Friday 14 September 2018

අළු පැහැති ආරංචි - ලියනගේ අමරකීර්ති

2018 හොඳම කෙටි කතාවට හිමි ගොඩගේ සම්මානය දිනා ගත්, රජත පුස්තක සහ රාජ්‍ය සාහිත්‍ය හොඳම කෙටිකතාව සම්මානය උදෙසා අවසන් වටයට නිර්දේශ වූ, ප්‍රවීණ කතුවර ලියනගේ අමරකීර්ති ගේ "අළු පැහැති ආරංචි" කෘතිය කියවීමි. ඒ 2017 ප්‍රකාශ වූ කෙටි කතා කියවීමේ මගේ තැතේ හත්වැන්න ලෙස ය.

කෙටි කතා හතකින් සපිරිය. ඒ ඒ කේ කතාව ගැන මට සිතෙන දෑ මෙසේ ය.

කවියෙකු සොයා: මෙය රසවත් සහ සංවේදි වනුයේ කතාවේ අග, මෙහි එන ස්ත්‍රිය මුහුණ දී ඇති දුක් කම්කටොළු ගැන කියවෙන කොටස් සහ ඒ අනුව ඇය කවියාට සලකන අයුරේ ය. එහෙත් එතනට ඒම ට කතුවරයා ගොඩනැඟූ ආඛ්යානය මා සිත් ගත්තේ නැත. "කවියාගේ" සැබෑ තත්ත්වය ඔහුගේ දෙවෙනි පැමිණීමත් සමඟ පැහැදිලිය; එය මහාචාර්‍යවරයා ට නොතේරීම කතාවේ විශ්වාසනීයත්වයට බාධාවකි. ඊට අමතරව X-කණ්ඩායම ඉලක්ක කල "ටොක්කත්", මහාචාර්‍යවරයාගේ මධ්‍යම පාංතික සිතීමේ රටාවත් මා සිත් ගත්තේ නැත.

එකම පුතා: ඩොලර් කුට්ටි ලබා ගැනීමේ සැබෑ තත්ත්වය ත්, දේශානුරාගයත් ප්‍රශ්ණ කරමින්, ඊට ඊළඟ පරම්පරාව ගෙවන ඉහළ මිලත්, අප රටේ සැලකිය යුතු කොටසක් ජාතිමාමකත්වය ප්‍රශ්ණ නොකරමින්  භාර ගැනීමත් අමුද්‍රව්‍ය ලෙස භාවිත කොට තැනූ සිතීමට යමක් ඉතිරි කරන කෙටි කතාවකි. මෙහි එන මන්ද මානසික දරුවාගේ චරිතය ඉතා තාත්වික ලෙස ගොඩනංවා ඇත්තේ, ඔහු හරහා යම් සංකල්ප ප්‍රශ්ණ කරලීමට රූපක භාවිත කරමිනි.

සෝ බර සමය : මේ එකතුවේ මා වඩාත් සිත් ගත් කෙටිකතාවයි. මා අදටත් වඩා ප්‍රිය කරන "අටවක පුත්තු" ලියූ අමරකීර්ති මෙහි හමු වන්නා සේය ( මෙය කාලයකට පෙර ලියූ කතාවකැයි මට සිතේ - නැතහොත් වස්තුබීජය පැරණි විය යුතුය ). තරුණ ගුරුවරියක් කෙරෙහි ගැටව් තුල පහළ විය හැකි සිතුවිලි ත්, ගුරුවරියකගේ සිතක දුබල සිතුවිලි තාවකාලිකව හෝ ක්‍රියාකාරි විය හැකි අපූරත්වයත් පෙන්නුම් කරනා අපූරු නිර්මාණයකි.

