Wednesday 23 November 2016

පරදේසි - එරික් ඉලයප්ආරච්චි



  
තම තුන් ඈදුතු නවකතා යැයි සැලකුණු කෘති වලින් අනතුරුව, කෘතියෙන් කෘතිය විවිධ ඉසවු පිළිබඳ අධ්‍යයන කරමින්, පාඨක ප්‍රජාවට නැවුම් අත්දැකීම් ගෙනෙන කතුවරයෙකි, එරික් ඉලයප්ආරච්චි. මා දන්නා තරමින්, ඔහු තම නවකතා වලට සම්මානයක් කියා දිනා ඇත්තේ "විතණ්ඩ සමය" උදෙසා දිනා ගත් රාජ්‍ය සාහිත්‍ය සම්මානය පමණි. මෑතක ප්‍රකාශ වූ ඔහුගේ නව කතා අන් සියළු සම්මාන උදෙසා ම , අවසන් වටය දක්වා පමණක් පැමිණිනි.
එරික් අවම වශයෙන් තම අවසන් නවකතා ත්‍රිත්වයෙන් හෝ, නවකතාවේ මූලික කතා ධාරාවට අමතරව, කොලාජ් චිත්‍රයක් ආකාරයෙන් අප්‍රධාන ඉසවු පිළිබඳ ව ද පාඨකයා තරමක් හෝ අවදි කරමිනි ඉදිරියට යන්නේ. මට දැනෙනුයේ, වංගු වලින් පිරි කඳුකර පාරක යන ගමන්, එරික් තමන් තෝරා ගත් සමහර පටුමං ද, අවට සිරි විස්තර ද ලුහුඬින් දක්වමින් ඉදිරියට යන බවකි. ඉදින් එහෙව් යන ගමනක මගතොට විස්තර ය වඩා රසවත්; නවකතාව අවසානය කතුවරයාට පහසු නැවතුමකි.
ඉදින් පරදේසි නවකතාවේ ප්‍රධාන චරිතය නොහොත් කථිකයා, ඔහුගේ චරිත ස්වභාව නොවලහා පැවසීම ඔස්සේ අපට හෙළිදරවු වන්නේ, මෙතෙක් සිංහල නවකතාවේ හමුනොවුනාකාරයේ නිදහස්කාමී, මතවාද වල සිර නොවුණු, විටෙක තම පැවැත්ම උදෙසා තම මතවාද උචිතාකාරයෙන් වැළඳගන්නා සුළු අවස්තාවාදියෙකු ලෙසට ය.. තැනෙක ඔහු ගැන ස්වයං විවේචනයක යෙදෙන මුත්, ඔහු ආශ්‍රය කරනා කතුන් හා සබැඳි සිද්ධීන් වලින් ඔහු පිළිබඳ මනා කියවීමක් ලබා දීමට කතුවරයා සමත්ව ඇත. නිදසුන් ලෙස ඊවා ඔහුට ගෙන දෙන අනේකවිධ අපහසුතා සහ නින්දා අපහාසත්, ටිකිරි ට අපහසු අවස්තාවක, ඉතා පෞද්ගලික සෞඛ්‍ය කාරණාවක් උදෙසා උදවු කිරීමට ඉදිරිපත් වන අයුරුත් ගෙනහැර දැක්විය හැකිය.
