****
මෑත දිනෙක සුසන්ත මහ-උල්පතයන්ගේ පර්ජන්යා කෘතිය කියවා හමාර කලෙමි. එය කියවීමට ප්රථමවැ කෘතිය ගැන විචාර මා නෙත ගැටුණි. ඉන් ප්රධානම කාරණාව නම් "එක්තරා මතවාදයකට අයත් විශ්ව විද්‍යාල ඇදුරෙක් පර්ජන්‍යා, බණ පොතක් යැයි බැහැර කරයි" ලෙසට පාඨකයන් අතරට පැමිණී ආරංචියයි (කියවන්න දිනමිණ 2013/09/25 ; සාහිත්‍ය විනිසුරුවන්ට වඩා පාඨකයෝ දැනුවත්-මහාචාර්ය සුසන්ත මහඋල්පත). දෙවෙනි කාරණාව පොතක ගුණ වැණීම ඉතා දුර්ලභව කරන්නා වූ දිනමිණේ රංජන් අමරරත්නයන් "සම්මාන දෙනව නම්; මෙන්න නවකතා! " ලෙස පර්ජන්යා පිළිබඳ ප්රශංසාමුඛ කටගැස්මක් ඉදිරිපත් කිරීමයි. තෙවැන්න, මුහුණු පොතේ "පොත් කියවන අය" කණ්ඩායමේ කෙනෙකුන් මේ පොත කියවා එය ඉතා ඉහළ තත්ත්වයේ පොතක් බව කී විට, වයෝවෘද්ධ එක්තරා ලේඛකයෙක් ඒ පොත මුල සිට අගට කියවා හමාර කරලීම ම සමත් කමක් බව කියා පෑමයි (පොත කියවීම අපහසු බැව් ඉන් ඇඟවිණි ). මෙවන් ප්රතිවිරුද්ධ මත ඇති වටපිටාවක "පර්ජන්යා" කියවා, ඉන් ඇවෑමෙන් මහඋල්පත දිනමිණට දුන් සම්මුඛ සාකාච්ඡාව ද කියවීමි. එම සාකාච්ඡාව අතරතුර ලේඛක තෙමේ විනිශ්චය මණ්ඩල සාමාජිකයකු පර්ජන්යා පිළිබඳ නැඟුණු පැණකට පොත ගැන දුන් පිලිතුරක් ඉදිරිපත් කර තිබිණි. එය පහතින් දැක්වේ.
{* සුසන්ත මහඋල්පතගේ පර්ජන්යා වැනි නවකතාවක් ඔබේ අවධානයට ලක් නොවුණේ ඇයි?
පිළිතුර. - අවධානයට ලක්වුණා. එය හොඳ මට්ටමේ නවකතාවක්. ඒත් ඔහු යොදා ගත් භාෂාව නූතනයින්ට තේරුම් ගැනීම අසීරුයි. පූජාවලිය, අමාවතුර, කව්සිළුමිණ බස්වහර නූතනයින්ට තේරුම් ගන්න බැරි නිසා තමයි ඒවා සරලව තේරුම් කරන්න වෙන්නේ. ඒ වගේ ගැටලුවක් පර්ජන්යා පොතේ තියෙන්නේ. ඒත් ඒ පොත ඉවතට විසි කළ යුතු කෘතියක් නොවෙයි..... මා දන්නා තරමින් ඒ ආචාර්යතුමාත්,
