔබ නිදන හැටි මට දකින්නට හැකි
ඔබේ සිහිනය මට දකින්නට බරි"
( ඔබ ගැඹුරු නින්දක )
ඈ ප්‍රේමය ගැන කව් පබදිද්දි, එහි ඇගේ ප්‍රේම කතාවේ කොටසක් ඇති බවත්, එහි අව්‍යාජ බවක් රැඳී ඇති බවත් හැඟෙයි.
"නම නො දන්නා නුවරක්
පෙම නම් මෙයැයි නම් කොට
දින දින පිපෙන කටු මත
සනහස් මලින් මල් උපද්දන
සදාතන සිනාව
ඔබ මගේ ඉනාව"
( ඔබ මගේ ඉනාව )
එලෙසම ඈ වෙන්වීම්, බිඳවැටීම් ගැන කව් පබඳින විට එහි කවිය තුලට හොඳින් හා වුණු තර්කයත්, දැන්මුතුකමක් ඇතත්, ඒ තුලින් කවියේ කලාත්මක බවට හානියක් නොවී තිබීමත්, ඇත්තෙන්ම ආශ්චර්යයක් බඳුය.
"මල් පෙති සුබ පැතුම් පත්
අව පැහැව රන් මුදු රාමු මැද
සල් උයන් පවා හිස් වූ විට පර
පර මල් රකිනු ඇයි, කුමට ?
..
ඉතිං ඔබ ඔය නැවතුණ තැන
තත්පරයක් ය,
කල්පයක් කියා රැවටුණ"
(ඔබ නැවතුණ තැන )
"ළබැඳියන් නික්ම යන විට
හැර තබයි අලුත් දොර කවුළු
කැමති නම් එබී බැලුමට
කැමති නම් මඳක් දුර ගොස් හැරී ඒමට
ආදරේ නම්,
දිගට පියමැන
ඒ අය මුණගැහෙන්නට"
(නික්මයාම )
වරෙක ඈ අවම වදන් කිහිපයක් තුලින් අඟවන දේ විසල් ය. තාලයකට වැටෙන වැහි බිඳු ඇති කරනා නිහඬතාව නිමි කරන්නේ විදුළි කෙටිල්ලකි, හෙවත් ආලොඅකයකිනි. ඒකාන්විත රිද්මයක නිහඬතාව, ආලෝකය බිඳ දමා ඇත.
"වැසි බිඳු වැටෙයි
බිඳිමින්
රකිමින්
තානය
එක දෙක
එක දෙක
කිසිත් නැත
මා තුළ
නිහඬ
වැසි හඬ
මිස
ඉඳහිට
පතිත
අකුණු එළියකි
නිහඬ බව
බිඳෙන
ක්ෂණයකි"
( නිහඬ )
එහෙත් ඇගේ සියළු කවි මෙ ආකාර නොවේ. එළිවැට රකින්, ජනකවි හා වෙනත් අතීත උරුමයන්ගෙන් ඈ ලත් ආභාෂය ද තැනින් තැන දැකිය හැක.
"රාත්‍රියක වැළපෙන ගුරු තරුව අරා
බේත් පොවා ළය අත ගා වරින් වරා
පිටත් වුණේ අල්ලා ගත් අත නො හැරා
මටත් කලින් බුදු වෙන්න ද යසෝදරා
පේන පේන පඳුරේ මල් පූදින්න
රෑන් රෑන ආ ගිරවුනි නාඬන්න
හීන හීන නොම වී හෙට එළි වෙන්න
හේමමාලි එක සැරයක් යළි එන්න"
( හේමමාලි )
"ඈත ම දුරක හිටියත් අර වන අරණේ
ලෝකෙ ම නති පාට ඔය කවිවල් රැඳුණේ
හීනෙක හැබෑවක මොන වෙනස ද තිබුණේ
නාවම දුකයි ආවම ඇයි දුක දැනුනේ
වනේ දදා හිත කෙටුවා පොළව දනී
සෙනේ නිසා කවි එරුණා පපුව දනී
අනේ උඹට යන්න ම ඕනෑ බැවිනි
උඹේ බරට කවි ලියලා යන්ට දෙමි"
( සෙනේ නිසා කවි එරුණා පපුව දනී )
එහෙත් පෞද්ගලිකව සිතින් මා සමඟ එක් නොවූ කවි පංති ද මෙහි තරමක් වෙති. ඒවා අන් අයෙකුට වෙසෙසින් "Bleeding Heart" කෙනෙකුට බොහෝ සේ අර්ථාන්විත විය හැකිය. යුද්ධය කුරිරු බවත්, ඊට ඇති හොඳම විසඳුම යුද්ධයක් ආරම්භ වීම වැලැක්වීම බවත්, යුද්ධයක් ඇරඹුණ පසුව තිබෙන එකම විසඳුම අවම හානියකින්, කෙටිම කාලයකින් එය අවසන් කිරීම පමණක් බවත් මා විශ්වාස කරන හෙයින්, මැයි දහ අට මතක් කර කරා හූල්ලන කවි මට ගෝචර නොවේ -එය උදක්ම පෞද්ගලික කරුණක් බව නැවත කියමි.
