Thursday, 11 February 2016

Early History of Buddhism in Ceylon - E.W. Adikaram


ඊ. ඩබ්ලිවු. අදිකාරම් මහතා ලියූ "Early History of Buddhism in Ceylon"  කෘතිය කියවූවෙමි. මුල් කෘතිය 1946 දී ප්‍රකාශ වී ඇති අතර, ඒ මහතා ආචාර්‍ය උපාධිය උදෙසා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කල නිබන්ධනය මත පදනම් වැ රචිතය. කතුවරයා තම නිබන්ධයේ සිමා ලෙස ඉදිරිපත් කොට ඇත්තේ, ඒ වන විට දීපවංශය සහ මහාවංශය පරිබාහිරව (හෙතෙම බොහෝ විට වංශකථා ඉතිහාසය නැවත ඉදිරිපත් කිරීමෙන් වළකින්න උත්සාහ දරයි.) පාළි අට්ඨකථා මත පදනම් වැ  ලාංකිය බෞද්ධ ඉතිහාසය ට කෙසේ ඉදිරිපත් කල හැකි දැයි පරීක්ෂා කර බැලීමයි.

ඔහු කෘතිය ඉදිරිපත් කොට ඇති පිළිවෙල වනුයේ,
- පර්ච්ඡේද සතරකින් යුත් පළමු කොටස, පාළි අට්ඨකථා හඳුන්වාදීම, ඊට හේතු වූ මූලශ්‍ර ඉදිරිපත් කොට හඳුන්වා දීම සහ  පිඨක ග්‍රන්ථ සහ අට්ඨකථාත්, ඒ ඒ අට්ඨකථා අතරත් ඇති වෙනස්කම් ඉදිරිපත් කිරීම තුලින් යම් විමර්ශනයක් කිරීම උදෙසාත්,
- පරිච්ඡෙද දහයකින් යුත් දෙවෙනි කොටසේ මහින්දාගමනය සිට අට්ඨකාථ පාලියට නගා ග්‍රන්ථාරූඪ කිරීම දක්වා වූ යුගයේ බුදු දහමේ ව්‍යාප්තිය, බුද්ධ ශාසනය වැජඹුනු ස්ථාන, ථෙරවදයට විරුද්ධ මත ලියැලීම, භික්ෂූ සහ ගිහි බෞද්ධයාගේ දිවි පෙවෙත, පූජාවිධි වර්ධනය සහ ලාංකිය බුදු දහමට දෙවියන්ගේ අවතීර්ණය ආදි අංශ පිළිබඳ නිරීක්ෂණයක යෙදීමක ට ත් ලෙසිනි.

බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ කථා නොකට පාළි අට්ඨකථා ගැන කථා කල නොහැක්කේ එම කෘතීන් අතරින් අඩකටත් වඩා පාළියට නගා ඇත්තේ එ හිමියන් විසින් බැවිනි. උන් වහන්සේ එම කර්තව්‍යයේ නිරත වූ පිළිවෙල ගැන උන්වහන්සේ ම සමන්තපාසාදිකාවේ ( විනය පිටකයේ අට්ඨකථාව ) මෙසේ පවසත්:
"In commencing this this commentary - having embodied therein the Maha aTThakatha, without excluding any proper meaning from the decisions contained in the Maha-paccari, as also in the famous Kurundi and other commentaries including the opinions of the Elders....From these commentaries after casting off the language, condensing detailed accounts, including authoritative decisions, without overstepping the Pali idiom (I shall proceed to compose my work)." මෙහි සඳහන් මහාපච්චරී සහ කුරුන්දී වනාහි මුල් හෙළටුවා වලින් සමහරෙකි.
"මහාඅට්‌ඨකථඤ්‌චෙව, මහාපච්‌චරිමෙව ච;
කුරුන්‌දිඤ්‌චාති තිස්‌සොපි, සීහළට්‌ඨකථා ඉමා."
අදිකාරම් හු, බුද්ධඝෝෂ හිමියන්, මීට වසර 1500ට පමණ පෙර මෙවන් විශාල වූත් අභියෝගාත්මක වූත් කාර්යභාරයක් මෙතරම් නිරවද්‍යතාවයකින් සහ ක්‍රියාශීත්වයකින් සිදු කිරීම පිළිබඳ සිය විමතිය පළ කරති ( The diligence and precision which Buddhaghosa has thus shown in his work may not appear to be anything remarkable when compared with the scientific accuracy of the present day scholar. But it must not be forgotten that he lived fifteen hundred years ago, and it is only if we take this into consideration and compare him with scholars of other civilized countries of the same day that a true estimate of him becomes possible. ) බුදුගොස් හිමියන් ගැන අදහස් පළ කරන රිස් ඩේවිඩ් වියතාණන්  තම වර්ණාවෙන් අදිකාරම් අභිබවා නොයයි. ("Of his talent there can be no doubt; it was equalled only by his extraordinary industry. But of originality and independent thought, there is at present no evidence." ) එහෙත් උන්වහන්සේ ට අදාළ කර්තව‍යය සඳහා ස්වාධීන සහ නැවුම් චින්තනය පිටුවහල් වන්නේ ද යන්න විවාද සම්පන්නය. එපමණක් නොව උන්වහන්සේ කෙතෙරම් පරීක්ෂාකාරිව තම වගකීම ඉටු කලේද යන්න කෘතියේ පහත උපුටනය සාක්ෂි දරයි. 
"Buddhaghosa is very cautious when he deals with Canonical matters left unexplained in the commentaries before him. Sometimes he explains a point and hastens to add a clause of apologetic warning: As this has not been handed down in the commentaries it should be accepted after investigation.' Even when Buddhaghosa is forced by his own reasoning to disagree with the aTThakathas he hesitates to give his definite opinion. 'As it is said in the aTThakathaas' he says sometimes 'it is not possible to reject the explanation. What is correct should be found out or the commentators should be taken on trust. The aTThakatha explanations are always preferred to those advanced by such well known teachers as Mahasiva, Tripitaka Culabaya and Abhidhammika Godha."    මා බුදුගොස් හිමියන් ගැන මේ ස්වල්පය කිමට උත්සුක වූවේ, අප රට යම් කොට්ඨාශයක් අප රට තිබූ නිර්මල බුදු දහමේ අට්ඨකථා බුදුඝොස් හිමියන් විකෘති කොට මුල් අට්ඨකථා පිළිස්සු බවට චෝදනා කරන බැවිනි. මේ කෘතිය තුලින් නම් බුදුගොස් හිමියන්ට සිහළ රටේ තිබූ ථෙරවාදය විනාශ කිරීමේ උවමනාවක් පිළිබඳ කිසිදු ඉඟියක් හමු නොවේ. 

මෙම පළමු කොටසේ සාකච්ඡා වන එක් වැදගත් කාරණාවක් නම් භානක පරම්පරාව ගැන සහ බුදුගොස් හිමියන්ගේ යුගය වන විට වෙසෙසින් මජ්ජිමභානක සහ දීඝභානක සම්ප්‍රදායන් අතර වෙනස්කම් පිළිබඳ සඳහනයි ( පළමු සංඝායනාවට ආනන්ද හිමියන්ගේ එක්වීමේ අයුරු ; පළමු සංඝායනාවේ ගායනා කල කොටස් ; ආනාපානාසති භාවානවේ නිරතවද්දි සිරුර අත්දකින වෙනස්කම් ආදි වශයෙන් ). සිව්වෙනි පරිච්ඡෙදය වෙන් වී ඇත්තේ පිටක ග්‍රන්ථ සහ අට්ඨකථා අතර ඇති වෙනස් කම්, මූලික වශයෙන් අට්ඨකථා වල දී විශාලනය වූ කොටස් කිහිපයක් නිදසුන් සමඟ පෙන්වා දීමට යි. ඒ විශාලනයන් පිළිබඳ උපෙක්ෂක නිරීක්ෂණයක් කතුතුමා කරයි ( We need not doubt the sincerity of those who were responsible for these exegetical notes, but, as the Commentaries grew in the course of several centuries to be what we find today, extraneous matter inevitably crept into the beliefs that were held orthodox.)

