Thursday 28 September 2023

තාප පටලය සහ වෙනත් කෙටිකථා - මදුරසිංහ ගුණතිලක

 1980 වසරේ රාජ්‍ය සම්මානලාභී කෙටිකතා සංග්‍රහය දිනා ගත් මදුරසිංහ ගුණතිලකගේ 'තාප පටලය සහ වෙනත් කෙටි කතා' කෘතිය කියවූවෙමි. විචිත්‍රත්වයෙන් යුත් මැයන්  පදනම් කොට ගෙන ලියැවී ඇති මෙහි එන කෙටිකතා දහයේ රස විඳිය හැකි අවස්ථාවන් බොහෝය. යම් දුර්වලතා යැයි හැඟෙන අවස්ථා ඇතත්, ලේඛකයා ගේ කතා ගෙතීමේ හැකියාවත්, භාවිත භාෂාව පමණක් නොව, ඔහු ගේ නිර්මාණය තුල පවතින ගම්‍යතාවක් වන් යමක් හේතුවෙන්, එම දුර්වලතා පාඨකයාගේ කියවීමෙ රුචිය සහ වින්දනය පෙළන්නේ නැත.

මා මෙහි වඩාත් සාර්ථක කෙටිකතාවක් ලෙස නිවුණු තේ කෝප්පය දකිමි. අප රට ඉතා සුලභ ලෙස, විවාහයෙන් දරු මල්ලන් ලැබීමෙන් පසුව අඹු සැමි ඇසුරේ ගුණාත්මක බව, සහ සුලභ බව, ආදිය ඉතා ඉක්මනින් නැතිවීම යන කාරණාව මුල්කොට ගෙන ලියැවුන්නකි. කාන්තාව තුල පෙර තිබූ සුන්දරත්වය බොහෝ සෙයින් තිබුන ද, ඈ නිවුණු තේ කෝප්පයක් සේ, ළමුන් ගැන ම සිතීම, ආගමට දහමට ලැදිවීම ත්, පුරුෂයා නම්, තම පවුලේ උන්නතිය වෙනුවෙන් වැඩි අවදානයක් යොමු කිරීම ආදි හේතූන් නිසා මෙම තත්වය ඇති වන අයුරුත්, සමස්තයක් ලෙස විවාහයෙන් කෙටිකලකට පසුව වඩා නිවුණු ස්වරූපයක් සංස්කෘතියෙන් ම බලාපොරොත්තු වීමත් අප කතුවරයා දක්ෂ ලෙස තම කෙටිකතාවක් නතු කර ගනී.

උරුම කරුමය සාර්ථක කෙටිකතාවක් වන්නේ, ඊට අප නොහිතන ලෙස එක්තරා සත්ව කොට්ඨාශයක දෙදෙනෙකුගේ පිළීසඳරක් මුල් වීමත්, ඔවුන් ගෙන් මිනිසුන් බලාපොරොත්තු වන කරදරකාරි හැසිරීමක යෙදෙමින් ම, එම පිළිසඳරේ යෙදීමත්, එම සතුන්ගේ දෘෂ්ඨිකෝණයෙන් ම ලියැවී තිබීමත් හේතුවෙනි. මෙම කෙටිකතා සංග්‍රහයේ මා දකිනා ප්‍රධානම දුර්වලතාව වන, දෙබස් තුලින් පමණක් ම කෙටිකතාව ගොඩ නැගී තිබීම මෙහි දක්නට ලැබේ. එවන් රචනයක් යම් ආකාරයෙන් නාට්‍ය දෙබසක ස්වරූපයක් අපට මතක් කර දෙයි.

කඳු වළල්ලෙන් එහා
කෙටිකතාව ද මෙලෙස නාට්‍යමය ස්වරූපයක් අප ට හඟින්නේ, පෙර කී කෙටිකතාව සේ දෙදෙනෙකු අතර දෙබසින් ම මුළු කෙටිකතාව ම පෝෂණය වී තිබීම හේතුවෙනි. එහෙත් කතුවරයා දක්ෂ ලෙස දේශපාලන දර්ශනයක් භාවිත කිරීම හේතුවෙන් පාලක සහ පාලිත පැලැන්ති වල ස්වරූපය පෙන්වයි.  එක්තරා අන්දමකට "ගෝඩො එනකං" නාට්‍යය මතකයට නැංවීමටත් මෙම කෙටිකතාව සමත් ය.