ඉඩි අමීන් සහ වැලිමඩ සමන්: මෙය ඇත්තෙන් ම අටවක පුත්තු හි අතුරු කතාවක් තරමට ඒ කාලයට ත් තේමාටවත් ගැලපෙන රසවත් ය. 89 හා ආශ්‍රිත වකවානුවේ සිද්ධියට අමතරව කතුවරයා ගම වනා ඇති අපූරුව සිත් ගනී.
"පිහිඹියාව කියන්නෙ දවාලක බැලුවොත් ඇස් අන්ධකාර කරන කර්කෂ අව්වක් වැටිලා කොළපාට තැන්වලින් පවා මිරිඟුව මතු කරාන ගමක්. ලොකු ගමක්. අහස් වතුරෙන් කුඹුරු කරන. මිරිස්, වැටකොළු, බණ්ඩක්කා, වම්බටු, තිබ්බටු, කැකිරි, වට්ටක්කා වගේ වියළි කලාපෙ වියලි එළවළු වැවෙන ගමක්... අන්න ඒ වගේම තමයි හතරෙන් විතර පස්සෙ ආයෙ පහුවදා ඉර නගින කල්ම පුදුම ලස්සනක් අපේ ගම. ගම දෙපැත්තෙම වැව් දෙකක්. කෙළවරක් කියන්න  බරි වෙල් යායක් තියෙන හින්ද හැන්දැඇවට හමන සුළඟ පුදුම සිසිලක්." (84 පිටුව )

දෙවෙනි රංගය: මෙම සංග්‍රහයේ කතා රසවත් මුත්, වෙසෙස් වූ නව ඉසව් වෙත කතුවරයාගේ අවධානය යොමු වුවා මද යැයි සිතුණි. එවන් සිතුවිල්ලක් තාවකාලික  ව හෝ ප්‍රශ්ණ කරන ආරේ, අලුත් මාතෘකාවක් වෙත එබිකං කරන, රසවත් කතාවකි මෙය. ස්ථූලත්වය තුල සුන්දරත්වයක් නැති ද ? පිරිමියෙකුට ස්ථූල කතක් හා පෙමින් වෙළිය නොහැකි ද ? මෙහි එන ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයා මේ කාරණා ගැන සිතත් ම, ඒ ඔස්සේ දායාද කරන නිර්මාණය අප ජනප්‍රිය රසිකත්වය විසින් පිළිගන්නා අයුරු පිළිබඳ අපූරු කියවීමකි මෙය. මට මේ නිර්මාණය තුල ඉලයප්-ආරච්චි සිදු කරතැයි සිතිය හැකි ආරේ විකල්ප සිතුවිලි ඔස්සේ කතා ගෙතීමක නැඹුරුවක් දැක ගත හැකි විය.

අළු පැහැති ආරංචි: මේ කෙටි කතාව ඔස්සේ අප රට බහුල "ඔහේ ඇදී යන", "පතෝල-වැටකොළු" ආරේ පවුල් සහ ඔවුන් ට වරෙක පිටස්තර උත්තේජනයක් ඇවැසි වීමේ සත්‍යතාව ගැනත් කතා කරයි. අසපු ගැනත්, පෙර කී පවුල් රටාව දරුවන් එවන් අසපු වලට තල්ලු කරලීමට උඩගෙඩි දෙන්නක්,

හදවත සිඳුණු තැන: මෙහි එන එක්තරා ක්‍රිකට් පුහුණුකරුවෙකු ඉලක්ක කර ඇති ටොක්ක මා සිත් නොගත්තේ, යමක් වඩා සියුම් ව කීමට අවකාශ ඇති නිසා ය. ඊට පසුබිම් වන අසත්‍ය වීමට වැඩි ඉඩක් ඇති කුණු කතා වලට නව පණක් ලැබිය හැකි බැවිනි. පසුව කෙටි කතාව වැඩෙත් ම තාප්ප ඉහළ යාමත් සමඟ අවට පරිසරයෙන් ඈත් වීමත්, නිවැසියන් ට ඔවුනොවුන් අතර රහස් ද වැඩි වන බව පෙන්වා ඇති අයුරෙහි යම් නිර්මාණත්වයක් ද කලාත්මකබවක් ද ඇත.

සමස්ත ලෙස කෙටි කතා හතින් හයක් ම පාහේ රසවත් ය.එම නිසා සංඝතව රසාස්වාදයක් ම ගෙන දෙන සංග්‍රහයකි. එනමුදු, මින් විශ්මයක්, කම්පනයක් ලද්දේ නම් ඒ මද වශයෙනි. අමරකීර්ති ආදර්ශය රැගත් සංග්‍රහය තැනෙක දෙකක අලුත් ඉසව් වලට එබිකම් කර ඇති බවකි මට හැඟුණේ. එනමුදු දැනට කියවූ සංග්‍රහයන්ගෙන් මෙයත් ඉලයප්ආරච්චිගේ "ලේ විල සහ ඩාන්ටේ" ත් මා වඩාත් රස වින්දේය ( එරික් ගෙන ආ විචත්‍රත්වය, හා තැනෙක විස්මය, එය මට මෙය අභිබවා තිබෙන කෘතියක් බවට පත් කරයි )

