Monday, 7 October 2024

සූදුරු අබා - අජිත් පැරකුම් ජයසිංහ

 මෙ වසරේ විදර්ශන අත්පිටපත් තරඟය ආරම්භ විය. එහි ජයග්‍රාහි කෙටිකතා සංග්‍රහය , අජිත් පැරකුම් ජයසිංහ ගේ 'සූදුරු අබා' ලෙස තේරිණ. කතුවරයාගේ නම මුහුණුපොතේ දැක පුරුදු මුත්, ඔහුගේ පෙර පළ වූ සාහිත්‍ය නිර්මාණ මා කියවා නැත. කේපොයින්ට් යන පොතක් ගැන අසා තිබුන ද, එය නවකතාවක් යැයි දැනගත්තෙ ද මේ කෘතියේ වූ 'කතෘ ගේ වෙනත් පොත්' සඳහනි නි.


මෙම කෙටිකතා සංග්‍රහහයේ එන සුවිශේෂි, සම්පූර්ණ, විශිෂ්ඨතම කෙටිකතාව, සංග්‍රහයට නම් දුන් 'සූදුරු අබා' මැයි. අසම්මත පෙමක් ගැනත්, ඉන් එක් පාර්ශවයක් සම්මත බැඳීමකට යොමු වූ පසු ඈත් වීමත්, පෙර කල ඔවුන් දෙදෙනාගේ බැඳිමේ තරම ඉඟිකර ඇති අයුරුත් ඉතා අපූරුය - නිර්මාණාත්මකය. සම්ප්‍රදායික එක්වීමක් ගැන පමණක් ම විශ්වාස කරන්නවුන් අතර, 'වඩා වෙනස් කෙනා' ඉවසිමෙන් තම දෛවය භාර ගන්නා උපේක්ෂාව පාඨක සිත සසල කිරීමට සමත් ය.
"ඔහු ඒවි ඔබ යාවි පතිනිය වී
ඔබෙ යෙහෙළි තනි වේවි මුකුලිත වී"
කලක් යන කල් මට අමතක නොවෙන කෙටි කතාවක් වනු ඇත. මෑත කල සිංහල සාහිත්‍යයේ බිහි වූ සුවිශේෂිම කෙටිකතා අතරට පාත්‍ර වීමට සාහිත්‍යමය වටිනාකමක් එහි දුටුවෙමි.

මෙම සංග්‍රහයේ එන කෙටි කතා නමයම විවිධාකාරය. 'සූදුරු අබා' මෙහි අග්‍රඵලය වුව, අන් නිර්මාණ කිහිපයක් ද සාර්ථක කෙටිකතා අතරට එක්කල හැක.

මෙහි එන 'පුංචි පැදුර' වෙසෙස් නිර්මාණයකි. කුඩාවෙකුගේ මනසින් රචිත මෙය මට මතකයට නැගුවේ හෙමිංවේ ගේ නික් ඇඩම්ගේ කුඩා කල විස්තරය. එපමනින් ම කුඩාවෙකු ගේ මනසේ අලංකාරය, අහිංසකත්වය, භීතිය, කුකුස පාඨකයාට සංවේදනය වේ. කතුවරයා මෙම නිර්මාණය ට යොදා ඇති සරල භාෂාත්මක විස්තරය, වෙලේ ජලයේ සිසිල, ඉහළින් පතිත දැඩි හිරු රැසේ රශ්මිය පමණක්, නොව මාළුවෙකුගේ කෙටීම ද පාඨකයාට දනවන සුළුය. ඒ සියල්ලට 'කටපොඩි සිරිතිලක මාමා' ගේ විස්තරය කෙටිකතාව ට ගම්වල ඇති ගුප්ත චරිත, අතුරු කතා එක්කාසු කොට, රසගුලාවක් තනයි. එය ලාංකීය නික් ඇඩම් චරිතයකට, වික්‍රමසිංහගේ 'අපේ ගමේ' චරිතයක් හමු වූවා සේ ය.

ලාංකීය ආගමික සංස්කෘතියේ විකෘතිය, අද වන විට සාමාන්යකරණය වී, එය ස්වාභාවික වී ඇති අයුරු අඟවන අපූරු කෙටිකතාවකි 'පිරිත් කියනවා, මිනිත් මරණවා'. පහත පරිච්ඡේදය බලන්න අප සාමාන්‍යයැයි පිළිගෙන ඇති විකෘතියේ තරම ඉන් කියැවේ.

"නෑබඩ සිල්වතා කතා නැතුව කට කපලා බ්‍රැන්ඩි වීදුරු දෙකක් ෂැන්ඩි නැතුවම දාගත්තා එක නිමේෂයකටවත් මුහුණෙ මාංසපේශි තිත්ත නිසා ඇඹරුණේ නැහැ. බයිට් එකට තිබුණු ගෝනමස් දිහා නෑබඩ සිල්වතා ඇස් ඇරලවත් බැලුවේ නැහැ.

'මං මස්, මාළු කන්නේ නැහැ. එළවළු විතරයි දැන් අවුරුදු දහයක විතර ඉඳන්'"

මෙහි එන 'අත් පොරොව' කෙටිකතාව ද, අප රට විකල්ප නැති, එහෙත් තමනට අවශ්‍ය දේ හොඳින් හෝ නරකින් හෝ ලබා ගැනීමට පසුබට නොවෙන ජනයාගේ දෘෂ්ඨියෙන් ලියැවී ඇති කෙටිකතාවකි.  අප රට වැඩි පිරිසක් සාම්ප්‍රදායික ජීවිත වලට, තම දිවියේ විඳීම් කැපකර විඳවති - එය විඳවන බවට වන සිතුවිල්ලකට පවා තමන්ගේ මනස විවෘත කර නොගනිති. අනෙක් අතට තම ජීවිතය තමනට ලැබී ඇති වටපිටාවෙන් රසවිඳින අයවළුන්, එහි දී තම උන්නතිය සඳහා ගන්නට පැකිලෙන අවදානමක් නැති තරම් ය. පාඨකයෙකුට භීතිය හඟවන නිර්මාණයකි.

මේ කෙටිකතා හතර මේ සංග්‍රහයේ එන සාර්ථකම කෙටිකතා හතරය. අනෙක් පහෙත් රසවිඳිය හැකි කෙටිකතා ඇත. 'හකුරු වෙහෙර' ඉහත කී හතර ආසන්නයටම හැකි තරමේ විභවයක් ඇති කෙටිකතාවකි. 'චිලා මෙට් විත් ඇන් ඇක්සිඩන්ට්' හි උපහාසය බුහුටිය, රසවත් ය. 'සමූල ඝාතනය' අපේ අධිපතිවාදි සමාජයට ටොක්කකි. ආගමික භක්තියයි, ප්‍රචන්ඩත්වයට පක්ෂ වීමයි අතර පෑහීම බෙදිම් රේඛා වලින් හඳුනා ගත නොහැකි තරම්‍ ය. වෙසෙසින් පාසැලේ ගේට්ටුව අසල ඇතිවන ඝෝෂාවේ වචන විකෘතිය පෙන්වා ඇති අයුටු අපූරුය.