පෙර කී කෙටිකතාවන් දෙක දෙදෙනෙකු අතර දෙබසට සීමා වුව ද, මෙහි එන මැක්කෝ කෙටිකතාව, රැස්ව සිටින
කිහිප දෙනෙකු එතන නැති අයෙකුගේ ජීවිත කතාව, ඔවුන්ගේ දෙබස් තුලින් අන් අයට හෙළි කරයි. මේ අවස්ථාවේ ද කතුකරයා රසවත් කතාවක් ගෙතීමට සමත් වුවද, පාඨකයාට ඒ ඒ අවස්තාවේ කවුරුන් කතා කරන්නේ ද යන්න පවා අපැහැදිය. කතුවරයා ඉන් අඟවන්නේ මෙහි ඔවුන් කතාකරනා අසංග ගැන විස්තරයම වැදගත් වන අතර, ආකෘතිය එතරම් වැදගත් නැති බවකි.  එහෙත් 1980 වන විට දී ද, සිංහල පාඨකයා ගුණදාස අමරසේකර, සයිමන් නවගත්තේගම ආදි කතුවරුන්ගේ ඉහළම ගණයේ කෙටිකතා රස විඳි තිබි හෙයින්, ආකෘතිය ගැන මීට තරමක් වෙහෙසීමට අවකාශ තිබූ බවකි, අපගේ අදහස.

ප්‍රථිපල ලේඛනය ද රසවත් නිර්මාණයක් වන්නේ නොසිතූ ලෙස මෙහි එන උත්කර්ෂා නැමැත්තිය, ඇගේ වරදින්ම ඈ කෙරෙහි අදහස් ඇති කර්ග්ත් දුර්ග නම් වූ තරුණයා එම අදහසින් වෙනස් කරගැනීමට යොමු කර ඇති ආකාරයත්, ඈ එසේ කරනා බවක් ආකර්ශාට කිසිදු අවස්ථාවක නොසිටීමත් නිසාය.

මෙහි යම් තරමක් ඔවදනාත්මක කෙටිකතා ද තිබේ. ප්‍රධාන කෙටිකතාව වූ, තාප පටලය ද එවැන්නකි. තමන් කෙරෙහි වූ අධිමානයත්, අන් අය ගැන නොසිතීමත්, තමන් ට සමාජයේ යම් ස්ථානයක් තිබේ නම්, එය මොනයම් අයුරෙන් හෝ ආරක්ෂා කර ගැනීමේ අදිටනත් පෙන්නුම කරනා, තරමක ඔවදනාත්මක කෙටිකතාවකි.

කතුවරයා එවකට නව්‍ය යැයි සිතිය හැකි ලේඛන ආර සමඟ ද යම් නිර්මාණ පරීක්ෂණ සිදු කොට ඇත. නෘත්‍යාගාරය එවන් කෙටිකතාවකි. සැබෑ ලොවත්, නාට්‍යයත් අතර අපූරු සැසඳීමක් මගින්, අප සියළු දෙන එක්තරා අන්දමකින් සැබෑ ජීවිතයේ ද නළු නිලියන් බවත්, මුළු ලොව රඟමඬලක් ය යන අදහස මතුවෙනාකාරයෙනුත් ලියැවුන්නකි.

පටුතිරය, වැලිතලප, සහ රතු මැණික වැනි කෙටිකතා මෙහි එතරම් සාර්ථක ලෙස මතු නොවුනත්, ඒවායේද පාඨකයා ට යම් වින්දනයක් ගෙන හැකි, ඒ වන විට සිංහල පාඨකයට අලුත් යැයි සිතිය හැකි නිර්මාණ ආරක අවස්ථා දැකිය හැක.

විශ්ව විද්‍යාල වල ශාස්ත්‍රවේදී උපාධියට ද නිර්දිෂ්ට කෘතියක් වන මෙය, එදා මෙදා තුර අප රට ඉතා සාර්ථක කෙටිකතා රචකයින් රැසක් බිහි ව, කෙටිකතාව වඩා විචිත්‍රවත් ගොඩනැඟි ඇති මුත්, අදට ත පාඨකයා ට රස වින්දනයට ගෙන ඒමට සමත් කෙටිකතා එකතුවක් ලෙස නම් කල හැක. දැනටමත් සිංහල කෙටිකතා රසිකයන් බොහෝ දෙනෙක් සතු කෘතියක් යැයි සිතිය හැකි මෙය, එසේ මෙතෙක් මිලදී ගැනීමට නොහැකි වූ අය පවා මිලදි ගැනීමට සැලකිය යුත්තක් ලෙස දකිමි. මා සතුව ඇත්තේ 2016 ප්‍රකාශ වූ සවැනි මුද්‍රණය වුව, ඊට පසු මුද්‍රණයන්  අද දවසේ ද ගොඩගේ හි තිබෙන බව සහතික විය හැක.