Wednesday 5 September 2018

චක්‍ර - ජයතිලක කම්මැල්ලවීර


මේ වන  විට ස්වර්ණ පුස්තක අවසන් වටයට ද, ගොඩගේ සම්මානයට ද නිර්දේශ වී ඇති කම්මැල්ලවීරයන් ගේ "චක්‍ර" කියවීමි. "අට අවුරුද්ද", "පුරාහඳ", "චුම්භන කන්ද" කියවා ඇවෑමෙන්, මා මේ ලේඛකයාගේ කිය වූ සිව්වෙනි කෘතිය යි. ලේඛකයා ගේ ලේඛණයේ සුපුරුදු දක්ෂතා ආරක්ෂා කරගනිමින් (පැහැදිලි රචනා ශෛලිය, ඔහුට ම හුරුපුරුදු සංයමයෙන් ආඛ්‍යායනය දිගැරීම - මේ ලක්ෂණය මා වඩාත් හොඳින් දුටුවේ "පුරා හඳ" හී ය, සරල සිදුවීම් තුලින් යම් මතවාදයක් දර්ශනයක් පෑඨකයා ට එබිකම් කිරීම ), මුත් කතුවරයා තරමක නැවුම් මාතෘකාවක් ඔස්සේ තම නිර්මාණය ගෙන හැර පායි. එලෙස ම කම්මැල්ලවීරයන්ගේ තවත් සුපුරුදු ලක්ෂණයක් වන උච්චස්ථානයකින් තොරව ක්‍රමික ව ආඛ්‍යායනය නිම වීම, මෙහි දී ද දැකිය හැක. පාඨකයකු නවකථාවකින් බලාපොරොත්තු වන රසය අනුව, මේ අවසන ට කී ලක්ෂණය කෘතිය ක දුර්වලතාවක් ලෙස ද ඇඳින්විය හැක ( මා එසේ කිරීමට මෙහි නොපෙළඹෙන්නේ, නවකථාවට වඩාත් සාධාරණ වූත්, ස්වභාවික වූත් අවසානය එය ම බැවින. ) 

නවකතාව ඇරඹෙන්නේ තරමක සාම්ප්‍රදායික අයුරකිනි. පිටු පණහක් කියවාගෙන යද්දි,  රසවත් මුත් තවත් හැත්තෑ ගණන් වල තවත් බලාපොරොත්තු අවම පවුලක කතාවක් කියවමින් සිටියේ, ලේඛකයාගේ දක්ෂතා නිසා එය රසවිඳිමිනි.සැම අතින් ම තම කෙටි දිවිය පුරා බැට කෑ රුවන්, මීගොමුවේ "අළුත් නවතැන" ට යාමත් සමඟ තමන ට වෙනස්කමින් තොර ව සලකන පවුලක් හමු වේ. ඒ පවුලේ සමාජවාදි අදහස් සමඟ එක්කාසු වූ කතෝලික සම්ප්‍රදායේ ප්‍රේමය ඊට සාධක බවට කතුවරයා ඒත්තු ගන්වයි. එහෙත් අසු ගණන් වලට අවතීර්ණවත් ම අප රටේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය රුවන් ට ත්, ඒ ආදර්ශමත්  පවුල ට ත් අභාග්‍යයක් ම ගෙන දෙයි. මීට පෙර සිහළ නවකතාවක් ඇසුරු නොකල ඉසව්වක් යැයි සිතෙන බෝට්ටුවකින් සරණාගතයින් ලෙස අන් රටක ට යෑමත්, එහි අලුත් දිවියක ට හුරු පුරුදු වන අයුරුත් කතාව අවසන දක්වා ගෙන යයි.  අලුත් රටේ  දි රුවනුත්, ඔහු ට කලින් හමු ව තිබූ තව කිහිප දෙනෙකුත් අලුත් දිවියක ට හුරු වෙන අයුරුත් - වෙසෙසින් ජීවිතය ඉතා කුරිරු ඉරණම් ලබා දුන් මිනිසුන් ට පවා, අලුතින් නැගිට සිටීමට ලබා දෙන අවස්ථා ගැන දිගැරුම සිතීමට යමක් ඉතිරි කරයි. මේ නවකතාව මුඛ්‍ය වශයෙන් දාර්ශනික හෝ යම් මතවාදයක් ඔස්සේ ලියැවුන්නක් යැයි සිතිය නොහැකි වුව ද, කතුවරයා යම් යම් අදහස් ඔබ්බවා ඇත්තේ ඉතා අපූරුවට ය. 