මේ කෙටිකතා සංග්‍රහය ලබන වසරේ සම්මාන කෙටි ලයිස්තු අතරට ඒමේ සම්භාවිතාවය ඉහළිය. ඊට සුදුසු ඉහළ නිර්මාණත්වයක්, විවිධත්වයක්, සහ අප සමාජය කියවීමේ අවංකබවක් මෙහි ඇත. සිංහල කෙටිකතා කියවන් පාඨකයින්ට අනුමත කරලීමට නොපැකිලෙමි.

ශ්‍රේණිය: ****1/2


Saturday, 5 October 2024

බන්දුජීවගේ ධූමලාවණ්‍යාගාරය

 මේ පොත බන්දුජීවගේ ධූමලාවණ්‍යාගාරය යි. මෙය 'ධුමය' මගින් 'හැඩගැන්වූ' කාව්‍යමය නවාතැනක් ද ? එය තිප්පොලක් ලෙස දැකීම පාඨක මගේ දොසක් ද ?


මේ ධූමලාවණ්‍යාගාරය තුල එතරම් පුහුණු නොකෙරුණු සාමාන්‍ය පාඨක කියවීමට අපට:

-  සුරාව භාවිතාවේ විනෝදය මතක් වින (සුරාසල් කවි)

'කළුබෝවිල පොල්වත්තේ රා පොළටත් ගියා
බෙල්ලන්විල මල්නයිදෙගෙ රා පොළටත් ගියා
තුම්බෝවිල රතුහාමිගේ රා පොළටත් ගියා
කොහෙවත් ගියෙ නැති විදිහට පිනා ගෙදර ගියා'
- සිසිෆස්ගේ සතුටවන් දර්ශනික ගැටළු (රූපකයක් විලස වලසුන්) සිහි ගැන්වින

'අපේ කඩිසරකමින් අලස වලසුන්ට මිස
ජනපදේ අපෙ උන්ට ලැබෙන මොකවත් නැත්ද
වලස් නිය පහරකින් ඇද වැටෙන්නට කලින්
කල්පනා කරමි මම "ඇත්තටම මුන් කවුද?"'

-  දේශපාලනේ ඒ පක්ෂෙන් මේ පක්ෂෙන් පැනීම් වැනි අපට පුරුදු දේ කාව්‍යමය ව්‍යංගර්ථයෙන් කියවීමි (මකුළුවා බැටළුවා කොටළුවා දළඹුවා සහ පිනිමුවා) 

'අලුත් ආණ්ඩුවෙ උයනේ
මයික්වල රොන් උරයි
පෙර පැවති ආණ්ඩුවේ ඇඟපතේ
පලු මැවූ දළඹුවා'

- වීරයන් බිහි කරන්නට, පිටියට තනියෙන් සටනට පැමිණ කැප වූ විල්සන් කරූ ව වෙනත් කෝණයකින් දිටිමි (යටත් වුණි වීරයන් රජයට )

'එක වීරයෙකුට දෙක ගාණෙවත්
දුෂ්ටයන් සිටිය යුතුම මොහොතක
හටන් කරනට නම් දැරූ
වරින් වර මට සිහිව ඒ
සටන් නළු විල්සන් කරූ'

- කිසිදු බලාපොරොත්තුවක් තැබිය නොහැකි මැතිවරණ වලදි අපේ කවියා  එක්  අහිංසක සිහිනයක් පමණක් හෝ මුදුන්පත්වේවා යි කියාය (මැතිවරණය දා මගේ කුඩා හිමිදිරිය)

'"කැනබීස් යෝධයා පැමිණ
පෙරදිග බන්ධනාගාරය සිඳ බිඳ
මුදාගෙන සිරකරුවන්
අම්බරයට විසි කරත්වා !" කියා
ඔව් - මං ප්‍රාර්ථනා කෙරුවා'

මේ අප විඳි අවස්ථා පහක් සැකෙවින් ය. සමහර කවි වල පිටුපස කතා ඇත (නෝනාගේ ඉලව් ගෙදර, මල් අල්මේදා පිළිබඳ, සුදෝ සුදු). ඒවයින් පාඨකයා විඳින්නේ අතීතයේ සිදුවිමක් වර්ණ අවපැහැව දකින්නාක් මෙන් හැඟීමකි -කිමද ඒ පසුබිම් කතා ගැන අපට පූර්ණ අවබෝධයක් නොලැබෙන හෙයිනි. කවිය තම පබැදුමෙන් එවන්නක් කරනවා කියන්නේ ම ඔහු ගේ සමත්කම ය. සමහර කවි පංති තුල එක් එක් මතෘකා පිළිබඳ රස වෑහෙන කවි තිබුනද, සමස්ත කවි පංතිය ම 'කුමක් හෝ පටලයකින් වැසී ඇත්තාක්' සේය ( තියෙනවා - තියෙනවා - තියෙනවා)

මේ සංග්‍රහය තුලින් කවියා මීට වසර එකොළහකට පෙර පළ කල 'මීළඟ මීවිත' ට වඩා පාඨකයාගෙන් යමක් බලාපොරොත්තු වෙයි. ඒ බලාපොරොත්තු වූ කාලය, වටහාගැනීම, (සහ සමහර විටෙක මෙය කියවන විට, මත්වීම ?), මා තුල තිබුනේ ද යන්න ද ගැටළුවකි. මේ සංග්‍රහය 'මීළඟ මීවිත' තරම් ඉක්මනින් ජනප්‍රියත්වයට පත් නොවෙන්න ට ද පුළුවන (ඔහු ගේ කීර්තිය නිසා එය හොඳින් අලෙවි වීම අනෙකකි ). එහෙත් මෙය 'තැපෑලෙන් වදින' මීවිතක් වීමට අවකාශ ඇත. කවියා වසර දහයක් ම ගත කරන්නට ඇත්තේ ඊට අවශ්‍ය පැසවීම ලබාදීමට විය යුතුය. ඒ අර්ථයෙන් නම් මේ අදහස් දැක්වීම ම, පොත කවරෙන් කවරෙට කියවා ලියූවද, අර්ධ කියවීමක් වීමේ අවකාශ බොහෝය.

ශ්‍රේණිය: ****
ජයග්‍රාහක - 2023 හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි විද්‍යෝදය සම්මානය,
නිර්දේශිත - 2023 හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රජත සම්මානය


 



 

Monday, 30 September 2024

පාත්ත රංචුවේ හොන්ක් හොන්ක් හඬ - අනුසාර මාහිංගොඩ

 2021 ගොඩගේ අත්පිටපත් තරඟයේ ප්‍රශස්ත කෙටිකතා සංග්‍රහය ලෙස තේරුණු, අනුසාර මාහිංගොඩගේ 'පාත්ත රංචුවේ හොන්ක් හොන්ක් හඬ' කියවුවෙමි. කෙටි කතා හතකින් සපිරි මෙම සංග්‍රහයේ  යම් අපූරු අවස්ථා කෙටිකතා කිහිපයක් තුල දිටිමි. කෙටිකතා තුනක් පමණ අන් කතා වලට වඩා රසවිඳිමි. නුමුදු සමස්ත සංග්‍රහයක් ලෙස එය සාමාන්‍ය රසවිඳීමකින් ඔබ්බට මා හට වෙසෙස් ආමන්ත්‍රණයක් කලේ යැයි නොහැඟිණි.