ශ්‍රේණිය: ****
ශානරය: කෙටිකතා

Thursday 21 September 2023

කළු උස මනුස්සයෙක් - ප්‍රින්ස් සේනාධීර

ප්‍රින්ස් සේනාධීර යන නම මගේ නෙත පැහැරගත්තේ පසුගිය වසරේ සම්මාන කිහිපයකට ම නිර්දේශ වූ නිසාය. ඔහුගේ "පුස්තකාල පූසා" ව, එහි නම නිසාම වරක් දෙකක් නෙත ගැටී තිබුනද, එය අතට ගෙන බැලීමට හෝ යොමු නොවූ බවත්, ඒ අර්ථයෙන් කුමන අඩුපාඩු මැද වුව, සාහිත්‍ය සම්මාන, අප වන් ලාංකිය කලා සමාජයේ කිසිවකු නොඅඳුනන, කුඩා කියවීම් සමාජයක් තුල පමණක් දැන ඇදුනුම්කම් පවත්වාගෙන යන, වෘත්තිය දිවියට දවසේ වැඩි වෙලාවක් ගත කිරීමට සිදුවන්නන් හට,  ඇසට පුරුදු කරගත් නමක් නැති අයෙකුගේ පොතක් අතට ගැනීමට පොළඹවන ප්‍රධාන සාධකය බවය, තිත්ත ඇත්ත! ඒ නිසාය, සම්මාන ජය කාට හිමි වුවද, අප රට ප්‍රධාන සම්මාන හතර හරහා කෙරෙන නිර්දේශයන් ම වැදගත් වන්නේ. මෙම කෘතිය එකම සම්මානයක් හෝ ජයග්‍රහණය නොකලද, සම්මාන හතරට ම නිර්දේශ වූ එකම කෙටිකතා සංග්‍රහය මෙය බව පිරීක්සන විට පෙනී යයි.   කළු උස මනුස්සයෙක් I සහ II යන කෙටිකතා කියවිමෙන් අනතුරුව, හදිසියෙන් කලේ ගොඩගේ එකට දිව ගොස් පුස්තකාල පූසා ව ගෙදර එන ඒමය. ඒ, එම කෙටිකතා දෙකෙන් ම, ප්‍රින්ස් ගේ කෙටිකතා කියවිය යුතුයි, යන හැඟීම මා තුල ස්ථාපිත වූ නිසාය. ඉතින් ඒ කෙටිකතා කෙසේද ?

කළු උස මනුස්සයෙක්, සහ කළු උස මනුස්සයෙක් II: මෑතක කිය වූ ඉතා ම රසවත් නිර්මාණ දෙකකි. සේතන්, ඔහු ට ජීවත් වීමට තිබූ සියළු බලාපොරොත්තු නැති වූ මැදිවිය ඉක්ම වූ පියෙකි. යුද්ධයේදී අතුරුදන් ව ගිය සිය පුතුගේ මෘත දේහය හෝ බලා ගැනීමට නොහැකි වූ සොව, ඔහු ජීවත් වන තෙක් ඔහු සිත පාරවයි. එලෙස ජීවත් වද්දී ය, නාඳුනන මල මිනියක් දිය නාන්නට ගිය විට ඇස ගැටෙන්නෙ. ඔහු ට තියෙන සැකය, මේ මිය ගිය මනුස්සයා ට කවුරුත් ම හෝ නැති ද යන්න ? සිය මිය ගිය පුතුගේ වයස පමණ වූ එම මිය ගිය තැනැත්තා ගේ නැති වීම මේ රටේ කාටවත් ම දැනෙන්නැ ද ? එම මෘත දේහය ආණ්ඩුව ගානේ, අවම වියදමකින් සහ ගරුසරුවකින් මිහිදන් කිරීම ද, මේ කාට හෝ නෑ කම් කී පුද්ගලයා ගේ දෛවය ? ඔහු ගේ පුතුගේ අතුරුදන් වීමෙන් පසු, මෙසේ අයිතිකාරයෙක් නැති මල මිනියක් යනු, සේතන් ට තේරුම් ගත නොහැකි දෙයකි. ඔහු වසර ගණනාවක් තම අතුරුදන් වු පුතු ගැන සොයා හති වැටී, බලාපොරොත්තු සුන්ව තම අවසන් කාලය ගෙවෙන්න ට ඉඩ හැර සිටින්නෙකි - නැතොත්, මැරෙන්න බැරි නිසා ජීවත් වන්නාක් සෙයකි. ඉදින් ඔහු කෙසේ ඔහුගේ දෛවයේ, අනෙක් පැත්ත තේරුම් ගන්න ද? නිර්මාණකරු, සේතන් ගේ මානසික ආතතිය, මේ විමතිය තේරුම් ගැනීමට නොහැකි ව, මෝචරියේ එම මල මිනිය වටේ කැරකැවීම, පොලිසියේ රස්තියාදු වීම මගින්, විශිෂ්ඨ ලෙස, තමන් ට උරුම වූ ඒ වටිනා වස්තුවක් නැති වීම, මෘත දේහයක් හෝ බලාගැනීමට නොහැකි වීමේ ජීවිතයේ පතුලේ ම ඇති බලාපොරොත්තු සුන් බව ගෙන හැර දක්වයි. මේ කෙටිකතාව සුවිශේෂි වන්නේ ඒ නිසාය.