ඒ කෙසේ වෙතත්, මෙතෙක් කියවූ කවි පොත් තුනෙන් ලක්ෂාන්තගේ කවි පොතත්, මාලතිගේ පොතත් කරට කර සිටින බවත් කිව හැකිය.
=================================
මෙවර රජත පුස්තකයට නිර්දේශ වූ සිව්වෙනි කෘතිය එරික් ඉලයප්ආරච්චිගේ කපුටා සහ සිටාණෝ (**1/2) කාව්‍ය සංග්‍රහයයි. පිත්තල හන්දිය, මගේ කොළඹත හඳ පායයි ආදි කාව්‍ය කෘති කිහිපයක් ඔහුගේ කියවා ඇත. ඔහුගේ කවියේ යමෙක් ඈත සිට නිරීක්ෂණය කරන බවකුත්, හැඟීම් වලින් වියුක්ත බවකුත් අඟවන ඔහුගේ කවියේ ආකර්ශනයක් නැත්තේ නොවේ. එනුමුදු ඔහුගේ කවි නිමිති ඉතා ක්ෂුද්‍ර දෙයක් මත බොහෝ විට පිහිටා ඇත. ඉතින් ඒ කවි නිමිති මුල් කොට ගත් කවි පංති සාර්ථක වන අවස්ථා තරම්ම, අසාර්ථක වන අවස්ථා ද වේ. ඒ අනුව මේ කාව්‍ය සංග්‍රහය එතරම් මා සිත් ගත්තක් නොවේ.
එරික්ගේ කවිය තැනෙක වර්තමානය පිරීක්සයි. වත්මනෙහි ජංගම දුරකථන කැමරාවට අසු නොවෙනා දෙයක් නැති තරම් ය. කවියා "අනංග කැමරාව" ඔස්සේ මෙය පබඳයි.
"ආලයෙහි ඇරයුමෙන්
සළුපටක් ලිහිල් වෙත
ඇතුළු වෙයි වසල දෙවි
සැරිසරනු වස් ළමැද
වරදෙ බැඳෙනා විට ද
රැඳෙ එය නරඹනුව
...
රහස් තැන සවි කෙරුණු
අනඟ දෙවි කැමරාව
රබර් කොපුව ද දකියි
තෙත් බරව බිම වැටුණ"
එරික් කවියෙන් බොහෝ විට තම නිරීක්ෂණ කියා පාන්නා මිස,විනිස්Cඅ දෙන්නකු නොවේ. ඔහු මෙතැන මේ අනග කැමරාවට අකමැත්ත පෙන්වන සියුම් විදි දෙකකි -එකක් ඊට වසල විශේෂණය යෙදීමෙනි. අනෙක අන් අය විසි කරනා කොපුව ද කැමරාවට අයැසි බව කියාපෑම මගින්, එහි වසල බව තවත් පසක් කරමිනි.
මෙහි වූ කවි හතලිස් තුනෙන් මා රස විඳි කවි අතලොස්සේ මුලින්ම පාහේ තිබෙන කවියකි, "ගොවි උපත" කවි පංතිය.
"විජයසින් මත්ව මම
නැගී සුදු අසෙකු පිට
පිරිවරා ගෙන සෙබළු
ඇතුන් දෙදෙනකු ලවා
වී බිස්ස බිඳින්නට
වඩින සැටි සිහි කළෙමි
...