දෙවෙනි කොටස ආරම්භ වන්නේ මහින්දාගමනය ට පෙර යුගයේ ආගම් සහ විශ්වාස ගැන අගනා විස්තරයකිනි. බ්‍රාහ්මන ආගම, යකුන් වැඳීම, වෘක්ෂ වන්දනාව, ජෛන, පරිබ්‍රාජක, ආජිවක සහ ව්‍යාධ (දඩයක්කුරවන්ගේ දෙවියන්) වන් ආරක්ෂක දෙවියන් යැදීම, තිබූ බවට වෙසෙසින් මහාවංශයේ සඳහන් ගෙන හැර දක්වයි. වෙසෙසින් යකුන් යැදීම ගැන අදිකාරම් මෙසේ කීමට අමතක නොකරයි. "in spite of the adoption of Buddhism as the national religion, the earlier Yaksa worship flourished side by side among the masses and has persisted down to modern times." හේ තවත් වැදගත් නිරීක්ෂණයක් කරයි. එනම් තත්කාලීන් ජම්බුදීප සියළු ආගම් පාහේ තිබුන ද මහින්දාගමනයට ප්‍රථම යුගයේ මෙරට බුදුදහම ගැන ඇති නිහඬතාව සැක කටයුතු බවත්, "The only explanation possible is that silence was observed with regard to their (i.e. Buddhists) existence in order to create a dark background on the canvas on which the enthusiastic narrator of Buddhist history might successfully paint his glowing picture of Mahinda's miraculous conversion of the island " යැයි කියා පායි.

මහින්දාගමනය වෙනුවෙන් දෙවෙනි පරිච්ඡේදය වෙන් වී ඇත. වෙසෙසින් සමන්තපාසාදිකාව මේ පිළිබඳ ඉමහත් විස්තර රැගත් ය. ඒ අනුව අශෝක-තිස්ස අතර ත්‍යාග හුවමාරුව, තිස්ස-මහින්ද හිමි හමු වීම, ධර්ම දේශනා, ලක්දිව සඟ ශාසනය පිහිටීම, මේඝවර්ණ උද්‍යාණ පූජාව,  අරිට්ඨ ගේ පැවද්ද සහ උන්වහන්සේ ගේ විනය සංගීතය, ථුපාරමය ඉදිකිරීම, බෝධි වෘක්ෂය ගෙන ඒම සහ සඟමිත් තෙරණිය ප්‍රමුඛ පිරිසගේ පැමිණීම ආදිය විස්තර ඇතිව සඳහන් වන්නේ මේ කොටසේය. මෙකල සිදු වූ ධර්ම ප්‍රචාරයට  යම් විශ්වාසනීයත්වයක් ගෙන දෙන පුරාවිද්‍යාත්මක කාරණාවක් ද මෙහි සඳහන්ය. එය මෙසේ ය:
"As pointed out by Prof. Rhys Davids (Buddhist India), the truth of the Ceylon Chronicles with regard to the mission sent during Asoka's reign to the Himalayan region is confirmed in a striking manner by the archeological discoveries made at Sanchi. If the Chronicles are so accurate with regard to this mission which took place in a region where the Sinhalese had hardly any interest, it is justifiable to suppose that the account of Mahinda's mission to Ceylon is more than mere legend."