බෞද්ධ සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයට සම්බන්ධයි. සීමිත බෞද්ධ නවකතා කිහිපය අතරින් (මා හිතන්නේ පර්ජන්යා ඇතුළුව බෞද්ධ නවකතා පොත් දෙකයි තිබුණේ) හොඳ ම බෞද්ධ නවකතාව තෝරන කොටත් අමාවතුර, බුත්සරණ භාෂාව නුසුදුසු යයි අදහසක් මතුවන්න ඇති. බෞද්ධ පොතපත කියවන පාඨකයා වෙත දයාවෙන් වෙන්න ඇති ඒ තීරණය ගන්න ඇත්තේ. " }මෙය කියවූ සැණින් මා හට ඇති වූ හැඟීම නම්, "අහෝ, අප රට පාඨකයන්ගේ සිංහල දැනුම මේ උගත් මහාචාර්යවරු කියන පරිදි ම, දුර්වල ද ? අහෝ! නූතනයන් මෙතරම් ම භාෂා දුර්වලයෝ ද ?", යන ගැටළුවයි. මාගේ අවංක අදහස නම් මේ ම
හැදුරන් අප පාඨකයන් පිළිබඳ දැඩි අවතක්සේරුවක සිටිනා වගකි. පෙර කී ද්වීභාෂා ලේඛකයාට මේ පොත කියවීම ම සමත්කමක් ලෙස හැඟේ නම්, එය ඔහුගේ සමස්ථ කියවීමේ දුප්පත්කම කියාපාන්නකි. ( කියවා හමාර කිරීම ම සමත්කමක් ලෙස හැඟෙනා කෘතියක් කියවීමට ඇවැසි නම් "තුඹරුප් - වීරපොකුණේ උපරතන හිමි" කියවන්න. උන්වහන්සේ සපයා ඇති ගැටපද විවරණය නොවන්නේ නම්, ඒ කෘතිය කියවීම තවත් අපහසු වනු ඇත. එහෙත් - හෙම්බා!! - එතරම් මනරම් බසක් - එවන් බසක් නොකියවූ දෑස් කුමට ? )
මේ නවකථාවේ කථා ධාරාව වනුයේ:
- පර්ජන්යා නොහොත් සුදන්ත කුමරු තම රජකම පිළිබඳව ද තැකීමක් නොකොට උදේනය අතැර දන්ත ධාතුන් වහන්ස (පරම අනූපමේයන් ) වන්දනා කිරීමේ අභිලාශ ඇතිව කළිඟු රටට පැමිණීමත්,
- පරම අනූපමයන් හා සබැඳි වන්දනා මාන විදි - පූජාවන් වල නිරත වීම තම ප්රධානතම කර්තව්‍ය බවට පත්කරගෙන කළිඟුවේ ගුහසීව රජමාළිඟාවේ විසීමත්
- එහි දී හේමමාළා නොහොත් මේඝහාරා කුමරිය හමුවී, ඔවුන් දෙදෙනා අතැර සංසාරගත බැඳීමක මතුවීමක් ලෙස පාඨක සිතේ ඇතිවනාකාර බැඳීමක් ඇතිවීමත්,
- පාණ්ඩ්‍ය ආක්රමණ හමුවේ ඒ දෙපළ සිහළද්දිපයට පමිණීමත්,
- දඹකොළපටුන- නාගවිහාරයේ කෙටි කාලයක් නතර වැ අවෑමෙන් අනුරපුර සම්ප්රාප්තිය හා කීර්ති ශ්රී මේඝවර්ණයන් දන්ත ධාතුන් වහන්ස පූජනීයත්වයෙන් යුතුව භාරගැනීම හා,
- සුදන්ත-හේමමාළා යුවල අනුරාධපුර පදිංචිව දේශීයකරණයට ලක් වීමත් යන කාරණාකාරනා ය ( ඔවුන් ගේ අනුරපුර ජීවිතයේ වසර දහයක පමණ කාලයක් විස්තර වේ ).
