2007 වසරේ දී මුලින් ම ප්‍රකාශ වූ, වියත් ලේඛක ගුණදාස අමරසේකරයන්ගේ "විල් තෙර මරණය" කෙටි කතා සංග්‍රහය කියවූවෙමි. සංග්‍රහයේ නම රැගත් කෙටි කතාව මුඛ්‍ය කෙටි කතාව ලෙසින් පිටු හැත්තෑ නවයක් පුරා දිවෙනතර, ඊට අමතරව සාපේක්ෂ වශයෙන් කෙටි, තවත් කතා සතරකින් ද සපිරි ය.
මෑත යුගයේ අප රට විසූ එකම රාජ්‍යතාන්ත්‍රිකයා යැයි සිතිය හැකි, රටක් වටිනා මිනිසෙකු කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනය කෙටිකතාවට මූලික පදනම දමන මුත්, ලේඛකයා එම පුද්ගලයාගේ පසුබිම සැලකිය යුතු මට්ටමින් වෙනස් කොට ඇත. සැබෑ රාජ්‍ය තන්ත්‍රවාදියෙකුට, මේ දේශපාලන ක්‍රමය තුලින් කලකිරීම කෙතෙරම් යුක්ති සහගත ද යන්න පසක් කිරීමත්, මේ කලකිරීම තමන්ගේ ආරාක්ෂාව ට අඩු තක්සේරුවක් ලබාදෙනයුරුත් කතුවරයා ගෙනහැර දක්වයි. දේශාපාලනය මුල් කොට ගත් කෙටි කතාවක් ලෙස, මට නම් මෙය ඉතා ඉහළ තලයේ නිර්මාණයක් ලෙස සිතුණි. ඒ සුවිශේෂි පුද්ගලයාගේ පවුල්, ආර්ථික, ආධ්‍යාපනයීක, සමාජ පසුබිමට සාධාරණයක් ඉටු කල අමරසේකරුන්, ඔහුගේ ජනවාර්ගික පසුබිමත් ඊට ඇතුලත් කලා නම් මා පෞද්ගලිකව කැමතිය.
අනෙක් කෙටි කතා ගැන අවධානය යොමු කරන්නේ නම්, "විශ්‍රාමිකයකු ගේ ජීවිතය" මා සිත් ගත් කෙටි කතාවකි. එහි එන දෙබස්, කාලීන බව කිහිප විටක් ම සිතුණු බැවිනි.
"මේ රටේ තියෙන අනාගතේ මොකක් ද? දැන් මේ රටේ අපේ ය කියල සංස්කෘතියක් තියෙනව ද? හැදියාවක් තියෙනව ද? ... අපේ බාසාව වුණත් තව වැඩි දවසක් තියේ ය කියලා තමුසේ හිතනව ද? ...කාට ද ඕනෙ තමන් ගේ දරුවන්ට සිංහල බාසාව උගන්වන්න...? හැම එකාට ම ඕනෙ ඉංග්‍රීසි බාසාව බහ තෝරන දවසෙ ඉඳලා උගන්වන්න...." (96 පිටුව ). මේ කෙටි කතාව ලියැවී ඇත්තේ අප රට ත්‍රස්තවාදි යුද්ධය අහවර වීමට පෙර ය. ඒ වන විට, ඇත්තෙන්ම යුද්ධය දිනන්න පුළුවන් ද යන සැකය අප සිත තුල රජ වූ අතර, දෙමාපියන් දරුවන් ව විදේශ වලට යැව්වේ, මෙහි ඔවුනට අනාගතයක් නැති බව සිතමිනි. අවාසනාවක මහත නම්, යුද්ධය අහවර ව වසර හතක් යන තැන, අද තරම් රට ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි යුගයක් යුද්ධය තිබූ යුගයේ හෝ නොවීමය. "අපි වගේ එක පයක් ගොඩ අනික් පය වළේ තියා ඉන්න පරපුරට විතර යි රට ජාතිය ගැන කැක්කුමක් ඇත්තේ. ඒකත් ප්‍රභාකරන්ට පින් සිද්ද වෙන්න. උගේ ත්‍රස්තවාදය නැත් නම් ඒකත් නැහැ" ( 92 පිටුව ) - ඉතින් අමරසේකර කිරි ගහට ම ඇණ ඇත!
මෙහි එන "සෙරෙප්පුව කටින් ඇල්ලීම" වූ කලි අප රට දරිද්‍රතා මට්ටමේ සිටිනා අයගේ අසරණ බව, ඊට පිලියම් යෙදීමේ අපහසුතාව සහ ඇති හැකි අය සහ දරිද්‍රතා මට්ටමේ සිටින්නවුන්ගේ ඇති අයගේ අහස පොළවට වන් වෙනස, විෂය වන කෙටි කතාවකි. කුඩා දරුවකු තම දිවිය අවදානමට ලක් කරගනුයේ, තම දිවි සරි කරගැනීමට ය. ඒ නරඹන අයෙක්ගේ පුතාගේ දිවිය පිළිබඳ ඔහු බිය වන්නේ, කෙළි ලොල් සිය පුතු හෝටලයේ සුවපාසු පිහිනුම් තටාකයේ ගැට්ටේ හිස වදී හානි කර ගැනීම පිළිබඳවය.