අප රට භීෂණයේ නිරර්ථකත්වය පෙන්වන එක් අපූරු තැනකි මේ:
"දිය යටින් පැතිරෙන ගින්නක් සේ ඝාතන දේශපාලනය රට පුරා පැතිර ගියේ මොන තරම් වේගයෙන් ද ? අනුර මෙන් තරුණයින් මෙරු මෙන් ඒ ගින්නට ඇදී ගොස් විනාශ උරුම කර ගත්තේ වටිනා ජීවිත ගණනාවක් ද බිල්ලට ගනිමිනි. මනුෂ්‍යත්වය නම් මේ යැයි පෙන්වන සංකේතයක් බඳු වූ මෙන්ඩිස් අන්කල් ඝාතනය කළ තැනැත්තා කවරෙකු වුව ද පුද්ගලිකව ඔහුට මෙන්ඩිස් අන්කල්ගෙන් කිසිදු වරදක් සිදු නොවූ බව සහතිකය. අනුර ද එසේ තමන්ට කිසි වරදක් නොකළ මිනිසුන් ඝාත්නය කරන්නට ඇත." ( 162 පිටුව )

තැනෙක පුද්ගලික විමුක්තිය පසෙක ලා රෝගි සමාජයේ සුවය වෙනුවෙන් වැඩ කිරීම දාර්ශනිකව සසඳන ලැබුව ද එය ඉතා සුමට ලෙස කෘතිය තුල පාවෙන්නේ, කෘතියේ රිද්මයට බාධාවක් නොවෙමිනි.

"කෙනෙකුට ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේලා මෙන් වන වැදී භාවනා කිරීමෙන් තම ආත්මය සුවපත් කර ගන්නට පුළුවන් වෙන්නට බැරි නැත. එහෙත් තම ජීවිතයේ මුණගැසුණු යහපත් මිනිසුන්  උත්සාහ කළේ තම තමන්ගේ ආත්මය සුවපත් කරන්නට නොව සමාජය සුවපත් කරන්නත ය. එක් අතකින් එය ආත්මය සුවපත් කර ගැනීමේ ම මඟක් වන්නට ද බැරි නැත. එවැනි අරමුණකින් වැඩ කල මෙන්ඩිස් අන්කල් දැන් නැත. බොනිපස් පියතුමා ඉතා ම දුෂ්කර තත්වයක් යටතේ හිඳිමින් සමාජය සුවපත් කිරීමේ වැඩ කටයුතු කරගෙන යයි." ( 171 පිටුව )

මුළු ආඛ්‍යායනය පුරාවට ම වෙහෙසකර උපක්‍රම භාවිතාවක් නැති තරම් ය. ඇත්තෙන් ම ශූර ලිවීමකි. විටෙක කතුවරයා ට එය අවාසිදායක විය හැක්කේ අන් කතුවරයකු කෙන්දක් තරම් සිද්ධියක් කන්දක් කරද්දි, මෙතුමා සැලකිය යුතු කම්පනයක් ගෙනදෙන්නක් වුව තම සුපුරුදු සංයමයෙන් හසුරුවා ලියා අප පාඨකයන් බලාපොරොත්තු වන චිත්තවේගි බව තරමක් මොට  කරවන  නිසා ය.