මේ කාල පරාසය හරහා දිවෙන නවකථාව සුපෝෂණය කරනුයේ වරෙක බුද්ධ චරිතය හා ආශ්රිත සිදුවීමක ආවර්ජනයෙනි. වරෙක බොධිසත්ව කථාපුවතකිනි. වරෙක ඓතිහාසික සිදුවීමක් ගැන දිගුහැරීමකිනි. මේ සියළු දේ විශ්වාසනීයත්වය ආරක්ෂා වන අයුරින් ලේඛන ගත වී තිබීම කතුවරයාගේ දක්ෂතාවයි. ඔහු හුදෙක් විශ්වාසනීයත්වය පමණක් නොව, මගේ කියවීම නිවැරදි නම්, හේ කලාව පිළිබඳ බෞද්ධ මතය තම පරමාදර්ශය කර ගත්තා විය හැකිය ( මගේ කියවීම සාවද්‍ය වීමට ඉඩ ඇති බව ද පිළිගනිමි ). ලේඛක තෙමේ පාඨක සිතේ රාග-දෝෂ-මෝහ ජනිත නොවීමට වග බලා ගැනීමට යත්න දරා ඇති සේ ය. අපට මේ පිළිබඳ යන් ඉඟියක් නවකථාව තුලින් ම ගෙනහැර දැක්විය හැකිය (42 -43 පිටු )
"බොරුවෙන් ජනයා සිනා ගන්වනවා නම් ඇලුම් කරනවා නම් පයාස නරකටයි යන්නේ. සත්යයෙන් පමණක් ඒ කාර්යය සිද්ධ කරනවා නම් පයාස දිව්‍ය ලෝකයට යන්න අපහසුවක් නෑ"
මෙය කියවීමෙන් අනතුරුව මා තාලපූට සූත්රය කියවූවෙමි. එහෙත් එහි පයාස නම් වූ දිව්යලෝකයක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා නොකරයි ( අට්ඨ කථා වල එවැනි
සඳහනක් වෙත් දැයි නොදනිමි; පායාස නිරය ගැන පමණක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරයි). එහෙත් මෙහි වැදගත් කාරණය වන්නේ, නාටගාමිණි සිය රැඟුම් මගින් හුදී ජනයා රාගයෙන්, දෝෂයෙන්, මෝහයෙන් ප්රමාදයට ලක් කරන්නේ නම්, මත්වීමට ලක් කරන්නේ නම්, හේ නිර ගත වන්නේ යැයි බුදු රදුන් තෙවැනි වතාවේ උන් වහන්සේගෙන් පෙරැත්ත කර විමසන කල දේශනා කිරීම ය. මේ
කාරණාව විවාද සම්පන්න නොවේ. එහෙත් යම් නාටක ගාමිණි කෙනෙකුන් හෝ අන් කලාකරුවෙකු හෝ ජනයා තුල රාග දෝෂ මෝහ වර්ධනයට ඉඩ නොදෙත් ද, හේ කලාකරුවකු වූ පමණින් නිර ගත වන්නේ නැත. අප දැන් නාට්යකරු යන්න සාහිත්‍යකරු යන්නට දිගු කලහොත්, සාහිත්යකරු ට ද මෙම සත්‍ය එලෙසම බලපායි. එනම් හේ රාග-දෝෂ-මෝහ වර්ධනයට, පමාවට, මත් වීමට කරුණු-කාරණා සිද්ධ කරයි ද, සාහිත්යකරුවා ද නිරයට යෑම වැලකිය නොහැක. පසු ගිය කාලයේ, සයිමන් නවගත්තේගමයන්ගෙන් අභාෂ ලැබුවා යැයි සිතිය හැකි ලේඛකයින්, නවගත්තේගමයන් භාවිත කල ඖචිත මාත්රාව ඉක්මවා ලිංගිකත්වය භාවිත කොට පොත් පල කළහ. අපි ලිංගිකත්වය මතු කල ඒ සිංහල කෘති කියවූවෙමු - ඒ ගැන කථා කලෙමු. අප බෞද්ධ සාහිත්යයේ ද කාමය ගැන