'තිස්ස මුවා ව මැරුවා' කෙටිකතාව අප රට අපරාදකරුවන් හා පොලිසිය සම්බන්ධ සුලභ සිද්ධියක දේශපාලන පසුබිම කෙසේ ගොඩනැගේද යන්න ගැන කියවේ. එහෙත් එහි අපූරුව ඇත්තේ එය ඉදිරිපත් කර ඇති ආකාරයෙහි ය.

'යකඩයෙක් එක්ක හටනක්' හි කතාවේද අපූරත්වය ඇත්තේ නිර්මාණය ඉදිරිපත් කර ඇති අයුරෙහිය. එහි යම් නිර්මාණශීලිත්වයක් ඇත. කතාවේ සුලභ බව  අර කියු අපූරත්වය විසින් යම් තාක් දුරට අඩු කර, සමස්ත නිර්මානයට යම් වටිනාකමක් ලබා දේ. 

'පෙම් යුවළ' මෙහි එන සාර්ථකත්වයෙන් වැඩි නිර්මාණයකි. ප්‍රේමයේ සදාකාලිකත්වය ගැන උපහාස රසයකින් විමසන මෙම නිර්මාණය, යථාර්තවාදයෙන් ඔබ්බට ගොස් ඇවැසි පණිවුඩය ගෙනදෙයි.

"කට්ටියම හිටියේ අලුත් පඹයත් එක්ක. තමන්ගේ ජීවිත කාලයට පඹයි කීදෙනෙක් නම් මේ කෙතේ හිටවන්න ඇද්ද"

ව්‍යංගයෙන් සැමදාට අදාළ වන දේශපාලන සත්‍යයක් ගැන කියවෙන 'බජිරි' ද මෙහි එන සාර්ථක නිර්මාණයක් ලෙස දකිමි.

'මායා යතාර්තවාදයත්, විප්‍රලාපී, අයුරකින් ලියැවී ඇති 'ඇමොසෝරස්' නැවුම් නිර්භීත උත්සාහයකි. එවන් සාහිත්‍ය ට නැඹුරු අයෙකුට එහි රසවින්දනයක් තිබිය හැක.

'කවුද පිස්තෝලේ ගත්තේ', 1983 පමණ කාලයේ දමිළ යුවතියක් කෙරෙහි තිබූ ආකර්ශනය හමුවේ මෙහි එන කතානායකයා කල අපරාදයක්, සහ ඉන් පසු ඇති මානසික තත්වයක් ගැන විමසුමකි. කෙටිකතාව සමස්තයක් ලෙස අසම්පූර්ණ යැයි සිතෙනා සුළු නිර්මාණයකි.

මෙහි එන දීර්ඝතම කෙටිකතාව වූ, සංග්‍රහයට නම දුන් නිර්මාණයත  මෙම සංග්‍රහයේ සාර්ථකම සහ රසවත් ම කෙටිකතාව ය. ඇල්සයිම රෝගයට හෝ තම සිතේ ඇති වරදකාරි මතකයන්ගෙන් සමාවක් නැති බවක් ඉඟිකෙරෙන මෙම කෙටිකතාව, කතුවරයාගේ සමස්ත රචනා හැකියාවන් විදහා දක්වන්නක් සේය.

නිර්මාණ කෞශල්‍යත්වයකින්, සහ නවීන ආරකින් කෙටිකතා නිර්මාණයට මැලි නොවන කෙටිකතාකරු අනාගතයේදි තම උපරීම දක්ෂතාවන් පෙන්වනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි. මෙහි එන 'පෙම් යුවළ', 'බජිරි', සහ 'පාත්ත රංචුවේ හොන්ක් හොන්ක් හඬ' යන කෙටිකතාත්, අන් නිර්මාණ වලදි ඔහු තෝරාගෙන ඇති  ඉදිරිපත් කරලීමේ නැවුම් විදික්‍රමයන් එම අපේක්ෂාව අප තුල එම අපේක්ෂාව ඇති කරයි.

ශ්‍රේණිය: ***
2021 ප්‍රකාශ වූ කෙටිකතා කියවීම: 5


Friday, 27 September 2024

කුර හඬෙකි වියැකෙන - නෝබට් අයගමගේ

 මා මෙම ලේඛකයාගේ 'කාල නදී ගලා බසී' කියවා ඇත්තේ 2015 වසරේ ජුනි මාසයේය (1). එහි ගුණාගුණ මේ ලිපිය අග යොමුවේ ඇත. කාල නදී ගලා බසී හි ධනාත්මක පක්ෂය කෙසේ වේවා, ඔහුගේ ඊළඟ නවකතාව වූ 'සුර අසුර යාමය' කියවීමට මා තෝරා නොගත්තේ ය. එහෙත්, 2022 වසර සඳහා 'ස්වර්ණ පුස්තක සම්මානය' සහ 'රාජ්‍ය සාහිත්‍ය සම්මානය' යන සම්මාන දෙකම ජය ගත් නවකතාවක්, එසේ සම්මාන දෙකක් දිනීමට කාරණා කිම යැයි සෙවීම සිංහල නවකතාව ගැන උනන්දු අයෙකුට මග හැරිය නොහැක්කකි. එය ය  මේ නවකතාව කියවීමට හේතුව.

ලේඛකයා, පාඨකයා පොතෙහි රඳවා ගැනීමට සමත් ය. ඒ ඔහු කුහුල දනවන අයුරින් ලිවීමට සූර හෙයිනි. ඔහු කතා ගෙතීමට දක්ෂය. මෙම නවකතාව පාඨකයන්ගේ ඇගයුමට ලක්ව ඇත්තේ නම්, ඒ අයගමගේ ගොතා ඇති සාර්ථක කතාන්දරය නිසාය. ඊට පරිසර වර්ණනා, පෙර යුගයක සමාජ විස්තර එක්කාසු කල විට, සාර්ථක පාර්ශවයට බරැති නිර්මාණයක් බිහි වේ. කතුවරයා ශුංගාරය මතුවන අවස්ථා ද නොමසුරුව එක්කාසු කොට ඇතත්, එහි සාර්ථක අවස්ථා මෙන්ම, සල්ලාල  කාමුක අහේනියක් අඟවන  අවස්ථා ද ඇති හෙයින් කතුවරයාට සමහර සිදුවීම් ගැන ලියද්දී වෙනත් විදිහකට ලිවීමට තිබිණ. අප ට කිසිදා අත්නොවිඳිය හැකි තවලම් ජීවිතය, මීට වසර 80-90 ට පමණ පෙර අම්බලන්තොට ගඟේ වාඩිය ආශ්‍රිත ජීවන රටාව ආදිය සිනමාවක් නරඹනා සෙයින් අප ඉදිරියේ මැවීමට ඔහු සමත් ව ඇත. මේ විස්තර අනුව මෙම නිර්මාණය සාර්ථක එකක් වන්නට ඇති නේද ?