තෙවෙනි පරිච්ඡේදය බුදු දහම ලංකාවේ ව්‍යාප්ත වීමත්, උත්තීය, සේන හා ගුත්තික ආක්‍රමණය, අසේල, එළාර ආක්‍රමණය, ගැමුණු සහ සද්ධාතිස්ස යන රජවරුන්-පාලකයන් ගේ වකවානු, ඔවුන්ගේ කාලයේ ශාසනයේ ව්‍යාප්තිය හෝ සාපෙක්ෂ පිරිහීම ආදිය ගැන විස්තර කියා පායි. එළාර යුගයෙදි මාගම රජ කල මහානාග රජුගේ විහාර කර්මාන්තය ( කිරිවෙහෙර පවා මේ රජු කාලයේ ඉදි වූවකි ), ගැමුණු යුගයේ ශාසන උන්නත්තිය ගැන ඉතා දීර්ඝ විස්තරයක් මෙහි ඇතුලත් ය. මේ කොටසේ ඉතා වැදගත් ම කොටස යැයි මට සිතුනේ  අට්ඨකථා වල මෙම යුගයේ ජීවත් වූ මහතෙර වරුන් ගැන යම් විස්තරයක් පාඨකයා ට හඳුන්වා දීමය. ඒ අනුව ධම්මදින්න, මලියදේව, ධම්මගුත්ත, ඛුද්ධතිස්ස, මහාව්යග්ඝ, මහාවම්සක, ඵුස්සදේව, මහාසිව, මහානාග, ථෙරපුත්තාභය ආදි මහථෙර වරුන්, උන්වහන්සේලා වැඩ සිටි ඉසව්, උන්වහන්සේ ලා හා සබැඳි යම් ඓතිහාසික සිද්ධීන් ආදිය  ශාසන ඉතිහාසය ගැන විමසන අයෙකුගේ උනන්දුව තීව්‍ර කරයි. අට්ඨකථා වල ශාසන ඉතිහාසයේ කාල වර්ණ තැන් පවා නොසඟවා ඉදිරිපත් කර ඇත. සද්ධාතිස්ස යුගය වන විට අනුරපුර භික්ෂූන්ගේ යම් විනය පිරිහීමක් කෙරෙහි නොපැහැදුණු රජතුමා, අනුරපුර භික්ෂූන්ට දක්ෂිණාව නොකොට මිහින්තලයට පමණක් දානය දුන් බවත්, මහජනතාවගේ අයැදීම මත තම තීරණය වෙනස් කර ගත් අවස්ථාවක් සම්මෝහවිනෝදනියේ ( අභිධර්ම පිටකයේ විභංගයේ අඨකථාව ) රැගත් බව කියා පායි. මනෝරතපූරණියේ ද රාගයෙන් දැවුණු භික්ෂුවක් ගැන සඳහන් වෙයි.