කියවෙන ජාතක කථා නැතුවා නොවේ. එහෙත් ඒ මඟින් අවසන් අරමුණ ලෙස උත්සාහ දරා ඇත්තේ කාමයන්ගේ ඇති ආදිනව වටහා දී, රාග-දෝෂ-මෝහ ප්රහීන කිරීමට ය. මා මහැදුරු මහ-උල්පතයන්ගේ ප්රයත්නය නිවැරදිව කියවන්නේ නම්, ඔහුගේ උත්සාහය වී ඇත්තේ, නූතනයට අනුව "නවකථාවක් නම් මෙයැයි" යන සම්මත රාග-දෝෂ-මෝහ අවුළුවන නවකථාවක් රචනා කිරීම නොවේ - හුදී ජන පහන් සංවේගය උදෙසා තම නිර්මාණය යොමු කිරීමය. ඒ අර්ථයෙන් ගත් කල පෙර කී සරසවි
ඇදුරා ඔහුගේ නූතන දර්ශනයට අනුව මෙම නිර්මාණය බැහැර කලේ නම්, ඔහු මුසා බසක් දෙසා ත් නැති සේය. දොස ඇත්තේ නවකථාව නම් මෙයයි ඔහු අඳුනාගත් ආකෘතියක් තුල සිරවී සිටීම හා ඊට පරිබාහිර නිර්මාණ ඔහුගේ පටු ආකෘතියට ආධුනික නිසා ඒවා බැහැර කිරීමත් තුලය. ලේඛක මහඋල්පතයන්ගේ
අරමුණ වෙත නැවත යොමු වන්නේ නම්, ඔහු මා තේරුම් ගත් පරිදි තාලපූට සූත්රය මත පිහිටා තම නිර්මාණය සිද්ධ කලේ නම්, ඔහුට තම නිර්මාණය තුලින් රාග-දෝෂ-මෝහ වර්ධනයට අවකාශ නොවෙයි. එවිට ය පර්ජන්යා-මේඝහාර යුවල ලෝකාස්වාද රතිය පිළිකුල් කරන්නෝ, පර්ජන්යාගේ සොයුරිනි පුත් ජාලියයන් පුත් කමට බාර ගන්නෝ, බැව් අපට තෙරුම් ගත හැකි වනුයේ. මේ කාරණාව
පෘතග්ජන ලෝක සම්මතයට විරුද්ධ බැව් ලේඛක තෙමේ ම තෙරුම් ගත් බවත්, එය තම සිත් තුල සොල්මන්
කල බවත් යන්නට සාක්ෂි කෘතිය තුලින් ම අපට සාධක
මතු කර ගත හැක.
(342 පිට ) "මේඝහාරා, මේ දාර්ශනික කථා අප දෙදෙනාට මිස අන් කෙනෙකුට වැටහෙන්නේ නැහැ. පිටස්තර කිසිවකු මේ කථාව අසා සිටියා නම් ලෞකික විෂය ගැන නොදන්නා බෙලහීන අඳබාලයන් විලසට අප දෙදෙනා තේරුම් ගන්නවාට සැකයක් නැහැ. කරුණාකර ඔබේ තීන්දුව දෙන්න. එක්කෝ මින්නේරිය දෙවියන් උපකාරය නැතහොත් දුකුල් හා පාරිකා අනුගමනය කිරීම."
මේ අඹු සැමියන් අතර තමන් දරුවකු ලබා ගත යුත්තේ කෙලෙස දයි යන්නට සිදුවන පිළිසඳරකි. ඉන්ද්රීය පිනවීම තම
මුඛ්‍ය ජීවිතාභිලෂය කරගත්තවුනට, කාමාස්වාදයෙන් තොර ගිහි ජීවිතක් ගැන සිතිය නොහැක - ඒ අප නූතනයන් නිසාමය. ඒ අර්ථයෙන් ගත් කල ලේඛක තෙමේ මහත් නිර්භීත කර්තව්යයකය යෙදී ඇත්තේ - උඩු ගම් බලා යාමක් ම ය කර ඇත්තේ.නවකථාවේ 11-20 අතර පරිච්ඡෙද සීහලද්දීපය හා සබැඳිය. ඒ හරහා කතු, තත්කාලීන ආගමික, දේශපාලන, සමාජයීය විමර්ශනයක් කෘතිය තුලට සාර්ථකව කා වද්දා ඇත.