ඒත්, ඉහත ධනාත්මක සාධක ගෙන එන සාර්ථකත්වය ඒ අයුරින් ම මුදුන්පත් කර ගැනීමට අයගමගේ සමත් ව නැත. 'කාල නදී ගලා බසී' විචාර ය කියවන්න - එහි සාදීරිස් තවෙකෙකුට නොදෙවෙනි වීරයෙකි. එවන් ගනයේ වීරත්වයක් නොපෙන්වන්නෙකු අයගමගේ නවකතාවක ප්‍රධාන චරිතයකට තවම ආගන්තුකය. ස්ත්‍රීන් සිත් දිනා ගන්නට සමත්, යුක්ති ගරුක, සටනෙහි සමත්, නිර්භීත - මෙවන් චරිත කොහේ සිටිත් ද? පැරණි කතාන්දර වල සිටිත්. මට වරෙක මෙම නවකතාව ජී. බී. සේනානායකගේ 'වරදත්ත' මතකයට නැඟීය. ඒ පෙර කලෙක විස්තර ලියා ඇති අපූරුව, ගමන් විස්තර ආදිය නිසාය. එහෙත්, එහි ඩිංගිරාල වැනි අසමසම වීරයන් සිටියේ නැත. වරෙක නිවැරදි, වරෙක වරදින, මිනිසුන්‍ ය එහි ප්‍රධාන චරිතයෝ. අනෙක 'කුර හඬෙකි වියැකෙන' හි අන් සැලකිය යුතු චරිත පෝෂණය කොට ඇති ප්‍රමාණය මදිය. තැන්නේ අප්පෝ ඉන් ප්‍රධානය - ඔහු සැම දා සෙවණැල්ලේ සේ ය. ඔහු සිතුම් පැතුම් ඇති මිනිසෙකු ලෙස මතු වන එකම අවස්ථාව ඔහු මුහුණ දුන් ඔහුගේ දෛවය තීන්දු කල අනතුර අවස්ථාවේදී පමණය. සමහර අවශේෂ විස්තර මගින් නවකතාව අනවශ්‍ය ලෙස දීර්ඝ ගන්වා ඇත. මෙලෙස නවකතාව දීර්ඝ කරලීම ගැන තව දුරටත් කතා කල යුතුය.

මා මෑතක කියවූ අතිසාර්ථකම නවකතාව, කෞශල්‍ය කුමාරසිංහගේ 'නිම්නාගේ ඉතිහාසය' යි (4). දීර්ඝ නවකතාවක් වුව ද එහි අනවශ්‍ය එකම ඡේදයක් හෝ තිබුනේයැයි මට නොසිතිනි. ඊට සාපේක්ෂ ව මෙම නවකතාවත්, මීට පෙර මා කිය වූ ඉලයප්ආරච්චිගේ 'තිවංක කතාව' ත් අනවශ්‍ය ලෙස දිගු කොට ඇති නවකතාය. ඇත්තෙන් ම තිවංක කතාව මේ අර්ථයෙන්,  කුර හඬෙකි වියැකෙන ට වඩා අන්තය (බලන්න 2). ඉලයප්ආරච්චි යනු වර්තමාන සාහිත්‍යය ට, බගන්දරා, රතු පලස වන් අතිසාර්ථක දීර්ඝ නවකතා අපට ලබා දුන් ලේඛකයෙකි. එහෙත්, තිවංක කතාව තුලින් ඔහු ඔහුගේ සිත් හි ඇති වන බොහෝ අදහස් වලට පාලනයකින් තොරව ඉඩ දී පාඨක කාලය සුළු කොට තකා ඇත. මෙම නවකතා කියවන සමහර අයවළුන් එසේ කියවන්නේ අන් දෙයකට යොමු කල හැකි කාලයක් කැප කරමිනි. නූතන ලෝකය හෑලි වෙනුවෙන් කාලය ඉඩ නොතබයි. අපගේ හිත මිතුරන් අතර ද දීර්ඝ කතාවට යොමු වෙන්නන් දුර කතන ඇමතුමක දී හෝ කෙටි කරලීමට උත්සක වන කාලයකි මේ. අප සමහරුන් කෙටි පණිවුඩ වලට යොමු වන්නේ මේ අභියෝගය නිසාය. එවන් වටපිටාවක, කිරිකාරයෙකුට 'වාසනාවක් පාත් වෙන' අවස්ථාවක් නවකතාවට අදාළ නොවන්නේ නම්, එ ගැන කියවීමෙන් නූතන පාඨකයෙකු ශුංගාර රසයක් විඳිතැයි සිතිය නොහැක. 

මෙම නවකතාව රසවත් ය. කතාන්දරයක් ලෙස වඩාත් රසවත් ය. එහෙත් මෙම කෘතිය  අප රට ප්‍රධන සම්මාන දෙකක් ම ජයග්‍රහණය කරලීමට සමත් වූවේ, එම වසරේ අන් නිර්මාණ එතරම් සාර්ථක නැති නිසා ද ?  මට තව 2022 ප්‍රකාශ වූ නවකතා රැසක් කියවීමට ඉතිර ව ඇත. දැනට කියවා ඇති නවකතාවලින් රස වඩාත් රස වින්දේ ගිරිජා ය(3). ගිරිජා ද යම් වීරත්වයක් පෙන් වූ අසමාන චරිතයක් වුව ද, පාලනයකින් තොර කේන්තිය ආදි ලක්ෂණ මගින් ඇයට යම් විශ්වාසනීයත්වයක් ලබා දී තිබුණි - අරත් එහි ප්‍රධාන ආඛ්‍යායනට අදාළ නොවෙන සුළු විස්තර නැති තරම් ය. ඒ අර්ථයෙන් අවම වශයෙන් ගිරිජා මීට වඩා, තරමක් හෝ ඉදිරියෙන් ඇති බවකි, අපගේ සාමාන්‍ය පාඨකයකු ලෙස තක්සේරුව.

ශ්‍රේණිය: ***1/2
2022 ප්‍රකාශ වූ තෝරා ගත් නවක්තා කියවීම - 4


(1) - කාල නදී ගලා බසී: https://me-and-err.blogspot.com/2015/06/blog-post_25.html
(2) - තිවංක කතාව: https://me-and-err.blogspot.com/2024/08/eric-thivanker.html
(3) - ගිරිජා: https://me-and-err.blogspot.com/2024/07/manoharijayalath-2022.html
(4) - නිම්නාගේ ඉතිහාසය: https://me-and-err.blogspot.com/2020/11/blog-post.html

Saturday, 14 September 2024

හිත හදාගත් කෙනෙක් - සමිත බී. අටුවබැන්දෑල


 සමිත බී. අටුවබැන්දෑල කවියාගේ, 'හිත හදාගත් කෙනෙක්' කාව්‍ය සංග්‍රහය කියවීමි. මීට පෙර කවියාගේ 'කඳු මුදුන' කාව්‍ය සංග්‍රහය කියවා එය මහත් රස වින්දෙමි (1). කවියා 'කඳු මුදුන' පළ කොට වසර නවයකට පසුව ය ඔහු ගේ නවතම කාව්‍ය සංග්‍රහය ප්‍රකාශ කොට ඇත්තේ. ඔහුගේ මුල් ම කාව්‍ය සංග්‍රහය වූ 'සංසාර මාවත' ප්‍රකාශ කොට ඇත්තේ 2003 වසරේ දී ය. මින් කවියා තම කවිය ඔපමට්ටම් කර අවසන් නිර්මාණය උදෙසා ගන්න කැපවීම පිළිබඳ යම් ඇඟවීමක් පෙනවන්නේ ද ?