මේ කෘතිය කියවාගෙන යාමේදී, මා මීට කලින් කියවා ඇති ඉංග්‍රිසි නවකතා දෙකක් මා මතකයට ආවේ ය. එකක් නම්, ග්‍රහැම් ග්‍රීන්ගේ "Our Man in Havana" ය - කියුබානු දේශාපාලන කියවීමේ දි එහි මතකයට ඒම ස්වභාවිකය. වෙනසකට ඇත්තේ, ග්‍රීන් හසු නොකර ගත් කියුබානු කලාව, සංස්කෘතිය යම් තරමකින්, අප කතුවරයා ඉදිරිපත් කර තිබීමයි. අනෙක් කෘතිය, අර්නස්ට් හෙමිංවේ ගේ "Farewell to Arms" කෘතියයි. වෙසෙසින්, පීරු රාජ්‍යයේ ගත කල අවධිය කියවාගෙන යද්දි මේ කෘතිය මා මතක‍ය ට ආවේය. ඉලයප්ආරච්චි කෘතිය පුරාවට ම තැනින් තැන යම් යම් දේශපාලන නිරීක්ෂණ මගින් තම කෘතිය පොහොසත් කරනුයේ, මුඛ්‍ය ගමන යන අතරතුර සිදුවන අවැදගත් සල්ලාපයක කොටස් ලෙස ය. ඉන් ලේඛක න්‍යාය පත්‍රයක් නො ඇඟෙනවා පමණක් නොව කෘතිය ට බරක් ද නැත. නිදසුන් - රාජනි තිරාණගම ඝාතනය හේතුවෙන් උග්‍ර LTTE විරෝධියෙකු වූ සචිත්තානන්දන් ට පිරබාහරන්ගේ ඝාතනය පිළිගත නොහැකිව රෝගාතුර වීම ; ඊවා, අප ආඛ්‍යායිකයා ලාංකික තරුණියන් නො ඉවසන මුත්, යුරෝපීය කාන්තා ආශ්‍රයේ වරදක් නොදැකීම ; බර කොට නොකියැවෙන මුත්, ඉංග්‍රීසි කතා කරන සමාජයේ රිචඩ් ද සොයිසා අප රට ගම්බද පෙදෙස් වලින් පැමිණි ප්‍රගතිශීලින් කෙරෙහි සහය පළ කිරීම; නිල වශයෙන් අනාගමික කියුබාවේ සාමාන්‍ය ජනතාවගේ කතෝලික ලබ්ධියේ බලවත්කම ; පීරු, බොලිවියා, නිකරාගුවා වන් රට වලින් නොබෙල් සම්මාන ලාභි සාහිත්‍යකරුවන් බිහි ව ඇතත්, ඒ මගින් ඒ රටවල වල සාහිත්‍ය පරිශීලන තත්ත්වය කෙසේ වෙතත්, සාක්ෂාරතාව ඇත්තේ කොහේ ද යන්න ප්‍රශ්ණ කිරීමත් ; අප රට මැදි ආයාදම් රටක් බවට පත් වීමත් සමඟ රාජ්‍ය නොවන සංවිධාන යම් තාක් ඉවත් වීමත් සමඟ, එහි සේවය කල ඉහළ වැටුප් ලද්දන්ගේ ඉරණම - ආදි වශයෙන් විවිධ ඉසවු කෙරෙහි තම නෙත යොමු කරමින්, ආඛ්‍යායිකයා ලංකාවේන් කියුබාවටත්, ඉන් අනතුරුව දකුණු අමරිකානු රටවල් කිහිපයකත් කරක් ගසන්නේ, පාඨක අප ව සමාජ, දේශපාලන,සෞන්දර්යාත්මක චාරිකාවක ගෙන යමින් පමණක් නොව, අවසන දි සියල්ල පෞද්ගලික හේතුන් මත තීරණය වන බවත්, බොහෝ විට මතවාදි ආස්ථානය එම ඉරණමේ දිගුවක් බවත් ඉඟි කරමිනි. කෘතියාවසානය ළඟා වත් ම ඊවා සහ අප ආඛ්‍යායිකයා, දකුණු අමරිකාවේ නැවත මුණ ගැසීම තරමක් අභව්‍ය වුව ද, පරිණත සහ ශික්ෂිත, එනමුත් මනරම් ලියැවිල්ලක තුල එවන් සුළු දොසකට යම් අවසරයක් දිය හැකි සේ ය.

