Saturday, 19 September 2026

අනේ අපි දා... - මහින්ද රත්නායක


 මීට කලින් 2021 ප්‍රකාශ වූ 'වැසිකිලි සෝදන්නා ගේ දුව වීම නිසා' කෙටි කතා සංහ්‍රගය කියවීමි. මට ඒ සංග්‍රහය ගැනත් එතරම් ප්‍රසාදයක් ඇති නොවුනද, 2023 වසරේ රජත පුස්තක සම්මානය දිනා ගත් හෙයින්, සිංහල කෙටිකතාවෙහි රසිකයෙකු ලෙස මෙය අත් හැර යාමට සිත් නොදුනි.

මල්සර මල්සාලාවේ මල්සරා: පෙර කී කෙටිකතා සංග්‍රහය කියවීමේ දී ද මට හැඟුණු දෙයක් නම් කතුවරයා තම නිර්මාණයේ සමාජ අරමුණ දෙස හැල්මේ දිව යද්දි විටෙක සමහර දෙබස්, පාත්‍ර වර්ගයාගේ අදහස් ආදිය ගිලිහෙනා බවක් පාඨකයාට දැනීමය. ඒ කාරණාවෙන් එපිටින් කෙටිකතාව සැලකුවහොත් මිතුරන් දෙදෙනෙකු (ඉන් අයෙකු මිය ගොසිනි) අතර දෙබසක් ලෙසත්, ජීවත් ව සිටින්නා ඇත්තට ම ජීවත් ව සිටින්නේ ද යන්න ගැන පැණයක් නැගෙන ලෙසද රචිත කෙටිකතාවකි. මගේ අවංක අදහස නම් මෙම අදහස මීට වඩා මුවහත් ව සහ බුහුටිව කෙටිකතාවට නැගෙන්න ට ඉඩ තිබූ බවකි . කතුවරයා ගේ තරමක හදිසියක් ඡායාවක් රචනය තුලින් පාඨකයාට ගම්‍ය වන්නේදැයි කුකුසක් නැගේ.

මෙම සංග්‍රහය මුල - එනම් පෙරවදනක් ලෙස - 'කතුවරයා ගැන-ඔහුගේ නිර්මාණ ගැන' නමින් 'ලේඛකයාගෙ පාඨකයෙකු' මගින් ලියූ හැඳින්වීමක් අපට හමු වේ. පසුව "ලේඛකයාට පඨිතයක්.." ලෙස එම පාඨකයා චරිතයක් කර ගත් කෙටිකතාවක් අපට හමු වේ. ආකෘතික හරඹයක් ලෙස එහි යම් නැවුම් බව තිබිය හැකි මුත්, මේ කෙටිකතාව ගැන මට ඇති වූයේ සාහිත්‍යයෙන් එහා ගිය නොපහන් හැඟීමකි - එය පෞද්ගලික අදහසක් බව නොකියා බැරිය. මේ වන විට ලේඛකයාගේ කෙටිකතා සංග්‍රහයන් එකහමාරක්වත් කියවා නැති මා හට, මේ ලේඛකයාගේ කෙටිකතා කියෙව්වා දැන් ඇතිදෝයි නොපහන් හැඟීමක් ඇතිවිය. ( මට මතක හැටියට  පෙට්ටිකඩේ ගැහැනියගේ ගීතය, ගොපලුවත, නව පනතක් සම්මතයි යන සංග්‍රහයන් මා සතුව ඇත - ඒ එකක්වත් තවම කියවා නැත.)

මා මීට පෙර  කියවූ "වැසිකිලි සෝදන්නාගේ දුව වීම නිසා" සංග්‍රහයේත්, මෙම සංග්‍රහයේත් මා මේ ලේඛකයා විෂයෙහි දකිනා එක් ලක්ෂණයක් වේ. එනම් ඔහුගේ කෙටිකතා ගලනයේ වේගය වැඩි වීම ය. දෙබස් ද බොහෝ විට බහුල ලේඛකයාගේ මේ ලිවීමේ රටාව හේතුවෙන් විටෙක පාඨකයා කොයි දෙබස කවුරු විසින් කියන්නේ ද යන්න ගැන වැඩියෙන් විමසිලිමත් විය යුතුයි. ප්‍රකාශ වී ඇති පිළිවෙලට කියවා යාමේදී අපට හමු වන "අලුත් රාත්‍රියක් නොහොත් රත්‍රියේ පසු අඩ" මේ වන විට අපට හමු වූ වඩාත් රසවත් ම සහ සාර්ථකම කෙටිකතාවය. අප රට කාන්තාවන්ට විවාහ ජීවිතයේදී ලිංගික ජීවිතයේදී සිදු වන අසාධාරණය, අප රට පිරිමින් හිරිකිතයක් නැතුව එම වගකීමෙන් බෙරී සිටීන අයුරු විදහා දක්වන (පෙර කී අඩු පාඩු ඇතත්) සාර්ථක කෙටිකතාවකි.

මෙම ලේඛකයා වරෙක තමන්ගේ දෘෂ්ඨිකෝණය සනාත කරනු වෙනුවෙන් ම කෙටිකතා ලියන්නේය. එවැනි කෙටිකතාවක් මා කියවා ඇති ඔහුගේ අනෙක් සංග්‍රහයේදී ද හමු විය. මෙම සංග්‍රහයේ එන සිව්වන කෙටිකතාව වන "වෙස්සන්තර" වුව සැබෑ ලොව සිදු වුවද, විශ්වාසනීයත්වය වෙනුවට කෙටිකතාකරුගේ දෘෂ්ඨිකෝණය ම සනාත කරනු වස් ලියැවුන්නක් මෙනි.  පෙර කෙටිකතාව තුලින් යම් බලාපොරොත්තුවක් මා තුල ඇති කල ද, මේ කෙටිකතාව තුලින් පෙර සිටි ස්ථානය ආසන්නයටම මා නැවත පැමිණ ඇත.