 මෙම කාව්‍ය සංග්‍රහයේ කවි පංති 25ක් හමු වේ. ඉන් දුර්වල යැයි කිව හැකි ඒවා නැති තරම්‍ ය. ඔහුගේ කවි බස, මුඛරිය, බුහුටිය, වරෙක හාස්‍යරසයක් ඇත, තවත් වරෙක සෝපාහාසයක් ඇත, අනවශ්‍ය වචන අඩුය. මේ ලක්ෂණ නිසා මේ කාව්‍ය සංග්‍රහය මා සිත් ගත්තේය. එහි නිසැක ලෙස ම කුමාර හෙට්ටිආරච්චිගේ ආභාෂයක් ඇත (එකම වෙනස කුමාර වසරකට කාව්‍ය සංග්‍රහයක් හෝ ඊට වැඩි ගණනක් ප්‍රකාශ කරද්දි, සමිත වසර දහයක් ගෙන ඔහුගේ හොඳම කවි ප්‍රකාශ කරතැයි මට සිතේ.)

මෑතක මා කියවීමට උත්සාහ දරා, යම් යම් හේතු නිසා මග අතැර දැමූ කාව්‍ය සංග්‍රහයන් වේ. ඒවා බොහෝ විට අධිමාත්‍රාවෙන් භාවාතිෂය ය; පද බැඳීම දුර්වලය; ඒවා හි මාතෘකා බොහෝ විට සුලභය. සාමාන්‍යයෙන් කවි පොතක් කියවීමට යන කාලය සාපේක්ෂ වශයෙන් අඩු වන්නේ විෂයීක පොතකට පමණය. කිමද කවෙන් කව දෙතුන් වතාවක් කියවා කවි සිත හඳුනාගැනීමට ගන්න ප්‍රයත්නයක් එහි ඇති නිසාය. ඊට අමතරව කවිය කියවාගෙන යන විට එහි ගැබ් වූ රිද්මයක් එම කියවීමේ ගමනට උත්තේජනයක් ගෙනෙන සුළු විය යුතුය. ඉතින්, කවිය යනු මේ සියල්ල පාඨකයා පාදාගෙන යන ගමනක් ය. එම පාදාගැනීම අපහසු එකක් නම් ( අපහසු වීම කමක් නැත), ඊට රසාස්වාදයෙන් ලැබෙන ප්‍රතිලාභ ඉහළ තලයේ විය යුතුය. එම ප්‍රතිලාභය අඩු නම්, වැඩි මිලක් දී අඩු වටිනාකමක් ඇති කෑමක් වේලක් ගන්නවා වාගෙය. කවි පොතට ගෙවන මිල, අපගේ කාලයයි. 'හිත හදාගත් කෙනෙක්' සඳහා මා ගෙවූ කාලය නම් වූ මිලට සාධාරණයක් ලැබුනි. ඒ අර පෙර කී ලක්ෂණ තුලින් ම ලත් තෘප්තිය තුලිනි.

කවි කිහිපයක් කොටස් වෙත යොමු වෙමු;

1. 'ඉස්කෝලේ මහත්තයා දැන් නිදාගන්න' කවි පංතියේ ඇරඹෙන්නෙ ඔහුගේ දරුවන් සිටිනා ඉහල තැන් ගැන කියමිනි.

'දුව පදිංචි
එවරසට් කන්ද අසල
ජීවිතයේ උස ම තැනක.
පොඩි පුතා වැඩ
ධවල මන්දිරෙ
ජීවිතය සුදු කරගෙන.'

අනතුරුව ඔහුට ඇති නිදහස, ගිණුම ට ඩොලර් වැටෙනා සැටි කියා, මෙවන් අපූරු  පදපෙළකින් අවසන් වෙයි.

"මැණිකෙත් එනවා එතකොට
මගෙ ළඟට ම
පොල් තෙල් පහනත් අරගෙන
බැහැලා ෆොටෝ එකෙන්
මුළු ඉහේ ම තෙල් ගාන්න.
'ඉස්කෝලෙ මහත්තයා මොකටද
කලබල වෙන්නේ ඔය හැටි?
දැන් පොඩ්ඩක් නිදාගන්න
රෑ දොළහයි.
කෝච්චියත් ඔය බදුලු ගියේ
අපි දෙන්නට හූ තියාන"

 2-

     "සෞරග්‍රහ මණ්ඩලෙ
      ඈතක සිට
      බලා හිඳියි අඟහරු
      පෘථිවිය දෙස
      'කියුරියොසිටි එව්වේ
      යාළුකමටද?
      නෑකමටද?
      ළයේ තෙත ඇද්දැයි හොයන්ටද?
      මුහුද සඟවාගෙන ඉන්නවා දැයි බලන්ටද?
      කිතිකවන්ටද'"?


               .....

    කවියා මේ අපූරු විමසුමෙන් පසුව අඟාරු ග්‍රහයා ගැන කාව්‍යමය විස්තරයකට යොමු වෙයි.

              "කුඩා බිරින්දෑවරු දෙදෙනෙක්
              එක සේ බලා ගෙන
              සණ්ඩු නැතිව
              බැබැළි බැබැළි
              බලා හිඳියි විශ්වය දෙස රාත්‍රියට."


      සමිත කවි ලක්ෂණය සපත කරමින්, කවියා මේ කවි පංතියද අවසන් කරන්නේ, අඟහරු ට ගතු කියමිනි.

            "නිදහසේ
             භ්‍රමණයව පරිභ්‍රමණයව
             පාඩුවේ ඉන්නට ඉඩ නොදී ඔබට
             ඔබ ශිෂ්ට කරවන්න
             ජනාවාස කරවන්න
             විද්‍යාවෙන් බබළවන්න
             තාක්ෂනෙන් වළලු දෙන්න
             කලඹවන්න
             හරිහරියට සැලසුම් මෙහෙ.
             ප්‍රථිවියෙන පිටපිට එලෙස
             එල්ලවන ග්‍රහදෝෂ මිස ඔබට
             ඔබෙන් මෙහෙට කඩා පනින
             කිසි කුජ දෝෂයක් නොමැත!"

3- කවියා එළිවැට සහ එළිසමය රකිමින් රසවත් කවි පංති කිහිපයක් දෙ මෙහි ඇතුලත් කොට ඇත.
 

                     "කුලේ මොටද ජිනදාසත්                   විනාසේ
                       කුලේ නැතත් පියලුත් රජ                 විලාසේ
                       මළේ සුගත් බීලයි සේ                       ජලාශේ
                       මලේ, එහෙම උන් නොපතමි ලෙඩා        සේ

                       හඬ නැති අලින් දහසක් ආවත්             නිසරු
                       ධන බල සහිත දළ ඇතුමය ඉතා             ගරු
                       ඩොක්ටර් තමා මේ ලෙඩටත් දෙවි        අයුරු
                       දුවට හොයන් වර කපුවෝ              මහත්තුරු"

පසු ගිය වසර දහය ඇතුලත පමණ  ප්‍රකාශ වූ ම සිත් ගත් කවි පොත් අතර ට මෙයද එක්වනු ඇත. එනම්, ඉතා කෙටි කලබල සිහින, ඔබ ගැඹුරු නින්දක,  සමහර කමටහන්, රිදුම් පිරි පිරිමැදුම්, ත්‍රිවේණි සංගමම්,  අතර ට මෙය ද එක්කාසු කරමි. ඒ අතර පසු ගිය වසර 7-8 ක කාලයක මිලදී ගෙන තවම නොකිය වූ, නැතිනම් බාගයට කියවා ඇති කවි පොත් ද රැසකි. 'කඳු මුදුන' හි සාර්ථකත්වය මත, දැන් දැන් කවි පොත් කියවීම දිනෙන් දින කල් දාන මට, මේ පොත කියවීමට සිත් පහළ විය. මෙය බොහෝ සෙයින් සාර්ථක කාව්‍ය සංග්‍රහයක් යැයි සිතමි.