අප රට බොහෝ තරුණ තරුණියන් ට වයස 18-19 වන විට තම මුළු අනාගතය ම තීරණය කෙරෙන සන්ධිස්ථානයකට පැමිණෙන්නෝය. ඒ උසස් පෙළ සමත්ව රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය ඔස්සේ ඉහළ ට ම නැග ගැනීමේ අවස්තාව තමන් සතු කර ගැනීම ය. එසේ නැග ගත්තවුන් ගේ කොටසක් ,අන් අයට සලකන්නේ ඉතා අසාධාරණ විදිහට ය. පෞද්ගලික විශ්ව විද්‍යාල වල පැමිණීමත් සමඟ මේ තත්ත්වය තරමක් වෙනස් වෙමින් තිබුණ ද, අදට ද, වෙසෙසින් ගම්බද ව වෙසෙමින් සාමාන්‍ය පෙළින් ඔබ්බට උගෙනීමට නොහැකි වූ අය, දිවි ඇති තුරා ඒ පිළිබඳ ව පසුතැවීමට ඇති ඉඩකඩ බොහෝ ය. "ශල්‍යාගාරයේ වූ සිද්ධිය", මෙම සමාජ තත්ත්වය පිළිබිඹු කෙරෙන කතිකතාවකි. "තමුසෙ ගෙ යාළුවා ඩොක්ටර් අබේසිංහට වාසනාව තිබිලා තියෙනවා ඉණි මඟ දිගේ බොහොම ඉහළට යන්න. අපි ඔක්කොම කරන්නේ ඉණි මඟක් දිගේ ඉහළට යෑමක්... තමුසෙට බැරි වෙලා තියෙනවා ඉණි මඟට ගොන්නඟින්නවත්...ඒක තමයි තමුසෙල දෙන්න ගෙ දෛවයේ හැටි."(133 පිටුව )
"මහල්ලකු ගේ සිහින ලෝකය" කෙටිකතාව ද, අප රට එක්තරා පරම්පරාවක පසුතැවීම ඉතා හොඳින් ග්‍රහණය කරගෙන කෙටිකතාවට ගොණු කරගත් අවස්තාවකි. දෙමාපියන් තම දරුවන්ගෙන් බලාපොරොත්තු වන දේ, විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුලත් වූ පසු දරුවන් ද "හොඳම ගනුදෙනුවක්" වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම, හේතුවෙන් තම දිවියේ සාරවත් බව අහිමි කරගත් පරම්පරා කිහිපයක් ගැන අපූරු ගෙත්තමකි. "පසුගිය කාලය තුළ මා හමුවට ආ මේ වියේ පසු වන, මේ පසුබිමට අයත් වන රෝගීන් ගැන සලකා බලන විට මොහු බඳුන් වී ඇති මේ මානසික ව්‍යාධිය මේ රටේ එක්තරා සමාජ ස්තරකට, ඒ සමාජ ස්ත්‍රයට අයත් වන පරම්පරා දෙක්තුනකට පොදු වූ එකක් බව පෙනේ.... ගම්වලින් පැමිණ විශ්වවිද්‍යාලට ඇතුළු වී අනතුරු ව රජයේ උසස් රැකියාවල 'තෘප්තිමත් ව' වැජඹී ඉඳ දැන් විශ්‍රාම ගොස් ඇති මොවුන් කෙරෙන් මේ මානසික පීඩනය අඩු-වැඩි වශයෙන් මම දැක ඇත්තෙමි." (157 පිටුව )
අමරසේකරගේ මෑතකාලීන කෙටිකතා අතිශයින් දේශපාලනිකය; අතිශයින් සමාජ විචාරාත්මකය ; එහෙත් එහි කලාත්මක බව ඇත්තේ ඔහු අප සතු ව ඇති ගැටළු, අභියෝග තාත්විකවත්, තම දේශපාලන අරමුණු වලට සේවය කිරීම ට යොදා නොගැනීමත් තුල ය. පිටස්තර ලෝකයේ ඔහුගේ දේශපාලනය ඉතා පැහැදිලිය ( ඊට එකඟ වීම - නොවීම අනෙකකි ). එහෙත් ඔහුගේ මෑත කාලීන කෙටිකතා වල වෙසෙසින් ඒ දේශාපාලන න්‍යාය පත්‍රවලට සේවය කිරීමට ඔහු තම නිර්මාණ යොදා නොගනී. (වෙසෙසින්, මේ අවසන් පරිච්ඡේදය සංවාදයට විවෘතයි.)
No comments:
Post a Comment