මෙතැන දී මා මහාවංශය දළඳා සමිඳුන් සීහළද්දීපයට වැඩම කරවීම ගැන කියවෙනාකාරය කෙරෙහි අවධානය යොමු කරන්නෙමි. ඒ මෙලෙසය:
"එ රජු දවස් නව වන වස එක්තරා බැමිණියක් තොමෝ බුදු රජහු දළඳාව කලිඟු රටින් මෙහි ගෙණවා එළු දළඳා වස කී පරිද්දෙන් රජ තෙමේ ඒ ගෙණ බහු මාණයෙන් උතුම් පුදකොට හුදු පිළිමිනින් කළ කරඬුවෙක බහා දෙවන පෑතිස් රජු විසින් රාජාරාමයෙහි කරවන ලද දම්සක් නම් ගෙයි වැඩූසේ ය. එතැන් පටන් ඒ ගේය දාඨාධාතුඝර නම් වීය. ඉක්බිති සම්පූර්ණ සිත් ඇති රජ තෙමේ නව ලක්ෂයක් ධන විසඳා දළඳා මහා පෙළහර කෙළේය. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩාගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි නියෝග කරවී ය." (37 වැනි පර්ච්ඡෙදය )
කීර්ති ශ්රී මේගවර්ණ රජු තෙමේ දින සිදු වූ දළඳා වැඩුම, ඊට අදාළ එළු දළඳා වංශයට විස්තර කිරීමට ඉඩ දී කෙටි සටහනකට ලඝු කිරිමටත් මහාවංශ කතුහිමියන් ක්රියාකොට ඇති බවත් පැහැදිළිය. ඒ නරනිඳු ද, තම පියාණන් මුල් යුගයේ තරමට ම නුවූවත්, සාපේක්ෂ වශයෙන් අභයගිරියට වඩා පක්ෂපාතීත්වයක් තිබූ බවට සිතිය හැකිය. පර්ජන්යා නව කථාවේද එම ඓතිහාසික පදනම භාවිත කොට ඇති සේයකි.
සාරාංශ කොට දක්වන්නේ නම් අනුරපුර යුගය අලලා ලියා ඇති සමාජ-දේශපාලන්-ආගමික විග්‍රහයන් පහත අවස්ථා හරහා දිස් වන බව වටහා ගත හැකිය.
-අභයගිරි -මහාවිහාර මත ගැටුම දළඳා සමිඳුන් පෙරහරින් අනුරපුරයට වඩිද්දී ම දිස් වෙයි. පෙරහරේ යන අය බුදු රදුන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහරක මින්නෙරි දෙවියන් වැඳුම (අභයගිරි පක්ෂාතිත්වය ) හා දර මිටි ඇත්තන් (මහා විහාර පාක්ෂිකත්වය ) ඊට විරුද්ධ වීම ඉතා ස්වාභාවික මත ගැටුමක් ලෙස ගොඩ නඟා ඉදිරිපත් කොට ඇති සේය.
- බොකුට්ටා නම් තරුණයකු මළ අතෙකුගේ දළින් නෙළු පිළිමයක් හේතුවෙන් හේ දඬුවමට ලක් වෙයි - ආඥ්ඥාව අධිකරන සංඝනායකගෙනි. මහ රජතුමා පවා ඊට ඉහළින් අණ නොදෙයි.
- බුදු දහම කෙතෙරම් ප්රචලිතව පැවතියද මින්නෙරි දෙවියන් වැඳීම ප්රචලිතය.