ශ්‍රේණිය: ****1/2
රජත පුස්තක සම්මානය - හොඳම කාව්‍ය සංග්‍රහය - 2024

(1)  කඳු මුදුන - සමිත බී. අටුවබැන්දෑල - https://me-and-err.blogspot.com/2016/06/blog-post_25.html


               


    



Thursday, 12 September 2024

ටෙඩියෙකුගේ චේ හදවත - මලිඳු කාවින්ද කුමාරසිංහ

 අප විසින් කතුවරයාගේ 'මං මාවතක මතක මිමිණිල්ල' කියවූවේ මීට මාස නවයකට පමණ ප්‍රථමවය(1).

2021 ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග්‍රාහි කෙටිකතා සංග්‍රහය වූ ද, 2022 සම්මාන කිහිපයකට නිර්දේශ වූ ද, 'ටෙඩියෙකුගේ චේ හදවත' නම් වූ සංග්‍රහය, පසු ගිය දිනවල කියවීමි.

මෙහි කෙටිකතා දහයක් වෙයි. ඉන් මා වඩාත් සිත් ගත්තේ පළමු කෙටිකතාව වූ 'දෙයියන්ගේ ආයුධ', සහ දසවෙනි කෙටිකතාව වූ 'පරණ සුයිප් සහ අලුත් නොම්මර' ය. ඉහත කී පළමුවැන්නෙන් දරුවෙකුට දෙමාපියන් ආදරය නම්, ඔහු සමාජයේ ක්‍රියාත්මක වන අයූරු ඔවුනට කිසිසේත් ම එම දරුවාට අදාළ නොවෙන බව මෙම නිර්මාණයට මාතෘකා කරගෙන අයුරු අපූරුය. පපරණ සුයිප් සහ අලුත් නොම්මර කෙටිකතාවේ ද මිතුරෙකු තම මිතුරාට උපකාර කරන්නට අවශ්‍ය නම්, ඔහුගේ සුබසිද්ධිය උදෙසා වැඩිපුර යමක් කරනා ආකාරයත්, එය මුදල් මතම තීන්දු නොවෙන ආකාරයත් අපූරුවට ගලපා ඇතැයි සිතුනි.

කතුවරයා ගේ ශෛලීය ලක්ෂනයක් වන පාඨකයාට විමතියක් ගෙනෙනාකාර අවසානයකට තම නිර්මාණය ගෙනයාම (good punchline), මෙම සංග්‍රහයේ ද දක්නට ලැබිම ය. මෙම ලක්ෂණය සාර්ථකව යොදා ගත් අවස්තාවන් ලෙස 'ඌෂා' සහ 'මීට ආදරණීය සුමනේ' යන නිර්මාණ දැකිය හැකිය. වෙසෙසින් මේ කියනා 'ඌෂා' නම් කෙටිකතාව භාවතීෂයෙන් තොරව, වඩා වියුක්ත සහ තරම නරුම වේශයකින් ලියවී තිබීම එහි සාර්ථකත්වයට හේතු වේ.

කතුවරයාගේ පෙර කී පොත ගැන අදහස් දක්වද්දි අප මෙසේ පවසා ඇත. "...
සමහර විටෙක කාව්‍යාත්මක සහ භාවාතීශ රසාස්වාදයක් ඌණනය කිරීමට ම යත්න දැරීම හේතුවෙන්, සමහර නිර්මාණ වල විශ්වාසනීයත්වයට පළුදු ගෙනන අවස්තා ද මතුවේ." මෙම ලක්ෂණය අප මේ විමසන සංග්‍රහයේත් ඇත. සමහර විටෙක පොත් දෙක ළඟ ම කාලයක ප්‍රකාශ වූ නිසා, කතුවරයා එකම ආස්ථානයක සිට කෙටිකතා නිර්මාණයේ යෙදෙන්නට ඇත. ඇරත්, අපගේ සීමිත වැටහීම අනුව, ලාංකික පාඨකයා වඩාත් ප්‍රිය කරන්නේ භාවාතීශ කලා නිර්මාණ වලටය. මෙය වෙසෙසින්, සමාජය විසින් සාර්ථක යැයි සලකන කවි කෘති ඔස්සේ දැකිය හැක. මේ භාවාතීශයට වඩා නැඹුරක් වීම හේතුවෙන් සාර්ථකත්වක විභවයක් තිබූ සමහර සාර්ථක නිර්මාණ වලට සිදු ව ඇතැයි සිතේ. 'ටෙඩියෙකුගේ චේ හදවත', 'ඒ තමයි තාත්තා', 'සංසාර වන්දනාව', මීට නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය. 

හර්මෙන් හෙස ගේ සිද්ධාර්ථ මතකයට නංවන සුළු 'විල් දිය කැලඹුණ මොහොතක්', යම් අයගේ සමාජ දේශපාලනට ඇති බැඳීමේ දැඩිබව පෙන්වන 'රැවුලා',  සහ මනෝ ගමනක අවසන වෙනස් නිම වීමක් අඟවන 'සාගරිකා දුම්රිය... ' යන කෙටිකතා ද සාර්ථක පාර්ශවයට වඩා නැඹුරු නිර්මාණ ලෙස දකිමි.

ලේඛකයා ගේ නිර්මාණ කෞශල්‍ය ගැන සැකයක් නැති අතර, ඔහුට ආවේණික ශෛලියක් ඔහු දැනටම ළඟා කරගෙන ඇති තත්වයක, එරික්, පියල්, අමරකීර්ති, කම්මැල්ලවීර වැනි ලේඛකයන්ගේ ඇති, භාවාතීශ නොවී අවසානය පෙළ ගස්වා
, භාවය ගොඩනඟා ගැනීම පාඨකයාට ම භාර දීමක් වැනි ලිවීමේ ආර දෙස බලන්නේ නම් ඔහුට වඩා සාර්ථක කෙටිකතාකරුවෙකු විය හැකි බවකි අපගේ පෞද්ගලික හැඟීම. වැඩි පාඨක පිරිසකගේ සිත් දිනා ගැනීම කතුවරයාට වඩා වැදගත් නම්, ඔහු දැනට ලියනා අයුරෙන් ඔහුට එය ලබා ගත හැක.

ශ්‍රේණිය: ***1/2
සම්මාන නිර්දේශ - ගොඩගේ, විද්‍යෝදය - හොඳම කෙටිකතා සංග්‍රහය - 2022
2022 ප්‍රකාශ වූ තෝරා ගත් කෙටිකතා සංග්‍රහයන් කියවීම - 4

(1) මං මාවතක මතක මිමිණිල්ල - https://me-and-err.blogspot.com/2023/12/mkk2021.html

Saturday, 24 August 2024

තිවංක කතාව - එරික් ඉලයප්ආරච්චි

එරික් ඉලයප්ආරච්චිගේ තිවංක කතාව කියවුවෙමි. මේ ඒ ගැන, අපගේ සීමිත දැනුම අනුව, අපගේ කියවීමයි. එය තවත් සාමාන්‍ය පාඨකයෙකුගේ කියවීමක් පමණක්ම ය.


