එරික් ඉලයප්ආරච්චිගේ තිවංක කතාව කියවුවෙමි. මේ ඒ ගැන, අපගේ සීමිත දැනුම අනුව, අපගේ කියවීමයි. එය තවත් සාමාන්‍ය පාඨකයෙකුගේ කියවීමක් පමණක්ම ය.
මෙම නවකතාවෙ පළමු කොටස කියවාගෙන යෑමෙදි මට සිහියට ආවේ, සැමුවෙල් බෙකෙට් ගේ 'ගෝඩෝ එනතුරු' නාට්‍යය යි. එහි පිටපත මීට වසර කිහිපයකට පෙර කියවා, ඉන් බිහි වූ චිත්‍රපටයක් ද නැරඹුවෙමි. මෙම නවකතවේ පිටු 166ක් පුරා දිවෙන 'පළමු වකයෙන්' දිගැරෙන්නේ ලඩිමෙර් සහ එරෙගෙන් අතර දිගැරෙනා, ගොඩෝ එනතුරු ඇති බලාපොරොත්තුව වන් ඉතා සෙමින් දිගැරෙනා, නිශ්චිත දිශාවකින් තොර දින කිහිපයක විස්තරය. එහි කතාවක් නැත්තා සේය. පසු ගිය සමයේ ගාළු මුවදොර පරීශ්‍රයේ ඇති වූ උද්ඝෝෂණ පෙළ සමඟ, අප රට ඇති වූ දේශපාලන පෙරළි තුලින් අලුත් බලාපොරොත්තු ඇති කර ගනීම, ආර්ථිකව බංකොලොත් වූ රටක ට ගොඩෝ ඇවිත්, අලුත් කලක් බිහිකරලීමක් වන් බලාපොරොත්තුවක් යැයි මෙම කොටස කියවද්දී මට සිතුණි. මෙහි මුඛ්‍ය චරිතය යැයි කිව හැකි විලියම්, ගාමිණි හෝල් හංදියෙන් විජේවර්ධන මාවත ඇරඹෙන ස්ථානයෙ ඇති පරණ පොත් විකුණන පොත් කඩ පෙලේ සිටිනා ජ්‍යේෂ්ඨයෙකි. ඔහු එම රැකියාවේ බොහෝ කලක් නිරතව, එහි අහු මුලු දන්නෙකි. උද්ඝෝෂණ සහ අහේණිය පිරි එම දින වල සතෙකුටවත් කෑමක් නැති කොළඹ ක සිට තමනට ලැබුණු කර්තෘ අඥ්ඥාත පිටපතක්, ගැහැට විඳමින්, බොහෝ විට කුසගින්නේ ම කියවන්නේ, පෙර කිව් ලෙස ලඩිමෙර් සහ එරෙගෙන් අතර වූ දෙබස සිහිගන්වමිනි. බෙකට් ගේ කෘතියේ, ලකී නම් වූ ධනවතෙකු ගෙනනා බලාපොරොත්තු, මෙම පිටපතේ අප රට ඉතිහාසයේ රජරට රාජධානී බිඳ වැටීමෙන් අනතුරුව නිරිතදිග ට සංක්‍රමණයට පෙර තිබූ සංක්‍රාන්ති සමය ට සමාන කල හැක්කා සේය. දෙවෙනි වකය වෙන් වී ඇත්තේ පෙර කි අත්පිතේ කොටසක් අප වෙත ඉදිරිපත් කිරීමට ය. පළමුවෙනි වකයේත් දෙවෙනි වකයේත් ඔස්සේ මෙහි කියාපාන්නේ, ආගමික සංස්කෘතියකට බැඳි ජාතික රාජ්‍ය වෙනුවට, බටහිර සභ්‍යත්වය වෙත විවෘත ව අප ගේ දනුම් පද්ධතියත්, හර පද්ධතියත් නැවත විමසිය යුතු බවත් ය. සෙනෙරත් පරණවිතානයන්ගේ ආන්දෝලානාත්මක කෘති ද්විත්වයක දිගැරෙන කරුණු මගින් මෙවන් සමාජ-සංස්කෘත විවෘතවීමකට දිරිගැන්වෙන සුළු ඉතිහාසයක් ඉඟිකෙරෙනා බවත්, අද වන් අප රට ආර්ථික වශයෙන් පතුලටම වැටී ඇති අවදියක දී මෙවන් තවතවත් ඇතුලත වෙත ම තව තවත් යොමු වෙනවා වෙනුවට, අපෙන් පිටතට අපේ දෑස් යොමු කොට පිටත දැනුමෙන්, සභ්‍යත්වයෙන් අපේ සීමා බන්ධන බිඳ දමා ඉදිරියට යා යුතු බව ඇඟවේ.