මෙසේ පැසසුව ද මෙය වසරේ හොඳම කෘති පහ තුළ ට අයත් විය යුතු ද යන්න පිළිබඳ මට යම් සැකයක් ඇත. ලිවීම ශූරය, කෘතහස්ත ය - එහෙත් කම්මල්ලවීර මේ අයුරින් මා කියවා ඇති ඔහුගේ සියළු නවකතා පාහේ ලියා ඇත. මට සාපේක්ෂ වශයෙන් තරමක අභව්‍ය වෙහෙසකාරි කෘතියක් ලෙස දැනී ඇත්තේ චුම්භන කන්ද පමණි - එය ද දුර්වල පොතක් නම් නොවේ. ඉතින් කතුවරයා ගේ අපි බලාපොරොත්තු වන ආරේ සංඝත ශූර ලිවීමට අමතර ව, බෝට්ටුවක සරණාගතයින් ලෙස ගමන් කිරීමේ තතු අප පාඨකයින් ට නැවුම් අත්දැකීමක් යැයි සිතමි. මෙය වසරක සම්මානයන්ගෙන් ඇගයීමට පාත්‍ර වුව ද නැතුව ද කියවිය යුතු ආරෙ පොතක් ලෙස පිළිගනිමි -එය හොඳම පහ තුල ද යන්න පිළිගත හැක්කේ අන් කෘති වලට සාපේක්ෂව ය.

එක් අතකින් මේ කෘතිය මම මීට පෙර කියවූ වරණ කෘතියේ ශෛලිය ට ඉඳුරා විරුද්ධ ධ්‍රැවයේ ය. වරණ මනරම් බසකින්, හා ඉහළ ඉතිහාස පෙළගැසීම් වලින් පොෂිත වුව ද, පාඨක හැඟිම් අවදි කිරීමට තැත් කරමින්, ඒ ඔස්සේ සඟවා ඉදිරිපත් කල දේශපාලන අදහස් මතු ව එන්නේ වේදනාවෙන් උළුක් කරං සිටිනා මහපැටඟිල්ලක් මෙනි. එනුමුදු  චක්‍ර ඒකාකාරි රිද්මයෙන්  ගලායන දියපහරක් මෙනි -එහි දෙපස පරිසරය වෙනස් වුව ද, දිය පහරේ වේගය නිශ්චිතය. පාඨකයා සුවපත් ( සාහිතමත් ) ගමනක් යයි.

හැකි නම් සොයාගෙන කියවන්න - දක්ෂ කතුවරයෙකු සංයමයෙන් ලියූ, රළු තැන් ඔප දමා නොපෙනෙන තරම ට ශිල්පයෙන් පෙවූ,  කෘතියක්. ඒ ශිල්පය ම මෙහි කම්පනයන් ගෙන දෙන තැන් ද සුමට කර ඇතැයි සිතුණි. එහෙත් ඒ කම්මැල්ලවීර ලකුණ යි.

Monday 3 September 2018

වරණ - පද්මිණි සෙනෙවිරත්න




   මේ වන විට ස්වර්ණ පුස්තක අවසන් වටයටත්, ගොඩගේ හොඳම නවකතාවට හිමි සම්මානය උදෙසා වන නිර්දේශය අතර ට ත් පැමිණ ඇති පද්මිණි සෙනෙවිරත්නගේ "වරණ" කියවුවෙමි. එහි අලංකාරය ගෙන දෙන මතුපිටම ය මෙන් ම සාහිත්‍යම ය කාරණා කිහිපයකි.

අ)  ඉතා අලංකාර වූත්, ගුණාත්මක වූත් කවරය. එය ස්ථර කිහිපයකට නැවිය හැකි ආරේ අලංකාර කවරයකි.

ආ) මනරම් භාෂා භාවිතාව - මේ පොත කියවීමට ගත්තේ අමරසේකරගේ ධාතුසේන කියවා අහවරව ය. වෙන යම් අරමුණු ඔස්සේ ලියූ නිසා දො, එහි භාවිත කොට ඇති බස මා සිත් ගත්තේ නැත. ඔහු එම භාවිතය ට බලපත්‍රය ලබා ගන්නේ ඓතිහාසික නවකතාවක් වුව, සාහිත්‍ය නොවැටහෙන ඉංජිනෙරුවකු එය රචනා කලා යැයි කියමිණි. වරණ ඊට ඉඳුරා වෙනස් ය. මෙහි බස - වෙසෙසින් කථන බස - මනරම් ය. පාඨකයා දිය තිලක කැළෑ කෝරාල  වලව්වේ   හෝ මුහන්දිරම් වළව්වේ ආලින්දයක හෝ තැන්නෙකුඹුරේ අම්බලමේ හෝ   දිගැරෙන කථාබහක් අසා ඉන්නක් මෙනි. මග තොට සිදුවැන්නක් නම්, කූඩැල්ලන් ගහන කැළෑවෙන් අඳුරු වූ අඩිපාරක පිහිටුවන්නීය.