- දළඳා සමිඳුන් වැඩම්ම වූ පෙරහරේ කළ ගෙඩි නැටුමක් නැටූ දිගු වරලසක් හිමි දැරිවිය, ඊට වසර දහයකට පසුව මේඝහාරාට හමුවද්දී එවන් දිගු කේශකලාපයකට හිමි කම් නොකියයි - ඈ තාරුණ්යයෙන් ඈත් වී ඇත්තේ වයස නිසා නොව සාමාන්‍ය ජන ජීවිතය කටුක නිසා ය. ඒ, ඈ මේඝහාර වන් රජ කුමරියක් නොවන නිසාය.
මෙවන් සියුම් තැන් හරහා නවකථාකරු විශ්වාසනීයත්වය රැකෙනා අයුරින්, එහෙත් සාහිත්‍ය රසයත් රැකෙනාකාරයෙන් නිර්මාණය සම්පූර්ණ කොට ඇත.
නවකථාව පෝෂණය කරන්නා වූ අන් කරුන නම් බුද්ධ චරිතයේ හා බෝධි සත්ව චරිතයේ අවස්ථාවන් මුතු කැට පෙළක් මෙන් ඉතා උචිතාකාරයෙන් සිය නව කථාමය ගෙත්තම අලංකාර කරනු වස් භාවිත කොට තිබීමය. වෙස්සනතර කථාව වේවා, දූකුල-පරිකා කථාව වේවා, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිරික්සීමට පැමිණි උත්තර මානවක තෙමේ පිළිබඳ කථා පුවත වේවා, මේ සියල්ල හරහා නව කථාව ඉතා රසවත් කරයි. අනෙක් අතින් කතු අබිලාශය වන පහන් සංවේගය් ජනිත කිරීම පහසු කරවයි. මා වඩාත් සිත් ගත් පරිච්ඡෙදයක් වනුයේ අභයගිරි නෘත්‍යාගාරය තුල රඟදැක්වෙන නාට්‍යයක් අනුසාරයෙන් දිග හැරෙන ධාතු විභංජනය පරිච්චේදයයි. අම්බපාලි කථාව, පාපි මාරයා බුදු රදුන් ඇමතීම, බුදු පිරිනිවීමට ඉටා ගැනීම , ද්‍රෝණ බමුණු භුමිකාව ආදි විස්තර ඉතා මනරම් ආකාරයෙන් ඉදිරිපත් කොට ඇත. ද්‍රෝණ බමුනාගේ ධාතු විභංජනය ගැන අලංකාර විස්තරයක් ද වෙයි.
"විභංජනේ
නව දෝණේ
දඹදිව්
තල සත් ද්‍රෝණේ
එක්
රුවනක් දෙවියන්ගේ
අනුපමයන්
තම්මැන්නේ"
මදක්
නැවති සිතනා කල සුසන්ත මහ-උල්පතයන් අත ගසා ඇත්තේ එසේ මෙසේ කාර්යයකට නොව - ඔහු අප චින්තනය මත සිට නවකථාවක් ගෙතීමට යත්න දැරීමෙන් ඉතා අපහසු කර්තව්යයකට අත ගසා ඇති සේය. බණ පොතක් යැ, කියවීමට අපහසු බසක් යැ, එකී-මෙකී නොයෙක් ප්රතිචාර මෙවන් ප්රයත්නයකට ලැබීම බලාපොරොත්තු විය යුත්තක් ම ය. එහෙත් ඔහු ට දිරිමත් වීමට කාරණා ද ඇති සේයකි. මෙතරම් අධික පිටු සංඛ්යාවකින් හෙබි පොතක් වසරක් තුල දෙවෙනි මුද්රනයට නතු වීමම, පාඨක පිරිස් කෘතිය අතැර නැති බවට නිහඬ සාක්ෂි දරයි. ඒ කුමක් දෝ ලෙන්ගතුකමක් මෙවන් නවකථා තුලින් අපට දිස්වන නිසා වත් ද ?