වර්තමාන යුගයේ දිගැරෙන මුල් වකයේ මේ කොටස අපට හමුවේ:
"දේශප්‍රේමී මුළාවකින් යුතුව, නොදැනීම ගෙවී ගොස් තිබෙන පසුගිය කාලය අභාග්‍යසම්පන්න එකක් බවකි, ඒ ව්‍යාකූල උදයෙහි ඇසෙන කාක ඝෝෂා මැද විලියම්ට සිතුණේ. බොරු සිල් රකිමින් ගත කරන ලද එම ජීවිතය ආගම් දහම් වීසින් ද නොමඟ යවන ලද එකක් නොවේ දැයි විලියම් කඩයේ පියන් දෙකක් ඇර සිතන්නට විය. අඳුරු නීතිය ඉවත් කර නැත. ඒ නිසා ඊට වැඩි පියන් ගණනක් විවෘත කිරීම අවදානම් සහගත ය. අරගලකරුවන් බෙරිහන් දෙමින් කියන පරිදි එක ජාතියක් තවත් ජාතියකට හතුරු කරමින් හා එක ආගමක් තව ආගමකට හතුරු කරමින් ගත කළ සමය නිකරුණේ නාස්ති වූවක් බව ය, විලියම්ගේ කල්පනාවට හැඟුණේ." (155 පිටුව)
දෙවෙනි වකයේ එක්තරා ස්ථීවර කෙනෙකු මගින් පැවසෙන්නේ මෙවැන්නකි:
"චක්‍රවර්ති මහා බ්‍රාහ්මණයා වුණත් පරම පුස්තකය ලිව්වත්... රාජවංශ පුස්තකය ලිව්වත්... පරම්පරා පුස්තකය ලිව්වත්, භූමි මතය කියන භව බන්ධනයෙන් මිදෙන්න වුවමනායි. ජම්බුද්වීපය හරි විශාල එකක්. මහා අලක්ෂාන්දර වුණත් ජම්බුද්වීපයේ වාසල් දොරකඩට ඇවිත් ආපසු හැරුණා... එයාගේ අනුප්‍රාප්තිකයින්වත් පංචනදියෙන් මෙහාට ආවේ නැහැ. ධර්මාශෝකගේ පියාගේ චන්ද්‍රගුප්ත, ඒ යවන අනුප්‍රාප්තිකයින් තවත් ඈතට පන්නා දැමුවා... තමා විශාල බව දන්නා ජම්බුද්වීපය, භූමි මතයට ගැති වෙනවා. ලංකාද්වීපයටත් ඒ ඉතිහාස රෝගය වැලඳිලා. ශ්‍රී විජය අපි, සමතිස් පෙරුම් පුරන දහසකුත් එකක් දූපත් වගේ නැව් තොට හදාගන... බදු පත්තු අටවාගෙන මුහුදු මතය හිස මුදුනින් පිළිගන්නා ජාතියක්." (297-298 පිටු)
දෙවෙනි වකයේ මුඛ්‍ය චරිතයක් ලෙස බොහෝ ඇසු පිරූ තැන් ඇති පණ්ඩකයෙකු භාවිත කරමින් ලේඛක තෙමේ ව්‍යංගයෙන් පවසන්නේ, මෑතක් වන තුරුම පණ්ඩකයන් නොඉවසූ ස්ථාවරය මෑතක අප රටට පැමිණි එකක් වගත්, දැන් දැන් ලොව ප්‍රචලිත ලෙස ප්‍රධාන ලිංග ප්‍රභේද දෙකකට සීමා වීමේ යුගය අහවර බවත් ය.
තෙවෙනි වකයෙන්, පෙර වක දෙකේ රිද්මය වෙනස් කරලමින්, නවකතාවට සමස්ත ලෙස හැඩ ගැස්වීමක් ගෙන එයි. ඒ අර්ථයෙන් ආකෘතික වශයෙන් මෙම නවකතාවේ බොහෝ වෙනස්කම් ද, හැරුම් ද ඇත.
මේ සියළු සමාජ - දේශපාලන - දර්ශන ස්ථාවරයන් එක් කෘතියක් තුල කැටි කිරීමට එරික් ගෙන ඇති සාහිත්‍යමය ප්‍රවේශය, පරීශ්‍රමය සැබවින් ම ඇගයිය යුතු එකකි. පිටු 376ක් පුරා දිගැරෙන මෙම දීර්ඝ නවාකතාව තුල දී කතුවරයා ගේ මෙම ස්ථාවරය හොඳින් පිළිඹිබු වන බවත් කිව යුතුය. එහෙත් මෙය නවකතාවක් ලෙස සාර්ථක ද ? ඇත්තෙන් ම එය 2024 දී සිට කිව හැක්කේ මෙය මට අද, සහ මා දකිනා අයුරින් අපේ බොහෝ පාඨක පිරිස පිළිගන්නා ආකාරය ගැන යමක් පමණකි. මා ඒ කියනා දෙය තව වසර හයකින්, හතකින්, දහයකින්, වෙනස් ව මෙය අපගේ වෙනස්වීමේ අත්‍යවශ්‍යභාවයට පෙරදැක්මක් ලෙස සේවය කර තිබෙනවා දකින්න මා ඉතා කැමතිය.
