Sunday, 19 October 2025

කැමෙලියා - විරාජිනී තෙන්නකෝන්

 2023 වසරේ, රාජ්‍ය සාහිත්‍ය, විද්‍යෝදය, සහ ස්වර්ණ පුස්තක යන සම්මාන තුන ම ජයග්‍රහණය කරලීමට සමත් වූ, විරාජිණි තෙන්නකෝන් ගේ 'කැමෙලියා' නවකතාව කියවීමි. විරාජිනි මෑතක ම ප්‍රකාශ කල කෙටි කතා සංග්‍රහය, 'අන්ධයා සහ සුරුට්ටුව' කෙටි කතා එකතුවයි. ඇය එහි දී ඇගේ මීට පෙර සාහිත්‍ය නිර්මාණ වලට වඩා වෙනස් නිර්මාණ පසුබිමක් භාවිත කලා. හැකි තරම් කාලය-දීපය-දේශයෙන් විනිර්මුක්ත, තරමක අඳුරු, වැස්සක පෙර නිමිති රගැත් සවසක් පාඨකයාට සිහි ගන්වන පරිසරයක් එහි පසුබිම වූවා. කතුවරිය 'කැමෙලියා' හි දි, එම නිර්මාණ පසුබිම නවකතාවක ට වඩාත් සුදුසු අයුරින් සකසා ඇති සෙයකි. තව ද මෙම කෘතියට යම් අයුරක මායා යථාර්තවාදී රීතියක් පමණක් නොව, ඉසබෙල් ඉයන්ඩෙ - ගා


බ්‍රියෙල් ගාසියා මාකේස් වැනි ලේඛකයන්ගේ ඍජු ආභාෂයත්, එය ලිවිමේ ශෛලියට බල පෑ ඇති අයුරුත් පැහැදිලිය. නවකතාවේ ප්‍රධානත ම තේමාවක් වන්නේ ඉන්දීය සම්භවයක් ඇති ජනයා කම්කරුවන් වශයෙන් තේ වගාව ට තම ජීවිත වලින් ගෙවූ මිලයි. තවමත් ගෙවමින් ඉන්නා මිලයි. මේ මුඛ්‍ය කාරණාවත්, ජෙෆ්‍රි වැනි අකාරුණික වතු හිමි හාම්පුතුන් ද සිංහල සාහිත්‍ය ට එතරම් ඇස නොගැටුණු දිශානතින් ය.  

මීට අමතරව, මෙම නවකතාවේ කිහිප තැනක, නවකතාවට ඍජු සම්බන්ධයක් නැති සිද්ධීන් මගින් සමාජයේ සමහර ප්‍රවනතා සඳහන් වේ. පුංචි මම්මා ගේ එක් සැමියෙකු, අයෙකු මියගිය විට වැන්දඹුවගේ ඉල්ලීම මත කෙරුනු  රෝමාන්තික ඡායාරූප ගැනීම එවන් පරිධියේ කතවකි. 

විරාජිනී මහත් පරීශ්‍රමයක් දරා, ඓතිහාසික කාරණා, යටත් විජිත සමයේ දේශපාලනය සුදුසු මට්ටමින් ගලපා, අත්භූත කමක් ද මුසු කර සිය නිර්මාණ ජීවිතයේ මෙතෙක් බිහි කර ඇති වඩාත් අභියෝගාත්මක කලා නිර්මාණය බිහි කිරීමට උත්සාහ දරා ඇති බව පැහැදිලි අතර, ඊට හිස නම ගෞරව කරමි.   නවකතාවෙන් විරාජිනි බලාපොරොත්තු වූයේ කිනම් කාරණා මතුකරලීමට ද යන්න පැහැදිලි ය.  ඒ පිළිබඳ සිංහල පාඨකයා නොදැන නොසිටි නමුත්, සාහිත්‍ය කෘතියක් ඔස්සේ එම සංවේදී කාරණා මතුකරලීම අනාගතයේ හෝ අප රට විදේශ විනිමය ගෙන ඒමට විශේෂ දායකත්වාක් එම ජන කොටස කෙරෙහි වඩා සංවේදී වීමට හේතු වනු ඇත.  මෙම නවකතාව මා  දුටුවේ කතුවරියගේ සමාජ දේශපාලන පණිවුඩයට යාත්‍රාවක් බිහිකරනු වස් ඉදිකෙරුනු රචනාවක් බවයි. බොහෝ රචනා සියුම් ලෙස යම් සමාජ දේශපාලන කාරණාවක් මතු කරලීමට ලියූ ඒවා මුත්, නිර්මාණ සාහිත්‍යයේ සාර්ථකත්වය මනිනු හැක්කේ, එම නිර්මාණය සමෝධානයේ සාර්ථකත්වය මතය. මෙම සමෝධානය සාර්ථක කරනු වස් ය, කතුවරිය ගුප්ත සිදුවීම, කෲර සිදුවීම්, එම කම්කරු ජනතාව ට නින්ද නොයෑම, සිනා සීමේ නොදත්කම ආදිය මතු කර ඇත්තේ.   එම සියළු තැත් පාඨක අවදානයට ලක් වුව ද, අවසන් විග්‍රහයෙදී, නවකතාවක් ලෙස සමස්තය සැලකීමේදි මට නම් හැඟුණේ මෙය තරමක් ආයාසකාරී, පරීශ්‍රමයක් දරා ලියවුන්නක් ලෙසටය. නවකතාව පුරාවටම මෙය 'පිටු පෙරළවන සුළු' (page-turner) තත්වයකට පත් නොවේ. සමහර දීර්ඝ කොටස් නවකතාවට වෙසෙසින් යමක් එක්කාසු නොකරයි. පිටු 222 ක් වන් කෙටි නවකතාවක් වුව, මට මෙය කියවීමේ උනන්දුවක් අවසන තෙක්ම වගා කරහත නොහැකි විය.  අවසන සාපේක්ෂ වශයෙන් තිබුනාට යම් සතුටුදායක තැනක් එම කම්කරු ප්‍රජාව ට ලැබීමත්, ඊට ඇනීටා ගේ සම්මාදමත් නවකතාවට අවසන් පිටු කිහිපයේදී එතෙක් නොතිබූ රසවත් බවක් ගෙන ආ බවය, අපගේ හැඟිම.  මෙය බහුතර පාඨක ප්‍රජාවගේ ආස්ථානය නොවූ නිසා, එය පුද්ගලානුබද්ධ රසය පිළිබඳ ගැටළුවක් ද විය හැක. 

2023 වර්ශයේ නවකතා මෙතෙක් මා කියවා ඇත්තේ හතරක් පමණි ( තිවංක කතාව, ද්‍රෝහි, සිල්වර් ටිප්ස් අනෙක්වා ය). මේ සිව් නවකතාවන් කෙරෙහි මගේ එතරම් කැමැත්තක් නැති මුත්, සාපේක්ෂව කැමෙලියා ඉදිරියෙන් සිටී ( තව නවකතා 8ක් පමණ කියවීම ඉතිරිව ඇත).  එහෙත් මා බලාපොරොත්තු වූයේ සම්මාන තුනක් දිනූ නවකතාවක් කෙරෙහි මීට වඩා ප්‍රසාදයක් මා කෙරෙහි උපදිනු ඇති බවටය.

ශ්‍රේණිය: ***1/2