ඇ ) කතුවරියගේ ඉතිහාස දැනුම හා ඓතිහාසික අතුරු කතා ය. ඒවායින් මේ කෘතිය සුපෝෂිතය. ඒ කෘතහස්ත දැනුමෙන් මීට වඩා ඉදිරියෙන් පවතින නිර්මාණයන් රචනා කල හැකි යැයි සිතමි.

ඈ ) පාඨකයා ඇඳ බැඳ තබා ගැනීමට සමත් අලන්දරයන් ය. මෙම ලක්ෂණැය කෙතෙක් ද කීවොත් මෙය අයෙකු ට ඓතිහාසික ප්‍රේම කතාවකි. ඊට ම ඈඳා සිංහලේ එකල ප්‍රේමාන්විත බැඳීම් කෙරෙහි පසු කාලීනව සපැමිණි  වික්ටෝරියානු තහංචි ආරේ සීමාවන් නොතිබුණු බවත්, ඒ ඒ අවස්ථාවට ඖචිතව ක්‍රියා කරනා මානුෂික හැඟීමෙන් ක්‍රියාත්මක වුවෝ විසූ බවක් කියවේ.

මේ සියළු කාරණාකාරණා, කෘතියේ සමස්ත රසාස්වාදය තීව්‍රයට ම උපකාර වන දෑය. එහෙත් කෘතියේ දර්ශනයට පරිබාහිර ය.  තරමක් හෝ කෘතියේ දර්ශනයට ඍජු බලපෑමක් ගෙනෙන්නේ ඉහත කී ප්‍රේම හා ලිංගික සබඳතා පිළිබඳ අදහස් ය.

ඒ සියල්ල එසේ වෙතත් මට මේ කෘතිය ප්‍රිය නොවීය. මා ඇත්තෙන්ම මොහොතක් පිහිටා ඒ ඇයි දැයි මගෙන් ම විමසී මි. ආසන්න වශයෙන් ඊට හේතු මට පෙනි නොපෙනී යයි.

  මේ යටින් දිවෙනා, කතුවරියත් ( හා  ඈ ට ආභාෂය ගෙනෙනා පරමාදර්ශයන්  )  ගොඩනගනා කතාවක් ඇත. ඒ කතාව ගොඩනැංවීම පිණිස සුද්දන්ගේ ද,  කැළෑ කෝරාල ලා ගේ මුතුන් මිත්තන්  ගේ  ද අවතාරයන් ද, යහමින් භාවිත ය ට ගනී. ඉන් කියැවෙන්න ඉදිරිය ගැන බැලීමේ වැදගැම්ම ගැනත්, අපේ නායකකාරකාදීන්ගේ වැරදි නිසා බිඳ වැටුන දේ ගැන සිහින මැවීමේ පළ රහිත බවත්, සුද්දා පවා තමන් ක්‍රියා කල අයුරු පිළිබඳ පසුතැවෙනා බවත්, දැන් ඇති තත්ත්වය ගැන සිතා ක්‍රියා කරලීමේ ප්‍රායෝගිකත්වය ප්‍රඥ්ඥාව ගැනත් ය. සෛද්ධාන්තිකව මේ කරුණු පිළිබඳ විරුද්ධ විය නොහැකිය. එහෙත් දේශපාලන යථාර්තයේ මේවා ක්‍රියාත්මක වීමේදී ගැටළු මතු වේ.

මේ දෙබස බලන්න:
"කෝරාලට හිතෙන්නැද්ද තැන තැන දිරන ඔය වගේ වස්තුව අරං මේ රටේ මිනිස්සුන්ට  යහපතක් සිද්දවෙන වැඩක් කරන්න පුළුවංනං හොඳයි කියලා. මං මෙහෙම කියන්නේ ඒව අරං ඉංගලන්තෙට පටවන්න ඕනෑය කියලා නෙවෙයි. හැම  මිනිසෙකුටම යහපතක් වෙන විදිහෙ කටයුතුවලට ඒවා යොදවන්න උවමනාය කියන කාරණාව ගැන." ( 109 පිටුව )