අප්පුහාමි කුඩාවෙකු කල සිට කුඹුර ට, කමත ට, නියර ට පෙම් කල ඇත්තෙකි. සිය වැඩිමල් සොයුරු උසස් අධ්‍යපනයේ හිනි පෙත්තට යද්දි, "උපන් මෝඩයෙකු" ලෙස, සම්මත ආකාරයෙන් නම්, මගහැරී ගිය ජීවිතයක් වන අප්පුහාමි, පියඹකට මෙන් තම කුඹුර ට පෙම් කරයි. කතුවරයා මනස්කාන්ත ලෙස එම කුඹුරේ බලාපොරොත්තු, පියඹගේ හැඟුම් හා බලාපොරොත්තු තේරුම්ගත් ප්‍රියාදර පෙම්බරයකු ලෙස, අප්පුහාමිට වැටහෙන අයුරු, අප ඉදිරියේ මවා පායි. මෙම කෙටිකතාව එතරම් රසවත් වන්නේ ඒ නිසාය. අප්පුහාමි ට තම කුඹුර, පෙම්බරියක ලබා දෙන ජීවන රසය, ජීවිත බලාපොරොත්තුව, ලබා දෙන්නේ නම්, එම සංඥ්ඥා, එම පරිසරය හා බැඳි ගැඹුරු දැක්ම නොවැටහෙන අපි ට, ඔහු උපන් ගෙයි මෝඩයෙකු ලෙස තීරණයට ඇති අයිතිය කිම ? එසේ ජීවත් වූ අප්පුහාමි ට තම කුඹුර අහිමි වූ විට, ඔහු ට ජීවත් වීමට කුමන බලාපොරොත්තුවක් ඉතිරිකරාවි ද?

පෙම් සුව නොලබන්නියකු ට හෝ නොලබන්නෙකුට හෝ, තමන ට අහිමිව ගිය තාවකාලික පෙම් සුව ද බොහෝ සේ වටින්නේය. ඔවුන් ව ජීවත් කරවීමට එම මතකය  ම ප්‍රමාණවත් ය. චන්ද්‍රලතාටත් තිරස් දර්ශනයක් හි, තම වහලෙහි සිදුර අපූරු මතකයක් (සිරස් දර්ශන) රැගෙන එන අතර, වසර ගණනාවකට පසුව, අන් සතු වූ පසු ව හෝ, සිට පෙම්වතාගේ සිත් තුල පැරණි පෙමක මතකයක් ගෙන  ඒමට සමත් වීම (තිරස් දර්ශනය)  වුව ඇයට ප්‍රමාණවත් ය. මා වඩාත් රසවිඳි කෙටිකතාවකි.