මෙම නවකතාවෙ පළමු කොටස කියවාගෙන යෑමෙදි මට සිහියට ආවේ, සැමුවෙල් බෙකෙට් ගේ 'ගෝඩෝ එනතුරු' නාට්‍යය යි. එහි පිටපත මීට වසර කිහිපයකට පෙර කියවා, ඉන් බිහි වූ චිත්‍රපටයක් ද නැරඹුවෙමි. මෙම නවකතවේ පිටු 166ක් පුරා දිවෙන 'පළමු වකයෙන්' දිගැරෙන්නේ ලඩිමෙර් සහ එරෙගෙන් අතර දිගැරෙනා, ගොඩෝ එනතුරු ඇති බලාපොරොත්තුව වන් ඉතා සෙමින් දිගැරෙනා, නිශ්චිත දිශාවකින් තොර දින කිහිපයක විස්තරය. එහි කතාවක් නැත්තා සේය. පසු ගිය සමයේ ගාළු මුවදොර පරීශ්‍රයේ ඇති වූ උද්ඝෝෂණ පෙළ සමඟ, අප රට ඇති වූ දේශපාලන පෙරළි තුලින් අලුත් බලාපොරොත්තු ඇති කර ගනීම,  ආර්ථිකව බංකොලොත් වූ රටක ට ගොඩෝ ඇවිත්, අලුත් කලක් බිහිකරලීමක් වන් බලාපොරොත්තුවක් යැයි මෙම කොටස කියවද්දී මට සිතුණි. මෙහි මුඛ්‍ය චරිතය යැයි කිව හැකි විලියම්, ගාමිණි හෝල් හංදියෙන් විජේවර්ධන මාවත ඇරඹෙන ස්ථානයෙ ඇති පරණ පොත් විකුණන පොත් කඩ පෙලේ සිටිනා ජ්‍යේෂ්ඨයෙකි. ඔහු එම රැකියාවේ බොහෝ කලක් නිරතව, එහි අහු මුලු දන්නෙකි. උද්ඝෝෂණ සහ අහේණිය පිරි එම දින වල සතෙකුටවත් කෑමක් නැති කොළඹ ක සිට තමනට ලැබුණු කර්තෘ අඥ්ඥාත පිටපතක්, ගැහැට විඳමින්, බොහෝ විට කුසගින්නේ ම කියවන්නේ, පෙර කිව් ලෙස ලඩිමෙර් සහ එරෙගෙන් අතර වූ දෙබස සිහිගන්වමිනි. බෙකට් ගේ කෘතියේ, ලකී නම් වූ ධනවතෙකු ගෙනනා බලාපොරොත්තු, මෙම පිටපතේ අප රට ඉතිහාසයේ රජරට රාජධානී බිඳ වැටීමෙන් අනතුරුව නිරිතදිග ට සංක්‍රමණයට පෙර තිබූ සංක්‍රාන්ති සමය ට සමාන කල හැක්කා සේය. දෙවෙනි වකය වෙන් වී ඇත්තේ පෙර කි අත්පිතේ කොටසක් අප වෙත ඉදිරිපත් කිරීමට ය.  පළමුවෙනි වකයේත් දෙවෙනි වකයේත් ඔස්සේ මෙහි කියාපාන්නේ, ආගමික සංස්කෘතියකට බැඳි ජාතික රාජ්‍ය වෙනුවට, බටහිර සභ්‍යත්වය වෙත විවෘත ව අප ගේ දනුම් පද්ධතියත්, හර පද්ධතියත් නැවත විමසිය යුතු බවත් ය.  සෙනෙරත් පරණවිතානයන්ගේ ආන්දෝලානාත්මක කෘති ද්විත්වයක දිගැරෙන කරුණු මගින් මෙවන් සමාජ-සංස්කෘත විවෘතවීමකට දිරිගැන්වෙන සුළු ඉතිහාසයක් ඉඟිකෙරෙනා බවත්, අද වන් අප රට ආර්ථික වශයෙන් පතුලටම වැටී ඇති අවදියක දී මෙවන් තවතවත් ඇතුලත වෙත ම තව තවත් යොමු වෙනවා වෙනුවට, අපෙන් පිටතට අපේ දෑස් යොමු කොට පිටත දැනුමෙන්, සභ්‍යත්වයෙන් අපේ සීමා බන්ධන බිඳ දමා ඉදිරියට යා යුතු බව ඇඟවේ.

වර්තමාන යුගයේ දිගැරෙන මුල් වකයේ මේ කොටස අපට හමුවේ:
"දේශප්‍රේමී මුළාවකින් යුතුව, නොදැනීම ගෙවී ගොස් තිබෙන පසුගිය කාලය අභාග්‍යසම්පන්න එකක් බවකි, ඒ ව්‍යාකූල උදයෙහි ඇසෙන කාක ඝෝෂා මැද විලියම්ට සිතුණේ. බොරු සිල් රකිමින් ගත කරන ලද එම ජීවිතය ආගම් දහම් වීසින් ද නොමඟ යවන ලද එකක් නොවේ දැයි විලියම් කඩයේ පියන් දෙකක් ඇර සිතන්නට විය. අඳුරු නීතිය ඉවත් කර නැත. ඒ නිසා ඊට වැඩි පියන් ගණනක් විවෘත කිරීම අවදානම් සහගත ය. අරගලකරුවන් බෙරිහන් දෙමින් කියන පරිදි එක ජාතියක් තවත් ජාතියකට හතුරු කරමින් හා එක ආගමක් තව ආගමකට හතුරු කරමින් ගත කළ සමය නිකරුණේ නාස්ති වූවක් බව ය, විලියම්ගේ කල්පනාවට හැඟුණේ." (155 පිටුව)

 

දෙවෙනි වකයේ එක්තරා ස්ථීවර කෙනෙකු මගින් පැවසෙන්නේ මෙවැන්නකි:

"චක්‍රවර්ති මහා බ්‍රාහ්මණයා වුණත් පරම පුස්තකය ලිව්වත්... රාජවංශ පුස්තකය ලිව්වත්... පරම්පරා පුස්තකය ලිව්වත්, භූමි මතය කියන භව බන්ධනයෙන් මිදෙන්න වුවමනායි. ජම්බුද්වීපය හරි විශාල එකක්. මහා අලක්ෂාන්දර වුණත් ජම්බුද්වීපයේ වාසල් දොරකඩට ඇවිත් ආපසු හැරුණා... එයාගේ අනුප්‍රාප්තිකයින්වත් පංචනදියෙන් මෙහාට ආවේ නැහැ. ධර්මාශෝකගේ පියාගේ චන්ද්‍රගුප්ත, ඒ යවන අනුප්‍රාප්තිකයින් තවත් ඈතට පන්නා දැමුවා... තමා විශාල බව දන්නා ජම්බුද්වීපය, භූමි මතයට ගැති වෙනවා. ලංකාද්වීපයටත් ඒ ඉතිහාස රෝගය වැලඳිලා. ශ්‍රී විජය අපි, සමතිස් පෙරුම් පුරන දහසකුත් එකක් දූපත් වගේ නැව් තොට හදාගන... බදු පත්තු අටවාගෙන මුහුදු මතය හිස මුදුනින් පිළිගන්නා ජාතියක්." (297-298 පිටු)

දෙවෙනි වකයේ මුඛ්‍ය චරිතයක් ලෙස බොහෝ ඇසු පිරූ තැන් ඇති පණ්ඩකයෙකු භාවිත කරමින් ලේඛක තෙමේ ව්‍යංගයෙන් පවසන්නේ, මෑතක් වන තුරුම පණ්ඩකයන් නොඉවසූ ස්ථාවරය මෑතක අප රටට පැමිණි එකක් වගත්, දැන් දැන් ලොව ප්‍රචලිත ලෙස ප්‍රධාන ලිංග ප්‍රභේද දෙකකට සීමා වීමේ යුගය අහවර බවත් ය. 

