Wednesday 5 September 2018

චක්‍ර - ජයතිලක කම්මැල්ලවීර


මේ වන  විට ස්වර්ණ පුස්තක අවසන් වටයට ද, ගොඩගේ සම්මානයට ද නිර්දේශ වී ඇති කම්මැල්ලවීරයන් ගේ "චක්‍ර" කියවීමි. "අට අවුරුද්ද", "පුරාහඳ", "චුම්භන කන්ද" කියවා ඇවෑමෙන්, මා මේ ලේඛකයාගේ කිය වූ සිව්වෙනි කෘතිය යි. ලේඛකයා ගේ ලේඛණයේ සුපුරුදු දක්ෂතා ආරක්ෂා කරගනිමින් (පැහැදිලි රචනා ශෛලිය, ඔහුට ම හුරුපුරුදු සංයමයෙන් ආඛ්‍යායනය දිගැරීම - මේ ලක්ෂණය මා වඩාත් හොඳින් දුටුවේ "පුරා හඳ" හී ය, සරල සිදුවීම් තුලින් යම් මතවාදයක් දර්ශනයක් පෑඨකයා ට එබිකම් කිරීම ), මුත් කතුවරයා තරමක නැවුම් මාතෘකාවක් ඔස්සේ තම නිර්මාණය ගෙන හැර පායි. එලෙස ම කම්මැල්ලවීරයන්ගේ තවත් සුපුරුදු ලක්ෂණයක් වන උච්චස්ථානයකින් තොරව ක්‍රමික ව ආඛ්‍යායනය නිම වීම, මෙහි දී ද දැකිය හැක. පාඨකයකු නවකථාවකින් බලාපොරොත්තු වන රසය අනුව, මේ අවසන ට කී ලක්ෂණය කෘතිය ක දුර්වලතාවක් ලෙස ද ඇඳින්විය හැක ( මා එසේ කිරීමට මෙහි නොපෙළඹෙන්නේ, නවකථාවට වඩාත් සාධාරණ වූත්, ස්වභාවික වූත් අවසානය එය ම බැවින. ) 

නවකතාව ඇරඹෙන්නේ තරමක සාම්ප්‍රදායික අයුරකිනි. පිටු පණහක් කියවාගෙන යද්දි,  රසවත් මුත් තවත් හැත්තෑ ගණන් වල තවත් බලාපොරොත්තු අවම පවුලක කතාවක් කියවමින් සිටියේ, ලේඛකයාගේ දක්ෂතා නිසා එය රසවිඳිමිනි.සැම අතින් ම තම කෙටි දිවිය පුරා බැට කෑ රුවන්, මීගොමුවේ "අළුත් නවතැන" ට යාමත් සමඟ තමන ට වෙනස්කමින් තොර ව සලකන පවුලක් හමු වේ. ඒ පවුලේ සමාජවාදි අදහස් සමඟ එක්කාසු වූ කතෝලික සම්ප්‍රදායේ ප්‍රේමය ඊට සාධක බවට කතුවරයා ඒත්තු ගන්වයි. එහෙත් අසු ගණන් වලට අවතීර්ණවත් ම අප රටේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය රුවන් ට ත්, ඒ ආදර්ශමත්  පවුල ට ත් අභාග්‍යයක් ම ගෙන දෙයි. මීට පෙර සිහළ නවකතාවක් ඇසුරු නොකල ඉසව්වක් යැයි සිතෙන බෝට්ටුවකින් සරණාගතයින් ලෙස අන් රටක ට යෑමත්, එහි අලුත් දිවියක ට හුරු පුරුදු වන අයුරුත් කතාව අවසන දක්වා ගෙන යයි.  අලුත් රටේ  දි රුවනුත්, ඔහු ට කලින් හමු ව තිබූ තව කිහිප දෙනෙකුත් අලුත් දිවියක ට හුරු වෙන අයුරුත් - වෙසෙසින් ජීවිතය ඉතා කුරිරු ඉරණම් ලබා දුන් මිනිසුන් ට පවා, අලුතින් නැගිට සිටීමට ලබා දෙන අවස්ථා ගැන දිගැරුම සිතීමට යමක් ඉතිරි කරයි. මේ නවකතාව මුඛ්‍ය වශයෙන් දාර්ශනික හෝ යම් මතවාදයක් ඔස්සේ ලියැවුන්නක් යැයි සිතිය නොහැකි වුව ද, කතුවරයා යම් යම් අදහස් ඔබ්බවා ඇත්තේ ඉතා අපූරුවට ය. 

අප රට භීෂණයේ නිරර්ථකත්වය පෙන්වන එක් අපූරු තැනකි මේ:
"දිය යටින් පැතිරෙන ගින්නක් සේ ඝාතන දේශපාලනය රට පුරා පැතිර ගියේ මොන තරම් වේගයෙන් ද ? අනුර මෙන් තරුණයින් මෙරු මෙන් ඒ ගින්නට ඇදී ගොස් විනාශ උරුම කර ගත්තේ වටිනා ජීවිත ගණනාවක් ද බිල්ලට ගනිමිනි. මනුෂ්‍යත්වය නම් මේ යැයි පෙන්වන සංකේතයක් බඳු වූ මෙන්ඩිස් අන්කල් ඝාතනය කළ තැනැත්තා කවරෙකු වුව ද පුද්ගලිකව ඔහුට මෙන්ඩිස් අන්කල්ගෙන් කිසිදු වරදක් සිදු නොවූ බව සහතිකය. අනුර ද එසේ තමන්ට කිසි වරදක් නොකළ මිනිසුන් ඝාත්නය කරන්නට ඇත." ( 162 පිටුව )

තැනෙක පුද්ගලික විමුක්තිය පසෙක ලා රෝගි සමාජයේ සුවය වෙනුවෙන් වැඩ කිරීම දාර්ශනිකව සසඳන ලැබුව ද එය ඉතා සුමට ලෙස කෘතිය තුල පාවෙන්නේ, කෘතියේ රිද්මයට බාධාවක් නොවෙමිනි.

