Friday 28 August 2015

ස්මරණ - අනුරසිරි හෙට්ටිගේ



ස්මරණ - අනුරසිරි හෙට්ටිගේ
====================

***1/2

( නවකථා විචාරය ) -පෙරවදනේ, , කඹුරුගමුවේ වජිර හිමියන්ගේ "එළාර ආක්‍රමණිකයෙක් නොවේ" යන ප්‍රකාශයත්, මහවංශය එළාර ධාර්මිකව රට පාලනය කල බවට කෙරෙන ප්‍රකාශයත්, ගාමණි අභය රජුට, දුට්ඨ ගාමණි නම් වූ නම පට බැඳී තිබීම ත් යන කාරණා බීජංකුර ලෙස භාවිතවෙන් 1990 දශකයේ අගභාගයේ දී මෙහි මුල් අත්පිටපත ලියවුණු බවත්, මේ අත්පිටපත නැවත 2013 දී ලියද්දි,"ගාමණි අභයගේ විජිගීශා ළතැවුලත්, ගාමිණිගේ ආක්‍රමණයෙන් සලිත ව සිටි අනුරාධපුර වාසි මිනිස් දිවිය ප්‍රතිනිර්මාණය කිරීම" යන අභිලාශය හේතු භූත වූ බවත් පැවසේ. ඉදින් මේ පදනම මත පිහිටා අග්නි, දුමින්දු, මලිඳු යන යෞවනයෝත්, ඔවුන්ගේ පිය පාර්ශවත්, සෝණ තෙරණුවෝ ත් යන ප්‍රධාන, නුමුත් උපකල්පිත චරිත ඔස්සේ මේ නවකථාව නිර්මාණය වී ඇත. මෙහි එළාර චරිතය හෝ ගැමුණු චරිතය හෝ, ඍජුව අපට හමු නොවේ. වෙසෙසින් අනුරපුර වැසියන්ගේ සිතැඟි යැයි අප ලේඛකයා සිතනා ආකාරයේ සිතුවිලි හරහා මෙම නිර්මාණය සිදු වී ඇත.

 නවකථාවේ මා වඩාත් සිත්ගත් අංගය, පාඨකයා යම් තරමකින් පෙර යුගයකට ගෙන යාමට සමත් බසක්, වෙසෙසින් දෙබස් සඳහා භාවිත කොට තිබීමයි. මේ සඳහා එක් නිදසුනක් වුව සෑහේ:

"... මාගම දැන් අරාජිකයි...සැදැහැතිසුන් රාජ්‍යයට පැමිණීම, මලයට පලා ගිය ගාමණි අභයගේ කෝපයට හේතු විය හැකි ලු...දෙදෙනා මාගම උරුමය සඳහා සටන් වැදීමට සැරසෙන බව තමයි ආරංචිය..."
"ගාමණි අභය දළ දඬු ගති ඇත්තෙක් බව මපියාණන් කීවා...මාගම හමුදාව කවුරුන් හට කැමැත්ත පළ කර ඇද්ද ? "
" එය තවම හෙළි වී නැති කාරණයක්...අපේ සෙනෙවිරත් පවසන්නේ මාගම හමුදාව ගාමණි අභයට පක්ෂපාඉ වනු ඇති බවයි. කෙසේ වෙතත් සැදැහැතිසුන් මාගම ජනයාගේ සිත දිනුවෙක්..."
"අප අසා ඇති තොරතුරු වලට අනුවත්, සැදැහැතිසුන් යහපත් ගොවියෙක්... ගොවි දනන් හට නායකයෙක්... ගාමණි පියාට එරෙහි වූ, පියා නොසමාන පුත්‍රයෙක්... මාගම්වාසීන් උහුට අවනත නොවීමට ඒ ද කාරණාවක්.. " (32-33 පිටු )






කතුවරයා යත්න දරා ඇත්තේ මාගම තිසුන් (කාකවණ්ණ තිස්ස ), එළාර පිළිබඳ කුමන ස්ථාවරයක සිටිය ද, අනුරපුර සිහළුන් ගේ සිතැඟි හඳුනාගෙන යුධය ට අවතීර්ණ නොවූ බව පසක් කිරීමට ය. කතුවරයා නවකථාවේ මුල් අර්ධයේ මෙම දෘෂ්ටිකෝණය ඒත්තු ගන්වනු වස්, නිර්මාණාත්මක පාර්ශවෙන්  පැසසිය යුතු ව්‍යායාමයක් දරා ඇත.