මේ කොටස ද සලකන්න:
"සිය පරපුරේ කැලෑ කෝරාල තනතුර දැරූ සියල්ලන් අමනුස්සයන්ව ඉපිද නිදන් රකින්නේ යැයි නායක හාමුරුවරුන් කළ ඉඟිය සුදුබණ්ඩේගේ හිත් ගත්තේ නැත. එහෙත්, කුරුඹුරේ හාමුදුරුවන්ද නොකියා කීවේ ඒ ටිකම නොවේදැයි යන කල්පනාවද එවිටම ඔහුගේ හිතට රිංගා ගත්තේය." ( 221 පිටුව )

 මේ දෙබස් මගින් මට නම් බොහෝ දේ අඟවයි - එය සුද්දාගේ කාලෙට සීමා විය යුතු නැත්තේ, මෑතකාලයේ දේශපාලන නායකන්ගේ පුතුන් ද නිධන් පසු පස ගිය අය වීම ය ( පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ම ). කෙටියෙන් ම කිවහොත් නිධන් පිළිබඳ ස්ථාරය නම්, ගෙදර ගියොත් අඹු නසී - මග සිටියොත් නසී ය.  අනුරපුර යුගයෙන් මෙහා නිධන් ගොඩ ගෙන රට ට සේවයක් කල අයෙක් ගැන  වංශ කථාවක හෝ එන බැව් මතක් වන්නෙ නැත.


මීට පරිබාහිරව සංඝ සාසනයේ කුල බේදය, උඩ රැටි -පාත්ත බේද ආදි බොහෝ බේදයන් ඉස්මතු කර ඇත. මේ සියල්ල ම පාහේ සත්‍යය; ඒවා එසේ නොවේ යැයි වාද කරන්නෙකු වෙත් නම් ඒ අතීතකාමියෙකු ම ය.


මේ පොත සියළු උපායන් - නිර්මාණාත්මක කවරය, මනරම් බස, පැණි වෑහෙන පෙම් ජවනිකා - ආදි සියල්ල, ඉහත කී කෘතියේ දේශපාලන පණිවුඩය උදෙසා භාවිත කල ඒවා ය. එනම් ඒවා මේ අරමුණු උදෙසා වන වාහකයක් වීමයි.  පාඨකයකු ලෙස ඒ පිළිබඳ බැඳීමක්, ලෙන්ගතුකමක්, ස්වභාවික කම්පනයක් නූපදී. එහි උපක්‍රමශීලි බව සහ කෘතියේ යටිපෙළේ අරමුණු ලබා ගනු වස් යොදා ඇති ප්‍රයත්නයන් කෘතියෙන් මාව ඈත් කරයි.  ඒ අර පෙර කී ලක්ෂණයන් කෘතීම ව භාවිත ව ඇති බවට පසක් වීමෙනි. එය පුද්ගලානුබද්ධ වීමට පුළුවන; එලෙස ම එසේ නොවීම ට ද පුළුවන. මට කිව හැක්කේ මා කියවූ "වරණ" ගැන අවංකව මා තුල ඉපදුණු අදහස් පමණි. පාඨකයකු ලෙස මට එවන් අවස්ථා භාවිතාව රසාස්වාදයක් ඉපදීමට  බාධාවකි. අලංකරෝක්තියකින් රැවටීමට උත්සාහ කලාක් බවට දැන ගත් විට දැනෙන තිත්ත රසක් වැන්නක් මා තුල ඉතිරි විය.  කෘතිය සමස්ත වශයෙන්  සංහිඳියා න්‍යායපත්‍රය හා ඒකාග්‍ර වේ. මීට පෙර ද  යම් ආරක සංහිඳියා මාතෘකා ඔස්සේ ලියැවුණු කෘති සම්මානයට පාත්‍ර විය. දිගින් දිගට ම එකම ආරේ මාතෘකා ඇති නවකතා ඇගයීමට පාත්‍ර වීම,  යම් යම් සම්මාන කෙරෙහි ඇති විශ්වාසය අවම වීම කෙරෙහි බලපානු ඇත.




මෙය 2017 ප්‍රකාශ වූ නවකතා අතරින් මා තෝරා කියවූ පස්වැන්නයි. මේ වන විට  කියවා හමාර කර ඇති "බල කොටු සහ නෞකා" සහ "පේමති ජායෙති අසෝකෝ" පරදා මේ කෘතිය මා තෝරන වසරේ කෘති පහ අතර ට තේර්වි යැයි සිතිය නොහැක.





.