මීළඟ පරිච්ඡේදය වෙන් වන්නේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූ යුගය වෙනුවෙන්. වට්ටගාමණි අභය රජතුමන් මුල් වතාවේ රාජ්‍යත්වය කරනා කලැ, ඇති වූ තිස්ස බමුණාගේ කැරැල්ල ගැන මහවංශය වැඩි විස්තර නොකරන මුත්, සම්මෝහවිනෝදනියේ එන සඳහන අනුව එම කැරැල්ලේ ස්වරූපය වටහා ගත හැක. "The rebel Brahmanatissa plundered the district. The Monks discussed in council and sent eight theras to Sakka requesting him to ward off the rebel that has risen. Sakka, the king of teh devas replied:  'May you go abroad. I shall protect you (while) on the sea'" මේ තුලින් තිස්සයන් තුල තිබූ බලය ගැන ඇඟවෙන අතර තැනෙක චණ්ඩාලතිස්ස යන නම යෙදී තිබීමෙන් (මනෝරථපූරණිය ) - බ්‍රාහ්මන‍යකුට, චණ්ඩාල නාමයෙන් ඇමතීම අභිබවා යන අන් අපහාසයක් නැත - අට්ඨකාථා වලින් පිළිරැව් දෙන පිළිකුල පිළිබඳ කියා පායි. ඉසිදත්ත සහ මහාසේන දෙනම ආල ජනපදයට වැඩම වැ, වාසින් ඵල කා බිම තබා ගොස් තිබූ මධු පොතු වලින් කුසගිනි නිමවා ගත් අයුරු, වට්ටබ්බක නිග්‍රෝධ තෙරුන්ගේ මහළු ආචාරි හිමි කුසගින්නෙන් කුපිත වූ මිනිසුන්ගේ ගොදුරක් වූ අයුරු, නිග්‍රෝධ හිමි අපහසුවෙන් තම දිවි ආරාක්ෂා කර ගත් අයුරුත් ආදි විස්තර, මේ යුගයේ පීඩාකාරි තත්ත්වය මොනවාට පෙන්වා දෙයි. වළගම්බා දෙවෙනි වර රජවීමත් සමඟ තත්තවය සුව අතට හැරුණු වගත්, පිටදෙස ගොස් සිටි භික්ෂූන් නැවත පැමිණ, පෙර සඳහන් කල මහාසේන සහ නිග්‍රෝධ හිමියන් විමසා, මලය රට ට ගිය සැට නම ද සමඟ ධර්මය සංඝායනා කොට දෙපාර්ශවය ආරක්ෂා කරගත් ධර්මය අතර වෙනසක් නොතිබූ බවට තහවුරු කරගත් බැව් ද සම්මෝහවිනෝදනිය කියා පායි. මෙම දුෂ්කර අවදියේ ප්‍රතිඵල දිගුකාලීනව ශාසනයට බලපා ඇත. මනෝරථපූරනිය, භික්ෂූන් අතර වඩා වැදගත් පරියත්තිය ද ප්‍රතිපත්තිය ද යන්න පිළිබඳ කථිකාවක් ඇති වූ බවත්, මෙතැන් පටන් විනය දෙවෙනි තැනට සළකා ඇති බවත් කියවේ. මීට පෙර තිබූ තත්ත්වය යැයි සැලකෙන "විනයෝ නාම බුද්ධශාසනස්ස ආයු" (සමන්තපාසාදිකාව ) ස්ථාවරය වෙනස් වුණු බවත් පැහැදිලිය. එක් යුගයක මෙතරම් වෙනස්කම් රාශියක් සිදුවීමේ අභාග්‍ය කියාපාමින්, වට්ඨගාමණි රජු ඉදිකල අභයගිරිය ඍජුව ම, රජු  පළාගොස් සැඟව ගොසි සිටි යුගයේ ඔහුට උදව් කල, මහාතිස්ස තෙරුන් හට පූජා කිරීම, අනතුරුව විනය කාරණා හේතුවෙන් මහාතිස්සයන් මහාවිහාර සමාජයෙන් නෙරපීම, එතැන් පටන් මහතිස්සයන්ගේ ගෝල පරම්පරාව ප්‍රමුඛව මහාවිහාර-අභයගිරි දෙබෙදුම ආදි වශයෙන් ශාසන ඉතිහාසයේ හැරවුම් යුගයක් ලෙස මෙකල හඳුනා ගත් හැකිය..  මෙතෙක් කල් මුඛපරම්පරාගතව තිබූ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪයට තීරණය වී ඇත්තේ මෙවන් වටපිටාවක ය. ඉතා පැහැදිලි ලෙස, නිරන්තර යුධ ආපදා, තිස්සගේ කැරැල්ල සහ දුර්භීක්ෂය හේතුවෙන් මුඛපරම්පරාගතව දහම රැකීමේ ඇති භයානකකම වටහා ගැනීම, නුසුදුස්සන් වැඩිවැඩියෙන් ශාසනගත වීම සමඟ මුඛපරම්පරාවෙන් ත්‍රිපිටකය රැකීමේ අපහසුව සහ මහවිහාර-අභයගිරි භේදය එකල විසූ සංඝයාට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ වැදගත්කම ඔප්පු සිද්ධ කර ඇත.

පස්වෙනි පරිච්ඡේදය වට්ඨගාමණි අභය රජුගෙන් පසු යුගය පිළිබඳ දිගුහැරුමකි. අදිකාරම් තුමන් කියා පාන්නේ මේ අඩසියවසක පමණ කාලය සිංහලේ බෞද්ධ ඉතිහාසය පිළිබඳ මේ විස්තරය දෙවෙනි වන්නේ ගැමුණු යුගයට පමණක් බවත්, මහාවංශයේ එතරම් විස්තර නැතත් පාළි අට්ඨකථා ආශ්‍රෙයෙන් මේ කාලයේ බෞද්ධ ඉතිහාසය ගොඩනැඟිය හැකි  බවත් ය. අට්ඨකථා  මගින් ථෙරවරුන් විසිනමකට නො-අඩු සංඛ්‍යාවක් පිළිබඳ විස්තර සොයා ගත හැකි  ය. උන් වහසේලා ගැන වගවිස්තරත් මෙහි සඳහන් ය (ලේඛනය තවත් දිගු වීම වළක්වා ගැනීමේ අටියෙන් ඒ ගැන නොලියමි ). මීට අමතරව සමන්තපාසාදිකාවේ මිහිඳු හිමියන් වැඩම කලැ යුගයේ සිට උක්ත යුගය දක්වා විනය මුඛ-පරම්පරාගතව අතිනත ගෙන ආ  ගුරු පරපුර ගැන සඳහන් කරන මුත්, පළමු සියවසේ සිට පස්වෙනි සියවස දක්වා යුගය ගැන නිහඬය. මේ කාරණාකාරණා අනුව අදිකාරම් නිගමනය කරන්නේ සිහළ අට්ඨකථා සැකසී ග්‍රන්ථාරූඪ වී ඇත්තේ මේ යුගයේ දි බවයි. එතුමන් මෙම පරිච්ඡෙදය නම් කොට ඇත්තේ " The First Literary Period" ලෙසට ය. සමහර විට මේ මතය ලොවට කියා පෑ පළමු විද්වතා ඔහු වීමට ද පුළුවන.

