මේ පොත බන්දුජීවගේ ධූමලාවණ්‍යාගාරය යි. මෙය 'ධුමය' මගින් 'හැඩගැන්වූ' කාව්‍යමය නවාතැනක් ද ? එය තිප්පොලක් ලෙස දැකීම පාඨක මගේ දොසක් ද ?
මේ ධූමලාවණ්‍යාගාරය තුල එතරම් පුහුණු නොකෙරුණු සාමාන්‍ය පාඨක කියවීමට අපට:
- සුරාව භාවිතාවේ විනෝදය මතක් වින (සුරාසල් කවි)
'කළුබෝවිල පොල්වත්තේ රා පොළටත් ගියා- සිසිෆස්ගේ සතුටවන් දර්ශනික ගැටළු (රූපකයක් විලස වලසුන්) සිහි ගැන්වින
බෙල්ලන්විල මල්නයිදෙගෙ රා පොළටත් ගියා
තුම්බෝවිල රතුහාමිගේ රා පොළටත් ගියා
කොහෙවත් ගියෙ නැති විදිහට පිනා ගෙදර ගියා'
'අපේ කඩිසරකමින් අලස වලසුන්ට මිස
ජනපදේ අපෙ උන්ට ලැබෙන මොකවත් නැත්ද
වලස් නිය පහරකින් ඇද වැටෙන්නට කලින්
කල්පනා කරමි මම "ඇත්තටම මුන් කවුද?"'
- දේශපාලනේ ඒ පක්ෂෙන් මේ පක්ෂෙන් පැනීම් වැනි අපට පුරුදු දේ කාව්‍යමය ව්‍යංගර්ථයෙන් කියවීමි (මකුළුවා බැටළුවා කොටළුවා දළඹුවා සහ පිනිමුවා)
'අලුත් ආණ්ඩුවෙ උයනේ
මයික්වල රොන් උරයි
පෙර පැවති ආණ්ඩුවේ ඇඟපතේ
පලු මැවූ දළඹුවා'
- වීරයන් බිහි කරන්නට, පිටියට තනියෙන් සටනට පැමිණ කැප වූ විල්සන් කරූ ව වෙනත් කෝණයකින් දිටිමි (යටත් වුණි වීරයන් රජයට )
'එක වීරයෙකුට දෙක ගාණෙවත්
දුෂ්ටයන් සිටිය යුතුම මොහොතක
හටන් කරනට නම් දැරූ
වරින් වර මට සිහිව ඒ
සටන් නළු විල්සන් කරූ'
- කිසිදු බලාපොරොත්තුවක් තැබිය නොහැකි මැතිවරණ වලදි අපේ කවියා එක් අහිංසක සිහිනයක් පමණක් හෝ මුදුන්පත්වේවා යි කියාය (මැතිවරණය දා මගේ කුඩා හිමිදිරිය)
'"කැනබීස් යෝධයා පැමිණ
පෙරදිග බන්ධනාගාරය සිඳ බිඳ
මුදාගෙන සිරකරුවන්
අම්බරයට විසි කරත්වා !" කියා
ඔව් - මං ප්‍රාර්ථනා කෙරුවා'
මේ අප විඳි අවස්ථා පහක් සැකෙවින් ය. සමහර කවි වල පිටුපස කතා ඇත (නෝනාගේ ඉලව් ගෙදර, මල් අල්මේදා පිළිබඳ, සුදෝ සුදු). ඒවයින් පාඨකයා විඳින්නේ අතීතයේ සිදුවිමක් වර්ණ අවපැහැව දකින්නාක් මෙන් හැඟීමකි -කිමද ඒ පසුබිම් කතා ගැන අපට පූර්ණ අවබෝධයක් නොලැබෙන හෙයිනි. කවිය තම පබැදුමෙන් එවන්නක් කරනවා කියන්නේ ම ඔහු ගේ සමත්කම ය. සමහර කවි පංති තුල එක් එක් මතෘකා පිළිබඳ රස වෑහෙන කවි තිබුනද, සමස්ත කවි පංතිය ම 'කුමක් හෝ පටලයකින් වැසී ඇත්තාක්' සේය ( තියෙනවා - තියෙනවා - තියෙනවා)
මේ සංග්‍රහය තුලින් කවියා මීට වසර එකොළහකට පෙර පළ කල 'මීළඟ මීවිත' ට වඩා පාඨකයාගෙන් යමක් බලාපොරොත්තු වෙයි. ඒ බලාපොරොත්තු වූ කාලය, වටහාගැනීම, (සහ සමහර විටෙක මෙය කියවන විට, මත්වීම ?), මා තුල තිබුනේ ද යන්න ද ගැටළුවකි. මේ සංග්‍රහය 'මීළඟ මීවිත' තරම් ඉක්මනින් ජනප්‍රියත්වයට පත් නොවෙන්න ට ද පුළුවන (ඔහු ගේ කීර්තිය නිසා එය හොඳින් අලෙවි වීම අනෙකකි ). එහෙත් මෙය 'තැපෑලෙන් වදින' මීවිතක් වීමට අවකාශ ඇත. කවියා වසර දහයක් ම ගත කරන්නට ඇත්තේ ඊට අවශ්‍ය පැසවීම ලබාදීමට විය යුතුය. ඒ අර්ථයෙන් නම් මේ අදහස් දැක්වීම ම, පොත කවරෙන් කවරෙට කියවා ලියූවද, අර්ධ කියවීමක් වීමේ අවකාශ බොහෝය.
ශ්‍රේණිය: ****
ජයග්‍රාහක - 2023 හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි විද්‍යෝදය සම්මානය,
නිර්දේශිත - 2023 හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රජත සම්මානය
No comments:
Post a Comment