Thursday 12 September 2024

ටෙඩියෙකුගේ චේ හදවත - මලිඳු කාවින්ද කුමාරසිංහ

 අප විසින් කතුවරයාගේ 'මං මාවතක මතක මිමිණිල්ල' කියවූවේ මීට මාස නවයකට පමණ ප්‍රථමවය(1).

2021 ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග්‍රාහි කෙටිකතා සංග්‍රහය වූ ද, 2022 සම්මාන කිහිපයකට නිර්දේශ වූ ද, 'ටෙඩියෙකුගේ චේ හදවත' නම් වූ සංග්‍රහය, පසු ගිය දිනවල කියවීමි.

මෙහි කෙටිකතා දහයක් වෙයි. ඉන් මා වඩාත් සිත් ගත්තේ පළමු කෙටිකතාව වූ 'දෙයියන්ගේ ආයුධ', සහ දසවෙනි කෙටිකතාව වූ 'පරණ සුයිප් සහ අලුත් නොම්මර' ය. ඉහත කී පළමුවැන්නෙන් දරුවෙකුට දෙමාපියන් ආදරය නම්, ඔහු සමාජයේ ක්‍රියාත්මක වන අයූරු ඔවුනට කිසිසේත් ම එම දරුවාට අදාළ නොවෙන බව මෙම නිර්මාණයට මාතෘකා කරගෙන අයුරු අපූරුය. පපරණ සුයිප් සහ අලුත් නොම්මර කෙටිකතාවේ ද මිතුරෙකු තම මිතුරාට උපකාර කරන්නට අවශ්‍ය නම්, ඔහුගේ සුබසිද්ධිය උදෙසා වැඩිපුර යමක් කරනා ආකාරයත්, එය මුදල් මතම තීන්දු නොවෙන ආකාරයත් අපූරුවට ගලපා ඇතැයි සිතුනි.

කතුවරයා ගේ ශෛලීය ලක්ෂනයක් වන පාඨකයාට විමතියක් ගෙනෙනාකාර අවසානයකට තම නිර්මාණය ගෙනයාම (good punchline), මෙම සංග්‍රහයේ ද දක්නට ලැබිම ය. මෙම ලක්ෂණය සාර්ථකව යොදා ගත් අවස්තාවන් ලෙස 'ඌෂා' සහ 'මීට ආදරණීය සුමනේ' යන නිර්මාණ දැකිය හැකිය. වෙසෙසින් මේ කියනා 'ඌෂා' නම් කෙටිකතාව භාවතීෂයෙන් තොරව, වඩා වියුක්ත සහ තරම නරුම වේශයකින් ලියවී තිබීම එහි සාර්ථකත්වයට හේතු වේ.

කතුවරයාගේ පෙර කී පොත ගැන අදහස් දක්වද්දි අප මෙසේ පවසා ඇත. "...
සමහර විටෙක කාව්‍යාත්මක සහ භාවාතීශ රසාස්වාදයක් ඌණනය කිරීමට ම යත්න දැරීම හේතුවෙන්, සමහර නිර්මාණ වල විශ්වාසනීයත්වයට පළුදු ගෙනන අවස්තා ද මතුවේ." මෙම ලක්ෂණය අප මේ විමසන සංග්‍රහයේත් ඇත. සමහර විටෙක පොත් දෙක ළඟ ම කාලයක ප්‍රකාශ වූ නිසා, කතුවරයා එකම ආස්ථානයක සිට කෙටිකතා නිර්මාණයේ යෙදෙන්නට ඇත. ඇරත්, අපගේ සීමිත වැටහීම අනුව, ලාංකික පාඨකයා වඩාත් ප්‍රිය කරන්නේ භාවාතීශ කලා නිර්මාණ වලටය. මෙය වෙසෙසින්, සමාජය විසින් සාර්ථක යැයි සලකන කවි කෘති ඔස්සේ දැකිය හැක. මේ භාවාතීශයට වඩා නැඹුරක් වීම හේතුවෙන් සාර්ථකත්වක විභවයක් තිබූ සමහර සාර්ථක නිර්මාණ වලට සිදු ව ඇතැයි සිතේ. 'ටෙඩියෙකුගේ චේ හදවත', 'ඒ තමයි තාත්තා', 'සංසාර වන්දනාව', මීට නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය. 

හර්මෙන් හෙස ගේ සිද්ධාර්ථ මතකයට නංවන සුළු 'විල් දිය කැලඹුණ මොහොතක්', යම් අයගේ සමාජ දේශපාලනට ඇති බැඳීමේ දැඩිබව පෙන්වන 'රැවුලා',  සහ මනෝ ගමනක අවසන වෙනස් නිම වීමක් අඟවන 'සාගරිකා දුම්රිය... ' යන කෙටිකතා ද සාර්ථක පාර්ශවයට වඩා නැඹුරු නිර්මාණ ලෙස දකිමි.

ලේඛකයා ගේ නිර්මාණ කෞශල්‍ය ගැන සැකයක් නැති අතර, ඔහුට ආවේණික ශෛලියක් ඔහු දැනටම ළඟා කරගෙන ඇති තත්වයක, එරික්, පියල්, අමරකීර්ති, කම්මැල්ලවීර වැනි ලේඛකයන්ගේ ඇති, භාවාතීශ නොවී අවසානය පෙළ ගස්වා
, භාවය ගොඩනඟා ගැනීම පාඨකයාට ම භාර දීමක් වැනි ලිවීමේ ආර දෙස බලන්නේ නම් ඔහුට වඩා සාර්ථක කෙටිකතාකරුවෙකු විය හැකි බවකි අපගේ පෞද්ගලික හැඟීම. වැඩි පාඨක පිරිසකගේ සිත් දිනා ගැනීම කතුවරයාට වඩා වැදගත් නම්, ඔහු දැනට ලියනා අයුරෙන් ඔහුට එය ලබා ගත හැක.

ශ්‍රේණිය: ***1/2
සම්මාන නිර්දේශ - ගොඩගේ, විද්‍යෝදය - හොඳම කෙටිකතා සංග්‍රහය - 2022
2022 ප්‍රකාශ වූ තෝරා ගත් කෙටිකතා සංග්‍රහයන් කියවීම - 4

(1) මං මාවතක මතක මිමිණිල්ල - https://me-and-err.blogspot.com/2023/12/mkk2021.html

No comments:

Post a Comment