මහින්ද රත්නායකගේ ලිවීම් රටාව පිළිබඳ මට ප්‍රශ්ණ ඇත.  එහෙත් ඔහු ප්‍රගතශීලි අදහස් තම කෙටිකතා ඔස්සේ ඉදිරිපත් කරන්නෙකි. නූතන පුළුල් ලෝකය හා සසඳද්දි ඒවා නැවුම් ම යැයි කිව නොහැකි වුව ද සිංහල පාඨකයාට තවම තරමක නොරිස්සුම් ය, නැත්තම් තව කලක් ඔළුවේ එහා මෙහා  දිව ගොස් එහි සත්‍ය වටහා ගත යුතු යැයි සිතමි. එවන් "සම්මුතිය"ක් පිළිබඳ කෙටි කතාවක් අපට පස්වැන්න ලෙස මෙහි අපට හමු වේ. එහි  සමස්ත අදහස මට ඉතා ආකර්ශනීයය; සත්‍යයක් ලෙස පෙනී යයි. එහෙත් මගේ උපරිම කැමැත්ත මෙම කෙටිකතාවට ලැබීමට නම් මෙය ලියා ඇති ආකාරය, මාතෘකාවේ අදහසක් හෝ එහා මෙහා නොවී වෙනස් විය යුතු බවය අපගේ අවංක අදහස. මට මෙය කළබල වැඩිය. පෙර කිවක් මෙන් මේ කළබල බව ලෙස තේරුම් ගැනීම මට සාපේක්ෂ වීමට ඉඩ ඇත.

මට මෙම ලේඛකයාගේ ලිවීම් රටාව සමඟ ඇති එක් ගැටළුවක් නම් දෙබස් වැඩි බව පෙර ද කීපවිටක් කීවෙමි. අනෙක කතුවරයාගේ මුඛ්‍ය සමාජ පණිවුඩය එළිපිට කියවෙන ආකාරයේ රචනයයි. මේ ලක්ෂණය මා ඔහුගේ "වැසිකිලි සෝදන්නාගේ දුව වීම නිසා" කෘතියේද දිටිමි. මෙහිද දකිමි. වෙසෙසින් "සොයා දියව්!" නම් වූ කෙටි කතාව අමුවෙන්ම මේ ඉහත කී ලක්ෂණ දෙකෙන් ගහණය. කෙටි කතාව ට සුළු හෝ දිරි දීමක් දෙන්නේ අන්තිමට කෙරෙන හෙළිදරව්වෙනි.

මේ කෙටිකතා සංග්‍රහය පුරාවටත්, පෙර කීවාක් මෙන් මීට කලින් කිය වූ කෙටිකතා සංග්‍රහයේ  තිබූ ලක්ෂණයක් කතුවරයා ට කිමට ඇති සහ ඔහු විශ්වාස කරනාවැයි සිතනා මතවාද, සමාජ පුරුෂාර්ථ ආදිය කියවන්නාට පාඩමක් උගන්නා ආකාරයෙන් තම කෙටිකතා වලට අන්තර්ගත කර තිබීමයි. මෙය බොහෝ කෙටිකතා වල මේ අයුරින් ම සිද්ධ වෙද්දි පාඨක ප්‍රසාදයක් ඇති නොවේ. පොතේ අවසන ට ලඟා වීමේදි අපට කියවන්න ලැබෙන "අමුත්තා" කෙටිකතාව එවැන්නකි. මේ වන විට මා මෙය කියවීමට තෝරා ගැනීමත්, ඊට ප්‍රධාන සාධකය වූ 2023 වසරේ රජත සම්මානය මෙම පොතට ලබා දුන් එහි තීරක කමිටුවටත්, ගොඩගේ සම්මානයට නිර්දේශ කල තීරක කමිටුවත් සිතෙන් දෙස් තබමිනි, කියවමින් සිටියේ. මා මට ම බැණ ගත්තේ පොතක් මග නතර කිරීම සිතා මතා කිරීමේ නොහැකියාවට ය. 

මෙම සංග්‍රහයට එහි නම දුන් කෙටිකතාවෙන් මෙම සංග්‍රහය අවසන් වේ. පසු ගිය කාලයේ අපේ රට ආර්ථික කඩා හැලීමත්, එවන් විවිධ දුෂ්කරතා හමුවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් මුහුණ දුන් ගැටළුත් අලලා ලියැවී ඇති එහි කර්තෘ පණිවුඩය පැහැදිලිය - එහෙත් කෙටිකතාවක් ලෙස කතුවරයා ගේ රචනා ශෛලියේ ඇති හදිසිය පාඨකයාට දැනෙන සුළුය.

සමස්ත සංග්‍රහය ගැන සාරංශ නොකරන්නෙ ඒ කෙටිකතාව ගැන කතා කිරීමේදි, මට දැනුනු දෑ මුළු සංග්‍රහයට ම පාහෙ පොදු බැවිනි.

ශ්‍රේණිය: *1/2

No comments:

Post a Comment