- මේ කෘතිය අප බොහෝ පාඨකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි මා සිතමි. කිමද, ආරම්භයේ කීවාක් මෙන් 'ගෝඩෝ එනතුරු' පාහේ ඉතා සෙමින් දිගැරෙනා කෘතියක් වීමය. මෙය මහත් ඉවසීමකින්, සහ කතුවරයා ගේ පැහැදිලි දීර්ඝ වැඩි විස්තර, ප්‍රස්තූත කාරණයෙන් පිටයෑම්, ගැන තරමක සවිඥානක වීමකින් කියවිය යුත්තකි. කතුවරයා ගේ පේත මෙරට ප්‍රධාන සම්මානයක් ජයග්‍රහණය කල විට, එය බගන්ධරා සහ රතු පලසෙහි දිගුවක් ලෙස නොදත් සාහිත්‍යට සම්බන්ධ අය පවා එය හෙළා දැක කතා කලෝය. ප්‍රේත ට එසේ නම්, තිවංක කතාව ට ලැබිය හැකි පිළිගැනීම කෙසේද යැයි සිතා ගත හැක. ඊට යම් පක්ෂපාතීත්වයට ඇති වෙතොත් ඇති වන්නේ, ගාළු මුවදොර උද්ඝෝෂණයේ අවශ්‍යතාව ගැන කියැවෙන නිසාය. එහෙත් ඒ නිසා ම මේ පොත ට අයෙක් පක්ෂ වන්නේ නම් එය සීමිත කියවීමකි. එහෙත් එය ද බලාපොරොත්තු විය යුත්තකි.
- පේත වලින් පසුව එරික් ලියූ ප්‍රබන්ධයන්ගෙන් මා තවම කියවා ඇත්තේ, 'මැස්සා', 'කොළඹ දැනුම', සහ දැන්, 'තිවංක කතාව' පමණි. තව කියවීමට ප්‍රබන්ධ ඇති හෙයින් වඩා විශ්වාසයකින් කිව නොහැකි වුවත්, මේ කෘති හරහා අපගේ සීමිත කියවීමේ හැකියාව අනුව පෙනී යන්නේ, කතුවරයා ගේ දනුම් පිපාසය නිසා ඔහු කියවන බොහෝ දේ, ඔහුම සොයා ගන්නා යම් ගැලපීමකට ගලපා ප්‍රබන්ධයක් ලෙස එළිදක්වන බවකි. බගන්දරා සිට රතු පලස, හෝ පේත දක්වා තිබූ මටසිළුටු නවකතා ශූරත්වය අප එරික්ගෙන් දැන් දකින්නේ නැත (පහනක අඳුර හි හෝ නකුල මුනි හි හෝ මේ මා නැතැයි කී ලක්ෂණය ඇත්තේ නම් අපට කමන්න - ඒවා අප තව කියවා නැත). පාඨකයා ට මෙම නවකතාවල යම් කෘතීමත්වයක් දැනුනද අප ට හැඟෙන්නේ, එරික් මේ අවදියේ පසුකරනා කියවීම් පරාසය අනුව මෙම ප්‍රවණතාවෙන් මිදෙන්න බැරි බවක් සහ ඔහුට ආවෙණික ස්වභාවික ප්‍රවණාතාවක් බවයි (අමරකීර්ති එරික්ගේ මෙම ලක්ෂණය ඔහුගේ කවිය විෂයෙහි තැනෙක දෙකක පවසා ඇත). ඔහුගේ කෘති වලට වඩාත් ම ප්‍රිය පාඨකයෙක් ලෙස මා නම් සිතන්නේ ඔහු දැන් දැන් සංස්කාරකවරයෙකුගේ අවශ්‍යතාව වඩාත් පැහැදිලිව පෙන්වන බවකි.
ඉතින් අපට හැඟෙන්නේ එරික් මහා සාහිත්‍යමය පරීශ්‍රමයක් යොදා ඇති බවත්, ඉන් මිශ්‍ර ප්‍රතිඵල ලබා ගෙන ඇති බවත් ය. අප රටේ ලිංගිකත්වය සහ එය පිළිගැනීමේ වෙනස්වීම ඉතා සියුම් ලෙස නවකතාවකට හසු කරගත් කෞශල්‍ය කුමාරසිංහගේ 'නිම්නාගේ ඉතිහාසය' වන් විශිෂ්ඨ කෘතියක් මගින් රසවත් නවකතාවකට බොහෝ දේ කර හැකි බව පෙන්වා තිබෙන වටපිටාවක, එරික්ගේ හුදෙක් පැස්සිය යුතු සමාජ-දේශපාලන-දැනුම් ප්‍රවණතාව වෙත වෙන තල්ලුව නිසා ම මට නම් මේ නවකතාවට වැඩි ලකුණු දිය නොහැක. ඉන් මෙම නවකතාවට අප රට සමාජයට දෙයක් කල නොහැකි බවක් නොකියවේ.
ශ්‍රේණිය: ***
2023 ප්‍රකාශ වූ නවකතා කියවීම - 1
No comments:
Post a Comment