කෘතියෙන් කෘතිය, තමන් ව ම අතික්‍රමණය කරමින්, නව ඉසවු, නව පසු බිම් සොයමින්, මහත් සේ ගවේශන කොට, පැසසිය යුතු තරමේ ශික්ෂාවකින් ඒවා ප්‍රබන්ධගත කරන ඉලයප්ආරච්චි, ඔහුගේ ඊළඟ නවකතාව පිළිබඳ පාඨක බලාපොරොත්තු ඇතිකරවනා සුළු ලේඛකයකි. අද වන විට මට මෙවන් හැඟීම් අන් කතුවරුන් කෙරෙහි ඇති වන්නේ නම් ඒ විජේමාන්න සහ කාරියවසම්ගේ කෙටිකතා පිළිබඳ පමණක් විය යුතුය. තම මතවාද සියුම්ව අනෙකා ගේ මනසේ කොණක තැන්පත් කිරීමේ න්‍යාය පතරයකින් තොරව, තම නිරීක්ෂණ සෞන්දර්‍ය චාරිකාවක් වන් ප්‍රබන්ධමය ගෙත්තමකට හසුකිරීමට සමත් ඉලයප්-ආරච්චි, සිංහල නවකතාව ට සුබ ලකුණකි.

Friday 11 November 2016

සක්වා ලිහිණි - මහගමසේකර





 මහගමසේකරයන්ගේ පළමු ඒකල කාව්‍ය සංග්‍රහය යැයි ගිණිය හැකි මුල්  වරට 1962 වසරේ දි ප්‍රකාශ වූ "සක්වා ලිහිණි" නම් වූ කාව්‍ය සංග්‍රහය නැවත කියවූවෙමි.

   කාව්‍ය විචාරයේ කිසිදු වෙසෙස් දැනීමක් නොවූයෙකු වන මුත්,  මේ කාව්‍ය සංග්‍රහයේ ගුණදාස අමරසේකරගේ  මුල් කාලීන කවි  ආර ද, සේකරගේ ම සැත්තෑව මැද සහ අග බාගයෙදි දුටු දාර්ශනික කවියේ බීජානු අවස්තා ද දකිය හැකිය.

මෙහි අපිට දැකිය හැකි දීර්ඝතම කාව්‍ය පංතිය, කවි සියයකින් හෙබි "කිඳුරු කුමරිගේ කතාව" නම් වූ කවි පංතියයි. පුළුල් වශයෙන් ශෝකාන්ත කාව්‍ය නිර්මාණයකට නෑ කම් කියන මෙය, දහ අට මත් සමුදුරුගොස් ආකෘතියක් අනුව නිර්මිතය.

"සිහින් සිනිඬු පෙණ ඇතුරු සිරි                යහනේ
ගිලන් සිතින් කුමරිය සැතපෙයි                  දුකිනේ
කෝන් ආවද මේ සිතුවිලි                      නො දැනේ
එයින් සිතට නැත අස්වැසුමක්                     ඉතිනේ"

මේ කාව්‍ය පංතිය ට හාන්ස්-ක්‍රිස්ටියන්-ඇන්ඩර්සන්ගේ "The Little Mermaid" හි අනුවර්තනයක් බැව් පෙනෙන්නට තිබේ. අවසානය, එම කථාවට යම් ආකාරයකින් අසමාන වුව ද, එම කතානදරය මෙම නිර්මාණයට මුල් වූ බැව් සිතේ.

මෙහි පස්මත් විරිත අනුව පබැඳි සමහර නිර්මාණ මා මතකයේ තිබුනේ, අමරසේකරයන්ගේ කවි ලෙස ය. වසර ගණණාවකට පසුව, මෙය නැවත කියවීමේදි ය, මට තහවුරු වූයේ ඒවා සේකරුන්ගේ බව. ඊට හේතුව ලෙස ඒවා තුලින් දැකිය හැකි සම විරිත හා එකල අමරසේකරුන්ගේ සහ සේකරයන්ගේ නිර්මාණ විෂයේත් යම් සමාන කම් වීම යැයි සිතමි. "මගේ පැලට ඔබ එන්න" එවන් නිර්මාණයකි.