විසම්මුතික අදහස් දරනා ගුරුකුල වල නැඟී ඒම පිළිබඳ විමංසනයට මීළඟ පරිච්ඡේදය  වෙන් වැ ඇත. මහවංශය උක්ත කාල පරිච්ඡේදය (ක්‍රි.ව.100-300) තුල විරුද්ධ අදහස් දරණා පාර්ශවයන් ගැන කථා නොකලද නිකාය සංග්‍රහය අභයගිරි ගුරුකුලය ධම්මරුචි නිකාය වශයෙන් හැඳින්වූ බවද (ධම්මරුචි නිකාය වජ්ජිපුත්තක සම්ප්‍රදයට අයත් ය ), භාතිය රජු දවස අභයගිරි-මහා විහාර ගුරුකුල අතර විනය ප්‍රශ්ණයක් මතු වූ බවත් සඳහන් ය.  වෝහාරික රජු දවස වෛතුල්‍ය පිටකය සැබෑ බුද්ධ වචනය යැයි අභයගිරිවාසින් ඉදිරිපත් කල වගත්, රජු තම අමාත්‍ය කපිලයන් ලවා මේ ගැන පරික්ෂා කොටැ,  එය සැබෑ බුද්ධ වචනය නොවන වග තීරණය කොට එම කෘති දවා, එම භික්ෂූන් ද අපකීර්තියට පත් කල වග නිකාය සංග්‍රහය පවසත්. ගෝඨාභය රජු දවස ද මෙලෙසම වෛතුල්‍යවාදි මත දැරූ සැට නමක් රටින් පිටුවහල් කර බව කියවේ. මෙසේ පිටමං කල භික්ෂූන් හා එක්වූ සංඝමිත්ත නම් වූ අයෙක්, ලංකාවට පැමිණ මහසෙන් රජු සමඟ එක් වැ මහවිහාරයට කල නොකටයුතුකම් ගැන විස්තර ද මෙහි ඇතුලත් ය. මෙය අප රටේ ඉතිහාසයේ ප්‍රසිද්ධ කාරණාවකි. මෙම අවදානය මතු වන කාලය ක්‍රි.ව. 409-431 දක්වා රජ කල මහානාම රජු දවසින් අවසන් වේ. අට්ඨකථා පාළියට පෙරළුනේ මේ රජ දවසය. මහානාම රජු ද වට්ඨගාමණි රජු මෙන් අභයගිරියට වඩා පක්ෂපාති අයෙක් විය. අප කතු තුමා පහත නිරීක්ෂණය ද කර ඇත.
"It is worthy of notice that the two most important events , namely, the writing down of the Pali texts at Aloka-vihara and the translation of the commentaries into Pali, both took place during the reigns of kings who were not favourably disposed towards Mahavihara..."  ෆාහියන් හිමියන්ගේ  වාර්තා අනුව ද අභයගිරි පාර්ශවයේ බලවත් බව පිළිබඳ සාක්ෂි ලැබේ. "When Fa Hien visited Ceylon in the first or the second decade of the first century, A.D., he found more bhikkus living in the Abhayagiriya than in the Mahaviharay..."