තෙවෙනි වකයෙන්, පෙර වක දෙකේ රිද්මය වෙනස් කරලමින්, නවකතාවට සමස්ත ලෙස හැඩ ගැස්වීමක් ගෙන එයි. ඒ අර්ථයෙන් ආකෘතික වශයෙන් මෙම නවකතාවේ බොහෝ වෙනස්කම් ද, හැරුම් ද ඇත. 

මේ සියළු සමාජ - දේශපාලන - දර්ශන ස්ථාවරයන් එක් කෘතියක් තුල කැටි කිරීමට එරික් ගෙන ඇති සාහිත්‍යමය ප්‍රවේශය, පරීශ්‍රමය සැබවින් ම ඇගයිය යුතු එකකි. පිටු 376ක් පුරා දිගැරෙන මෙම දීර්ඝ නවාකතාව තුල දී කතුවරයා ගේ මෙම ස්ථාවරය හොඳින් පිළිඹිබු වන බවත් කිව යුතුය. එහෙත් මෙය නවකතාවක් ලෙස සාර්ථක ද ? ඇත්තෙන් ම එය 2024 දී සිට කිව හැක්කේ මෙය මට අද, සහ මා දකිනා අයුරින් අපේ බොහෝ පාඨක පිරිස පිළිගන්නා ආකාරය ගැන යමක් පමණකි. මා ඒ කියනා දෙය තව වසර හයකින්, හතකින්, දහයකින්, වෙනස් ව මෙය අපගේ වෙනස්වීමේ අත්‍යවශ්‍යභාවයට පෙරදැක්මක් ලෙස සේවය කර තිබෙනවා දකින්න මා ඉතා කැමතිය.
- මේ කෘතිය අප බොහෝ පාඨකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි මා සිතමි. කිමද, ආරම්භයේ කීවාක් මෙන් 'ගෝඩෝ එනතුරු' පාහේ ඉතා සෙමින් දිගැරෙනා කෘතියක් වීමය. මෙය මහත් ඉවසීමකින්, සහ කතුවරයා ගේ පැහැදිලි දීර්ඝ වැඩි විස්තර, ප්‍රස්තූත කාරණයෙන් පිටයෑම්, ගැන තරමක සවිඥානක වීමකින් කියවිය යුත්තකි. කතුවරයා ගේ පේත මෙරට ප්‍රධාන සම්මානයක් ජයග්‍රහණය කල විට, එය බගන්ධරා සහ රතු පලසෙහි දිගුවක් ලෙස නොදත් සාහිත්‍යට සම්බන්ධ අය පවා එය හෙළා දැක කතා කලෝය. ප්‍රේත ට එසේ නම්, තිවංක කතාව ට ලැබිය හැකි පිළිගැනීම කෙසේද යැයි සිතා ගත හැක. ඊට යම් පක්ෂපාතීත්වයට ඇති වෙතොත් ඇති වන්නේ, ගාළු මුවදොර උද්ඝෝෂණයේ අවශ්‍යතාව ගැන කියැවෙන නිසාය. එහෙත් ඒ නිසා ම මේ පොත ට අයෙක් පක්ෂ වන්නේ නම් එය සීමිත කියවීමකි. එහෙත් එය ද බලාපොරොත්තු විය යුත්තකි.
- පේත වලින් පසුව එරික් ලියූ ප්‍රබන්ධයන්ගෙන් මා තවම කියවා ඇත්තේ, 'මැස්සා', 'කොළඹ දැනුම', සහ දැන්, 'තිවංක කතාව' පමණි. තව කියවීමට ප්‍රබන්ධ ඇති හෙයින් වඩා විශ්වාසයකින් කිව නොහැකි වුවත්, මේ කෘති හරහා අපගේ සීමිත කියවීමේ හැකියාව අනුව පෙනී යන්නේ, කතුවරයා ගේ දනුම් පිපාසය නිසා ඔහු කියවන බොහෝ දේ, ඔහුම සොයා ගන්නා යම් ගැලපීමකට ගලපා ප්‍රබන්ධයක් ලෙස එළිදක්වන බවකි. බගන්දරා සිට රතු පලස, හෝ පේත දක්වා තිබූ මටසිළුටු නවකතා ශූරත්වය අප එරික්ගෙන් දැන් දකින්නේ නැත (පහනක අඳුර හි හෝ නකුල මුනි හි හෝ මේ මා නැතැයි කී ලක්ෂණය ඇත්තේ නම් අපට කමන්න - ඒවා අප තව කියවා නැත). පාඨකයා ට මෙම නවකතාවල යම් කෘතීමත්වයක් දැනුනද අප ට හැඟෙන්නේ, එරික් මේ අවදියේ පසුකරනා කියවීම් පරාසය අනුව මෙම ප්‍රවණතාවෙන් මිදෙන්න බැරි බවක් සහ ඔහුට ආවෙණික ස්වභාවික ප්‍රවණාතාවක් බවයි (අමරකීර්ති එරික්ගේ මෙම ලක්ෂණය ඔහුගේ කවිය විෂයෙහි තැනෙක දෙකක පවසා ඇත). ඔහුගේ කෘති වලට වඩාත් ම ප්‍රිය පාඨකයෙක් ලෙස මා නම් සිතන්නේ ඔහු දැන් දැන් සංස්කාරකවරයෙකුගේ අවශ්‍යතාව වඩාත් පැහැදිලිව පෙන්වන බවකි.

ඉතින් අපට හැඟෙන්නේ එරික් මහා සාහිත්‍යමය පරීශ්‍රමයක් යොදා ඇති බවත්, ඉන් මිශ්‍ර ප්‍රතිඵල ලබා ගෙන ඇති බවත් ය. අප රටේ ලිංගිකත්වය සහ එය පිළිගැනීමේ වෙනස්වීම ඉතා සියුම් ලෙස නවකතාවකට හසු කරගත් කෞශල්‍ය කුමාරසිංහගේ 'නිම්නාගේ ඉතිහාසය' වන් විශිෂ්ඨ කෘතියක් මගින් රසවත් නවකතාවකට බොහෝ දේ කර හැකි බව පෙන්වා තිබෙන වටපිටාවක, එරික්ගේ හුදෙක් පැස්සිය යුතු සමාජ-දේශපාලන-දැනුම් ප්‍රවණතාව වෙත වෙන තල්ලුව නිසා ම මට නම් මේ නවකතාවට වැඩි ලකුණු දිය නොහැක. ඉන් මෙම නවකතාවට අප රට සමාජයට දෙයක් කල නොහැකි බවක් නොකියවේ. 

ශ්‍රේණිය: ***
2023 ප්‍රකාශ වූ නවකතා කියවීම - 1