"උදෑසන ඉර එලිය
කවුළුවෙන් ගෙට වැටෙන
සිනාවෙන් තොර මසිත
සිනාවෙන් පුබුදන්න
අලස නිඳිමර මසිත
ජීඅයෙන් පුරවන්න
සුදු සිනා මල් රැගෙන
සුදු මවෙත ඔබ එන්න"

අන් ප්‍රධාන ලක්ෂණයක් නම්, පසු කාලීනව නිසදැස් නිර්මාණයෙහි වැඩි නැබුරුතාවක් දැක්වූ සේකර මෙහි ඇතුලත් කල ඇති නිසදැස් ගණණ එක අතක ඇඟිලි ගණණට ත් අඩු වීම ය. මොනාලිසා එවන් නිර්මාණයකි;

"ඔබේ තොල් අග ඇදුණු සිනහව
සදාකාලික ගැටළුවකි මට
ඔබේ දෑසේ තියුණු බැල්මෙන්
අන්ද මන්ද ව වශී වන මා
ගුප්ත වූ ඒ සිනාවෙන්
සියුම් රසයක් ලබන බුත්
අරුත නෑඟෙන එයින් මා තුළ
බියක් සැකයක් ජනිත වෙයි..."


පසු ගිය දිනෙක  දිවි ගමන හමාර කල අමරදේවයන්ගේ මධුර කටහඬින් අප කුල්මත් කල, ගී ස්වරූපයෙන් අප වඩා හොඳින් අඳුනන කාව්‍ය නිර්මාණ කිහිපයක් ද මෙහි එයි;

"ඉරට මුවාවෙන් ඉඳගෙන
ඉස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන
සළු පළඳිනවා
දීප චන්ද්‍ර රේඛාවෙන් මූණ බලනවා
වලාකුළෙන් අහස් තලෙන් බිමට වඩිනවා... " ( සොබා )

"ඇසේ මතු වන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරි පා දොවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්.... " ( අවුකන පිළිමය )

"මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුණු කළුඳුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ... " ( සන්නාලියන්ගේ ගීතය - සරෝජිනී නායිදු මැතිණියගේ කවියක් ආශ්‍රයෙනි )

"ඉර පායා ඉර අවරට              ගියාදෝ
හඳ පායා හඳ අවරට       ගියාදෝ
ඇඬු කඳුළු මූදට එක්           වුණාදෝ
ළමා ළපටි නෑනා කොයි             ගියාදෝ" ( දුකට කියන කවි සීපද )

මේ සමහර කවි පංති වල, අප පසු කාලීනව ඇසූ ගී වල නොමැති කවි ද වෙති...

"එගොඩත් බැලිමි එගොඩත් නුඹ     නැතේයා
 මෙගොඩත් බැලිමි මෙගොඩත් නුඹ   නැතේයා
 දෙගොඩම බැලිමි දෙගොඩම නුඹ නැතේයා
 සිව්පද කියන මම තනියම  පැලේයා" ( දුකට කියන කවි සීපද )

පසු කලෙක වඩා ප්‍රවීණත්වයට පත් වූ සේකර ගේ දාර්ශනික කවියේ මූල අවස්ථා ද මෙහි දැකිය හැකි ය." කලාමැදිරියා", "මගේ කවියෙන් ඔබ දකින්න"

"මා ලිව කවි මට වාගේම
ඔබ හැමටත් පොදු වනු ඇත.

සබඳ! එවිට මගෙ කවියේ
මා නොසොයා ඔබ දකින්න"

ඉදින් සඳැස්, නිසඳැස්, දාර්ශනික කවි, ගී ලෙස ප්‍රසිද්ධ වූ නිර්මාණ වල මුල් කවි පංති, තත්කාලීන අන් නිර්මාණ වලින් ආභාෂය ලැබූ නිර්මාණ ආදි වශයෙන් විවිධත්වයක් ඇති නිර්මාණ පැසකි මේ කෘතිය. සේකර කියවන්නෙකු, ඔහුගේ පසු කාලීන පරිපූර්ණත්වය තේරුම් ගැනීමට යත්න දැරීමේදී වැදගත් කෘතියක් ලෙස දකිමි.