පෙර කී ප්‍රේමයේ මතකය, එය කෙතෙරම් සුළු වුව කෙනෙකු නිරෝගී ව තැබීමට තරම් විය හැක. ලියුම් මාත්‍රාව නම් කෙටිකතාවේ එන රත්නපාල හා කල්‍යාණිගේ ප්‍රේමය ලියුම් ගණුදෙණු වලට සීමාවූවකි. එහෙත් ඔවුන්ගේ පුංචි ලෝක වලදී එම දිනකට වරක් විනාඩි කිහිපයක හමුව දෙදෙනාව ම ජීවත් කරවීමට පමණක් නොව, මැදිවියේ රෝග, වෙහෙස ට එරෙහිව මාත්‍රාවක් වන අයුරු ආකාරාය ඇත්තෙන්ම අපූරුය.

මෙහි එන වඩාත් දේශපාලනික (සාමාන්‍ය අර්ථයෙන්), අනෙක් සපත්තුව යි.දේශපාලන අධිකාරියේ පිම්බීම උදෙසා පෞද්ගලික බැඳීම් නොසලකා හැරීම අප වන් රට වල සාමාන්‍ය දෙයක් පමණක් නොව, බහුතරයක් ප්‍රශ්ණ කිරීමකින් තොරව බාර ගන්නා තත්තවයක් වීම, අප රට සාමාන්‍ය මිනිසුන්ට අභිමානයෙන් ජීවත් වීම දවසින් දවස පසුපසට යවනා තත්වයකි.

ඉහත කෙටිකතා පහ මෙහි එන සාර්ථකම කෙටිකතා හතර වේ. එම හතර පමණක් වුව මෙය විශිෂ්ඨ කෙටිකතා සංග්‍රහයක් බවට පත්කිරීමට සමත්‍ ය. ඒ නිර්මාණ හතර තුලින් මිනිස් සිත, එහි බලාපොරොත්තු, ඒවා රහිත වූ විට ඔවුන්ගේ ජීවිත වල බිඳවැටීම්, බලාපොරොත්තුවම අයෙකු ජීවත්කරලීමට සමත් වන අයුරු පෙන්වා දෙන්නේ, ප්‍රින්ස් කෙතෙරම් අපූරුවට මිනිසෙකුගේ ගැහැනියෙකුගේ සියුම් හැඟීම් හඳුනන්නේ ද යන්න බවට සාක්ෂි දෙන අතරය.

මෙහි එන අසූනවයට පස්සේ කෙටිකතාව ලාංකිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමහර ගුරුවරුන්, නවයොවුන් සිසුහුගේ සිතිම් රටාව තේරුම් නොගැනීම විදහා දක්වන ආරේ කෙටිකතාවකි. ඉන් දිගුවක් ලෙස අප රට විචාරවත් නොවන වැඩිහිටි සමාජයකට එවන් ගුරුවරුන් ද වගකිවයුතු බවක් ඇඟවේ.

මුදු මොළොක් කළුගල් කෙටිකතාව, කතාවක් ලෙස ඉතා රසවත් මුත්, බොහෝ සෙයින් භාවිතයට ගෙන ඇති, කුලපීඩනය, 89 භීෂණය ආදිය පදනම් කරගෙන ලියැවුන්නකි. එහි විලියම් මාමාගෙන් කියවෙන සමහර කියුම් හි එන දාර්ශනික පැතිකඩයන් කතාවේ රසවත් තැන් වැඩි කරයි.

මෙහි එන යම් තරමකින් හෝ සාමාන්‍ය ලෙස ගිණිය හැකි කෙටිතාව සී.සී.ටී.වි. යැයි සිතමි. මිතුරාගේ ප්‍රශ්ණය හා තම දරුවාගෙන් එන පීඩනය අතර දෝලනය වන ගුණපාල, අවසන තම මිතුරාට වෙන කල හැකි දෙයක් නැති බව තේරුම් ගෙන, නීතියේ සීමාවෙන් ඔබ්බට නැවත ක්‍රියාත්මක වන්නේ තමන්ට එරෙහිව එන සියළු දඬුවම් වලට මුහුණ දීමට තෝරාගනිමිනි.

ඉතින්, සිංහල කෙටිකතාව ට ආදරය කරන්නියක් නම්, කිසිදු පැකිලිමකින් තොරව, අනිවාර්‍යයෙන් ම කියවිය යුතු කෙටිකතා සංග්‍රහයක් බව පැවසිය හැකි කෘතියකි.

ශ්‍රේණිය: ****1/2
2021 ප්‍රකාශ වූ කෙටිකතා කියවීම: 5
ප්‍රකාශනය: විදර්ශන