කම්පාව දෙයි සිතට
එදා ගත් අවි දරුණු
ලජ්ජාව දෙයි සිතට
හිනායන ගොවි උපත
පාළු අස්වනු නිසා
සිස්ව ගිය වී බිස්ස
මුදුන තෙක් පුරවනුව
සිතින් වපුරමි කුඹුරු
කපමි අස්වනු නිතර"
හේ තම කුඩා කල දි, අස්වැන්නෙන් පිරුණු වී බිස්ස ට සෙල්ලම ට හෝ විරුද්ධ වූ සැටිත්, එහෙත් මෙදා ඊට හිමිකරුව, එහි අස්වනු පුරවනු අපොහොසත්ව කම්පා වන්නේ කවියට නගා ඇති අයුරු මා සිත් ගත්තේය.
මහපාරේ මුගටිකුණ පවා කවියට නිමිත්තක් කරගන්නා අප කවියා, තැනින් තැන සිත්ගන්නා සුළු මාතෘකා ද කවියට නගයි. චයිනමන් එවැන්නකි.
"ලකුණු ලොබ රට දැයට
ඔබ යි ලොතරැයි දිනුම
දරුවෝ බිම වැටෙති
නරඹන මවුන් ඇකයෙන
...
තේ රබර් කුරුඳු ණය
පහර දී අය කොට
ගුවන් නැව එයි මග
පටවා පරණ ඇත් දළ
...
ලෝඩ්ස් පිටියේ දැවී නොගිය ද
වෙළඳු වෙනුවෙන් අතට බඩු ගෙන
සිටින ඔබ අර ඇඳුම ඇඳගෙන
වෙළැඳ පිටියක දැවෙන ඉක්මන"
මට මතක් වනුයේ මගේ මිතුරෙකු කියූ කතාවකි. ඔහුගේ බාල ම දුව ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩයකු ව අඳුනන්නේ, "අර සුපර් මාකට් එකේ එළවළු විකුණන අංකල් " ලෙස ය. ඉතින් මේ කව ට එරික් ට ලකුණු දිය හැක.
එහෙත් මෙවන් අවස්ථා ඇත්තේ අතරින් පතරය. සමස්තයක් ලෙස කාව්‍ය සංග්‍රහය කියවාගෙන යද්දි මට සිතුණේ, එරික් තම සිතට නැගෙන සැම කවි සිතුවිල්ලම ඔප මට්ටම් නොකර තම සංග්‍රහයනට එක්කාසු කරන්නේ දෝ යන සිතුවිල්ලයි. නවකථාවෙදි මා බුහුමණට ලක්වන එරික්, වසරකට වරක් කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශනයට තිතක් තබා, තෝරා බේරා කවි පළ කරන්නේ නම්, පාඨක අපේ ප්‍රසාදයට හේතු වනු නියත ය.
==================
නිගමනය
----------
ඉතින් මේ කවි පොත සතරෙන් ඉදිරියෙන් ම සිටිනුයේ කොයික ද ? නිර්දේශ දුටු විත ඉන් ලක්ෂාන්ත ගෙ අකවි පොත ඉදිරියෙන් ඇති බව සිතුණු මුත්, මාලති කල්පනා ගේ පොත මෙතරම් සාර්ථක වී ඔහු ට අභියෝගයක් එල්ල කිරීමට සමත් එකක් වනු ඇතැයි මම නොසිතුවෙමි. නඳුන් ගේ පොත ද සැලකිය යුතු මට්ටමක සහ පාඨක අවදානයට ලක් විය යුතු පොතක් බවත්, බලාපොරොත්තු තබා ගත හැකි කවීත්වයක් පිළිඹිබු කරන බවත් කිව යුතුය. ඒ අනුව පළමු තැන ට ලක්ෂාන්ත ගේ නිර්මාණය ද, ඊට බොහො ළඟින් දෙවෙනි තැන ට මාලති කල්පනා ද, තෙවෙනි තැනට නඳුන් ගේ පොත ද මේ අවස්ථාවේදි අනුස්ථාන ගන්වමි
No comments:
Post a Comment