එනුමුදු කෘතිය තෙවෙනි කාර්තුව නිම කරමින් සිව්වෙනි කාර්තුවට එළඹෙත්ම, ගාමණි අභයගේ ජයග්‍රහණ හේතුවෙන් එළාරයන්ගේ බලකොටු එකිනෙක බිඳවැටෙත්ම, අග්නි, මළිඳු වන් චරිත අමතක කොට දමා, තමන් විසින් ම  "මඟියෙක්" යැ යි හඳුන්වා ගන්නා දුමින්දු ට ප්‍රධාන අවදානය යොමු කොට, නවකථාව ආධ්‍යාත්මක දිශනතියක් කරා යොමු කර ඇත. මෙය නවකථාවේ රිද්මය අඩාල කිරීමට හේතු වී ඇත. කතුවරයා බලකොටු බිඳ වැටෙද්දි, බාහිර සතුරන් වෙනුවට අභ්‍යන්තර සතුරන් ජය ගැනීම වඩා වැදගත් බව ඒත්තු ගැන්වීමට උනන්දු වන්නට ඇත. එය කාරණාවක් ලෙස සත්‍ය වුවද ඉන් නවකථාවට යම් හානියක් වූ බව පෙනේ.
(මත ගැටීම )
කතුවරයා ගේ දර්ශනය සහ මාගේ දර්ශනය අතර ඇති නොගැලපීම ගැන කෙටි සටහනකින්, නිමාව කරා යොමු වෙමි. කතුවරයා තම මතය නවාකථාව ඔස්සේ කියා පා ඇත. එ හීදී, හේ අන් බොහො තන්හි විවේචනයට පාත්‍ර වන මහාවංශය,  "රජු ධාර්මිකව රට කලේ ය" යන්න ඒත්තු ගැන්මට භාවිත කොට ඇත. ඒ මහාවංශය ම, ගැමුණු රජු මහා වාලුකා නදිය එතෙර වීමෙන් එතෙර වූ පසු "මාගේ මේ ව්‍යායාමය, හුදු බුද්ධ ශාසනයේ ප්‍රතිෂ්ඨාපනය පිණිස ම වේ" යැයි කියා පාන බැවින්, එහි ඇති සත්‍ය ට ද ඒ බර ම ලැබිය යුතු වේ. ඊට සම්බන්ධ කාරණා දෙකකි. එය ඉදිරිපත් කරලීමට මම කැළණිය විශ්ව විද්‍යාලයේ අමරදාස ලියනගමගේ ඉතිහාස මහාචාර්‍යවරයා ගේ "The Indian Factor in the Security Perspective of Sri Lanka " යන මහඟු කෘතිය භාවිත කර ගනිමි. 


1- මහාවංශය ධාර්මික ව  රටකල විදේශික රාජ්‍ය නායකයින් ලෙස හඳුන්වා දී ඇත්තේ එළාරයන්, පමණක් නොවේ. ඊට පෙර මෙහි පැමිණි සේන-ගුත්තික ගැන ද එලෙස ම වනයි. ලියනගමගේ මහතා මේ මුල් යුගයේ ආක්‍රමිණකයන් ගැන මෙසේ කියයි ( කුඹුරුගමුවේ වජිර හිමි කුමක් කීව ද, අසේල රජුන් නසා රජ වූ එළාරයන් ආක්‍රමණිකයෙකි )



It is fairly clear that these adventurers, once they wrested power from the island's rulers, sought to manage the affairs of the island in a manner acceptable to its inhabitants. Unavailability of material support from a home base and the fact the invaders were heavily out-numbered by the local population would have left these rulers little choice but to make their rule acceptable to the people. (Page 14 )




2-  දෙවෙනි කාරණාව වන්නේ මාඝ වන් විකෘති මානසිකත්වයක් නොතිබූ, ධාර්මික යැයි ද, ශාසන හිතැති යැයි පවසන අනෙක් සියළු ආක්‍රමණිකයින් පරාද විමෙන් අනතුරුව, පසුව රජ පැමිණි සිහළ රජවරුන් විශේෂ ශාසන සේවයක් ( හා කෘෂිකර්මය ට සේවාවක් ) ඉටු කල ඇත්තෝ වීම යි. එසේ නම්, පැණය වන්නේ ඒ ඇයි ද යන්නයි. ලියනගමගේ මහතා එය මෙසේ විචාරයි.