සත්වන පරිච්ඡේදයේදි අප කතුතුමා කාලානුරූපව ශාසන ඉතිහාසය දෙස බැලීමෙන් විරාමයක් ගෙන, අප රට තුල ශාසනය බැබලුනු ඓතිහාසික ස්ථාන ගැන අට්ඨකථා ආශ්‍රයෙන් විස්තරයක් ගෙන හැර දක්වයි. මෙය මේ කෘතියේ හමුවන ඉතා රසවත් වූත්, කියවීමට වඩා පහසු වූත් පරිච්ඡේදයකි. මිහින්තලය, අනුරපුර, රෝහණය කළ්‍යාණිය, දඹකොළපටුන, මලය රට පමණක් නොව, මේ කෘතිය ලියන කාලය වන හඳුනා නොගත් ස්ථාන ගැන ද මනරම් විස්තර මෙහි සඳහන් වේ. කෘතිය ලියවුණු යුගයත් අද දවසත් අතර මෙසේ හඳුනාගත් එක් ස්ථානයකි හත්ථිකුච්චිය. ඒ ගැන අදිකාරම් එකල මෙසේ පවසා ඇත. "In the Visuddhumagga a Hatthikucchi-pabbhara is mentioned along with Mihinduguha. Perhaps this cave was part of the same vihara. An inscription at Mihintale belonging to the eleventh century A.D. has a reference to an At-vehera ( Pali- Hatthi-vihara ). This evidence combined with the fact that Hatthi-kucchipabbhara is mentioned along with Mahindaguha which is at Mihintale makes it probable that there is some close geographical connection between the two."

අටවන පරිච්ඡේදය වෙන් වී ඇත්තේ ගිහි-පැවදි බෞද්ධ දිවිපෙවෙත අට්ඨකථා වලින් අනාවරණය වන අයුරු කියා පෑමට ය. එක්තරා යුගයක අප රට බෞද්ධ ශාසනය කෙතෙරම් ඉහළ තලයක පැවතුනේ ද යත්, සම්මෝහවිනෝදනිය පවසනුයේ  කිසිදු මාර්ග ඵලයක් නොලත් භික්ෂුවක් අප රට නොසිටි බැව් පවසයි. සාරත්ථප්පකාසිනිය නම් වූ සම්යුත්ත නිකායේ අට්ඨකථාව පවසන්නේ අනුරපුර වැලි කැට වලට වඩා රහතුන් වැඩ සිටි බවකි. මෙය අතිශයෝක්තියක් බැව් සැබෑ නුමුත්, ඉන් ගම්‍ය වන්නේ මාර්ගඵල ලාබීන් කෙතෙරම් වැඩ සිටි යුගයක් තිබී ඇත්දැයි යන්නයි.  මෙම පරිච්චේදයේ ලක්දිව කුලක්‍රමය ක්‍රියාත්මක වූ අයුරු, කෙතෙරම් දුගියෙකු වුවද දක්ෂිණාවට කෙතෙරම් නැබුරු වූ බව ද ( අද ට ත් මේ කාරණාව අප රට වෙනුවෙන් වලංගුය - මෑතක පව අප රට දන් දීමට වඩාත් නැඹුරු රටක් ලෙස හැඳිනගෙන තිබින ), භික්ෂු සංඝයා ගිහියන් කෙරෙහි කෙතරම් හිතැතිව කටයුතු කර ඇත්දැයි ද පෙන්වා දෙයි.

