Tuesday, 20 September 2022

සී+ - සුරත් ද මැල්

 ලේඛකයාගේ 'ති හා තා' *1 කියවීමෙන් ලත් රස වින්දනය මත, කතුවරයා ගේ ඊළඟ කෘතිය කියවීම ට දෙවරක් සිතන්නට ඇවැසි නොවීය. ඔහු ගේ ඍජු ලේඛන ශෛලිය, අපේ පරම්පරාවට වඩා ආසන්න වීම,  ඒ කැමැත්තට හේතුවයි. (අවම වශයෙන් තී හා තා වලදි ; සී+ හා තී හා තා අතර වසර 15 ක පමණ කාල පරාසයක් ඇත )


එනමුදු, සී+ මං එතරම් කැමති ප්‍රධාන මාතෘකාවක් ගැන නොවේ - ඒ 'රියැලටි ෂෝ' ගැන වීම නිසාය. එම අකමැත්ත අවම කිරීමට අවශ්‍ය අනෙක් මාතාවන් තිබීම ද, ලේඛන ශෛලියක් භාවිත වීම ද, කියවීම තරමක් පහසු කරවීය. නවකතාව ම මානසී ගේ ආඛ්‍යායනයකි. ඇය ඍජු ලෙස ( ඉංග්‍රීසියෙන් blunt යන අදහසින්) තමනට කීමට ඇති දේ කියයි - ඇය සැම විටම නිවැරදි නොවේ *2. උපහාසය, අපහාසය, උපරිමයෙන් තිබීම එම ආඛ්‍යායනයේ ශක්තියයි. තරුණ තරුණියන්ගේ විශ්ව විද්‍යාල සමයේ නවකතාවක් කියවීම රසවත් දෙයක් බවට වෙසෙසින් කිමට දෙයක් නැත. නුතන පරපුර පෙර පරම්පරාවට වඩා තම ලිංගිකත්වය සහ  ලිංගභේදය ගැන ඇති නිදහස් බව, විවෘත බව, සහ නිර්භීත බව, කෘතියට අත්‍යවශය නැවුම්බවක් එක්කරයි.  අප සාම්ප්‍රදායික සිතුම් හා ගලපා කෙරෙන කර්කෂ විවේචන සමස්ත සමාජය කෙරෙහි යම් බලාපොරොත්තුවක් ඇති කරයි.

කිරුළක් වෙනුවෙන් තමනට තමන් ව නැති කරගැනීම යන කාරණාව, අප රටේ  වන් බලාපොරොත්තු වලට විලංගු ලා යෞවනත්වයට මුහුණ දෙන දරුවන් කියවිය යුතු කාරණාවකි. ඒ අර්ථයෙන් නව යොවුනන් ගේ සිට මේ නවකතාව කියවීම සුදුසු යැයි සිතමි. අප රට මාධ්‍ය ආයතන වල කෙරෙන  ජඩකම් ගැන වෙසෙසින් ලිවීම අනවශ්‍ය, ඒ ගැන රට ම දන්නා හෙයිනි - ඇරත් නවකතාව කියවන්නෙකුට ඒ ටික ඉතිරි කරමි.

ඒ සියල්ල මධ්‍යයේ, සහ නවකතාවේ සියළු වින්දනයන් මධ්‍යයේ මට මෙය තී හා තා තරම් සිත් ගත්තේ ද නැත. එය පෙර කී රියලිටි ශෝ අජීර්ණය නිසා පමණක් වූවක් යැයි නොසිතමි. එක් කාරණයකට මෙම නවකතාව දිර්ඝ වැඩිය. පිටු 50ක වත් සංස්කරණයක් කරලීමට අවකාශ තිබුනේයැයි සිතේ. කුතුහලය රඳවා ගැනීමට සමත් වුව ද, විටෙක විශ්වාසනීයත්වයේ සීමාව පැන ඇත්තේදැයි නොසිතුණා නොවේ. වරෙක කතුවරයා තම ප්‍රබන්ධය උදෙසා භාවිත කරන උපක්‍රම ආයාසකාරී ප්‍රයත්නයන් යැයි සිතේ ( contrived). එහෙත් ඊළඟ විනාඩියේදී සුරත් කෘතියට හාස්‍ය රසයක් ගෙනෙන්නේ, එම "අතිරික්තයන්" වලට සමාවක් දිමට අප ට බලකරිමිනි. බලන්න මේ නිදසුන:

"සනූජ් මගේ උරහිසට වාරු වී හිස තියා ගත්තා. අඬන කොල්ලෝ සනසන නැලවිලි ගීය මම මතක් කළා. ' උලත් එකයි. පිලත් එකයි. මළත් එකයි. නැතත් එකයි. අපි සමදා සොමියෙ ඉන්නවා' තමයි මට මතක් වුණේ. "(268 පිටුව)