"කෙනෙකුට ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේලා මෙන් වන වැදී භාවනා කිරීමෙන් තම ආත්මය සුවපත් කර ගන්නට පුළුවන් වෙන්නට බැරි නැත. එහෙත් තම ජීවිතයේ මුණගැසුණු යහපත් මිනිසුන්  උත්සාහ කළේ තම තමන්ගේ ආත්මය සුවපත් කරන්නට නොව සමාජය සුවපත් කරන්නත ය. එක් අතකින් එය ආත්මය සුවපත් කර ගැනීමේ ම මඟක් වන්නට ද බැරි නැත. එවැනි අරමුණකින් වැඩ කල මෙන්ඩිස් අන්කල් දැන් නැත. බොනිපස් පියතුමා ඉතා ම දුෂ්කර තත්වයක් යටතේ හිඳිමින් සමාජය සුවපත් කිරීමේ වැඩ කටයුතු කරගෙන යයි." ( 171 පිටුව )

මුළු ආඛ්‍යායනය පුරාවට ම වෙහෙසකර උපක්‍රම භාවිතාවක් නැති තරම් ය. ඇත්තෙන් ම ශූර ලිවීමකි. විටෙක කතුවරයා ට එය අවාසිදායක විය හැක්කේ අන් කතුවරයකු කෙන්දක් තරම් සිද්ධියක් කන්දක් කරද්දි, මෙතුමා සැලකිය යුතු කම්පනයක් ගෙනදෙන්නක් වුව තම සුපුරුදු සංයමයෙන් හසුරුවා ලියා අප පාඨකයන් බලාපොරොත්තු වන චිත්තවේගි බව තරමක් මොට  කරවන  නිසා ය.


මෙසේ පැසසුව ද මෙය වසරේ හොඳම කෘති පහ තුළ ට අයත් විය යුතු ද යන්න පිළිබඳ මට යම් සැකයක් ඇත. ලිවීම ශූරය, කෘතහස්ත ය - එහෙත් කම්මල්ලවීර මේ අයුරින් මා කියවා ඇති ඔහුගේ සියළු නවකතා පාහේ ලියා ඇත. මට සාපේක්ෂ වශයෙන් තරමක අභව්‍ය වෙහෙසකාරි කෘතියක් ලෙස දැනී ඇත්තේ චුම්භන කන්ද පමණි - එය ද දුර්වල පොතක් නම් නොවේ. ඉතින් කතුවරයා ගේ අපි බලාපොරොත්තු වන ආරේ සංඝත ශූර ලිවීමට අමතර ව, බෝට්ටුවක සරණාගතයින් ලෙස ගමන් කිරීමේ තතු අප පාඨකයින් ට නැවුම් අත්දැකීමක් යැයි සිතමි. මෙය වසරක සම්මානයන්ගෙන් ඇගයීමට පාත්‍ර වුව ද නැතුව ද කියවිය යුතු ආරෙ පොතක් ලෙස පිළිගනිමි -එය හොඳම පහ තුල ද යන්න පිළිගත හැක්කේ අන් කෘති වලට සාපේක්ෂව ය.

එක් අතකින් මේ කෘතිය මම මීට පෙර කියවූ වරණ කෘතියේ ශෛලිය ට ඉඳුරා විරුද්ධ ධ්‍රැවයේ ය. වරණ මනරම් බසකින්, හා ඉහළ ඉතිහාස පෙළගැසීම් වලින් පොෂිත වුව ද, පාඨක හැඟිම් අවදි කිරීමට තැත් කරමින්, ඒ ඔස්සේ සඟවා ඉදිරිපත් කල දේශපාලන අදහස් මතු ව එන්නේ වේදනාවෙන් උළුක් කරං සිටිනා මහපැටඟිල්ලක් මෙනි. එනුමුදු  චක්‍ර ඒකාකාරි රිද්මයෙන්  ගලායන දියපහරක් මෙනි -එහි දෙපස පරිසරය වෙනස් වුව ද, දිය පහරේ වේගය නිශ්චිතය. පාඨකයා සුවපත් ( සාහිතමත් ) ගමනක් යයි.

හැකි නම් සොයාගෙන කියවන්න - දක්ෂ කතුවරයෙකු සංයමයෙන් ලියූ, රළු තැන් ඔප දමා නොපෙනෙන තරම ට ශිල්පයෙන් පෙවූ,  කෘතියක්. ඒ ශිල්පය ම මෙහි කම්පනයන් ගෙන දෙන තැන් ද සුමට කර ඇතැයි සිතුණි. එහෙත් ඒ කම්මැල්ලවීර ලකුණ යි.

No comments:

Post a Comment