නමවන පරිච්ඡේදය ඉතා වැදගත් පරිච්ඡේදයක් වනුයේ අප රට ආගමික පිළිවෙත් වල වර්ධනය අට්ඨකථා ආශ්‍රයෙන් ගෙන හැර දක්වා තිබීම හේතුවෙනි. දකුණු අකු-ධාතුව නිදන් කොට ථූපාරාමය ඉදි කිරීම, දළදා වහන්සේ වැඩැම්මවීම සහ ඒ හා බැඳි පූජා විධි, සිරිමා බෝ රදුන් හා බඳි වත් පිළිවෙත්, පිළිම වන්දනාවේ  සම්ප්‍රාප්තිය ( මහවංශය  වසභ රජු දවස බුදු පිළිම  ගැන සඳහනක් පළමු වරට අපට කියා පායි - ෆා-හියන් හිමි සිරි බෝ පාමුල පිළිම දුටු බව පවසා ඇත ), පරිත්‍රාණ දේශණ ආදි වශයෙන් මේ ආගමික විධි වල සම්ප්‍රාප්තිය සහ වර්ධනය ගැන විස්තර මේ පරිච්ඡේදයේ ඇතුලත් ය..  අප කතුවරයා අද වෙසෙන විද්වතුන්ට වඩා උපෙක්ෂාවෙන් යුතුව පූජාවිධි වල වර්ධනය ඉවසයි ( No words are necessary to indicate how far these rituals are from the spirit of the original, pure and unadulterated teaching of the Buddha as exemplified, especially in the Dhammapada. The growth of the ritual was a necessary one if the faith was to have a hold on the masses - page 144). එහෙත් මා අසා ඇති වග නම් අදිකාරම් තුමා සැම විට ම පන්සිල් ගන්නේ නැති වගකි. ඒ ඔහු ඊට පෙර පනවා ගත් පංච ශීලය තවම බිඳී නැති බවට හේ තුල තිබූ විශ්වාසය හේතුවෙනි. මා සිප් හදාළ මෙතෝදිස්ත පාසලෙන් ම උගෙන මහා බෞද්ධ පඬිවරයෙකු වූ මෙතුමා ගැන සියුම් ආඩම්බරයක් ද සිත් තුල උපදී. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ නිර්මාතෘවරයා ද මෙතුමා ය.

(දසවන පරිච්ඡෙදය අට්ඨකථා වලට අනුව දෙවියන් ට බෞද්ධ ශාසනයේ ඇති ස්ථානයත්, ඔවුන් සෑම විටම බුදු රදුනට යටහත් පහත් හා ධර්මයට ගරු කරන පාර්ශවක් ලෙස ගෙන හැර දක්වා ඇත.)

ඉතින් අප කතුවරයාගේ ශාස්ත්‍රීය කටයුත්තෙන් හෙළි වන්නේ කුමක් ද ? වංශ කථා වලට අමතරව, වඩා මධ්‍යස්ථ බෞද්ධ ඉතිහාසයක් ගොඩ නගා ගැනීමට අවශ්ය මූලද්‍රව‍ය රාශියක් අට්ඨකථා සපයන බව ය. වර්තමානයේ රැල්ලක් වන අප රට ඉතිහාසයට හිනා වෙන  අන්තවාදි ස්ථාවරයේත්, මුළු අට්ඨකථාව ම  වචනාර්ථයෙන් ග්‍රහනය කරගත් භක්තිය පෙරදැරි ගත් ස්ථාවරයෙත් නොසිට (එවැන්නන්ගේ සිත් මෙම කෘතියෙන් බිඳෙනු ඇත ), මධ්‍යස්ථ ස්ථානයක සිට මෙම කෘතිය පරිශීලනය කරන්නෙකු හට, අප රට ශාසනය මුහුණ දුන් අභියෝග, ආගමික වතාවත් වල වර්ධනය,  ඉතා දීප්තිමත් යුගයන් හී අප රට බුදු සසුන බැබළුනු ස්වරූපය, විනයේ නොරැඳි භික්ෂූන් කවදත් සිටි බව හා එම සිද්ධීන් නොවලහා අට්ඨකථා කියා පාන අයුරු පමණක් නොව, මෙම කටයුත්තෙහි පුරාගාමිත්වය දැරූ බුද්ධඝෝෂ හිමියන් කෙතෙරම් පඅට්ඨකථා පාළියට පෙරලීමේ පුරාගාමී කටයුත්තක් කල බුද්ධඝෝෂ හිමියන්, කෙතෙරම් පරීශ්‍රමයෙන්, සංයමයෙන් එම කටයුත්තේ නිරත වී ඇද්දැයි යන්න පිළිබඳව ද මෙම කෘතිය සාක්ෂි දරයි. අප රට ඉතිහාසය ගැන උනන්දු වන අය නිසැක වශයෙන් ම කියවිය යුතු කෘතියක් බැව් පැකිලීමකින් තොරව පවසමි. මෙහි සිංහල පරිවර්තනයක් ද ප්‍රසිද්ධ ය.








                                                                                                                                                                             



No comments:

Post a Comment