..like Dutugemunu before him, Valagamba's religious zeal found expression in the construction of massive Buddhist monuments, the most notable being the Abhayagiri Stupa. As on previous spells of alien rule, it is quite likely that Buddhism suffered due to lack of religious patronage (Page 18)
Under these rulers (i.e. Early Tamil political adventurers from South India ), even if one presumes that Buddhism was not persecuted, which in all likelihood was the case, it is quite unlikely that it ever enjoyed the generous royal patronage which Sinhalese rulers accorded to it. This is partly borne out by the vigorous spells of Buddhist activity on the part of the Sinhalese rulers each time they were restored to power after a period of alien rule. (Page 22 )


 අනෙක් කාරණාව ගාමණි අභය "මාගේ මේ ව්‍යායාමය, හුදු බුද්ධ ශාසනයේ ප්‍රතිෂ්ඨාපනය පිණිස ම වේ"  ", යන ප්‍රකාශය අද යුගයේ පුරුෂාර්ථ ඔස්සේ මනින්නට යෑමේ දෝෂයයි. අද යුගයේ මින් කිසිදු යුගයකට වඩා මිනිසා ආගමින් බැහැර වී  ඇත. මම පෞද්ගලික ව එහි දොසක් නොදකිමි. එහෙත් වර්තමාන පුරුෂාර්ථයක් ඔස්සේ, අයෙක් ක්‍රි.පූ. දෙවෙනි සියවස සිදුවීම් මනින්නේ නම්, එය අශාස්ත්‍රීය ව්‍යායාමයකි. ගාමණි අභය මේ වදන් තෙපලන යුගයේ අප රට ශිෂ්ඨාචාරයේ ළදරු යුගයකි. එනම් දෙවනපෑතිස් රජුගේ යුගයේ සිදු වූ සංස්කෘතික උත්පත්තිය යම් අයුරින් විකාශනය වී, එළාර යුගයේ දි යම් පසුබෑමක් අත්විඳින්නට සිදු වූ යුගයක ය, ගාමණි අභය ඒ වදන් තෙපලන්නේ. අද වන් ඓහික දැනුමක් (එය වචනාර්ථයෙන්ම ඓහික ද යන්න වෙනම කාරණයකි - දාර්ශනික තලයක දී මෙම දැනුමේ ආගමික සෙවණැලි දැකිය හැක ) නොතිබූ යුගයක, රටේ  ආගම, රටේ දැනුම හා සංස්කෘතිය පෝෂණය උදෙසා සිදු කල මෙහෙය සුළු පටු නැත. ඒ අනුව වෙසෙසින් මේ සාකච්ඡා කරනා යුගයේ ශාසනයේ උන්නතිය, රාජ්‍ය පාලකයාගේ වැදගත් වගකීමක් බැව් පැහැදිලිය.

මේ කාරණාකාරණා ඔස්සේ, අනුරසිරි හෙට්ටිගේ මහතා, අනුරපුර වැසියන් සමස්තයක් වශයෙන් ගමණි අභය ට විරුද්ධ විය යන ස්ථාවරයේ සිටීම සදොස් ය. යම් පාර්ශවයන් අතර එවන් විරුද්ධතාවක් තිබුණ ද ( කිම ද අවුරුදු හතලිස් හතරක් වන් දීර්ඝ කාලයක් ඇවෑමෙන් එවන් තත්ත්වයක් බලාපොරොත්තු විය යුතුය ), එය තනිවම සැලකිය යුතු කාරණාවක් නොවන බවත්, වෙසෙසින් වර්තමාන පුරුෂාර්ථ ඔස්සේ "ආක්‍රමිණකයා ගාමණි අභය" ය යන උපකල්පනය සදොස් බවත් නිසැකයෙන් ම ප්‍රකාශ කල හැකිය.