නවකතාව කියවා අවසන නැවත මෙනෙහි කරලීමක යෙදෙද්දී, කතුවරයා නිරායාසයෙන් සමස්තය තුලින් පිළිඹිබු කරවන කාරණාකාරණා ම, නවකතාවේ සාර්ථකත්වයට වැඩි බරක් පටවයි. මේ තරුණියන් තවම තමන් ව තේරුම් ගැනීමට යත්න දරන්නෝය. එය උගෙනීමට මිලක් ගෙවිය යුතුය - අවාසනාවකට අයෙක් අනවශ්‍ය මිලක් ගෙවයි. මුතූ හා මානසී තම ආත්මයන් ක්‍රමයෙන් අවබෝධ කරගත් බවක් අඟවන්නේ, නිදහස් ජීවිතයක් ගැන සිහින මවමින් අප රට යම් සංස්කෘතික සීමාවන් ද හෙළිදරවු කරගනිමිනි. එලෙසම අයෙක් තම උන්නතිය සඳහා අනෙකෙකු භාවිත කරන්නේ නම්, එහි ආචාර ධාර්මික පක්ෂය කුමක් වේවා, ඒ තමන් භාවිතාවට ගන්න කෙනා ගැන යම් කියවීමක යෙදීමේ  වැදගත්කම ගැන යටිපෙළ මෙම නවකතාවේ ගැබ් ව ඇත. කිම ද අප සියළු දෙනා ම අන් අය අඩු වැඩි වශයෙන් භාවිතා කරන්නෝය - විටෙක එය අනෙකා කැමැත්ත මත ය, බල කිරීම මතය, විටෙක එය අප විසින් කෙරෙන බලාපොරොත්තු දීමක්, හෝ රැවටීමක් මතය. ඇතැම් විට මේ සියළු දෙනා පාවිච්චි කරාට පසුව අපි ම වැය වී (Burnt out) ගොස් ය.

කතුවරයා මෑත කාලින සිංහල සාහිත්‍යයට යම් නිදහස් ආරක් ගෙන අයගෙන් කෙනෙකි ( කෞශාල්‍ය කුමාරසිංහ, ලියනගේ අමරකීර්ති, එරික් ඉලයප්ආරච්චි, සහ ශමෙල් ජයකොඩි ද මීට සමාන දායකත්වයක් අඩු වැඩි වශයෙන් ගෙන ඒ). එහෙත්, කෞශල්‍ය සහ සුරත් ට, නූතන සමාජය, යොවුනන් ගේ ජීවන රටාව, ඔවුන්ගේ බලාපොරොත්තු, වින්දනය, පිළිබඳ වඩා පරිපූර්ණ අවබෝධයක් ඇතැයි පෙනී යයි ( නම් කී අන් ලේඛකයන්ට  වෘත්තීය පසුබිම, කියවීමෙන් ලැබෙන ආභාෂය, හා ලාංකීය සමාජයෙන් තරමක් ඈතින් ජීවත් වීම, ආදිය බලපානු පෙනේ). සුරත් හා කෞශල්‍ය එහි බද්ධ වූ කොටසක් වීම තුලින් ම ලබන්නකි. එය සිංහල නවකතාවට ගෙනෙන නැවුම්බව අපට අත්‍යවශ්‍ය ම වර්ණ ධාරාවකි.

ශ්‍රේණිය: ***1/2
නවකතා / සරසවි (2021)
2021 ප්‍රකාශ වූ නවකතා කියවීම -1



සටහන්:
*1-
https://me-and-err.blogspot.com/2021/12/surathdemel.html 
*2 - අප කතාකාරිය තමන්ගේ වයස අවුරුදු 20-23 කාල පරාසයේ සිදුවීම් ගෙනහැර දැක්වුවද, ආඛ්‍යායනය සිදුවන්නේ පසුවය. ඒත් තවම තම වයසේ තුන්වෙනි දශකයේ මුල් බාගයේ යැයි සැක කල හැක. ඇය කලාව ගැන කෙරෙනා ඇතැම් වැරදි අර්තකථන ස්වභාවික වැරදි ලෙස ම තිබීමේ වරදක නැත ( උදා - ඈත කඳුකර හිමව් අරණේ බුදුගුණ ගීයක් ලෙස කියවීම, killing me softly ගීතය රචනාව ෆ්‍රෑන්ක් සිනාත්‍රා ට බාර දීම). එලෙසම ඇගෙ මිතුරිය වන ඩිල් එල්ටන් ජෝන් සහ ජෝර්ජ් මයිකල් තම සමලිංගික තෝරාගැනීමට ගැලපෙන ගී නොකියූ බව කීම එම සංස්කෘතියෙන්, මුතූ ට පමණක් නොව, මානසීටත් වඩා ඈත අයෙකු ලෙස, පැවසීම තේරුම් ගත හැක. වෙසෙසින් මයිකල් ගේ මෙවන් ගී බහුතරයක් ඔහුගේ අවසන් ඇල්බම කීපයේ බහුල ය. වරෙක ඔහු නිනා සිමොන් ගේ "My Baby Just cares for me" ගීය ගයන්නේ, ඔහු ද My Baby ව he ලෙස ම  අමතමින්, ඔහු ගේ පෙම්වතා රිකී මාර්ටින්ගේ සිනාවට ද ඇලුම් නොකරන්නෙක් බව කයිවාරු ගසමිනි.